දළදා වහන්සේ රැකගත් රහසිගත මොහොතක්


 

කතිරමලී මැණිකේ   

මුත්තට්ටුවේ බෙර රාලට රහස් පණිවුඩ පතක් ලැබුණේ අලුයම් කාලයටත් කලිනි. මේ ක්‍රි.ව. 1543 නොවැම්බර් 18 දාය. හිරු රැස් කෝට්ටේ නුවරට පතිත වෙද්දීම අණ බෙර නාදය පැතිරුණේය. ඉන් කියැවුණේ අමුතු කතාවකි. මේ බටහිරින් හතුරු බල සේනා ලංකාව වට කොට තිබූ කාලයයි. 


ක්‍රි.ව. පන්සිය පහේ පටන් පෘතුගීසි සේනා ඉව අල්ලමින් උන් මොහොත උදාවන්නේ එදාය. ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා ධර්මපාල බෞද්ධත්වය අතැර දමා තිබුණේ එදාය. ඔහුගේ මුත්තණු ඒ කියන්නේ ඒ දවස සිරිලක් රජු 7 වන බුවනෙකබාහු (ක්‍රි.ව.1521 - 1550) ස්වකීය ජනයාට රහස වසන් කරන්නේ අපූරු උපායකිනි. ඒ කෝට්ටේ නුවර වැසි සියලු මුස්ලිම්වරුන්ට නගරය හැර පලා යන ලෙස අණ කරමිනි. සිංහල රජෙක් මුස්ලිම්වරුන්ගේ ආත්මය රාජ අණකින් රිදවූ පළමු වතාවය මේ. එතැන් පටන් සිංහලයා අන්දමන්ද වී බලා සිටියෝය. රජතුමා උදා දළදා තේවාවට කෝට්ටේ සිරි දළදා මන්දිරයට සැපත් වන්නේය. නමුත් පුදුමය දළදා වහන්සේ එහි වැඩ නොසිටීමයි. 


නැවුම් මිනිසෙක් ජාතියේ ප්‍රාර්ථනා මුදුන්පත් කරගැනීම උදෙසා සොයමින් සිටි දැන උගත් සමාජයට මොහොත උදා වූවේය. හත් වන බුවනෙකබාහු රජතුමාගේ රාජකීය සෙබළු ද පෘතුගීසි සේනා ද එකට එක්ව රාජධානියේ සතර අත දළදා වහන්සේ සොයන මෙහෙයුම දියත් කළහ. හුදී ජනී ජනයා වැඳ වැටී හඬ හඬා වැළපේ. ළිප ගිනි නිවිණි. කාර්යාල, කර්මාන්ත, පරිපාලන ආයතන සියල්ල අක්‍රිය විය. දළදා වහන්සේ අතුරුදන් වූ පුවතින් රටම කම්පා වූවේය. 


විටෙක එම කම්පාව, රහස තවත් යටපත් කළේය. එනම් සිංහලේ ඔටුන්න හිමි කුමරු ධර්මපාල බෞද්ධත්‍වය අතහැර දොන් ජුවන් වී ඇති පුවතය. ජනතාව අහස් වළා මැදට, පවනට ද වැඳ වැඳ දළදා වහන්සේ රැක දෙන්නැයි ආයාචනය කරති. මුස්ලිම්වරුන් පන්නා කෝට්ටේ රාජධානිය ශුද්ධ සිංහල උරුමයෙන් තේජමාන කළ බවට රස පුවත් රාජකීය මාධ්‍ය හරහා ජනගත වන්නේය. රාජ කේවට්ටගේ මාධ්‍ය බලඇණිය ජාතී උන්මාදයෙන් රණ වරුණ කිය කියා කෝට්ටේ රාජධානිය දෙවනත් කළේය. 


ඒත් සියල්ල පුස්සක් වූවේය. දළදා වහන්සේ අතුරුදන් වූ විට සිංහලයන්ට ජීවිතයක් නැත. හත්වන බුවනෙකබාහුගේ මුස්ලිම් විරෝධය ලත් තැනම ලොප් වූවේ ඔහොමය. අවසානයේ ආර්ය චක්‍රවර්තිගේ බෙදුම්වාදී චෝල පාලනය පෙරළා බිහි වූ කෝට්ටේ රාජධානිය ඓතිහාසික ඛේදවාචකයේ ඉරණමකට ගොදුරුවන්නේ පුදුම සහගත ලෙසය. 
ක්‍රි.ව.1412දී සයවෙනි පරාක්‍රමබාහු රජතුමා එක්සේසත් නැංවූ රාජධානිය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. ඉන් වර්ෂ එකසිය තිස්එකක් ගිය තැන දැන උගත් සිංහලයන්ගේ ද මුස්ලිම්වරුන්ගේ මෙන්ම ද්‍රවිඩයන්ගේත් රැකවරණය අහිමිව පෘතුගාලයේ රූකඩ පාලන රාජධානියක් වූවේය. වහ වහා පෘතුගාල අධිරාජ්‍යයා එවකට ලංකාව භාර පෘතුගීසි ආණ්ඩුකාරවරයාට විශේෂ නියෝජිතයෙකු එව්වේය. ඒ අපෝන්සු නොරොඤ්ඤය. ඔහු හරහා නියෝග කළේ හත් වන බුවනෙකබාහුගේ සිංහල රාජධානිය පෝෂණය කර රැකගන්නා උපායට මාරු වී ඉක්මන් වන සේය. බිඳවැටුණු කෝට්ටේ රාජධානිය පෘතුගීසින් අතින් පිළියෙල වන්නේ ඒ විදිහටය. 


ඒත් ජනතාවට දැන් රාජ සෙනෙහසක් නැත. දළදා වහන්සේ රැකගන්නට බැරි රජවරු ලක්වැසියන්ගේ පපුවේ ජීවත් නම් නොවේ. එපමණක් නොව සියවස් ගණනාවක් එකට බැඳී සිංහලත්වය තුළම සිටි මුස්ලිම්, දෙමළ හාද බැඳීම ඉරිතලා ගත් කෝට්ටේ හත් වන බුවනෙකබාහු රජය රාජකීයත්වයෙන් ගෞරවයෙන් දැකීමට මුස්ලිම්, දෙමළ දෙජාතියම මනාප නොවන්නේය. 


මේ සියල්ල මැද්දේ ප්‍රතාපවත් මහා පිරිවෙන් ද, මහා ආරාම ද, මහා සංඝයා වහන්සේලාගෙන් තොර වන්නට පටන් ගත්තේය. හැම හදවතකම නින්නාද වන්නේ දළදා වහන්සේ කොහේ වැඩියා දැයි යන වේදනාවේ කුකුසය. ඒත් ලක්වැසියා ඉවෙන් දන්නා රහසක් වූවේය. එනම් මතු බුදුහිමි පහළ වන තුරු දළදා වහන්සේ ලක්බිම වැඩ වසන බවය. මේ අතර පෘතුගීසි දළදා වහන්සේ විනාශකොට පරිනිර්වාණයට පත් කළ බවට වේදනාබර අනුවේදනාවක් පහළ වූවේය. එය කෙළවර වන්නේ ක්‍රි.පූ. 61 දී චෝරනාග රජුගේ සොරකමින්, අල්ලසින්, ඝාතනයෙන් පිරි මැරවර පාලනයට එරෙහිව ජනතාව රජ ගෙදර වට කළාට පසු යළිත් රජ මැදුර වට කරන ජනතා නැඟිටීමකිනි. සැබැවින්ම හත් වන බුවනෙකබාහුගේ තම සහෝදර රයිගම් බණ්ඩාර හා මායාදුන්නේට මුහුණ දීමේ දේශපාලන අරගලය තාර්කික අවසානයට ළඟා වෙමින් තිබුණේය. 


මේ අතරේ ජනතාවගේ වීරයා වන්නේ හිරිපිටියේ දිවනරාලය. ඔහු දළදා වහන්සේගේ ගිහි භාරකරුය. දළදා වහන්සේ අතුරුදන් වූ දා පටන් හිරිපිටියේ දිවනරාල ද නැත. දැන් රහස විවෘත වූවේය. ජනතාවගේ දුකට, බයට, බලාපොරොත්තුවේ සහන් එළිය ප්‍රබෝධ වන්නේ මේ අතරදීය. යුද හතුරා වූ පෘතුගීසීන්ටවත් සොයාගත නොහැකි තරමට උපායෙන් දළදා වහන්සේ පිටතට වඩමවා ගෙන ගොස් ඇති බවට රාවය පැතිර ගියේය. එයම පෘතුගීසීන් පන්නා දැමීමට තරම් ස්වදේශික​යෝ උපායශීලී දක්‍ෂයන් යන්න තහවුරු කර තැබුවෝය. දැන් පෘතුගීසීන්ගේ රූකඩ රජය වූ කෝට්ටේ රාජධානිය පෙරළා දැමීමේ ජනතා අරගලය මතුවන සරු පස හැදෙමින් තිබුණේය. 


දැන උගත් ජන සමාජය හත් වන බුවනෙකබාහුගෙත් පෘතුගීසීන්ගෙත් හවුල් පාලනය හැර දා ගියේය. ඒ අතර ඔවුහු සාර ධනවත් මුස්ලිම්වරු සමඟ බැඳී මල්වාන තොටුපළේ දී එක්වූහ. මල්වාන තොටුපළට ප්‍රාර්ථනාවේ තරුව මායාදුන්නේ කුමාරයා පැමිණෙන්නේ එදාය. එදා මායාදුන්නේ කුමරු නැඟ එන නව ජාතිකවාදයේ ප්‍රාර්ථනා තරුව වන්නේ ඔය විදිහටය. දැන උගත් සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජය දැනුමෙන් ද හත් වන බුවනෙකබාහු රජතුමා විසින් පළවා හැර තිබූ ධනවත් අරාබි වෙ​ෙළඳුන්ගේ ධනයෙන් ද සීතාවක රාජ ප්‍රාකාරය බැඳෙන්නේය. 


කෝට්ටේට විකල්පය සීතාවක වන්නේ මේ විදිහටය. ඒත් කෝට්ටේට විකල්පය සීතාවක වූවාට රාජධානිය පිහිටුවන්නේ දළදා වහන්සේ වැඩ වසන තැනය. දළදා වහන්සේ නොමැති බැවින් බලාපොරොත්තුවේ ප්‍රාර්ථනා නුවරට රාජ්‍යත්වය පමා කළේය. යළිත් ඉස්මත්තට එන පැනය දළදා වහන්සේ කවරෙකු ළඟ වැඩ වසනවාද යන්නය. දැන උගතුන් තබා සංඝ සමාජයේ මහතෙර පරපුරවත් උන්වහන්සේ වැඩ වසන තැනක් දැන නොසිටියේය. 


හිරිපිටියේ දිවනරාල මේ වන විට හත් වන බුවනෙකබාහුගේ ද පෘතුගීසීන්ගේ ද ඔත්තු සේවාවලත් ඉලක්කයය. ඒ වගේම හත්වන බුවනෙකබාහුගේ හා පෘතුගීසීන්ගේ ඔත්තු සේවාවල ඉලක්කය, මායාදුන්නගේ ඔත්තු සේවාවලද ඉලක්කය වූවේ දළදා වහන්සේ සොයාගත යුතු නිසාය. තම සහෝදර බුවනෙකබාහු වට්ටවා සිරිලක් රජ ලෙස විරාජමාන වන්නට මායාදුන්නේට දළදා වහන්සේ ඇවැසිය. ඉතිහාසය වාසනාවන්තම නිමේෂය දී තිබුණේ මායාදුන්නටය. කෝට්ටේ බිඳ වැටී ජනතාව, සාර ධනවතුන් ක්‍ෂේම භූමිය ලෙස මායාදුන්නගේ නුවර සීතාවක තෝරාගෙන ඇත. මහා සංඝරත්නය රැකවරණ කෙම්බිම ලෙස සීතාවක තෝරාගෙන ඇත. 


දෙමළ ඉස්ලාම් ජනයා තම ඊළඟ පාලකයා ලෙස මායාදුන්නේ තෝරාගෙන අවසානය. ශූරත්‍වයේ උපාය ද බුද්ධි ප්‍රභාවේ ප්‍රඥාව සහිත ඊළඟ යුගකාරකයා ලෙස රටේ දැන උගතුන්ගේ සමාජ පංතිය වූ කවියන්, ලේඛකයන්, වියතුන්, දාර්ශනිකයන් මායාදුන්නේ වටා රොක් වී අවසානය. ඒත් මහ රජ ලෙස කිරුළ දරා පලක් නැත. දළදා වහන්සේ හිමි වූ විට පමණක්ම සිරිලක රජබිම රජෙකුගේ නිජබිම වන්නේය. මේ ඓතිහාසික නියාමය පරාජය කිරීමට කාටවත් බැරිය. එහෙම බැරි නිසාම පෘතුගීසින් දළදා වහන්සේ සොය සොයා පීරා වෙහෙසෙන්නේය. 


පෘතුගීසින්ගේ වෑයම දළදා වහන්සේ සොයා එය වැනසීමය. සිංහලයන්ගේ කිරුළ හිමි කුමරු අබෞද්ධ කරගත් විට සියල්ල හරි යැයි සිතාගත් පෘතුගීසි සිංහල සිරිත හරි පුදුම යැයි දැන ගත්තේ එදාය. සිංහලයන්ට වැදගත් වන්​ෙන් පුද්ගලයන් නොව බුදුන් වහන්සේගේ ධර්මකාය බව දන්නෝ දන්නෝය. ඉතින් ධර්මකායේ මතුපිට ජීව ප්‍රතිමූර්තිය දළදා වහන්සේය. එබැවින් දළදා වහන්සේ වනසා දැමීමට නොහැකිව, ලොවක් යටත් කරමින්, කුරුස යුද්ධයේ ජය උදානයෙන්, යුරෝපය උරුම කරගනිමින් ආසියාව සොයා ආ පෘතුගීසීන් අන්දමන්දව සිටියෝය. 


ස්වකීය උදාරම් රණවීර ඉතිහාසයට විහිළුවක් කර ඇති මිනිසා සොයා ගන්නට බැරිකම පෘතුගීසින්ට ජාත්‍යන්තර විලි ලැජ්ජාවකි. මේ අතර තම රාජධානියත් රජකමත් තම කිරුළත් තමාගේ දූ පුතුන්ට දී ගන්නට දළදා වහන්සේ අවශ්‍යම, සිංහල සිරිත දන්නා හත් වන බුවනෙකබාහු රජතුමා ද දළදාව සොයා සිය සියළු ජවය මුදා හැර තිබුණි. ප්‍රාර්ථනාවේ තරු රැස් පහව යනවා නියතය. දළදා වහන්සේ සොයාගත යුතුමය. විකල්පයේ නායකයා වූ තමා සම්මතයේ නායකයා වී සිංහළ සිරිතේ නායකයා වන්නේ එදාටය. මායාදුන්නේ කුමරු ජවයෙන්, දැනුමෙන් එඩි වඩා දළදා වහන්සේ සොයමින් තම ජාලය විහිදුවන්නට විය. 


මොහොත, ඔව් ඒ නිමේෂය එළැඹිණි. අවසන් සපු මල විකසිත වූයේ ඒ අලුයමය. හිරිපිටයේ දිවනරාල නිරුත්තර විය. පණ පුදා රැකගත් ජාතික වංශයේ ජීවමාන ප්‍රාණ වස්තුව රැකගැනීමේ අවසන් නිමේෂය ළඟාව තිබුණේය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ යළි ස්වර්ණ කරඬුවක තැන්පත් කරන තුරු පුද දිය යුත්තේ සපු මල් කුසුමින්ය. යුරෝපීය සතුරු බලඇණියේම සතුරා වූ හිරිපිටියේ දිවනරාල වික්‍ෂිප්තව බලා සිටියේය. 


තවත් තුන්තිස් හෝරාවක් යන්නට මත්තෙන් විකසිත සපු මලක් නෙළා පිනිදිය පැනින් නහවා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පුද සත්කාර කළ යුතුය. හිරිපිටයේ දිවනරාලට උත්තරයක් නැත. රහස් උමඟකින් බොහෝ දුරක් යා නොහැක. සතුරා වට කොටය. මිතුරා මතුවිය යුතුය. ලක් පොළොවේ භූ ධාතුවේ හැටි එහෙමය. සතුරාට වාසිම පැයේ මිතුරා මතු වේ. ඒත් ඓතිහාසික නිශ්චයන් වෙනස්විය හැකිය. 


දැන් හිරිපිටියේ දිවනරාල බියෙන්, වේදනාවෙන්, ඉච්ඡාභංගත්‍වයෙන් ආතුරය. ඔහුට තිබුණේ එකම එක පිළිතුරක් පමණි. ස්වකීය පරපුර ඒ මහා භීම යුද උන්මාදය මැදින් කලිඟු රටින් පිටමංව දළදා වහන්සේ වැඩමවාගෙන සිරිලක අවුත් කළ වීර විකුම් ආත්ම පරිත්‍යාගය හෙවත් හේමමාලා කුමරිය නම් තම පරපුරේ මිත්තණියගේ මතක පොත ස්මරණය කිරීමය. ඔහුගේ නෙත් පියවුණි. දැහැනේ වෙළී ඔහු ඓතිහාසික භූ ධාතුවේ මතක වියමන මෙනෙහි කරමින් ගුහා මස්තකය මත බවුන් වැඩියේය. 


මල්වාන ගං තොට විත් කතිරමලී මැණිකේ දිය නාමින් සිටියා. තම ආල පුරුෂයා වූ අස්කර රහමන්ගේ බීජයෙන් ඇය මව් පදවි ලබා විකසිතය. අද තොටමුණ හරි අමුතුය. දිය කඳ මද මුදුය. අහස් වලා සුබ දැක්මක් කියන්නට වගේ යැයි ඇයට සිතුණි. ඇගේ භාර ඉටු කරන දවසය. ඇගේ පැතුම පුත් කුමරකු බව ඈ සිතූ පැතුම ඉටු වී ඇති දවසය. සපු තුරු මල් වරා විකසිතය. කතිරමලී මැණිකේ සපු මල් දෝතට නෙළා කැලණි නදී ගං දියේ පා කර සුමන සමන් දෙවි වන්දනාව ඇරඹුවේය. කඳු මුදුනේ ගල් ද්වාරයෙන් උදා ඉර එළිය මුහ සිඹින විට හිරිපිටයේ දිවනරාළගේ නෙත් විවර විය. 


ඔහු නෙත් සපු මල් පෙති පෙති ලිහි ලිහි දිය තලයේ නටමින් නටන නැටුම දුටුවේය. මොහොත, ඔව් ඒ ඓතිහාසික නිමේෂය එළඹ ඇති බව දැනුණි. ඔහු ගුහාවෙන් එළියට විත් කතිරමලී මැණිකෙගේ සපුමල් ගොමුවේ සපු මලින් පිබිදවී ගියේය. කතිරමලී මැණිකේ ඓතිහාසික පුවත කුමරු මායාදුන්නගේ දෙසවනට රහසින් කීවේය. 


ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සීතාවක වැඩිසේක. සිරිලක සිරි රජ නුවර සීතාවක බැඳුණේය. රජ මායාදුන්නේ කතිරමලී මැණිකේට “මල්වාන සන්නස” පද බැඳ ගම්වර පුදා, ඇගේ වික්‍රමාන්විත පුත් රුවන රහමන් මුදියන්සේ ද සීතාවක සේනාධිපති ලෙස ධූරධාරීත්‍වයට නංවා ඉතිහාසයේ ස්ථානගත කළේය. 

 

 


සුජිත් අක්කරවත්ත