දළදා මාලිගයට කොටි බෝම්බ ගැසූදා රටම හැඬවූ ඡායාරූපය


සුප්‍රසිද්ධ ඡායාරූපයක නොදන්න කතාව

ලංකාදීප හිටපු ඡායාරූප මාධ්‍යවේදී ලක්රුවන් වන්නිආරච්චි කියන කතාව

 

 

ඡායාරූප ශිල්පියාගේ තෙවන ඇස ඔහුගේ කැමරාවයි. එය පිටු සියයකින් ලියූ කතාවකට වඩා දෙයක් එතුළින් පැවසිය හැකිය.


ඕනෑම කෙනෙකුට ඡායාරූපයක් ගැනීමට හැකියාවක් තිබුණද නිර්මාණශීලී ඡායාරූපයක් ගැනීම හැම කෙනෙකුටම කළ නොහැකි කාර්යභාරයකි. ඒ සඳහා මනා දැනුමක්, නිර්මාණශීලී හැකියාවක් වගේම දැක්මක් ඒ සඳහා අනිවාර්යයෙන් අවශ්‍යය.


ඇතැම් ඡායාරූප තුළ ගැබ් වූ පසුබිම් කතාවක් තිබේ. එම පසුබිම් කතාව හා අදාළ ඡායාරූපය පිළිබඳ සැඟවුණු කථාව අපි ඔබ වෙත ගෙන ඒමට තීරණය කළෙමු.


අපට හමු වූ ඔහු ලක්රුවන් වන්නිආරච්චි නම් වෙයි. දැන් ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ශාඛාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන ඔහු එකල සේවය කළේ ලංකාදීපයේය. දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ එහි ගිය ඔහු එම කනගාටුදායක සිද්ධිය වාර්තා කළේ මෙසේය.


එදා 1998 ජනවාරි 25 වැනිදායි. එතකොට මම ලංකාදිප පුවත්පතේ නිදහස් ඡායාරූප මාධ්‍යවේදියකු ලෙසයි සේවය කරමින් සිටියා. මාව සේවයට ගත්ත මගේ මුල් ගුරුවරයා ගාමිණි අබේසේකර මහතාගේ උපදෙස් අනුව වැඩ කටයුතු කළා.


ඔහු අපට දුන් පළමුවැනි උපදේශය තමයි උදේ 7.30 - 8.00 වන විට කාර්යාලයේ සිටිය යුතුයි කියන එක. මට අද වගේ මතකයි එදත් 7.30 වෙනකොට මං කාර්යාලයට වාර්තා කළා. දළදා මාලිගයට ප්‍රහාර එල්ල වුණේ පෙරවරු 6.10 ට පමණ. මේ සිද්ධිය ආරංචි වුණ ගමන් මම ප්‍රධාන ඡායාරූප ශිල්පියා අමතලා මෙහෙම සිද්ධියක් තිබෙනවා මට එහි ඡායාරූප වාර්තාකරණයට යන්න පුළුවන්ද කියලා ඇහුවා.


එතුමා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා සමග කතා කරන අතරේ මගේ හිතවත් ඡායාරූප මාධ්‍යවේදී ශ්‍රීලාල් ගෝමස් සමඟ මම නිරන්තරයෙන් මේ ගැන කතාබහ කළා. එතුමා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙක්.


එවකට දිවයින පුවත්පතේයි සේවය කළේ. අපි දෙදෙනා මේ සිද්ධිය ගැන තොරතුරු හුවමාරු කර ගන්න කොටත් ඔහු සිටියේ කෑගල්ල ප්‍රදේශයේ. මේ සිද්ධිය වාර්තා කරන්න යන අතරතුර ඔහු මට දීපු උපදේශය තමයි පුළුවන් හැකි ඉක්මනින් මාලිගාවට යන්න කියලා. ටික වේලාවකට පස්සේ ප්‍රධාන කර්තෘගේ සහ ඡායාරූප කර්තෘගේ අවසරය පරිදි මම ආයතනයේ වාහනයකින් මහනුවර බලා පිටත් වුණා.


ඒ මොහොතේ මට හැඟී ගිය දෙයක් තමයි අපේ කර්තෘතුමන් සිතා ඉන්න ඇති මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවන් හෝ මට වඩා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් එහි යවන්න. නමුත් මගේ දැඩි පෙරැත්තය නිසා මාව ඒ අවස්ථාවට යොමු කළා.


අතිඋතුම් දළදා මාලිගාව අසලට ගියාට පස්සේ ඊට සිදුවෙලා තිබෙන හානිය දැකලා මම හරි කම්පාවට පත්වුණා. එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් එතනට ආවා.


අතිඋතුම් පූජනීය භූමිය පුරා මළ සිරුරු වැටී තිබුණා. අපි කවදාවත් එවැනි දර්ශනයක් එවන් ස්ථානයක දැක තිබුණේ නෑ. 


රුදුරු කොටින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත රැසක් විනාශ වෙලා තිබුණා. මම ඒ දර්ශන ඡායාරූපගත කරන විටත් මා අවට මළසිරුරුවල කොටස් සෑම තැනකම විසිරී තිබෙනු දකින්නට ලැබුණා. ඒ මළ සිරුරු ඉවත් කරන දර්ශන පවා මම ඡායාරූප ගත කළා.


පත්තිරිප්පුව විනාශ වෙලා තිබුණා. ඒ වගේම වාහල්කඩ, සඳකඩ පහණ වගේ විනාශ වූ සියල්ලක්ම මගේ කැමරාවට හසු කරගත්තා. ඒත් දළදා වහන්සේ වැඩසිටි මන්දිරයට හානි වෙලා තිබුණේ නැහැ. නමුත් අති විශාල හානියක් මාලිගාවට සිද්ධවෙලා තිබුණා. ත්‍රස්තවාදීන්ගේ මේ ම්ලෙච්ඡ ප්‍රහාරය පිළිබඳ ඡායාරූප වාර්තාකරණයේ යෙදී සිටි මට ජීවිතයේ නොමැකෙන අත්දැකීමක් වුණා.


ඒ කාලයේ දළ සේයාපටවලින් තමයි ඡායාරූප ගත්තේ. අද වගේ ඩිජිටල් පහසුකම් නැහැ. මම හැකි ඉක්මනින් නැවත කොළඹට පැමිණිලා ඒවා වහාම මුද්‍රණය කර ගත්තා. මම ඒ වෙලේ ලංකාදීප පුවත්පතේ ඇලෙක්සැන්ඩර් බාලසූරිය ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියාගෙන් උපදෙස් ගත්තා මේ දළ සේයා පට තුනෙන් මොනවද මුද්‍රණය කරන්න ඕනෑ කියලා. ඔහු දීපු පිළිතුර තමයි සියලුම ඡායාරූප මුද්‍රණය කරගෙන එන්න කියලා.


ඒ අනුව අද වගේ පහසුකම් නොතිබුණ කාලයක අසීරුවෙන් මුද්‍රණය කරගෙන මම හැකි ඉක්මනින් කාර්යාලයට ආවා.


ඒ මොහොතේ ප්‍රධාන කර්තෘවරයා හා ඇලෙක්සැන්ඩර් බාලසූරිය සහ ගාමිණි අබේසේකර කියන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාත් ඉරිදා ලංකාදීප පුවත්පත් කර්තෘ මණ්ඩලයේ කර්ය මණ්ඩලය රැස්වෙලා සම්පූර්ණ මේසයක් මත ඒ ඡායාරූප තබලා පරික්ෂා කළා. ඒවායින් දිනපතා පුවත්පතට අවශ්‍ය ඡායාරූප මොනවද කියලා වෙන් කරලා වර්ණ පිටු දෙකක සහ මුල් පිටුවේ අති විශාල ඡායාරූපයක් පළ කළා. ඒ ඡායාරූප බොහොම ප්‍රසිද්ධ වුණා.


ඒ ඡායාරූපයට මට විශාල සාධාරණයක් ඉෂ්ට වුණා. ඡායාරූපකරණයට මම පිවිසෙන කොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දිවංගත ශ්‍රීලාල් ගෝමස් මට කතා කරලා කිව්වා ‘මල්ලි මම ඔයාගේ ඡායාරූප ටික පිළිබඳ බොහොම සතුටු වෙනවා. ඒක ඇත්තටම ඉහළ මට්ටමේ තිබුණ කියලා” මා සමඟ සේවය කළ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් පවා මගේ ඡායාරූප පිළිබඳ ප්‍රශංසා කළා.


ඔවුන් සඳහන් කළ දෙයක් තමයි අපේ පුවත්පතේ පළ කළ ඡායාරූප වෙනත් පුවත්පත්වල පළ වුණේ නැහැ. ඒ නිසා අපි ගොඩාක් ඉදිරියෙන් සිටිනවා කියලා කිව්වා. මම සිතනවා නිර්මාණාත්මක ඡායාරූප ශිල්පියෙක් හැටියට අපේ තරුණ කාලේ අපි කරපු දේවල් තුළ විශේෂයෙන් ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපට ලැබුණු ඉහළ තලයේ ගුරුහරුකම් නිසා අප ඉදිරියට ඔසවා තැබීම නිසා තමයි අපි අද මෙවැනි තත්ත්වයක ඉන්නේ.


ඡායාරූප ජනමාධ්‍යවේදියෙක් හැටියට ජීවිතය ගොඩනගා ගන්න සූදානම් වෙනවා නම් ඔහුට තිබෙන්න ඕනෑ මූලික සුදුසුකම තමයි අවශ්‍යතාව. යම්කිසි පුවත්පතක හෝ පුවත් ඒජන්සියක, සඟරාවක සේවය කළත් අපි වැඩ කරන ආයතනයේ ප්‍රධානියාට ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න ඕනෑ.


පාසල් කාලයේ වන්දනාවේ ගිය දළදා මාලිගාවේ ඡායරූපය අපේ මතකයට නැගෙනවනේ. නමුත් මේ ප්‍රහාරයෙන් පසු දුටු මහා විනාශය මා අතිශය කම්පාවට පත් කළත් ලේ ගලන මළ සිරුරු සුන්බුන් මැද්දේ මගේ කාර්යභාරය වූ ඡායාරූප ගැනීම මම ඒ කම්පාව යටපත් කරගෙන මගේ අරමුණ කරා යොමු වුණා.


හිටපු ජනපතිතුමියගේ පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂාවක් යොදවලා මාර්ග සියල්ල වසා දමායි තිබුණේ. නමුත් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟ අපි සමීප ආශ්‍රයක් තිබෙන නිසා ඔවුන් මට ඒ අවශ්‍ය තැන්වලට යාමට ඉඩ කඩ සැලසුවා. ඒක මට විශාල සහයක් වුණා අවශ්‍ය ඡායාරූප ලබාගන්න. කිසිදු අපහසුතාවකින් තොරව මම අවශ්‍ය ඡායාරූප ලබා ගත්තා. 


ඒ වගේම අදාළ දළ සේයා පට කොළඹට එවීමේදී මට පහසුවක් වුණා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් ලැබුණ සහයෝගය නිසා. මොකද අද වගේ පහසුකම් තිබුණේ නැහැ. අපි කොළඹට ඇවිල්ලා ඡායාරූප මුද්‍රණය කරගෙන කාර්යාලයට යන්න ඕනෑ.


නමුත් මට මෙහිදී ලැබුණ අහඹු පහසුකම් වුණේ අදාළ දළ සේයාපට මම එදා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පැමිණි හෙලිකොප්ටර් යානයේම කොළඹට එවීමට හැකිවීම. මම නුවර ඉඳලා එන්න කලින් ඡායාරූප මුද්‍රණය වෙලා අවසන්ව තිබීම ලොකු පහසුවක් වුණා.


මම දළදා මාලිගාවට යනකොට අනිත් ජනමාධ්‍යවේදීන් සියල්ලම පැමිණිලා අවසන්. මම කාර්යාලයෙන් පිටත්වුණේ පරක්කු වෙලා. එදා මගෙත් සමඟ ගිය වාහනයේ රියැදුරු ප්‍රේමරත්න මහතා මාව කලට වෙලාවට ඒ රථවාහන තදබදය මැදින් දළදා මාලිගාවට රැගෙන ගියා. ඒකත් මට ලොකු පහසුවක් වුණා.

 

 


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර