දරුවව උස්සලා අතට ගන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ


 

 

හරියට මීට මාස දෙකකට කලින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට වෙනදාට පූජාවට වඩා කතෝලික බැතිමතුන් ආවේ ගොඩක් සතුටින්.  


දින 40ක් සැමදෙනාම එක්ව එක්වරු ශීලය රකිමින් සියලුම සතුටු අවස්ථා මග හරිමින් ජේසුගේ උත්ථානයේ ජයග්‍රහණය සමරන්න බලා සිටි බැතිමතුන්ගෙන් එදා මේ දේවස්ථානයත් පිරී ඉතිරිලා තිබුණා. පූජාවේ අවසානයට ටිකෙන් ටික ළං වෙද්දී මේ හැමදෙනාගෙම දෑස්වල පිරිලා තිබුණේ සතුටු කඳුළු විතරයි. ඒ ජේසුගේ උත්ථානයේ ජයග්‍රහණය නිසා. අවසාන ආශිර්වාදය ලබාගන්න හැම කෙනෙක්ම තම ආසනවල තවත් විනාඩි කිහිපයක් රැඳී සිටියා.

  
පුංචි පැටවුන්ට එකම ඉරියව්වෙන් ඉන්න අමාරුයි. එහාට මෙහාට දඟලන අතරේ ‘අනේ පුතේ තව ටිකක් ඉවසන්න ආශිර්වාද අරගෙනම අපි නැගිටිමු.’  
එළියට දුවන්න හදපු චූටි පුතා ආයෙමත් අම්මගේ ඔඩොක්කුවේ උණුසුමට තුරුලු වෙද්දී හිතක් පපුවක් නැති තිරිසනකුගේ යකඩ බෝලවලට යකඩ පතුරුවලට මේ පුංචි පැටියාට විතරක් නෙමෙයි, වැඩිහිටි බාල, මහළු, තරුණ ජීවිත ගණනාවකට වන්දි ගෙවන්න සිද්ධ වුණා.  


දෙවියන් වහන්සේට ඇයි මේ විපත නොපෙනුනේ... හැම කතෝලිකයකුගේම හිතේ ඒ වෙලාවේ මොර දෙන්න පටන් ගත්තා. එක අම්මෙකුගේ එක තාත්තෙකුගේ එක දරුවෙකුගේ එදා නැගුණු හදවතේ විලාපය මේ කටුවාපිටියේ ගමට ජීවිත කාලෙම දෝංකාර දේවි.  


එදා තත්පර ගණනකින් මස් ගොඩක් වුණ මේ අහිංසක ජීවිත එකම කනත්තක පස්ගොඩක් යට වැළලුණා. දෙවියන් යදින්නට පල්ලි ගිය සමහර පවුල්වල නැවත නිවසට යන්න එක් අයෙකුවත් ඉතිරි වූයේ නැහැ. සමහරෙකු තම ආදරණීය බිරිඳ, දරුවන් සොහොනක වැළලෙද්දී ඔහු පමණක් මේ ලෝකේ තනි වුණා. අද ඒ අයගේ මාලිගාව මේ පාළු සොහොන වෙලා. අම්මලා, තාත්තලා‌, දරුවන් මේ ලෝකේ තනි වෙද්දී තමන්ගේ ආදරණීයන් මීට මාස දෙකකට ඉහතදී මහපොළොව නුහුළන අනෝරා වැස්සේ එකම සොහොනක මහපොළොව යට වැළලුනු දා පටන් තවමත් මේ ජීවිත කොහේදෝ අතරමං වෙලා...  


“අන්ධකාරය ගොඩක් ගැඹුරුයි කියලා දැනුණේ අම්මාගේ තාත්තාගේ හුස්ම ටික මේ ගේ ඇතුළේ දැනෙන්නේ නැති වුණාම. ඒ භයංකාරකම මැරෙනකම් අපට දැනේවි අද. මේ ගේ ඇතුළේ මල්ලියි, මමයි තනිවෙලා අසරණ වෙලා.”   


ඇය රොෂිකා විමාන. පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මවත් පියත් අහිමිව මේ ලෝකේ තනි වුණු තවත් දියණියක්.  


අපේ පවුලේ ඉන්නේ මමයි, මල්ලියි, අක්කයි. අක්කා විවාහකයි.මේ ගෙදර ජීවත් වුණේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. අපි හතර දෙනා මේ ගෙදර ජීවත් වුණේ පුදුමාකාර සතුටකින්.  


සතුට කියන දේ අද අපේ ජීවිතේ අහලකවත් නැහැ. කඳුළු දැන් අපි දෙන්නාගේ ජීවිතේ වෙලා. හැමදාම කරුවල වැටීගෙන එනකොට මගේ ඔළුව පැලිලා යන්න වගේ වේදනාවක් එනවා. තනියම අඬලා ටික ටික දුක තුනී කරගන්නවා. සමහර වෙලාවට මට ‘පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නියෝ මරාගෙන මැරෙන්න තරම් ආවේගයක් එනවා.’ අපේ අහිංසක අම්මලා තාත්තලව මරාගත්තේ මුස්ලිම් මිනිස්සු නෙමෙයි මේ රටේ දේශපාලනඥයෝ.  


සියුම් හදවත් රළු හදවත් බවට පත්කරලා තියෙන්නේ මේ සමාජය විසින්මයි. අතරමංවුණු ජීවිතේ හෙටක් ගැන හිතනවට වඩා මේ දරුවන්ට ජීවත් වෙන අද දවස ගැනවත් බලාපොරොත්තුවක් ඉතිරි වෙලා නැහැ.  


“අපේ ඇස්වලින් වැටෙන හැම කඳුළක් ගානේම මේ රටේ දේශපාලනඥයන්ට සාප වෙනවා. රොෂිකා වේදනාව යටපත් කරමින් නැවත අපේ කතාවට එකතු වුණා.”  


ආණ්ඩුවෙන් දීපු ලක්ෂ 20 ගන්න කෝටි 20ක විතර අපි දුක් වින්දා. අපිව හරියට රස්තියාදු කරා මේ රජය. මමයි, මල්ලියි, අම්මයි ජීවත් වුණේ තාත්තාගේ වැටුපෙන්. මට උපාධිය වනතෙක් අධ්‍යාපනය හදාරන්න ලැබුණේ නැහැ. අම්මා හදිසියේම අසනීප වුණා. ඩිප්ලෝමා අදියරයෙන් පස්සේ මට අම්මව බලාගන්න ගෙදර ඉන්න වුණා. තාත්තාට ඕනෑ වුණේ අපිට හොඳට උගන්වන්න විතරයි. කවදාවත් ගෙදරට හම්බකරලා දීපන් කියලා කිව්වේ නැහැ. මමයි, අක්කයි දෙන්නම රැකියාවක් කරනවට තාත්තා කොහොමත් කැමති වුණේ නැහැ.  


මල්ලි තවම ඉගෙන ගන්නවා. මල්ලිගේ අධ්‍යාපනයේ වියදම දුන්නේ තාත්තා. පල්ලියෙන් ඇරෙන්න උඹලා දෙන්නා කෑවද උඹලගේ අනාගතේට මොකද වෙන්න ඕනෑ කියලා කිසිම දේශපාලනඥයෙක් ඇවිත් ඇහුවේ නැහැ.  


මේ බෝම්බ ප්‍රහාරයේ වරද රජය භාරගන්නවා කියලා රංජිත් මද්දුම බණ්ඩාර ගෙදරට ඇවිත් කිව්වම මම පොදුවේ ඇහුවා අම්මා, තාත්තා නැති දරුවන්ගේ ඉදිරි අනාගතයට මොකද්ද කරන්න බලා​පොරොත්තුව කියලා.  


ඔයාට ඕනෑ දේවල් මොනවද කියලා ලියුමක් ලියලා මට ඇපිල් එකක් දාන්න කිව්වා. උන් සුදු ඇඳන් ඇවිදින්නේ අපේ දෙමාපියෝ දුක් විඳපු නිසා.  


අපිට දැන් ජීවිතේ තවත් ඉතිරි වෙන්න දෙයක් නැහැ.  


ගෙදර ආපු දේශපාලනඥයෙකුට බැන්නා කියලා එක්තරා දේශපාලනඥයෙක් කිව්වා ඔයාලා හොඳින් කතා කරා නම් ඊට වඩා දෙයක් කරගන්න තිබුණා කියලා කිව්වා. තව මොනවා උන් එක්ක හොඳින් කතා කරන්නද? අම්මාව, තාත්තාව මරාගත්තට පස්සේ අපිට සල්ලි වැදගත් නැහැ.  


අදටත් ගෙදර තියෙන හාල් ඇටේ හරි තියෙන්නේ පිට මිනිස්සු සහ පල්ලියෙන් ගෙනත් දීපුවා. සල්ලි වුණත් රජය දුන්නේ කාදිනල් උන්වහන්සේගේ කීමට. කාදිනල් උන්වහන්සේ නොහිටින්න අපිට වතුරවත් ලැබෙන්නේ නැහැ.  


අම්මා මල්ලිටයි මටයි ජීවිතේ ගොඩක් දේවල් ඉගැන්නුවා. ඒ හයියෙන් තමයි අමාරුවෙන් හරි අපි දෙන්නා ඔළුව උස්සගෙන ඉන්නේ. මල්ලිටයි මටයි දෙන්නටම උයන්න පුරුදු කරලා තියෙනවා. ඉගැන්නුවට අද මල්ලිටයි මටයි බත් කටක් උයාගෙන කන්න බැහැ. උගුරෙන් පහළට යන්නේ නැහැ. මල්ලිට බඩගිනි නිසා උයනවා. ඒත් එයාට බත් කටක් කවන්නෙත් හරිම අමාරුවෙන්. මල්ලිටයි මටයි බඩගින්න දැන් හුරුයි. අම්මයි, තාත්තයි නැති මේ ගෙදර බඩගින්න, නින්ද, රෑ වෙනවා, එළිවෙනවා අපි දෙන්නට දැනෙන්නේ නැහැ.  
ත්‍රස්ත ප්‍රහාරයෙන් මවත් පියත් අහිමි වුණු මේ නිවසේ ඉතිරි වුණේ දියණිය රොෂිකාත් පුතකු වන මලිත් විමානත් පමණයි.  


තවමත් බලාපොරොත්තුවක් නැති ජීවිතේ බලාපොරොත්තුවක් සොයන මලිත් විමාන අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

  
පාස්කු දවසේ පල්ලි ගියේ අම්මයි, තාත්තයි විතරයි. අක්කයි, මමයි කලින් දවසේ රෑ පූජාවට සහභාගි වූයේ පාස්කු දවසට පාර සරසන්න ඕන නිසා.  

 

ස්නේහා දියණිය මියයන්නට දින දෙකකට ඉහතදී නැවතීම ලෙස සටහන් තබා ඇති ආකාරය

මියගිය ස්නේහා දියණිය

 


සිද්ධිය සිදු වුණු වෙලාවෙම මම ගියා පල්ලියට. උදේ ඉඳලා හවස 6 වෙනකම් මම හිටියේ පල්ලිය ඇතුළේ. ජෝන් අමරතුංග පල්ලිය ඇතුළට ආවේ නැහැ. උළු කෑලි වැටෙයි කියලා. ඒ අස්සේ ජෝන් අමරතුංගගේ හෙන්චයියෙක් අර මිනී ගොඩක් අල්ලලා ජෝන් අමරතුංගගේ ඡායාරූප ගත්තා. මම හිටියේ අම්මගේයි තාත්තාගේයි මරණ තිබුණු තැන. මම වේදනාවත් එක්ක කෑ ගැහුවා. හිරේ ගියත් මම ඒ වෙලාවේ මරාගෙන මැරෙනවා. කාදිනල් උන්වහන්සේ නිසා ගොඩක් ඉවසුවා. 

 
අපි උපතින්ම රෝමානු කතෝලික. මට ගොඩක් දුකයි. ඒ වෙලාවේ එතන හිටපු එක පියතුමෙක්වත් මැරුණු අය වෙනුවෙන් යාඥා කළේ නැහැ. හැමෝම කළේ වීඩියෝ කරපු එකයි. ෆොටෝ ගත්තු එකයි. පියතුමන්ලා කළෙත් ඒක. මට ඒ වෙලාවේ ආගම කියන දේ තිත්ත වුණා. එදායින් පස්සේ මාස දෙකක් ගතවෙලත් අද වෙනකම් පල්ලියට ගියේ නැහැ. දෙවියන් ගැන අවිශ්වාසයක් නැහැ. පල්ලි යනවා. හැබැයි කටුවාපිටිය පල්ලියට ආයෙත් යන්නේ නැහැ.  


අක්කයි මමයි දෙන්නම රැකියා කරන්නේ නැහැ. තාත්තගෙන් තමයි යැපුනේ. මම තවම ඉගෙන ගන්නවා. මේ වෙලාවේ අපිට තියෙන ලොකුම අවශ්‍යතාව ජීවත් වෙන්න ආර්ථික සැලැස්මක්.  


මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතේ දරුවන් අහිමි වූ මව්වරුන් අතර නිරාශා මහත්මියත් එක අම්මා කෙනෙක්. ඇයගේ ජීවිතේ වටිනාම වස්තුව එදා කුරිරු පාපතරයන් මේ අම්මගෙන් උදුරා ගත්තා.  


ඇයත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සැත්කම් කිහිපයකටම මුහුණදී සුවය ලබමින් තම දියණියගේ වියෝව දරාගත නොහැකිව තවමත් වේදනාවෙන් ජීවිතයේ නැවත හිස ඔසවන්න උත්සාහ කරනවා.  


‘අනේ මගේ දූ හරිම ආසයි කෑම වර්ග, කේක් වර්ග හදන්න. එයා කෑම ජාති ලියපු පොතේ මැරෙන්න දවස් දෙකකට කලින් රතු පෑනකින් නැවතීම කියලා ලියලා තිබුණා......’  
අපට ඇය මියගිය දියණියගේ අත් අකුරින් ලියූ බොහෝ දේ පෙන්වමින් කියා සිටියා.  


‘අනේ මේ බලන්න එයා ආසම පාට රතු පාට. අනේ මගේ රත්තරන් දුවට මොනවා හරි දැනුනද කියලා මට හිතාගන්න බැහැ.’  


‘අනේ එයාගේ උපන්දිනේ තිබුණේ පසුගිය 17 වැනිදා. කේක් එකකුයි රතු පාට ටී-ෂර්ට් එකකුයි ඩෙනිම් කලිසමකුයි ඉල්ලුවා. මට සල්ලි නැහැ කියලා දන්නවා. එ්ත් ඒවා අරන් දෙන්න කියලා ආච්චිට කියලා. එදා බෝම්බය පුපුරව ගත්ත කෙනා අැවිල්ලා නැවතුනේ අපේ දුව හිටපු තැන. මට මතක එච්චරයි. ටික වෙලාවක මගේ සිහිය විකල්වෙලා ගියා. ආයෙම ටිකකින් ඇස් ඇරලා බැලුවම මගේ දරුවා මගේම කකුල් දෙක ළඟ වැටිලා හිටියා. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. මට මගේ තුවාලවල වේදනාව දැනුනේ නැහැ. මට ඕනෑ වුණේ දරුවව ඉස්පිරිතාලෙට යවන්න.  


දරුවාගේ තාත්තා ඒ වෙලාවෙම දුවල ආවා.  


අනේ දරුවව උස්සලා අතට ගන්න දෙයක් තිබුණේ නැහැ. හිතේ ශක්තියට කෑගැහුවට දරුවාව හරියට දැක්කට පස්සේ මට බලන්න බැරි වුණා. දරුවාගේ තාත්තා මහ හයියෙන් අඬනකොට මට දැනුණා දරු පැටියා අපිව දාලා ගිහින් කියලා.  


මාස දෙකක් වෙලත් මට තවම හරියට රෑට නින්ද යන්නේ නැහැ. ඇස් දෙක පියාගත්තම දරුවාගේ මූණමයි පේන්නේ. ගේ අැතුළේ නිතරම අම්මේ අම්මේ කියනවා මට ඇහෙනවා. මට පිස්සු හැදිලා වගේ මානසික අසනීප තත්ත්වයක් ආවා. හිත මනස හදාගන්න සෑහෙන උදව් කළේ පල්ලියේ පියතුමන්ලා. එක වෙලාවකට මම හිත හදාගත්තේ මේ පව්කාර ලෝකෙන් මගේ රත්තරන් දරුවා හොඳ තැනකට ගිය එක ගැන හිතලා.  


මේක මහා පව්කාර ලෝකයක්. එදා සිද්ධියෙදී උදව් කරපු අයට වඩා හිටියේ ඒවා වීඩියෝ කරපු මිනිස්සු. හැම දෙයක් ගැනම මට ඒ වෙලාවේ කලකිරුණා. දැන් මට රජ සැප ලැබුණත් වැඩක් නැහැ. මගේ වටිනාම මැණික ගෙදර නැහැනේ. මට තාමත් කුසට බඩගින්නක් දැනෙන්නේ නැහැ. බත් කටක් කටට ගන්නකොට දරුවා බඩගින්නේ ඇති කියලා හිතෙනවා. මනස හදාගන්න හැදුවට අනේ මට බැහැ.  


තවම තුවාලවලට ප්‍රතිකාර කරනවද?  


මගේ කටේ දත් කැඩිච්ච කෑලි තියෙනවා අයින් කරන්න. කොඳු ඇට පේලිය, පෙණහැල්ල කිට්ටුව යකඩ බෝල තියෙනවා. ඒවා අයින් කරන්න බැහැ කියනවා. අපි ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. මට නම් ආයේ කුලී වැඩක් කරගන්න අමාරුයි. සැමියාත් තවම හරියට වැඩකට ගියේ නැහැ. අපිට තවම ජීවත් වෙන්න ඕනෑ කියලා බලා​පොරොත්තුවක් නැහැ. තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වෙනුවෙන් අපි ආයේ ඔළුව උස්සන්න ඕනෑ. පල්ලියෙනුත් ගොඩක් උදව් කරනවා. ඉදිරියට ආර්ථික පැත්තෙන් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මගේ සැමියට හරි රැකියාවක් ලැබෙනව නම් ඒක ලොකු පිනක්. අපි දැනට ජීවත් වෙන්නේ භාගෙට හදාගත්ත නිවසේ. මේ ඉන්න තැනින් අපි නැගිටින්න ඕනෑ. කෙනෙකුට අපට ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.  


කාටවත් අත නොපා කුලී වැඩක් කරලා ජීවත් වෙච්ච අපි අද මේ විදියට අසරණ වෙලා ඉන්නේ මේ පාලකයන්ගේ වැරදි නිසා.  

 

 


නදීශා අතුකෝරළ
ඡායාරූප- චානුක කුලසේකර