දරුවන් වෙනුවෙන් ජ්‍යොතිෂ උපයෝගී කර ගන්නා සැටි


දරුවකු බිහි වූ පසු එම දරුවා වෙනුවෙන් දෙමාපියන්ගෙන් සිදුවිය යුතු වගකීම් හා යුතුකම් මෙතෙකැයි කිව නොහැකිය. එම යුතුකම් හා වගකීම් අතර දරුවාගේ උපතේ සිට එක් එක් වයස් සීමාවන්හිදී ජ්‍යොතිෂමය උපදෙස් මත කටයුතු කළ යුතු අවස්ථා රාශියක් ද වේ. එම කටයුතු ඉටු කිරීම සඳහා මව හෝ පියා ජ්‍යොතිර්වේදියා හමුවූ විට එක් එක් කාර්යයට සුදුසු අයුරින් සලකාබලා සුබ මුහුර්ථයක් සාදා දෙනු ලැබේ. ඒ අනුව දෙමව්පියන් විසින් තම දරුවා වෙනුවෙන් ජ්‍යොතිෂ්‍යය උපයෝගී කර ගන්නා අවස්ථා කිහිපයකි මේ. 

 

දරුවන්ට දොරට වැඩීම 


මෙම චාරිත්‍රය අතීතයේ දී සිදු කළ ද වර්තමානයේ දී ​බොහෝ විට සිදුනොවේ. රෝහල් පහසුකම් නොදියුණු අවදියේ ගමේ වින්නඹු මාතාවගේ රැකවරණය යටතේ බොහෝ විට දරු ප්‍රසූතිය සිදුවූයේ තමා පදිංචිව සිටින නිවසේදීම හෝ එසේ නැතහොත් තම මවගේ ද රැකවරණය සහිතව මගගෙදරදීය. නමුත් වර්තමානයේ ඒ සඳහා රෝහල් ගතවීම අනුව රෝහලින් පිටවීමේ කාල වේලාවන් අනුව ප්‍රායෝගිකව කළ නොහැකි බවත් පෙනේ. එසේ වුවද තම මහගෙදරම උපන් දරුවන් වෙනුවෙන් මෙම සිරිත අදටත් සිදු කරන අවස්ථා නැතුවා නොවේ. ඒ තමා පදිංචි නිවස වෙත සුබ නැකතකින් දරුවා රැගෙන ඒම පිනිසය. 


දරුවා උපන් 12 වැනි දින අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, අනුර, උත්‍රසල සුවන, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවතී යන නැකතකින් වෘෂභ මිථුන කටක සිංහ, කන්‍ය, තුලා, ධනු, මකර, කුම්භ යන ලග්නයේ උදාවන කාලයෙහි දරුවන් දොරට වැඩීම සුබ බව පොත පතෙහි සඳහන්වේ. උපන් 12 වැනිදා දින එවැනි නැකතත් නොවීනම් සුදුසු වෙනත් දිනක උදය කාලයේ සුබ මො​හොතකින් කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන්වේ. 


පංචායුධ පලඳවීම 


ළදරුවාට පැමිණෙන ග්‍රහදෝෂ, බාලගිරි දෝෂ, ඇතුළු විවිධ ගුප්ත දෝෂ දුරුවීම සඳහා උපන් 5 වෙනි දිනයෙහි සංඛ, ගදා, ඛඩ්ග, චක්‍ර චාප යන අායුධ 5 සටහන් කළ බෝපතක හැඩය ගත් රන් පෙත්තක් රන් දම්වැලක අමුනා පැලඳවීම මෙයින් අදහස් කරයි. මෙම ආභරණය දරුවාගේ නාභිය තෙක් එල්ලෙන ලෙස තිබිය යුතු බව දැක්වේ. මෙය පහත දැක්වෙන ස්තෝත්‍රයෙන් 108 වරක් ජපකොට සුභ නැකතකින් පැලඳවීම වඩා යහපත්ය. 


බ්‍රහ්මා විෂ්ණුෂ්ඨ රුද්‍රාෂ්ම ස්ඛන්දෝ වෛශ්‍රවණ ස්තතා 

රක්ෂන්තුත්වර්තා බාලං මුඤ්චන්තු කුකුමාරකම් 


නැනහොත් රතන සූත්‍රයේ දැක්වෙන ඛයං විරාගං යන ගාථාව ද යොදාගත හැකිය. 


නම් තැබීම 


සෑම පංචාංග ලිතකම පාහේ නම් තැබීමේ පිළිවෙළ දක්වා ඇත. ඒ අනුව උපන් දිනය නැකත හා ලග්නයට අනුව හිමි අක්ෂර සඳහන්ව තිබේ. නියමිත ගණය තෝරාගෙන නමෙහි අර්ථය කෙරෙහිද සැලකිලිමත් වී නමක් තැබීම කළ යුතුය. එමෙන්ම එම නව කාටත් පහසුවෙන් ඇමැතිය හැකි සරල එකක් වීමද වැදගත්ය. 


එ​ෙලස උපන් ලග්නයට හිමි ගණය බලා නම් තබන ආකාරය පිළිබඳව පැරණි හා වර්තමාන පංචාංග ලිත් අතර පරස්පරතාවක් දක්නට ලැබෙන මුත් එම ක්‍රම 2ම පාඨක අවධානයට යොමු කිරීම සුදුසු වන බැවින් මෙසේ දක්වමි. 


1934-35 වර්ෂය සඳහා එම්.ජී. විද්‍යාරත්න සූරීන් විසින් සම්පාදිත කල්පද්‍රැමය පංචාංග ලිතේ සඳහන් වන්නේ මෙසේය. එනම් වෘක්ෂභ, සිංහ, වශ්චික, කුම්භ රාශිවලින් උපන් අයට භූමි, චක්‍ර, රවි. වායු ගණ 4ක ද මේෂ, කටක, තුලා, මකර රාශිවලින් උපන් අයට වායු, ජල, ආකාශ ගිනියන 4ද මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි සඳහා චන්ද්‍ර, භූමි ආකාශ ගිනි යන ඝන 4 ද යොදාගත යුතු බවයි. 


වත්මන් පංචාංග ලිත්වල සඳහන් වන්නේ වාෂභ, මිථුන, දෙකට භූමි, තුලා, ධනු, කුම්භ 3ට වායු මේෂ සිංහ කන්‍යා 3ට චන්ද්‍ර මකර. මීන 2ට ආකාශ වෘශ්චිකයට සූර්ය කටකයට ජල යන ගණ භාවිත කළ යුතු බවය. 
මේ අයුරින් ජන්ම නැතකට සහ දිනයට ගැළපෙන ආකාරයටද ගණ භාවිත කළ හැකිය. 


කෙස් කැපීම 


මේ සඳහා සුභ මුහුර්තය යොදාගත යුත්තේ දරුවාට වයස අවුරැදු 1,3,5 ය විෂම වර්ෂක බව සඳහන් වුවද තවත් මතයකට අනුව පිරිමි දරුවන්ට 1,3,5 යන මාස හෝ වර්ෂ


ද ගැහැනු දරුවන්ට 2,4,6 යන මාස​ෙහා් වර්ෂද සුදුසු බව පිළිගැනේ. කෙසේවුවද මේ සඳහා දරුවා උපන් නැකත සුදුසු​ෙනාවේ. එමෙන්ම පිරිමි දරුවාට පියාගේ උපන් නැකතද ගැහැනු දරුවාට මව උපන් නැකතද නොගත යුතුය. දරුවා නෑමෙන් පසුවද ගමන් යාමට පෙරද තෙල් ගැල්වූ පසුවද ආහාරත් විගසද නිරාහාරවිටද අවමඟුල් තැන්හිදී අශුභ බව වැඩිදුරටත් සඳහන් වේ. 


ඊතණ, සමන්පිච්ච මල්, වී පොරි දිය භාජනයකට දමා “සබ්බ පාසස්ස අකරණං” යන ගාථාවෙන් 7 වරක් කියා කෙස්රොද පමණක් තෙමා නහ දියෙන් සොදා ගත් හොඳින් කැ​ෙපන කතුරකින් කපා ගලායන දිය පහරකට දැමීම සිරිතය. පිරිත් කරගත් ඉතිරි වතුර දරුවා නාවන ජලයට කළවම් කර ගත හැකිය. 


කන් විදීමට 


බිලිඳිය උපන් 10, 12, 16 දිනක හෝ 6, 7,8 මාසයක හෝ 3,5,7 යන වර්ෂයක හෝ කන් විදීම සඳහා සුභ මුහුර්ත යොදාගත හැකිය. මෙම ශුභ මුහුර්තය සඳහා දරුවා උපන් මොහොතේ පැවැති නැකත හා තිථියද කනේ විෂ කලාවද අත්හළ යුතුය. විෂ කලාව යනු සඳුගේ ගමන අනුව මිනිස් සිරුරේ පාදාන්නයේ සිට හිස්මුදුන දක්වාත් නැවත පාදන්තය දක්වාත් විශ්ව ශක්තියේ අශුභ කිරණ ගමන් කරන ආකාරයයි. කනේ විෂ කලාව යනු විශ්වයේ එම විෂ කිරණ කන ඇසුරින් ගමන් කරන දිනයයි. මේ අයුරින් ශුභ කිරන ගමන් කිරීම අමෘත කලාවයි. ඒ අනුව පුර පක්ෂයේ 1,2,5,7,10,11 යන තිථි වඩාත් සුදුසු වේ. 


ඉඳුල් කටගෑම 


පිරිමි දරුවන්ට උපන් 6,8,10,12 වැනි මාසයකින් ද ගැහැනු දරුවන්ට 5,7,9,11 යන විෂම මාසයකින් ද ඉඳුල් කටගෑම හෙවත් බත් කැවීම කළ යුතු බව ජ්‍යොතිෂ්‍ය මතයයි. එහෙත් යටත් පිරිසෙයින් එක දතක්වත් එනතුරු හෝ කෙළ උනන කාලය එළඹෙන තෙක් බත් කැවීම නොකළ යුතු බව ද සඳහන් වේ. 


අකුරු කියවීම 


පැරැන්නෝ අත්පොත් තැබීම නමින් හැඳින්වූ අකුරු කියවීම සඳහා සුදුසුම වයස වන්නේ උපන් 3-5 වර්ෂයන්ය. පැරණි ග්‍රන්ථවල සඳහන් වන්නේ වයස අවු. 5ට පෙර සුදුසු නොවන බවය. එහෙත් වර්තමානයෙහි අවු. 2 1/2ත් 3ත් අතර මේ සඳහා යොදාගනී. අධ්‍යාපන තරගය මෙයටද බලපා ඇති බව පෙනීයයි. කෙසේ වුවද දරුවා හොඳින් කතාකරන්නේ නම් එහි වරදක් නැති බව පෙනේ. 


අකුරු කියවීම සඳහා සරස්වතී යෝගය යොදාගැනීම ඉතාමත් සුබදායකය. අකුරු කියවීමට පෙර සරස්වතී දේවිය සහ ගණදෙවි පිදීම පුරාණයේ සිට පැවත එන සිරිතකි. සරස්වතී දේවිය දැනුමටද ගණදෙවි නුවණටද අධිපතියැයි සැලකෙන බැවින් එසේ කළද මෙම සිරිතද බැහැර නො​ෙකාට බොදුනුවන් වශයෙන් බෞද්ධාගමික වතාවත් කොට ප්‍රඥාවට අග්‍ර වූ සැරියුත් තෙරුන් සහ මතක ශක්තියෙන් පිරිපුන් ආනන්ද යන තෙරුන් වහන්සේලා සිහිපත් කොට නමැද අකුරු කියවීම වඩා යෝග්‍ය වනු ඇත. 


මෙම වසරේ අකුරු කියවීමට සුදුසු දින කිහිපයක් මෙසේය. අගෝ. 15, 22 සැප්. 3, 6, 19, 20, 26, ඔක්. 3, 4, 31 යන දින සුදුසු වන අතර දරුවාගේ උපන් නැකතට ගැළපේදැයි බලා තීරණය කළ යුතුය. මෙහි සැත් 19, 26 සහ ඔක්. 3 සරස්වතී යෝගය යෙදෙන බවද සඳහන් කරමි. 

 

 

 

 


පාරම්පරික ජ්‍යෝතිෂවේදී 
එච්.එම්.ටී.බී. හේරත්  
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල