දරුවන් හත්දෙනකු හැදූ ඒ අම්මාත් මහලු මඩමේ


මහලු මඩමේ තනිවුණු ඈ අපේ අම්මාය

සෙනෙහස, ආරක්ෂාව, පැවැත්ම වෙනුවෙන් අපි මොන දේවල් කළත් ඒ සමහර දේවල් හිතාගන්නත් බැරි විදියට නැති වෙලා යනවා. සාමාන්‍ය ජන වහරේ දී ‘අහිමිවීම’ කියන්නේත් මේ වැනි දේටයි. අහිමිවීම, කඳුළු කැට අතර හිර වුණු කතා වයස් සීමාවකින් තොරව කොයිතරම් නම් තියෙනවා ද ? වැඩිහිටි නිවාස අතරින් නැගෙන්නේත් මෙයමයි.. ඒවායේ ද සතුටින් සිටින්නෝ දුලබය. බහුතර දෙනා ජීවත් වන්නේ තමන් පණ දෙවැනිව රැක ගත්, සෙනෙහස දුන් දරුවන් තමන් වෙත කොයිමොහොතේ හෝ ඒවිය, යන ගැඹුරු සිතිවිල්ලෙනි.   


ගම්පහ අහස යට තනි වූ මේ ආදරණීය අම්මලාට නවාතැනක් වූ ශාන්ති වැඩිහිටි නිවසේ කතාවක් අද කියවමු.   


“මේ අම්මලා මෙහෙට ආවට පස්සේ එයාලා පුළුවන් තරම් කල්පනා කරනවා, බලාගත් වනම බලාගෙන ඉන්නවා. බලාපොරොත්තුව කියන එක නම් වචනවලට පෙරළන්න බැහැ මහත්තයෝ. අවසානයේ තනියම කියවන්න අරන් මානසික ආබාධවලට පත් වෙනවා. දරුවන් අහිමිවීම, උන්හිටි තැන අහිමිවීම ඒ තරම් ප්‍රබලයි කියන්න සාධක තියෙන්නෙ, මේ වැඩිහිටි නිවාසවල.   


සමහර අය ඉන්නවා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට වැඩිහිටි නිවාසයේ ගේට්ටුවෙන් එළියට යනවා. එහෙම ගිහින් පාරෙ එහා පැත්තෙ ගෙදරට යනවා. නැත්නම් නිවාසයට නුදුරු ගෙවල්වලට යනවා. ආයෙත් ඒ අය එක්ක එන්න ගියාම ඔවුන් කියන්නෙ, “මේ මගෙ ලොකු පුතාගේ ගේ.”   
“මේක පොඩි මල්ලිගෙ ගේ.. මේ ඉන්නෙ මගෙ පොඩි මල්ලි’ කියලා..   


එපමණ මනස විකෘති වෙලා. දරුවෝ කවදාවත් මවුපියන්ව මේ වැඩිහිටි නිවාස උරුම නොකළ යුතුයි. ඒක බොහොම බරපතළ අකුසලයක්.”   
ආදරය තනිකම වැඩිකමට කෙනෙක් මානසිකව අවුල් වෙනවා කියන්නෙ කොයිතරම් අකුසලයක් විය යුතු ද ? අද ලියැවෙන්නෙ ඔබට හිතන්නට කතාවකි.   
මේ සත්‍ය කතාවේ කතානායිකාව ‘එමා අම්මා’ය. ඇගේ නම එමලින් වුණත් කවුරුත් ඇයට කියන්නේ ‘එමා’ කියාය.   
එමා අම්මාට සහෝදර සහෝදරියෝ දහ දෙනෙකි. දරුවන් දහ දෙනෙක් හදා වඩා ගැනීම වගේම ඉගැන්වීමත් එමා අම්මා පුංචි කාලයේ දී ඇගේ මවුපියන්ට කළ නොහැකි විය. මේ නිසා පවුලේ අගහිඟකම් දෝර ගලන්නට විය. තරමක් තේරෙන වයසට පත්වන විට නව යොවුන් වියට එළැඹෙන්නටත් පෙර එමලින් නෝනාට පවුලේ දුෂ්කරතා වෙනුවෙන් තීරණයක් ගන්නට සිදු වූවාය. ඇය වැඩපළක් කළ හැකි විය සිටම වැඩට යාමට ගෙදරක් සෙවුවාය.   
“එමලියෝ.. අන්න කොළඹ ගෙයක් තියෙනවා. හොඳ තැනක්. සල්ලිත් වෙලාවට දේවි. ගෙදර උන්ටත් සලකාවි. කැමතිනම් කියාපන්....” මේ යෝජනාව ආවේ ගම්පහට නුදුරු එමලින් අම්මාගේ ගමේම මාමා කෙනෙකුගෙනි. ඒ විශ්වාසයට අනුව එමලින් අම්මා කොළඹ ගෙදර වැඩට ගියාය.   
“කොළඹ ගෙදරට එද්දී මං වැඩිවියට පත්වෙලා හිටියෙවත් නෑ. ඒත් මට හොඳට උයන්න පිහන්න පුළුවන්, තේ හදන්න පුළුවන්, ගෙදර මිදුල අතුගාන වැඩපළත් ඒ එක්ක කළා. ඒ ගෙදර හිටියා ව්‍යාපාර කරන නෝනා කෙනෙකුයි, මහත්තයෙකුයි. වැඩි පිරිසක් නොසිටි නිසා ගෙදර වැඩපළ පහසු වුණා. ඒ වගේම ලොකු නිදහසකුත් මට තිබුණා. මාසෙ පඩිය මට හරි දවසටම දෙනවා. ඒ නිසා කරදරයක් නැතිව මම හිටියා. පඩි දවසට පහුව දා අපේ මාමා ඒ ගෙදරට එනවා. මම මාමා අතේ අම්මාට පඩි සල්ලි යවනවා. ඒ සල්ලිවල වියදමින් තමයි මගේ නංගිලා - මල්ලිලාට ඉගැන්නුවේ. කන්න බොන්න දේවල් ගෙදරට ගෙනාවේ.   


කාලය මෙසේ ගතවී ගියේය. අවුරුදු දෙක තුනක් ගත වන විට ‘එමලින්’ මේ ගෙදරදීම වැඩිවිය පත් වූවාය. ඇයගේ චාරිත්‍ර ද හොඳින් ඉටු කරන්නට ගෙදර නෝනාත් - මහත්තයාත් කටයුතු කළහ. වැඩිවියට පත් වීම වෙනුවෙන් එමලින්ට රත්‍රන් කරාබු ජෝඩුවක් ද කොළඹ ගෙදරින් තෑගි ලැබුණි.   
“ඒ ගෙදර හොඳ නිසා නෝනා ගැනයි, මහත්තයා ගැනයි මට ලොකු විශ්වාසයක් ඇති වුණා. සෑහෙන කාලෙකුත් ඒ නිවසේ හිටපු නිසා විශ්වාසය තවත් වැඩියි. තවත් ටික දවසක් යද්දි නෝනා නැති දවසක මහත්තයා මට අමුතු ඉඟියක් කළා. ලොකු ලෙන්ගතුකමක් පාන බව තේරුණා. නෝනා නැති දවසට මහත්තයාට තේ එක හදන්න ගියාම මටත් වාඩි වෙන්න කියලා තේ බොන්න කිව්වා. කොහොම හරි මෙතැනින් ජීවිතේ බලාපොරොත්තු නොවුණ පැත්තට මාව යොමු වුණා.   
මහත්තයා නිසා මම අම්මා කෙනෙක් වෙන්න ගියා. අවසානයේ මට ඒ ගෙදර ඉන්න බැරිව ගිහින් මම අපේ අම්මලා ළඟට ආවා. එයාලා මට හොඳටම දොස් කියලා අම්පාරේ අපේ නෑදෑ ගෙදරක නතර කළා. මට දැරවා ලැබුණෙ අම්පාරෙදි.   


ඒ අතරෙ නෑදෑ ගෙදරට ආව ගිය හේන් ගොවිතැන් කරන කෙනෙක් එක්ක මම සම්බන්ධකමක් පැවැත්වූවා. පස්සෙ එයා මාව කසාද බැන්දා. මට එයාගෙන් දරුවො තුන් දෙනෙක් ලැබුණා. ඔහොම ඉන්න කාලෙ මහත්තයා සර්පයෙක් ගහල අකාලෙ මියැදුණා. මේ වෙද්දි මට දරුවො හතරයි. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් හිටියේ මගේ ළඟ. ඔහොම ඉන්න අතරෙ ළමයි තුන් දෙනා ජීවත් කරවන අභියෝගය මගේ පිට පැටවුණා.   
මාත් හරියට හරියට අනුන්ගේ කුඹුරුවල ගොයම් කපන වගේ කුලී වැඩ වලට ගියා. ඒකෙන් ලැබෙන සොච්චම මදි. මේ කාලේ මහත්තයාගේ මල්ලිත් අපේ ගෙදර නිතර ආව ගියා. පස්සෙ මල්ලි මගේ කැමැත්ත ඇතුව අපේ පුංචි ගේ පැළේ බින්න බැස්සා. මට එයාගෙනුත් දරුවො තුන් දෙනෙක් ලැබුණා. දැන් ඔක්කොම දරුවො හතක්. පුතාලා හතරයි, දුවලා තුනයි.   


ඒ ළමයිට උගන්වන්න, කන්න දෙන්න තමයි පුතේ උදේ ඉඳන් රෑ වෙනකල් ඔට්ටු වුණේ. පේනවා නේද අත්වල කරගැට, පේනවා නේද වකුටු වෙලා කුදුවෙච්ච කොන්ද ?”   
එමා අම්මා මා හට පෙන්වමින් විමසන්නීය. එය මහා දුකක් හිර කරගත් ශෝකාන්තයක ඉරණම නැවත සිහි කරන්නාක් මෙනි. එමා අම්මාගේ ඇස්වල වේදනාව පිරුණු කඳුළු කැට සිර වී තිබෙයි. ඒවා එළියට පනින්නට සූදානම් බවක් මට හැඟෙයි. එහෙත් එමා අම්මා කතාවේ ඉතිරියට මුල පුරන්නීය.   
“මගේ ලොකු පුතා ඒ කිව්වේ, කොළඹ මහත්තයාගෙන් ලැබුණු පුතාට පුංචි මානසික ආබාධයක් තිබුණා. මම එයාට කිව්වේ සුදු පුතා කියලා. එයා මට හරි ආදරයක් දැක්වූවා.   
ඒ අතර අනික් දරුවන්ගෙන් එක දුවක් විභාග පාස් කරල විදුහල්පතිනියක් වුණා. තව පුතෙක් ආරක්ෂක අංශයේ තනතුරක් ලැබුවා. තව දුවෙක් නීතීඥ නෝනා කෙනෙක්. එක දුවක් ගුරුවරියක්. ඒ අය ලොකු ලොකු මහත්තුරු විවාහ කරන් අපෙන් ඈතට ඈතටම ගියා. මමයි, සුදු පුතයි විතරක් ගෙදර තනි වුණා. අපි පස්සෙ ගම්පහ කිට්ටුව අපේ ඉඩමක පදිංචියට ආවා. සුදු පුතාට මානසික ආබාධයක් තිබුණත්, එයා කාලයක් යනකල් මාර්කට් එකේ බඩු කිරන්න ගියා. ඒ සල්ලිවලින් මායි, සුදු පුතයි තියන දෙයක් කාල ජීවත් වුණා.   
මෙහෙම ඉද්දි සුදු පුතාගේ මානසික ආබාධය හොඳටම වැඩි වුණා. පස්සෙ එයා වෙනම නිවසෙක නතර කළා. ඉතිරි වුණේ වයසට ගිය කොන්ද කුදු වුණු මම විතරයි. දවසක් මම ලොකු දුවගෙ ගෙදර ගියා. දවස් කිපයක් එහෙ ඉන්නකොට එයා...’ 

 
“අම්මෙ අපි නංගිලාගේ ගෙදර යමු, ඇඳුම් ලෑස්ති කර ගන්න කිව්වා.” 

 
මම හරි ආසාවෙන් මහත්තයො එදා හිටියෙ පොඩි දුව බලන්න යන්න. මම ඇඳුම් සේරම ලෑස්ති කරගත්තා. පොඩි දුව විවාහ වෙලා හිටියේ පොළොන්නරුවේ.   
කොහොම හරි මගේ ලොකු දුවයි, එයාගේ දුවයි (මිනිපිරී) දෙන්නම ඒ ගමනට ලෑස්ති වුණා. මිනිපිරිත් නීතීඥ නෝනා කෙනෙක්. එයාගෙ කාර් එකේ දැන් පොළොන්නරු යන්න බලන් මම නැග්ගා. ඒත් මහත්තයෝ වාහනේ හැරවුනේ මේ මහලු නිවාසෙට. ඒ වෙද්දි එයාලා මෙහෙ පාලක නෝනා එක්ක සේරම කතා කරල තිබුණා. එදා තිබුණේ මාව බාර දීලා යන්න විතරයි.   


“දුක්විඳල උගන්වපු, කන්න දීලා හදපු වඩපු දරුවෝ අම්මාට සලකපු හැටි. පුදුමෙ කියන්නෙ පුතේ මම නම් මළ පොතේ අකුරක් දන්නෙ නෑ කියමුකො, ඒත් මාව වැඩිහිටි නිවාසෙට ගෙනාපු දරුවෝ උපාධි ගත්ත ඈයෝ. ගුරුවරු, විදුහල්පතිනියෝ, නීතීඥ නෝනලා, ආරක්ෂක අංශයේ පුතාලා. පුදුමයි නේ ද ? මට ඒ දරුවන්ට දෑවැදි දෙන්න දේවල් තිබුණෙ නෑ. මම දුන්නෙ අධ්‍යාපනය. ඒත් ගුණ යහපත්කම ඒ දරුවන්ට කොහොම හෝ පිහිටීමක් වුණේ නෑ.” එමා අම්මා කියන්නීය.   
“මායි සුදු පුතායි ඉද්දි අපේ ගෙදර පරණ වංගෙඩිය, මෝල්ගහ, මිරිස්ගල, කැත්ත, මන්නෙ, පෙට්ටගම වගේ පුංචි බඩු වගයක් තිබුණා. මාව නිවාසෙට ගෙනත් දැම්මා කියලා දැන ගත්තම අපේ ලේලියක් ඇවිත් ඒවා අරන් ගියා කියල මට ආරංචි වුණා.   


දරුවො හතක්, ලේලිලා, බෑණලා එක්ක දහයක් දොළහක්. ඒත් මට ඇඳිවත විතරයි. වේලාවකට මට මතක් වෙනවා, මගේ දරු පැටවු ඔක්කොටම රෑට හොඳට ධාන්‍ය කැඳ එකක් බඩ පිරෙන්න බොන්න දීලා කුප්පි ලාම්පුව පත්තු කරලා බිම පැදුර එළාගෙන ඔක්කොම එකට ගුලිවෙලා නිදා ගත්ත අතීතය. ඒත් අද සීතල කාමරවල, සීතල වාහනවල යන උන්ට ඒවා අමතතකයි පුතේ...”   
මම මේ ශාන්ති වැඩිහිටි නිවාසයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. දවසක් මගේ කකුලේ විස ගෙඩියක් ඇවිත් ඒක පැසවූවා. පස්සෙ මට උණ ගැනිලා වමනෙ ගියා. කකුල ඉදිමුණා. මාව ගම්පහ රෝහලේ නතර කළා. අපේ නිවාසෙ පාලිකාතුමිය මගේ ලොකු දුවට මේ බව දැනුම්වත් කරලා තිබුණා. දුව රෝහලට ඇවිත් මාව බලලා ඉස්පිරිතාලෙන් පිට කෙනෙකුට කීයක්දෝ දීලා මාව බලාගන්න කියලා ගියා. දවස් පහක් රෝහලේ ඉඳලා ටිකට් කපල ආපසු වැඩිහිටි නිවාසෙට ආවා. එක දරුවෙක්වත් මාව බලන්න ආවෙ නෑ.   
මේ අවුරුදු පහට එක දුවයි මාව බලන්න ආවෙ. ඒ ආවම මම කියනවා, දුවේ මාව දවසක ගෙදරට එක්ක පලයන්. දරුවෝ බලන්න කියලා. එතකොට “හරි අම්මෙ යමු’’ කියලා එයාලා කියනවා.   

 

 


“අම්මා ඇඳගන්න, මම ඉක්මනට ත්‍රීවීල් එකක් හන්දියෙන් අරන් එන්නම් කියලා යනවා.”   
මම ඉතින් ඇඳගෙන, ඇඳුමකුත් බෑග් එකකට දාගන්නවා. පාලිකා තුමියටත් කියනවා, ‘නෝනා, මම දවස් කීපෙකට දුවලගෙ ගෙදර යනවා’ කියලා.   
ඉතින් දුව එනකල් නිවාසෙ දොර ළඟට වෙලා හැන්දෑ වෙනකල් බලාගෙන ඉන්නවා.   
ත්‍රීවීල් එකක් අරන් එන්න ගියේ අනතුරක් නම් වෙන්න එපා කියලා හිතනවා.   
ඒත් මහත්තයෝ බොරු කියලා යනවා මිස, මාව එක්ක යන්න ආපු ත්‍රීවීල් එකක් නෑ.   
දරුවෝ එයාලට තේරෙන භාෂාවෙන් අපිව රවට්ටන එකම තමා කළේ.   
මේ දේවල් ඉවසීම හරි වේදනාත්මකයි. ඒ කාලේ මම හැමදාම අතක් පිටුපසට බැඳන් උදේ ඉඳන් පාර දිහා බලාගෙන ඉන්නවා.   
ඒත් කකුලට විෂබීජයක් ගිහින් රෝහල් ගත වුණාට පසු මට ඇවිදින්න බැරි වුණා. දැන් ඇඳේ එක තැන.   
මම මේ තත්ත්වයට පත් වුණා කියලා ආරංචි වුණාම නම් දරුවෝ එන එකක්ම නෑ, මාව බලන්න.   
ඒත් එක දෙයක් දන්නවා. මාව මැරුණාම සුබසාධක සමිතිවල, එයාල වැඩ කරන තැන්වල මරණ ආධාර ගන්න නම් මගේ මළ මිනිය පවා ඒ අයට ගොඩක් ඉහළින් ප්‍රයෝජනවත් වේවි. මගේ මිනියෙන් එදාට එයාල ප්‍රයෝජන ගනීවි.   


මේ තමයි මහත්තයෝ මට දැන් තේරෙන යථාර්ථය.”   
එමා අම්මාගේ සෝ සුසුම් වා තලයට විනිවිද ගලයි. වැඩිහිටි නිවාසෙ හැම අම්මා කෙනෙකු අසළම ඇත්තේ මේ සෝ සුසුමයි.   
එහෙම ගත් විට මේ බිම කොයිතරම් සෝ සුසුම් රැඳුණු තැනක් ද ? කොයිතරම් කඳුළු බිඳු ගලා ගිය බිමක් ද ? කොයිතරම් දරු සෙනෙහස ඉල්ලා ඉකිබිඳුම් ඇසුණු තැනක් ද ?   
ඒ සියලු දේ අතහැර නිහඬව අවසන් ගමන් ගිය ආදරණීය අම්මලා කෙතරම් සිටි තැනක් ද ? ඒ අඩුව පුරවන්නට ලේසි නැත.   
“පුත්ථා වත්ථු මනුස්සානං’   


මනුෂ්‍යයන්ට ඇති වටිනාම වස්තුව දරුවෝය. ඒ වලංගු භාවය භෞතික වස්තුවකින් සපිරිය නොහැකිය. එය ඇත්තටම දුෂ්කර දෙයකි. එය යථාර්ථවත් කරන්නට ජීවමාන වැඩිහිටි නිවාස හොඳම තැනෙකි.   


(නම් ගම් මනඃකල්පිතයි.)   

 

 

සටහන- අසංක ආටිගල