දරු සුරතල් බැලීමේ සිහිනය සැබෑ කරගන්නේ කොහොමද ?


නව දිවියට පා තබා, වසර කිහිපයක් ඉකුත්ව ගියද තවමත් දරු සුරතල් බැලීමට නොහැකි වීම, විශේෂයෙන් කාන්තාවකගේ කනස්සල්ලට හේතු වේ. එසේම යහළු යෙහෙළියන් පමණක් නොව අසල්වැසි කාන්තාවන් නගන ප්‍රශ්න වැලකට පිළිතුරු දීමට සිදුවන්නේ ඇයට පමණකි. පවුලේ ආර්ථික ප්‍රශ්න පමණක් නොව, තම ශාරීරික සෞඛ්‍ය දුර්වලවීම ද නිසා දරුවකු ලැබීමේ කටයුතු වසර කිහිපයකින් පමා කිරීමට අඹු සැමි යුවලට සිදුවිය හැකිය.  

කෙසේ නමුදු දරු සුරතල් බැලීමේ නොතිත් ආශාව ඉටුකර ගැනීමට යහපත් බිරිඳකගේ සිතුවිලිවලින් ඈත්වන්නේ නැත. ප්‍රවීණ ගේය පද රචක බන්ධුල නානායක්කාරවසම් සූරීන්ගේ පදවැලක් රසවත් කරන ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනියගේ මුවට නැගෙන්නේ ද එවැනි සිතුවිල්ලකි.  


‘නුඹ දුවකු උනත් - මට පුතෙකු උනත්  

නුඹෙ හිස පළඳන්නේ - වෙනසක් නැති ආදරයයි  

නුඹ දුවෙකු උනත් - මට පුතෙකු උනත්  

මා නුඹට පුදන්නේ - සැබෑම දිදුලන ජීවිතයයි’  


දරුවකු ලැබීමේ පමාව සම්බන්ධයෙන් බටහිර හෝ දේශීය වෛද්‍ය මතය කුමක් වුවද, ඇතැමෙක් තම ජන්ම පතෙහි ඒ පිළිබඳ දක්නට ලැබෙන තොරතුරු විමසුමට ලක් කරති. වෛද්‍ය පරීක්ෂණයකදී මෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ද ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජන්ම පත්වලින් දරුපල තත්ත්වය විමසා දැනගත හැකිය. එහිදී ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරක ගුරු ග්‍රහයා මෙන්ම කේන්දරයේ පස්වැන්නාධිපති ග්‍රහයාගේ තත්ත්වයද, එසේම පස්වැන්නට වැටෙන සුබ දෘෂ්ටිවල බලපෑම ද පරික්ෂා කළ යුතුවේ.  


ස්ත්‍රී කේන්දරයේ (උපතේදී) චන්ද්‍ර රාශියේ සිට 1 - 2 - 4 - 5 - 7 - 8 - 9 - 12 අනුපචය රාශියකට පැමිණි සඳු ග්‍රහයා, කුජ ග්‍රහයාගේ බැල්මට ලක්වීද,  


පුරුෂ කේන්දරයේ (උපතේදී) චන්ද්‍ර රාශියේ සිට 3 - 6 - 10 - 11 යන උපචය රාශියකට පැමිණි සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයාගේ බැල්මට ලක්වේ නම් එබඳු දිනයකදී ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ එක්වන අවස්ථාවේ ගැබ් ගැනීම සිදුවන බව පැරණි ජ්‍යොතිෂ පත පොතේ සඳහන් වේ.  


කෙසේ වුවද, මෙම කරුණට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පෙර භවයේදී කරන ලද කුසලාකුසල කර්මයන්හි බලපෑමද අලුතින් බිහිවන ජීවියාගේ පැවැත්මට හේතුවේ. ළදරුවාගේ හැඩරුව මෙන්ම ගති ලක්ෂණ ද මෙලොවට රැගෙන එන ආයු බලය ද ඒ අතර වන බව නොරහසකි.  


ස්ත්‍රියකගේ මසකට වරක් සිදුවන ඔසප් කාලය ක්‍රමවත් නොවේ නම් උගත් වෛද්‍යවරයකුගෙන් අදාළ ප්‍රතිකාර ලබාගත යුතුය.  


කාන්තාවකගේ ඔසප් ආරම්භ වන දිනයේ සිට 16 දින දක්වා සෘතු කාලය ලෙස සැලකේ. එසේ වුවද, පළමු දින සතරේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනා එක් නොවිය යුතුය. එවැනි කාලයකදී එක්වීමක් සිදුවුවහොත් ආයුබල අඩු දුර්වල තත්ත්වයේ දරුවන් බිහිවීමට හේතුවන බව පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ.  


කුජ ග්‍රහයා 22 වැනි දෙර්කානයේ හෝ 64 වැනි අසුබ අංශකයක පිහිටා ස්ත්‍රී කේන්දරයේ පස්වැන්නට වැටෙන දැක්මක් තිබේ නම් මුල්වරට පිරිමි දරුවකු ලැබීමේදී දෝෂ ඇතිවේ. එබැවින්, එවැනි ග්‍රහ පිහිටීම් සහිත ජන්ම පත් හිමි අය මුල්වරට ගැහැනු දරුවකු පිළිසිඳ ගැනීමට සුදුසු අවස්ථාවක් සකසා ගත යුතු යයි පාරම්පරික දෛවඥයන් පෙන්වා දී තිබේ.  


ඔසප් දෝෂ නොමැති නම් 5 වැනි 9 වැනි හෝ 15 වැනි දිනයන්හිදී ගැහැනු දරුවකුගේ උපත සිදුවන බවට පුරාණාචාර්යවරුන් පෙන්වා දී ඇත.  


6-8-10-12-14 හෝ 16 දිනයන්හිදී රාත්‍රී කාලයේ අඹුසැමි දෙදෙනා එක්වීමෙන් පිරිමි දරුවකු උපත ලබනු ඇත. (එම දිනවල සඳු සිකුරු ගුරු සුබ ග්‍රහයකුගේ හෝරාවන් සහිත නැකතක් සාදා දීමට පැරණි දෛවඥයන් උනන්දු වූයේද මේ තත්ත්වයේ අත්දැකීම් තුළින් අවබෝධ කරගෙන සිටි නිසාය).  


ඉහත කී දිනවලදී නිර්මාංශ ආහාර වේලකට හුරුවීමත්, සවස හයෙන් පසු ආගමික වතාවත් ඉටුකර මංගල, රතන - කරණීයමෙත්ත (තුන් සූත්‍රය) ගායනය කිරීමද, ඉන්පසු විනාඩි කිහිපයක් මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙසත් අපගේ වැඩිහිටියන් පෙන්වා දෙන ලද්දේ ද කායික මෙන්ම සුබදායක මානසික තත්ත්වයක් රැකගැනීමේ වැදගත්කම නිසාය.  

 

 

 

 

 

 


ජ්‍යොතීර්වේදී  
මිල්ටන් හේවාපතිරණ  
330/සී/1/3, සර්පන්ටයින් මහල් නිවාස,  බොරැල්ල, කොළඹ 08.  
0776518820