දරු සම්පත නැති කළ මළ ගිය ප්‍රාණකාරිය


සජානි විවාහ වූයේ නන්දන සමගය. වසර හතරක ප්‍රේම සම්බන්ධයකින් පසු ඔවුන්ගේ විවාහය සිදුවූයේ දෙපාර්ශ්වයේම මාපියන්ගේ ආශිර්වාදය ඇතුවය. එම විවාහ උත්සවය බොහෝ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සජානි විවාහ වනවිට ඇගේ වයස විසි නවයකි.   


විවාහයෙන් පසු නන්දන, සජානි හා ජීවත් වූයේ නන්දනගේ මහගෙදර ය. ඔවුන් දෙදෙනා සතුටින් හා සමාදානයෙන් පවුල් ජීවිතය ගත කළහ. විවාහ වී වසර දෙකක් ඉක්ම යනවිට සජානිට නන්දනගේ මවගේ කන්දොස්කිරියාවෙන් බේරීමට නොහැකි විය. “බැඳපු අලුත නිසා මං හිතුවේ අවුරුද්දක් ගිහින්වත් දරුවෙක් ගැන හිතයි කියලා. කෝ අවුරුදු දෙකක් වෙලත් තාම දරුවෙක් ගැන හිතන්නෙ නැද්ද” නන්දනගේ මව අසන විට “තවම ඒ ගැන හිතුවෙ නැහැ. තව කල් තියෙනවානෙ” කියමින් බොහෝ සරල පිළිතුරකින් සජානි සහ නන්දන ප්‍රශ්නයෙන් මගහැර ගියහ.   


මෙලෙස තවත් කාලයක් ගතවිය. නන්දනගේ මාපියෝ මෙන්ම සජානිගේ මාපියෝ ද මොවුන් දෙදෙනා තවම දරුවෙක් ගැන නොසිතන්නේ මන්දැයි විමසන්නට වූහ. එහි දී ද අවස්ථානුරූපීව කුමක් හෝ පිළිතුරක් දී දෙදෙනාම එම ප්‍රශ්නයෙන් පැන ගියහ. මේ වනවිට ඔවුන් විවාහ වී අවුරුදු පහකටත් වඩා වැඩිය. මාපියන් ද නෑදෑයින් ද හිතමිතුරන් ද “ඇයි තාම ළමයි නැත්තේ. ඩොක්ටර් කෙනෙකුටවත් පෙන්නුවොත් හොඳ නැද්ද” යන ප්‍රශ්නය අසති. සියල්ලන් මෙලෙස ඇසීම මොවුනට මහත් වදයක් විය.   


“අපටත් වඩා ප්‍රශ්නෙ තියෙන්නේ අනිත් මිනිස්සුන්ටනේ” යන මතය මොවුන් දෙදෙනාගේ සිත් තුළ ජනිත විය. සජානිගේ මව විසින් බෝධි පූජා කරවීම, දෙවියන්ට භාර වීම ආදී දේවල් පවා සිදු කළාය. කළ අපලයක්වත් ඇතැයි සිතා කේන්දරය බලා යම් යම් දේ සිදු කළාය. නමුත් කුමක් සිදු කළ ද ඒවායින් ප්‍රතිඵලයක් පෙනෙන්නට තිබුණේ නැත.   
“සජානි දුව බඳින්න පරක්කු වුණ නිසාද දන්නෙ නෑ දරුවො නැත්තේ. අවුරුදු විසිනමයක් වෙනකම්ම හිටියනේ බඳින්න. ගැහැනුන්ගේ ශරීරවල්වල වෙනස්කම් සිදුවෙනවා. එහෙම වුණාම දරුවො ලැබෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්. දැන් තවත් කල් ගිහිල්ලා. දැන් තිස්පහක් ද කොහෙදනෙ ඔය ළමයගෙ වයස. මං නම් හිතන්නෙ නෑ දරුවෙක් ලැබෙයි කියලා දැන්නම්” නන්දනගේ මව සජානිට දෝෂාරෝපණය කළාය.   


සජානි හැඬූ කඳුළින් පසුවූවාය. “අපිට ළමයි නැති වුණාට අපි දෙන්නා සතුටින් ඉන්නවනේ” යැයි පවසමින් නන්දනගේ මවට නන්දන විසින් පැවසුවේ සජානිගේ දුක දරාගැනීමට නොහැකි නිසාය. එයින් නන්දනගේ මව තවත් කෝපයට පත්වූවාය. “එහෙම කියල හරියන්නෙ නැහැ. අපෙත් පරම්පරාව ගෙනියන්න ළමයෙක් ඉන්න ඕනෙ” යනුවෙන් දැඩි මතයක ඔවුහු සිටියහ. “හරි එහෙනම් අපි ඩොක්ටර් කෙනෙකුට පෙන්නමු” නන්දන එකඟතාවකට පැමිණියේය. සජානිගේත් නන්දනගේත් තිබූ සමගිය ද ටිකෙන් ටික අඩු වී යන බවක් පෙනෙන්නට විය. ඔවුන් අතර අඬදබර ද හැලහැප්පීම් ද වැඩිවන්නට පටන් ගති.   


එක් දිනයක සජානි තම මව මුණගැසීම සඳහා නන්දනගේ නිවසින් පිටත් වූවාය. සජානි හෙමින් සීරුවේ අඬමින් තම මව සමග යමක් කතා කරන්නට අවශ්‍ය බව මවට පැවැසුවාය. “දුව මොකක්ද ප්‍රශ්නෙ? ඇයි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?” කියමින් සජානිගේ මව කලබලයට පත්වූවාය.   


“නෑ අම්මෙ. අපිට ළමයි නැත්තෙ අපි අතර තවම එහෙම දෙයක් වෙලා නැහැ” සජානි අඬමින් පැවසුවාය. “අම්මෙ එහෙම ඇසුරකට මට බය හිතෙනවා. නන්දන ඒ අතින් හොඳම හොඳ මනුස්සයෙක්. එයා ඒක විඳ දරාගෙන කාටවත් නොකිය මට ආදරෙන් හිටියා. නමුත් දැන් හැමෝම අහනවා ළමයි ගැන. නමුත් අපිට තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. තාම අපි ඉඳලම නැහැ” සජානි තවදුරටත් මවට පැවසුවාය.   


අප්පේ දැන් මොකද කරන්නේ. ඇයි දරුවෝ මෙච්චර කාලයක් මට මේ ගැන හැඟෙව්වෙවත් නැත්තේ. මෙච්චර කාලයක් යනකම්ම හිටියේ ඇයි මට මේ වගක් කියන්න. එහෙනම් මුලදිම මොකක්හරි කරන්න තිබුණනේ. අර දරුවගේ මව්පියන්ගෙනුත් දොස් ඇහුවේ ඔයානේ” මෙලෙස දෙදෙනා අතර දීර්ඝ වේලාවක් කතාබස් ඇතිවිය.   


“අනේ මන්ද‌ා, මම තාත්තා එක්කත් හිමින් සැරේ කියලා බලන්නම් මේ ගැන” මව පවසන්නට වූවාය. “අනේ අම්මේ ඒක තාත්තට කියන්න ඕන නැහැ. අම්මා මේක ලොකුඅම්මට හරි නැන්දට හරි කියලා බලන්න. ඕක තාත්තට කිව්වොත් මට තාත්තට මුහුණදෙන්න ලැජ්ජයි” යනුවෙන් සජානි අඬමින් පිළිතුරු දුන්නාය.   
මේ ගැටලුව සජානිගේ මව තම යෙහෙළියකට කීවාය. යෙහෙළිය කීවේ සාස්තරයක් බලා එතැන දී කියවෙන පුද පූජාවන් කරන එක හොඳ බවය. එහෙත් සජානිගේ මව තම සහෝදරියට දියණියගේ ප්‍රශ්නය ගැන පැවසූ විට ඇය කීවේ “ඕක හිත හිත ඉන්න දෙයක් නෙමෙයිනේ. මං ඔය ඇහුවමයි. මේ ළමයින්ගෙත් මළ විකාරනෙ හිත්වල තියෙන්නේ” යනුවෙනි.   


“නෑ ලොකු අම්මේ ඔයාලට ඕක තේරෙන්නේ නැහැ. ඔය කියන හැම විධියකින්ම මම හිත හදාගන්න හිතුවා. නමුත් කොච්චර හිත හදාගෙන හිටියත් ඒ වෙලාවට මොකක්දෝ වෙලා මුළු ඇඟම තද වෙනවා” සජානි තම මවටත් ඇසෙන ලෙස ලොකු අම්මාට පිළිතුරු දුන්නාය.   


සජානිගේ මව සාස්තරයක් බැලීමට සිතාගත්තාය. සජානිගේ විස්තරය දේවාලයක මෑණියන් කෙනෙකුට කිවූ පසු එම මෑණියන්ගේ පේනයෙන් කියවුණේ සජානිගේ ශරීරයේ මළගිය ප්‍රාණකාරියක සිටින බවයි. එම නිසා අඹුසැමි සම්බන්ධතා පැවැත්වීමට ඉඩ නොදෙන බවත් පවුල් සමගිය එම මළගිය ප්‍රාණකාරිය විසින් නැති කර දමන බවත් පේනයෙන් කියැවිණි. මෙයට සජානිගේ ශරීරයේ සිටින මළගිය ප්‍රාණකාරිය ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා විශේෂ පුද පූජාවන් කිහිපයක් පැවැත්විය යුතු බවත් පැවසිණි.   
සජානිගේ මවත් පියාත් දේවාලයට ගොස් දේව මෑණියෝ මුණගැසී අවශ්‍ය දේ කතා බහ කරගත්තෝය. දේවාලයේ මෑණියෝ විශාල බඩු ලැයිස්තුවක් මොවුන්ට ලියා දී “මේ ටික ලෑස්ති කරගන්න” ලෙසටත් පූජා ශාන්තිකර්ම සඳහා රුපියල් හතළිස්පන්දහසක මුදලක් වියදම් වන බවත් දේව මෑණියෝ ඔවුන්ට පැවසුවාය. “කීයක් වියදම් වුණත් කරන්න ඕන දේ කළ යුතුයි” පැවසූ සජානිගේ පියා දේවාලයේ මෑණියන් සමග දිනයක් ද සාකච්ඡා කරගත්තේය.   


ගොක් කොළ හා කෙසෙල් පතුරුවලින් තටු සාදා ඒවාට දුම් අල්ලමින් පුද පූජා කොට පැය හතරක වගේ කාලයක් රාත්‍රියේ පුද පූජා පවත්වමින් ශාන්තිකර්මය කෙරිණි. ඉන්පසු දේවාලයේ මෑණියෝ සජානිව පමණක් ඇතුළට ගෙන ඇයගේ උදරය නිරාවරණය කරගෙන තෙල් වගයක් මතුරමින් එම තෙල් සජානිගේ යටි බඩේ ගාමින් මැතිරීම ද අවසන් කළාය.   


“දැන් සියලු ප්‍රශ්න අහවරයි. ඔන්න මං දරුවව නිදහස් කරලා දුන්නා මළගිය ඇත්තිගෙන්. දැන් බය නැතුව මහත්තයා එක්ක සතුටින් ඉන්න” සජානිට වෙනදාට වඩා සැහැල්ලුවක් සිතට දැනිණි. මේ බව නන්දනගේ මාපියන්ට ද දන්වා සිටියේ සජානිගේ මාපියන් විසිනි. ඒ තම දියණියට තවත් දෝෂාරෝපණ එල්ල නොකර ඇත්ත වටහා දීම සඳහාය. ඒ වගේම නන්දනට ද යම්කිසි බලාපොරොත්තුවක් ඇතිවුණාක් මෙනි.   


“දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ” කියමින් එදිනම සජානිත් නන්දනත් ඔවුන්ගේ නිවස බලා යන්නට වූහ. ඔවුන් එදා ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් ඇතිව දවස ගෙවීය. කොතරම් සතුටින් සැහැල්ලුවෙන් සිටිය ද සතියක කාලයකින් පසු නන්දන සමග එම අවස්ථාවට පත්වන විට වෙනදා මෙන්ම අඹුසැමි ඇසුරට බිය සජානිට ඇතිවිය. කරපු කිසිම දේකින් සුළු හෝ සහනයක් සජානිට නොදැනිණි.   


පසුදා උදේම දුරකථන ඇමතුමක් ලබාදී කරපු පුද පූජාවලින් කිසිම සහනයක් නොවූ බව සජානි තම මවට පැවසීය. මාපියන්ට ද නැවත සිතේ කලකිරීමක් ගෙනදෙන්නට විය. “දැන් ඉතින් මොකක්ද කරන්නේ” ඔවුහු පෙර පරිදිම නැවත නොයෙක් දේ කල්පනා කරන්නට වූහ. මේ සම්බන්ධයෙන් විවිධ අය විසින් විවිධ අදහස් පළ කළ ද මේ බව දැනගත් සජානිගේ ඥාති වැඩිහිටි අයෙක් “දැන්වත් ඔය විකාර නවත්තලා ඕකට ප්‍රතිකාරයකට යොමුවෙන්න” යැයි කියා සිටියේය.   


ඒ අනුව මෙම ගැටලුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සජානි සමගත් නන්දන සමගත් වැඩිහිටියන් සමගත් සාකච්ඡා කර ගැටලුව විසඳීමට භාර ගැනිණි. ඉන්පසු සති කිහිපයක් ප්‍රතිකාර කරගෙන යෑමෙන් පසු මොවුන්ගේ එම තත්ත්වය දුරුවී ගියේය. සාමාන්‍ය අය පරිද්දෙන් මොවුන් අතර අඹුසැමි සම්බන්ධතා ආරම්භ විය. සිදුවූ සිදුවීම පිළිබඳව මාපියන් හා මොවුන් දෙදෙනා කැඳවා වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ විස්තර කර දුණි.   


“මෙහිදී සත්‍ය වශයෙන්ම තිබුණේ අදෘෂ්‍යමාන බලපෑමක් නොවේ. අතීතයේ මෙම තත්ත්වය නොයෙක් දෝෂ හා අදෘෂ්‍යමාන බලපෑම් ලෙස පිළිගත්ත ද මෙය අද වනවිට පැහැදිලි වශයෙන්ම මානසික ගැටලුවක් බව සොයාගෙන ඇත. මෙහිදී යම්කිසි තරුණියකට ලිංගිකත්වය පිළිබඳව ඇති අවබෝධය අඩුකම නිසා සමාජයේ ඇති විවිධ මිත්‍යා මත සිත්වලට ඇතුළු වේ.   


මෙය මනෝ විද්‍යාවේදී Vaginismus ලෙස හඳුන්වන ගැටලුකාරී තත්ත්වයකි. මෙය සත්‍ය වශයෙන්ම ලිංගිකත්වය පිළිබඳ වැරදි සිතුවිලි යටි සිතේ තැන්පත් වීමෙන් ඇති වන තත්ත්වයකි. ඉහත නිදසුන්වලට අමතරව බොහෝ හේතූන් මේ සඳහා පාදක විය හැක. නමුත් ඒ කෙසේ වුවද මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය තුළින් පැහැදිලි වශයෙන්ම සුව කළ හැකි තත්ත්වයකි.”   


“පේන කියන මෑණියන් විසින් මෙය පැවසුවේ කෙසේද යැයි යමෙකුට ප්‍රශ්නයක් විය හැක. මෙම සිදුවීම පිළිබඳව හොඳින් බලන අයෙකුට එම මෑණියෝ ලෙස හඳුන්වන කාන්තාව විසින් මොවුන්ගේ වැඩිහිටියන්ගේ කතාවෙන්ම මෙම ගැටලුව එම කාන්තාව දැනගත් බව සනාථ වේ. මෙවැනි ගැටලුවක් සඳහා කිසිසේත්ම අදෘෂ්‍යමාන බලවේගයක් බලනොපාන අතර, මෙය මනෝමය ලිංගික ගැටලුවක් පමණි. අප විසින් සිදුකළේ මැයට ප්‍රතිකාර කිරීමෙන් මැයගේ යටි සිතේ තිබූ එම බිය ඉවත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය සුව විය” යනුවෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පහද‌ා දුණි.   


“පැහැදිලි වශයෙන්ම මළගිය අයෙකුට ජීවත්ව සිටින අයෙකුගේ ශරීරයට ඇතුළුවිය නොහැකියි. එය මිථ්‍යාවක් පමණයි” යනුවෙන් විද්‍යාකුලපති මහතා සියල්ලන්ටම පැහැදිලි කරදුන්නේය. අද වනවිට සජානි දෙදරු මවක් වන අතර, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්නීය. සියල්ලන්ගේ මිථ්‍යා අදහස් දුරුවී ගියේය.   

 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත