දරු දුකට පළිගන්න බ්හිවුණු කාලි යක්ෂණිය


 

කාලි මෑණියෝ හෙවත් භද්‍රකාලි මෑණියෝ කවුරුන්ද යන්න පිළිබඳව අප පසුගිය සතියේ සාකච්ඡා කළා. කාලි මෑණියන් අවතාර 8 කින් පෙනී සිටින බවත් මෑණියෝ කෙනෙක් වීමට පෙර ඇය යක්ෂණියකගේ අවතාරයකින් පෙනී සිටින බවත් විජය කුමාර කපු මහතා සඳහන් කළා.  
 
ප‍්‍රශ්නය:- කොහොමද කාලි මෑණියෝ යක්ෂණියක් වුණේ?   


පිළිතුර:- කාලි මෑණියෝ කියන්නේ බොහොම බල සම්පන්න කෙනෙක්. ඇය යක්ෂණියක් වෙලා හිටියේ ඇයගේ අධිෂ්ඨාන බලයකින්. ඒ කියන්නේ ඇය මරුමුවට පත්කළ ඇගේ ස්වාමි පුරුෂයා පිළිබඳ ඇති කරගත් වෛරයක් හේතුවෙන් තමයි යක්ෂ අවතාරයක් මතුවුණේ.   


ප‍්‍රශ්නය:- ඒ පිළිබඳ පැහැදිලි කළොත්?   


පිළිතුර:- ඒ කථාව ඉතා දීර්ඝ ඉතිහාසයකට ඇදී යනවා. ඉන්දියාවේ එක් මවක් සමග සිය පුතා වාසය කරමින් ඉන්න අවස්ථාවේ පුතාගේ නිසි කාලය පැමිණියාම විවාහයක් කර දෙනවා. ඒත් කාලයක් ගත වුවත් ඔවුනට දරුඵල නැහැ. මේ පිළිබඳව එම දෙපළ ඉතා කනගාටුවෙන් කාලය ගත කරනවා. මේ පිළිබඳ එම තරුණයාගේ මෑණියන්ද ඉන්නේ ඉතාම කනගාටුවෙන්. කාලයක් යනකොට එම තරුණයා නැවත විවාහයක් කරගන්නවා. ඒ විවාහයේදී ඔහුගේ බිරිඳට දරු සම්පතක් පහළ වෙනවා. කළින් බිරිඳ මේ පිළිබඳව ඉන්නේ දැඩි වෛරයකින්. ඉතින් මේ කලින් බිරිඳ විවිධ යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් ආදිය කරනවා.   


ප‍්‍රශ්නය:- ඒ කාලයේදීත් ඔය යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් වාගේ දේවල් තිබුණද?   


පිළිතුර:- ඒ කාලයේදීත් තිබුණා. ඉන්දියාවේ විවිධ ආගම් රැසක් පැවතුණේ. ඉතින් එක එක ඇදහිලි, ගුරුකම්, යන්ත‍්‍ර මන්ත‍්‍ර කොඩිවින ආදිය තිබිලා තිබෙනවා.   


ප‍්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ?   


පිළිතුර:- ඉතින් අර තරුණයාගේ කලින් බිරිඳ මේ දරුගැබ විනාශ කරන්න විවිධ දේවල් කරනවා. අන්තිමේදී ප‍්‍රතිඵලය වෙන්නේ දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වෙනවා. මේ පිළිබඳ ඒ තරුණ ජෝඩුව ශාස්ත‍්‍ර, මන්ත‍්‍ර අසලා දැනගන්නවා තමන්ගේ කලින් බිරිඳ තමයි මේ දේවල් කරලා තමන්ගේ දරුවා විනාශ කළේ කියලා. එතනදි තරුණයා සිය ප‍්‍රථම බිරිඳ කෙරෙහි වෛරයක් ඇතිකර ගෙන නිවසේ තිබුණ මෝල් ගසෙන් පහර දීලා සිය ප‍්‍රථම බිරිඳ ඝාතනය කරනවා. එතනදී ඒ බිරිඳ මිය යන මොහොතේ අධිෂ්ඨානයක් කර ගන්නවා මම යක්ෂණියක් වෙලා පළිගන්නවා කියලා. අන්න ඒ මොහොතේ තමයි මිය ගිහිල්ලා යක්ෂණියක් වෙලා උපදින්නේ. 

 
ප‍්‍රශ්නය:- ඒ යක්ෂණිය නැවත උතුම් මාතාවක් වුණේ කොහොමද? 

 
පිළිතුර:- ඒ කථාව මෙහෙමයි. ඒ යක්ෂණිය අර තරුණයාගේ බිරිඳට දාව උපන් දරුවා පැහැරගෙන යන්න වයසක මෑණි කෙනෙක්ගේ වේශයක් මවාගෙන ඒ බිරිඳගේ නිවසට පැමිණෙනවා. පසුව ඒ දරුවා පැහැරගෙන යන කොට දරුවාගේ මෑණියන් ඒ පසුපස විලාප දිදී දිවයනවා. මොකද, දරුවා කිරි උරා බොන වයසේ කුඩා දරුවෙක්. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ දිවැසින් දකිනවා මේ සිද්ධිය. පසුව මේ දරුවා පැහැරගෙන යන යක්ෂණිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසලා සෝවාන් ඵලයට පත්වෙනවා.   


එතනදි මේ යක්ෂණියගේ එක් තන පුඩුවකින් කිරි එරෙන්න පටන් ගන්නවා. අන්න එදා ඉඳලා තමයි වරමක් ලැබුණේ දරුඵල නැති අයට පිහිටක් වෙන්න. ඒක නිසා කාලිමෑණියන්ගේ පිහිටක් ලබාගන්න පුළුවන්. හැබැයි අපිත් ප‍්‍රතිපත්තිගරුක වෙන්න ඕනෑ. අපි කාලි අම්මා කියලා හඳුන්වන වානේ. අන්න ඒ මොහොතේ අපිට පිහිටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.   


අන්න එදා ඉඳලා තමයි කාලි යක්ෂණි කාලි මෑණියෝ ලෙසට හඳුන්වන්න පටන් ගත්තේ. දරුවා ලුහුබැඳලා යකින්නියක් වෙලා පැහැරගෙන යන කොට බුදුන් වහන්සේ ඒක වළක්වලා ධර්ම දේශනා කරන කොට ඒ ධර්මය ඇසූ මේ යක්ෂණිය මාතාවකගේ තත්ත්වයට පත්වෙනවා. එතනදී අර දරුවන් බේරෙනවා. මේ යක්ෂණිය සෝවාන් ඵලයට පත්වෙලා එක් තන පුඩුවකින් කිරි එරෙන්න පටන් ගන්නවා. එදා ඉඳලා ඉන්දියාවේත් ලංකාවේත් බොහෝ අය කාලි මෑණියන්ව ඉතා භක්ත්‍යාදරයෙන් අදහන්න පටන් ගන්නවා. බොහෝදෙනකුට මෑණියන්ගේ පිහිටක් තිබෙනවා.   


ප‍්‍රශ්නය:- අපි කථා කළානේ කාලි මෑණියන්ගේ අවතාර 8 ක් පිළිබඳව ඒ ගැන විස්තර කළහොත්?   


පිළිතුර:- කාලි මෑණියන්ට අවතාර 8 ක් තිබෙනවා. භද්‍ර කාලි, ගිනි කාලි, ඉන්ද්‍ර කාලි, පුළුටු කාලි, සොහොන් කාලි, වන්නි කාලි, ඊරි කාලි, ලේ කාලි යනාදී වශයෙන්. ඔවුන්ට දුනු, ඊතල, චක‍්‍රායුධ සේසත් දී ඔවුන්ව බල ගැන්වූවා.   


ප‍්‍රශ්නය:- එතකොට කාලි මෑණියනුත් පත්තිනි අවතාරයක් ලෙස සඳහන් වෙනවා නේද?

   
පිළිතුර:- කාලි මෑණියනුත් පත්තිනි අවතාරයක් ලෙසයි හැඳින්වෙන්නේ. පත්තිනි මෑණියෝ සත්වාරයක් ඉපදුණු නිසා සත්පත්තිනි කියනවා. දොළොස්වාරයක් ඉපදුණු නිසා දොළොස් පත්තිනි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සළඹ, තෙද, ඔරු පාලි, ගිනි, අඹ, සත් හා මල් පත්තිනි ලෙසයි ඒ සත්පත්තිනි මෑණියෝ හඳුන්වන්නේ. එතකොට සොලොස් පත්තිනි කියන්නේ දෙමට මලෙන්, ගිනි කඳුලෙන්, නයි කඳුලෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, හෙණයෙන් උපන් නිසා දොළොස් පත්තිනි කියලා හඳුන්වනවා.   


පත්තිනි මැණියන්ගේ අවතාර වලින් එකක් තමයි කාලි කියලා කියන්නේ. ඇය පතිවෘත්තාව රැකගත් මාතාවක් නිසා ඇයව බොහෝදෙනෙක් අදහනවා. ඒ දෙදෙනාම එකම අවතාර වලින් බැඳුණු දෙදෙනෙක්. 

 
ප‍්‍රශ්නය:- ඔය කියන කාලි මෑණියන්ගේ අවතාර 8 පිළිබඳව කථා කළොත්?   


පිළිතුර:- අපි කලින් කථා කළේ භද්‍ර කාලි මෑණියන් පිළිබඳවනේ. යක්ෂ වේශයක් මවාගෙන ඉඳලා පසුව සෝවාන් ඵලයට පත්වුණේ භද්‍රකාලි මෑණියන් කියලා තමයි හඳුන්වන්නේ. ඒ යක්ෂණිය මව් පදවියට පත්වුණු ආකාරය පිළිබඳවයි අපි කලින් සඳහන් කළේ. එදා පටන් තමයි මෑණියෝ කියන උතුම් තත්ත්වයට පත්වුණේ.   


ප‍්‍රශ්නය:- තවදුරටත් ඒ පිළිබඳ විස්තර කළොත්?   


පිළිතුර:- අපි දන්නවා මහ බ‍්‍රහ්මයා පත්තිනි මෑණියන්ට බලවර දාහතරක් ලබාදුන්නා කියලා. ගිරි සළඹක්, මුතු සළඹක්, රන් සේලයක් මේ පතිනි බල අවතාර ගෙන සත්‍ය උදෙසා යහපතින් හොඳින් කරන්න පුළුවන් දේවල් කරන්න කියලා තිබෙනවා. නමුත් සළඹක් අතින් අරන් අසාධාරණ කරන අයට වින කරන්න බැහැ. ඒක නිසා කාලි අවතාරයක් මවාගෙන කාලි මෑණියන්ට අවතාර 8 කින් ඒවාට දඬුවම් දෙන්න මැව්වේ කියලා කථාවකුත් තිබෙනවා.   


ප‍්‍රශ්නය:- එතකොට සොහොන් කාලි කියන්නේ කවුද?   


පිළිතුර:- සොහොන් කාලි කියන්නේ අපි සඳහන් කළ විදිහට කාලි මෑණියන්ගේ එක් අවතාරයක්. සොහොන් කාලි යක්ෂයන් අතර යක්ෂ ​ෙස්නාධිනායිකාවක් ලෙසයි හැඳින්වෙන්නේ. සොහොනට අධිපති වෙලා ඉන්න නිසායි සොහොන් කාලි කියන්නේ. යක්ෂ සේනාධිනායිකාවක් නිසා නපුරක් කළ අයට නපුරු ආකාරයෙන්ම දඬුවම් දෙනවා. සොහොන් කාලි අම්මාත් ලේ කාලි අම්මාත් හොඳට හොඳයි. නරකටත් ඒවගේමයි. දරුණුයි. සොහොන් කාලි, ලේ කාලි මෑණියන්ට බොරුවක් කරලා බේරෙන්න බැහැ. ඒ කියන්නේ සොරකම් කරලා, බොරුවක් කරලා, මිනී මරලා, එක්කෝ කාට හරි කොඩිවින කරලා, නීච බන්ධන කරලා කිසි කෙනෙකුට හැංගෙන්න බැහැ. අපි අහලා තිබෙනවා ඒ අයගේ හත්මුතු පරම්පරාවටම දඬුවම් ලැබෙනවා කියලා. 

 
ප‍්‍රශ්නය:- එතකොට මෙතරම් උතුම් මවක් ඇයි කෲරත්වයට පත්වෙන්නේ? 

 
පිළිතුර:- අපි මුලින් සඳහන් කළේ ඇය මැරෙන මොහොතේ යක්ෂණියක් වෙලා පලිගන්නවා කියලා. අන්න ඒ යක්ෂ අවතාරය තමයි මේ කෲරත්වයට පත්වෙන්නේ. පසුකාලයේනේ ඇය සෝවාන් වෙලා හොඳ ආත්මයක් ලබා ජනතාවට පිහිටක් වෙන්නේ. ස්වාමියාගේ පහර කෑමෙන් මේ ස්ත‍්‍රිය මරණයට පත්වෙනවානේ. ඒ වෛරයෙන් යකින්නියක් විදිහටයි ඉපදෙන්නේ. අන්න ඒ යක්ෂණිය තමයි භද්‍රකාලී අම්මා කියන තත්ත්වයට පත්වුණේ. අන්න ඒ අට වේශය මවාගෙන තමයි එක එක අවස්ථාවල පෙනී සිටින්නේ. සොහොනකට අරක් ගත්ත නිසයි සොහොන් කාලි කියන්නේ. එය මැරෙන කොට අධිෂ්ඨාන කළ ආකාරයට යකින්නියක් වෙලා ඉපදෙන කොට ඒ සොහොනට අරක් ගත්තා කියලා තමයි කියන්නේ. ඒක තමයි සොහොන් කාලි කියලා කියන්නේ. ඒ කියන්නේ මළ මිනියට අරක්ගෙන සිටින්නේ.   


ප‍්‍රශ්නය:- එතකොට ගිනි කාලි කියන්නේ? 

 
පිළිතුර:- ගිනි කාලි කියන්නේ ගින්නට අධිපති නිසා. මේ ලෝකයේ පැවැත්ම ඇතිවුණදා ඉඳලා ගින්දර සොයා ගත්ත හැටි අපි දන්නවනේ. ඊට කලින් අපේ අතීතයේ අය අමු අමුවෙන් මස් ජාති බැදපු කට්ටියනේ. පස්සේ ගින්දර සොයා ගත් පසුව ඒවා පුළුස්සලා කන්න පටන් ගත්තා. එතනදි මේ කාලි මෑණියෝ යකින්නියක් වෙලා ඉන්න කොට මස් පුළුටුවලට ඒ සුවඳට බැල්ම හෙළන යකින්නියක් වෙලා ගින්න දිහා බලලා ගින්නට අරක් ගෙන ඉන්නවා. ඒක නිසයි ගිනි කාලි කියලා හඳුන්වන්නේ.   


ප්‍රශ්නය:- කාලි මෑණියෝ ඒතරම්ම දරුණුද?   


පිළිතුර:- වැරදි කළ අයට දඬුවම් දෙනවා. අහිංසක මිනිස්සුන්ට කරදරයක් කළ අයට නම් ගැලවීමක් නැහැ. කාලි මෑණියෝ අප කළින් සඳහන් කළ යක්ෂ අවතාරවලින් පෙනී සිටින විටයි ඔය කියන දඬුවම් ලබාදීලා අසරණයන්ට පිහිට වෙන්නේ. මුලින්ම කාලි යක්ෂණියගෙන් තමයි එක එක අය නොයෙක් වැඩ කරගත්​ෙත්. සෝවාන් වූවාට පසු කාලි මෑණියන්ගෙන් පිහිට පතා නොයෙකුත් වැඩ කරන්න පෙළඹුණා.   


ප්‍රශ්නය:- කාලී මෑණියෝ ඇත්තට පිහිටක් වෙනවාද? 

 
පිළිතුර:- ඇත්තෙන්ම කාලි මෑණියන්ගෙන් පිහිටක් තිබෙනවා. අපි නිර්දෝෂියි නම් මෑණියෝ පිහිටක් වෙනවා. කාලි මෑණියන්ගෙන් පිහිටක් තිබෙන්නේ අපි දුකට පත්වෙලා ඒ කියන්නේ කාලි අම්මා කියන තැනට පත් වුණාම අර කිරි උරඋරා බිබී හිටපු දරුවා පැහැරගෙන යනකොට ඒ මව විලාප තිය තියා ඒ දරුවා පිටිපස්සෙන් යනවනේ. එත කොට කාලි මෑණියෝ මහළු වේශයකින්නේ එන්නේ. එයා මහලු වේශයකින් ඇවිල්ලා දරුවා පැහැරගෙන යනකොට ධර්ම දේශනයෙන් ඒක වළක්වලා හොඳ මාර්ගයට ගත්තට පස්සේ මෙයාගේ සිතත් අනුකම්පාවට පත්වුණානෙ. එ්කනේ එක පියයුරුවකින් කිරි එරෙන්න පටන් ගත්තේ. එතකොට අර දරුවගේ මවගේ සාපයට පිහිටක් ලැබුණා කියලනේ කියන්නේ.  


ප්‍රශ්නය:- අපේ බහුතරයක් කාලි මෑණියෝ ඉදිරිපිට පළි ගහනවා. ඒක හරිද? වැරදිද?  


පිළිතුර:- භද්‍ර කාලී මෑණියන්ට පලි ගැසීම එතරම් සුදුසු නැහැ. භද්‍ර කාලී කියන්නේ අම්මා කෙනෙකුටනෙ. ඒත කොට ඒ මෑණියන්ගෙන් තවත් කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්න කියලා ඉල්ලනවා. භද්‍රකාලී සිහිපත් කරලා නෙමෙයි අපි පළි ගහන්න ඕනෑ. ඒක අපි දැනුම්වත් වෙන්න අවශ්‍යයි. කාලි අට වේශයක් කියලා අපි ඇදහීමෙන් දන්නවනම් එතකොට භද්‍රකාලී අම්මා මෑණියෝ කියලා අම්මට පුද සත්කාර කරන්න ඕනෑ. අපිට මේ දෙයට පිහිට වෙන්න. අපේ මේ කාරණාව දිහා බලන්න. අපට මේ දේ ලබා දෙන්න. කියලා. අපි පිහිටක් පතනවා. එතකොට ඔය සෝවාන් ඵලයට පත්වෙන්න කලින් තමයි අවතාර අටක වේශයකින් යන්නේ. අන්න ඒ කාලයේ එයා සොහොනට අරක් ගත්තම එයා කෘරත්වය අනුව සාධාරණයක් ඉටු කරනවා. කෙනෙක්ව නසන්නන් කියන චේතනාවෙන් කාලී මෑණියෝ ප්‍රයෝජනයට ගත්තොත් ඒක වැරදියි. අපි සාධාරණ වෙන්න ඕනෑ. මොනයම් දෙවිකෙනෙක් ගෙන් පිහිටක් පතන්න අපි යුක්තිගරුක වෙන්න ඕනෑ. අපි අපේ හදවතට එකඟ වෙන්න ඕනෑ, මේ කෙනා ගෙන් අපට දැඩි වධ හිංසා ලැබෙනවා මේ කෙනාව විනාශ කරලා දෙන්න කියලා. අපි ඒ වෙලාවේ කාලී මෑණියන්ට බාර කරනවා අපට ඒ කරදර වලින් මුදවලා දෙන්න කියලා. දේව සාපයක් ඇති කරලා ඉල්ලනවා.  


ප්‍රශ්නය:- එතකොට එහෙම දෙයක් ලැබෙයිද?  


පිළිතුර:- එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙම කාලි මැණියන්ගෙන් ඉල්ලීමක් කළාට ලැබෙන්නේ නැහැ. අන්න ඒ වෙලේ භද්‍ර කාලී මෑණියන්ගේ අවතාරයට අර කිව්ව යක්ෂ අවතාරයට තමයි අපි ඉල්ලීමක් කළ යුත්තේ. අන්න ඒ වෙලාවට අපි කියනවා සොහොන් කාලිට ගිනි කාලිට, ඒ ගොල්ලන්ට අවශ්‍ය පුද සත්කාර කරනවා. ඒ වෙලාවට පුළුටු වගේ දෙයක් දීලා කාලි යක්ෂණියගේ ආකර්ෂණය ලබා ගන්නවා එයාව සතුටු කරලා. තමන්ගේ තිබෙන පව් පිං, අකුසල්, කුසල් අනුව තමයි පිහිටක් ලැබෙන්නේ.  

 

 

 

 

 


ලබන සතියට....

 

 

 

 

 


සටහන: 
නිශාන්ත කුමාර බණ්ඩාර