තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ වේග පන්දු යවන්නා ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි


මතකයෙන් නොමැකෙන තරු

 

ක්‍රීඩා විචාරකයන් ඔහු හැඳින්වූයේ ‘නව පන්දුවෙන් උපරිම ඵල නෙළාගන්නා’ ලෙසිනි. පන්දුවේ දෝලනය මනාව පවත්වාගෙන පන්දු යැවීමේ දක්ෂයකු වූ ඔහු, දක්ෂතම වේගපන්දු යවන්නන් වූ ඩෙනිස් ලිලී, ඉම්රාන් කාන්, ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර්, කපිල් දේව්, වසීම් අක්රම්, මැල්කම් මාෂල් වැනි සමකාලීනයන් අතර කැපී පෙනුණු චරිතයක් විය. මෙම විශිෂ්ට ක්‍රීඩකයා නවසීලන්තයේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිය. එවක ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් සිටියේ සිව් දෙනකු පමණි. ඒ ඉම්රාන් කාන්, කපිල් දේව්, ඉයන් බොතම් සහ රිචඩ් හැඩ්ලිය. 


ටෙස්ට් තරග 86කට සහභාගී වී ඇති රිචඩ් හැඩ්ලි කඩුලු 431ක් දවාගෙන තිබූ අතර එවක එය ලෝක වාර්තාවක් විය. ටෙස්ට් කඩුලු 400යේ සීමාව පසු කළ ප්‍රථම පන්දු යවන්නා වූයේ ද රිචඩ් හැඩ්ලිය. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 22.29ක් විය. පිතිකරණයේද දක්ෂයකු වූ ඔහු රැස්කරන ලද සමස්ත ලකුණු ප්‍රමාණය 3124ක් වන අතර එහි සාමාන්‍යය 27.16කි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 15ක් අන්තර්ගතය. 


දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක සාමාජිකයකු ලෙස 1951 ජුලි මස 3 වැනි දින නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි දී උපත ලද රිචඩ් ජෝන් හැඩ්ලි පළමු පෙළ ක්‍රීඩා තරගයකට මුලින්ම සහභාගී වූයේ 1971/72 ක්‍රීඩා වාරයේ කැන්ටබරි කණ්ඩායම සමඟ පැවැති තරගයකටය. 1973දී ඔහුට ටෙස්ට් වරම් හිමි විය. වසර කිහිපයක් ගතවන තෙක් හැඩ්ලි ටෙස්ට් තරගවල  දී එතරම් සාර්ථක වූයේ නැත. ඔහු සහභාගී වූ පළමු පෙළ පළමු තරගයේ දී මෙන්ම පළමු ටෙස්ට් තරගයේදී ද යැවූ පළමු පන්දුවට පිතිකරුවෝ හතරේ පහර බැගින් ලබා ගත්හ. ඔහු දක්ෂතා අතරට පැමිණියේ 1976 දී ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගයේදීය. එහිදී කඩුලු 11ක් ලබා ගැනීමට ඔහු හැකි විය. එම තරගයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක් හිමි වූ අතර හැඩ්ලි තම කණ්ඩායමේ ස්ථාවර විය. 


1978 දී එංගලන්තයට එරෙහි ඉතිහාසගත පළමු ජයග්‍රහණය හිමිකර ගැනීමට නවසීලන්තයට හැකි වූයේ හැඩ්ලියේ දක්ෂතා හේතුවෙනි. තරගයේ දෙවැනි ඉනිමේ දී එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 137ක් ලබාගත යුතු වුව ද ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් හැඩ්ලි එංගලන්ත ඉනිම ලකුණු 64කට සීමා කළේය.


1979/80 ක්‍රීඩා වාරයේ බටහිර ඉන්දීය කොදෙවුවෝ නවසීලන්තයේ සංචාරය කළහ. එවක ලොව දක්ෂතම කණ්ඩායම වූයේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමය. ඩනේඩන්හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එක් කඩුල්ලකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි වූ අතර හැඩ්ලි කඩුලු 11ක් බිඳ දැමීය. දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. එම තරගය ජය පරාජයකින් තොරව අවසන් වුවද නවසීලන්තයට තරගාවලි ජයක් හිමි විය. ඉන්පසු 12 වසරක් නොකඩවා නවසීලන්තය තම භූමියේ දී ලද ටෙස්ට් තරග ජයග්‍රහණ වාර්තාවේ ආරම්භය එය විය. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහුගෙන් ඉටු කෙරුණු සේවය අගය කළ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින ඇයගේ උපන් දිනයට සමගාමීව ‘මෙම්බර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර්’ (එම්. බී. ඊ.) නමැති ගෞරව නාමය රිචඩ් හැඩ්ලිට පුද කළාය. 


1983 නවසීලන්ත කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළ අතර එංගලන්තයේ දී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය හෙඩින්ග්ලි හි පැවැති තරගයේ දී හිමිකර ගැනීමට නවසීලන්තයට හැකි විය. තරග 4කින් යුතු එම තරගාවලිය 3ට 1ක් ලෙස ජය ගැනීමට හැකි වූ අතර එම තරග හතරේදීම හැඩ්ලි පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වීය. නොටින්ග්හැම්හි පැවැති අවසාන ටෙස්ට් තරගයේ දී හැඩ්ලි තම 200 වැනි කඩුල්ල ලබා ගත්තේය. 
1984දී එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී නවසීලන්තය විශිෂ්ට ජයක් හිමිකර ගත් අතර, ඉනිම දෙකෙහිදීම එංගලන්ත පිල ලකුණු 100කට අඩුවෙන් දැවී ගියහ. හැඩ්ලිගේ පන්දු යැවීම ඉදිරියේ ඔවුන් අසරණ වූ අතර නවසීලන්ත පිල ලකුණු 99 ක් ලබා ගනිමින් ඉනිමක ජයක් ලැබීය. එම තරගයේ දී හැඩ්ලි කඩුලු 8ක් ලබා ගනිමින් අයිසීසී පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් විය. ඔහු නොකඩවා වසර හතරක් අයිසීසී හොඳම පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කීවේය. 


1985/86 ක්‍රීඩා වාරයේ ලොව විශිෂ්ටතම වේගපන්දු යවන්නා යන විරුදාවලිය හිමිකර ගැනීමට හැඩ්ලිට හැකිවිය. එම වසරේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ නවසීලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියානු භූමියේ දී ඔස්ට්‍රේලියානුවන් පරාජය කිරීමට සමත් විය. බ්‍රිස්බේන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 52කට කඩුලු 9ක් බිඳ හෙළුෑ හැඩ්ලි, පිත්තෙන් ලකුණු 54ක් රැස් කළේය. දෙවැනි ඉනිමේ දී ඔහු ඔස්ට්‍රේලියානු පිලේ කඩුලු 6ක් බිඳ දැමුවේය. එම තරගයේ ජය හිමි වූයේ නවසීලන්ත කණ්ඩායමටය. දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 7ක්ද, තෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 11ක්ද ඔහු විසින් දවාගනු ලැබිණි. ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ භූමියේ පළමු තරගාවලි ජය ලැබීමට නවසීලන්තයට හැකි විය. එම තරගාවලියේ දී හැඩ්ලි කඩුලු 33ක් ලබාගෙන තිබිණි. ඉන්පසු ක්‍රීඩා වාරයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී හැඩ්ලි කඩුලු 300 සීමාවට ළඟා වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඇලන් බෝඩර්ගේ කඩුල්ල ලබා ගනිමිනි. එම තරගාවලියේ ජය අත්වූයේද නවසීලන්තයටය. 


1986 එංගලන්තය සමඟ පැවැති තරගාවලිය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හැඩ්ලි සුවිශේෂී දායකත්වයක් සැපයීය. පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 10 ලබාගත් හැඩ්ලි ලකුණු 68ක් රැස් කළේය. 
හැඩ්ලි ඇතැම් අවස්ථාවන්හි මතභේදයට තුඩුදෙන ක්‍රියාවල ද නිරත විය. තම ප්‍රතිවාදියාට බවුන්සර් පන්දු එල්ල කරමින් ඔහු පීඩාවට පත් කිරීමට ඇතැම් අවස්ථාවල ඔහු උත්සාහ කළේය. එංගලන්තය සමඟ පැවැති තරගයේ දී එංගලන්ත පිලේ කඩුලු රකින්නා වූ බෲස් ප්‍රෙන්ච්ගේ හිසට බවුන්සර් පන්දුවක් එල්ල කර ඔහු රෝහල් ගත කරන තැනට වැඩ සැලැසුවේය. බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සමඟ පැවැති තරගයක් අතරතුර තම නායකයා වූ ජෙරමි කූනි සමඟ බහින්බස් වූ හැඩ්ලි තරගය පුරා ඔහු සමඟ කතා කිරීමෙන් වැළකී සිටි අතර දෙදෙනා අතර මැදිහත්කරු වූයේ මිඩ්ඔන්හි ක්‍රීඩක ජෝන් රයිට්ය. 


1987 අප්‍රේල් මාසයේ හැඩ්ලි ඇතුළු නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. හැඩ්ලි තම දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරන ලද්දේ එම තරගාවලියේදීය. ඔහු නොදැවී ලකුණු 151ක් රැස් කළේය. එම තරගාවලිය අවාසනාවන්ත අයුරින් අත්හිටුවීමට සිදු වූයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කොළඹ නගරයේ බෝම්බ පුපුරුවා හැරීම හේතුවෙනි. 


1987/88 ක්‍රීඩා වාරයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ තුන් වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 10 දවා ගැනීමට හැඩ්ලිට හැකි විය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ඉයන් බොතම්ගේ කඩුලු 373ක වාර්තාව පසුකර යමින් කඩුලු 374 සීමාවට ළඟා වූ හැඩ්ලි වේග පන්දු යවන්නකු ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව හිමි කර ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීය. එහෙත් අවාසනාවකට මෙන් එම තරගයේදී ආබාධයකට ලක් වූ ඔහුට සෙසු ටෙස්ට් තරග අහිමි විය. එම ආබාධය කෙතරම් දරුණු වූවාද යත් කාලයක් ගතවන තෙක් ඔහුට ඇවිදීමට සිදු වූයේ කිහිලිකරු ආධාරයෙනි. ඔස්ට්‍රේලියානු ක්‍රීඩා විස්තර විචාරක රිචී බෙනෝ සඳහන් කළේ ඔහු සඳහටම ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇතැයි තමා සිතූ බවයි. එහෙත් කල් නොගොසින්ම ඔහු සුවය ලබා යළි පිටියට පිවිසියේය. 1989/90 ක්‍රීඩා වාරයේ නවසීලන්ත ඉන්දියානු සංචාරයේ දී හැඩ්ලි කඩුලු 400 ලෝක වාර්තාව බිහි කළේය. ඔහුගේ 400 වැනි ගොදුර වූයේ සංජේ මන්ජ්රේකාර්ය. 


1990 ජුලි 10 දින හැඩ්ලි තම අවසන් ටෙස්ට් තරගයට සහභාගී වූයේ එංගලන්තයට එරෙහිවය. එම වසරේ දෙවැනි එළිසබෙත් රැජිනගේ උපන් දිනයට සමගාමීව හැඩ්ලි නයිට් නාමයෙන් පුදනු ලැබීය. අවසාන ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් ලබා ගත් ඔහු තම ටෙස්ට් දිවියේ යවන ලද අවසන් පන්දුවෙන්ද කඩුල්ලක් ලබා ගත්තේය. 


ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි දකුණත් වේග පන්දු යවන්නෙකි. වමත් පිතිකරුවෙකි. එය ඔහුගේ සුවිශේෂී ලක්ෂණයකි. ඔහුගේ ප්‍රියතම පන්දුව අවුට්ස්විංගර් පන්දුවය. ඔහු තම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරන ලද්දේ එම පන්දුව උපයෝගී කර ගනිමිනි. 


හැඩ්ලිගේ ක්‍රීඩා දිවියට වැඩි බලපෑමක් කළ පුද්ගලයා ඩෙනිස් ලිලීය. “ඔහු දැවැන්තයෙක්. ශක්තිමත්, නිරෝගී, දැඩි ආත්ම ශක්තියෙන් හෙබි, ආක්‍රමණශීලි, අපූරු කුසලතාවකින් හෙබි පන්දු යවන්නෙක්. ඔහුගේ තාක්ෂණය සුවිශේෂී වූවක්.” යනුවෙන් හැඩ්ලි ඩෙනිස් ලිලී පිළිබඳව සඳහන් කර තිබේ. 


එක්දින තරග 115කට සහභාගී වී ඇති ඔහු ලකුණු 1751 රැස්කර ඇති අතර කඩුලු 158ක් බිඳ හෙලා තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 52කට කඩුලු 9ක් වන අතර එක්දින හොඳම පන්දු යැවීම ලකුණු 25ට කඩුලු 5කි. 


1973 පෙබරවාරි 3 දින පාකිස්තානය සමඟ වෙලින්ග්ටන්හි පැවැති ටෙස්ට් තරගයෙන් තම ටෙස්ට් දිවිය ආරම්භ කළ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි 1990 ජූලි 5 දින එංගලන්තය සමඟ බර්මින්හැම් හි පැවැති ටෙස්ට් තරගයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. 


ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි කලක් නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සේවය කළේය. 2002දී විස්ඩන් ක්‍රිකට් සඟරාව ඉතිහාසය පුරා බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නන් අතර දෙවැනි විශිෂ්ට පන්දු යවන්නා ලෙස ඔහු නම් කළේය. 2009 මාර්තු මාසයේදී නවසීලන්තයෙන් බිහිවූ ක්‍රිකට් වීරයන් 12 දෙනා අතරට හැඩ්ලිද නම් කෙරිණි. ඔහුගේ විශාල ප්‍රමාණයේ උඩුකය ලෝකඩ ප්‍රතිමාවක් ක්‍රයිස්ට්චර්ච් කලා මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීහු පියවර ගත්හ. 2009 අප්‍රේල් 3 දින ඔහු අයීසීසීයේ කීර්තිමත් ක්‍රීඩකයන් අතරට නම් කෙරිණි. 


හැඩ්ලි පවුලේ සියල්ලන් ක්‍රිකට් ක්‍රීඩාවට ළැදියෝ විය. ඔහුගේ පියා වෝල්ටර් හැඩ්ලිය. සොහොයුරන් වූ ඩේල් සහ බැරී ද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූහ. ඔහුගේ කලින් බිරිය වූ කැරන්ද නවසිලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී වූ ක්‍රීඩිකාවකි.

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා