තිරිසන් අපාය තියෙන්නේ මේ මහපොළොවේමයි


බුදුන්වහන්සේ වදාළ අපාය මූලික වශයෙන් වර්ග කිරීමේදී කොටස් හතරකි. එනම් නරකය (නිරය) තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය හා අසුරයයි. මේ අතරින් තිරිසන් ​ෙලා්කය මිහිපිට වෙසෙන අපට පෙනේ. එහි ජීවත් වෙන සත්වයෝ විඳින දුක් ගැන බුදුරජාණන් වහන්සේ මනාවත් මනාකොටත් දේශනා කර ඇත.   ‘‘මහණෙනි, මේ තිරිසන් සත්ත්වයෝ අපමණ දුක් විඳිති. ඒවා වචනයෙන් කියා නිම කළ නොහැකිය.’’   තිරිසන් සත්ත්වයන් දුක් විඳින ආකාරය බාල පණ්ඩිත සූත්‍රයේ පැහැදිලිව විස්තර කෙරෙයි.   

 

 

‘‘මහණෙනි, තණකොළ අනුභව කරන තිරිසන් ගිය ප්‍රණීහු වෙති. එම සත්ත්වයෝ තෙත් වූද, වියළිවුද තණකොළ දත්වලින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදින තිරිසන් ගිය සත්ත්වයෝ කවරක්හුද යත් අශ්වයෝ, ගොන්නු ගද්‍රභයෝ, එළුවෝ මුවෝ මෙන්ම ශාක භක්ෂක සියලු සත්ත්වයෝ මේ ගණයට අයත් වෙති.   


තිරිසන් යෝනියේ උපදින්නේ කවරහුද? මෙලොව ජීවත්ව සිටියදී භෞතික සැප සම්පත්වල ඇලීගැලී සැප සම්පත් රස විඳිමින් ඒ පසුපස දුවමින් නොයෙක් දුරාචාරයේ හැසිරී පවුකම්කොට ශරීරය බිඳීමෙන් පසු මියැදෙන්​ෙනා්ය.   


මේ කාරණා අනුව බලද්දී අපගේ දෑසට හසුවන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කාම රූප අරූප භවයනයට අයත් සිය ගණනක් ලෝක අතරින් තිරිසන් ​ලෝකය පමණි. ඒද ඔවුහු බොහෝ දෙනෙක් මනුෂ්‍ය වාසය හා ඇසුරේ සිටින නිසාය.   


ඔබම මොහොතක් කල්පනා කළොත් මේ තිරිසන් සත්වයන්ට බඩගින්න දැනෙන විට හරි හමන් කෑමක් නොලැබේයි. පිපාසාව දැනෙන විට හරියට ජලය නොලැබෙයි. සංවාසයේ යෙදීමට ගිය තැන මිනිසුන්ගේ ගල් මුල් ප්‍රහාරයට ලක් වෙයි. තම වාසයෙන් එළියට පැමිණි විට තමන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා වීමට බොහෝ පෙරැත්ත කරන්නට සිදුවෙයි.   


මී ගුලකට රිංගා මීයකු ඩැහැගෙන යන ගැරඬියකු ගැන කල්පනා කරන්න. බළලකු විසින් ඩැහැගත් ලේනෙකු ගැන සිතන්න. මේ සියල්ල අනුව තිරිසන් අපාය යනුම අතිශයින්ම දුකත් ත්‍රාසයත් බියත් පිරුණු තැනෙකි. මීටත් වඩා නිරය බොහෝ බරපතළය. එය පියවි ඇසට නොපෙනෙන නිසා ඉහත තිරිසන් අපායේ විස්තරය මුලින් ලියන්නට සිදුවිය. තිරිසන් සත්වයන් පහළ වෙන ස්ථාන රාශියක් බුද්ධ දේශනාවෙහි විස්තර කෙරෙයි.   


එයද මේ සමඟ දක්වමු.   


ඒ වනාහි  

 

  • අශූචි අනුභව කරන තිරිසන් ගිය සත්ත්වයෝ (කුකුළෝ, ඌරෝ, බල්ලෝ සිවල්ලු.)   
  • අඳුරෙහි ඉපදී අඳුරෙහිම මියැදෙන තිරිසන් ගිය සත්ත්වයෝ (පණුවෝ, ගැඬවිල්ලු කීටයෝ වැනි සතුන්)  
  • දියෙහි ඉපිද දියෙහිම මියැදෙන තිරිසන් ගිය සත්ත්වයෝ (මත්ස්‍යයන් කිඹුලන් දියබරි දිය නයි)   
  • අසූචියෙහි උපදින සත්ත්වයෝ   
  • කුණු මස්වල හට ගෙන මියැදෙන සත්වයෝ   
  • කුණු වූ මළ කුණුවල හටගෙන මියැදෙන සත්ත්වයෝ   
  • කුණු වූ ආහාරවල හටගෙන මියැදෙන සත්ත්වයෝ   

 

තවත් බොහෝ දේශනාවන්ට අනුව තිරිසන් අපාය පාද නැති තිරිසන් සත්තු, දෙපා ඇති තිරිසන් සත්තු, සිවුපා ඇති තිරිසන් සත්තු, බහුපා ඇති තිරිසන් සත්තු වශයෙන් ද වර්ග වේ.   


මේ තිරිසන් අපාය අපගේ පියවි දෑසට නොපෙනුනා නම් එයද බුද්ධ දේශනා වූ පමණටම කෙනෙකුන් විශ්වාස නොකරනු ඇත. නමුත් ලෝකයේ පිටසක්වළක් ගැන පර්යේෂණ කරන බුද්ධි ගෝචර විද්‍යාඥයෝ කිසිම ලෙසකට බුද්ධ දේශනාව විවේචනය නොකරන්නේ එය කල්පිතයකට හෝ අතිශයෝක්තියකට එහා ගිය සත්‍යයක් ඇති බව තහවුරු කරගන්නට දැඩි උත්සාහයක ඔවුන්ද යෙදෙන නිසාය.   
මනෝ අධිගමයක් තුළින් විනිවිද ගිය මේ සත්‍යය තවමත් නූතන තාක්ෂණයෙන් විනිවිද යන්නට උපකරණ නිපදවා නැත. ඉරක් හඳක් ඇති මේ සක්වළේ පෘථිවියෙන් යාන්තම් එහාට ගිය විද්‍යාඥයෝ කවුද? මේ සක්වළ කවදා විනිවිද යන්නද? කවදා අපාය විනිවිද දකින්නද? දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කරායන්නද? එහි ජීවීන් පිළිබඳව කවරාකාරයෙන් කවදා කරුණු සොයාගන්නද? යම් දිනෙක ඒවා සිදුවන්නට හෝ නොවන්නට පුළුවන්. එතෙක් කල්පිතයක් නොවූ මේ පිටසක්වළ පිළිබඳ සත්‍යය පවතින තොරතුරු හා මූලාශ්‍රයෙන් විනිවිද යා යුතුය.   


දෙවුදත් තෙරුන් මහපොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ඇදී ගියේ සැවැත් නුවරේ දෙවුරම් වෙහෙර පෙනි පෙනීමය. ඒ අනුව නිරය පොළොවේ බොහෝ යට පවතින්නක් විය යුතුය.   


නිරයන් 136ක් බුද්ධ දේශනාවේ පවතින අතර ඊට වැටෙන්නේම ජීවත්ව සිටිද්දී නොයෙක් පාප කර්මයේ යෙදුණෝය.   
මේ නිරයේ පවතින දඬුවම් පිළිබඳ නොයෙක් විස්තර තියෙයි.   


එ් අතර එහි පවතින කටු ගහේ නැග්ගවීමක් විස්තර වෙයි. මේ කටු ගස් යනු මොනවාද? නිරයේ ගස් තියේද?

  
නිරයේ සැඩ ගිනි ජාලාවන්ගෙන් පිරී ගියකි. එහි රශ්නයට ඔරොත්තු දෙන ගස් ද නැතිවා නොවේ. දැන් මේ පෘථිවියේ ශීතල කලාපවලට ඔරොත්තු දෙන ගස් වේ. සෞම්‍ය දේශගුණයට ඔරොත්තු දෙන ගස් වේ. වියළි දේශගුණයට ඔරොත්තු දෙන ගස් වේ. අධි ශීත හා අධි වියළි කලාපයන්ට ඔරොත්තු දෙන ගස් වේ. එවැනිම ආකාරයට අපායේ දැඩි රශ්නය දරා සිටින විශාල හිඹුල් වනයක් තිබෙයි. මේ හිඹුල් වනයේ ගස් එකකවත් කොළ හට නොගනී. දැඩි ගින්දරට ඔරොත්තු දීමට හැකි කටු පමණකි. ඒ කටුවක් දිගින් අඩි එක හමාරක් පමණ වෙයි. යොදුන් සීයක් උස මේ හිඹුල් ගසේ මුල සිට අග දක්වාම කටු තියෙයි. නිරි සත්තු මේ හිඹුල් ගස් දිගේ නග්ගන්නේ බස් වන්නේ මනුෂ්‍ය ලෝකයේදී කළ පවුකාරකම්වලට දඬුවම් වශයෙනි. මනුෂ්‍යයා සොබා දහමේ සතෙකි. ලෝක ධාතුවේ ජීවියෙකි. ඔහු කරන වරදට මනුෂ්‍යන්ම හදාගත් දඬුවම් වනාහි හිරේ විලංගුවේ දැමීම, එල්ලා මැරීම ආදියයි. එහෙත් ලෝක ධාතුවේ සත්ත්වයාට සොබාදහම තීරණය කරන දඬුවම් බොහෝ බරපතළ බව අපායට ගිය විට පෙනෙයි.   


නිරයෙහි දුක් විඳින සත්ත්වයන්ගේ දෝංකාරය, විලාප හඬ කන් දෙදරා යන තරම් වේ. එය අපේ සංසාර චක්‍රයේ වධකාගාරයයි.   
අසිපත්වලින් යුත් වනයක් ගැනද නිරය පිළිබඳ විස්තරයේ කියවෙයි. මේ අසිපත් ගස් යනු ද සාමාන්‍ය ශාක විශේෂයක් බව කිව යුතුය. ඒවායේ පත්‍ර හා අතු බ්ලේඩ් තලමෙන් මුවහත් වී තියෙයි. ඒ අතරින් නිරි සත්ත්වයන් එහි මෙහා පන්නා හරින විට ඔවුන්ගේ අත් පා කැපී යයි. නාසය කැපී යයි. කන් කැපී යයි.   


තවත් නිරි සත්ත්වයන්ට ලෝදිය බීමට දෙයි. ලෝහ ගුළි ගිල්වයි. උණුසුම් ලෝහ ගුළිය දෙතොල දවයි. උගුර දවයි. උදරය දවයි. බඩවැල් දවයි. අධෝ මුඛයද දවා ගෙන නික්මී යයි. එසේම අත පා කපයි.   


​ෙම් සංසාර ගත වධකාගාරය හා 80 දශකයේ ලංකාවේ පැවැති වධකාගාරවල සිටියවුන් කියන කතා බැලු විට ඊට දහස් ගුණයකට වැඩි වේදනා නිරයේදී හිමි වෙයි.   


නිරයේ ගියවිට වෙනස ආයුෂ අවුරුදු සිය දහස් ගාණක් ගෙවී ගියද මැරී මැරීම කළ පවුකම් විපාක දෙන තුරුම අපායේ පැසීමය. එය මනුෂ්‍ය ​ලෝකයට වඩා බොහෝ වැඩි පිරි පිරිසක් වෙසෙන පිටස්තර ලෝකයකි.   


එහි උපන්නහුගේ ආයුෂය ගැන බුද්ධ දේශනාව ඇසුරින් උපමා කතාවකින් විග්‍රහ කළ හැකිය.   


යොදුන් සීයක් උස යොදුන් සීයක් පළල යම් පර්වතයක් පවතීද, එහි මුදුනින් වසර සීයකට වරක් දිව්‍යාංගනාවක් නැගෙනහිරට යන්නීය. නැවත වසර සියයකට වරක් නැගෙනහිර සිට බස්නාහිරට යන්නීය.   


ෙමසේ නැගෙනහිරින් බස්නාහිරටත් බස්නාහිරින් නැගෙනහිරටත් ගමන් කරන විට දිව්‍යාංගනාවගේ සළු පටෙහි අග පර්වතයේ වැදී එහි මුදුන යම් ප්‍රමාණයක් ගෙවී (ක්ෂය) වී යයිද අබ්බුදය නම් නිරයේ අායු කාලය අවසන් නොවේ.   


මහණෙනි,   

 

  • නිරබ්බුද නම් නිරයේ ආයු කාලය ඉහත දැක් වූ අබ්බුදය නම් නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි. 
  • අබ්බ නම් නිරයේ ආයු කාලය නිරබ්බුදයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.  
  • අහ්හ නම් නිරයේ ආයු කාලය අබ්බය නම් නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.   
  • අට්ටය නම් නිරයේ ආයු කාලය අහ්හ නිරයේ ආයු කාලය මෙන් 20 ගුණයකි. 
  • කුමුදු නම් නිරයේ ආයු කාලය අට්ටය නම් නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.   
  • සෝගන්ධික නම් නිරයේ ආයු කාලය කුමුදු නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.  
  • උප්පලක නම් නිරයේ ආයු කාලය ​සෝගන්ධික නම් නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.  
  • පුණ්ඩරික නම් නිරයේ ආයු කාලය උප්පලක නම් නිරයේ ආයු කාලය මෙන් 20 ගුණයකි.  
  • පදුම නම් නිරයේ ආයු කාලය පුණ්ඩරික නම් නිරයේ ආයු කාලය මෙන් විසි ගුණයකි.  

 

මොහොතක් සිතන්න මනුෂ්‍ය ලෝකයේ කාලය කෙතරම් සුළුද? එහෙත් නිරය? ඔබ මේ ජීවත් වෙන කෙටි කාලය තුළදී කරන යම් පාප කර්මයකට ලෝක ධර්මතාවයට හා විශ්වයට යටත් සත්ත්වයකු වෙන ඔබට නිරයේ දී ලැබෙන දඬුවම හා දඬුවම් විඳින කාලය පෙනෙනවා නේද?   


එහි අවීචියට ගිය දේවදත්ත ස්ථවිරයන්ව අදත් මනුෂ්‍ය ලෝකයෙන් චුත වී අවීචියේ උපදින අයට දකින්නට ලැබෙයි. දේවදත්ත තෙරුන්ට අවීචියෙහි කාලයෙන් තවමත් ගෙවී ඇත්තේ සුළු කාලයෙකි.   


මනුෂ්‍යයන් විසින් මොලොවදී කරන පාප කර්ම අනුව තමන්ටම තමන් උපයන නිරය තීරණය කළ හැකි බවද බණ පොත විස්තර කර දෙයි. ඒ ගැන ද සුළු අදහසක් ඔබට ලබා දෙමු.   

 

  • මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට හා පැවිදිතුමන්ට තලාපෙළා හිංසා කරන අය අබ්බුද නිරයට වැටෙන්නේය.  
  • වසවිෂ මත්පැන් මත්ද්‍රව්‍ය අවි ආයුධ නිපදවා විකුණන්නෝ නිරබ්බුද නිරයට වැටෙන්නාහ.  
  • වධ බන්ධන කොට මිනිසුන් තලා පෙළා මරා දමන්නෝ අබ්බය නිරයේ උපදින්නේය.  
  • පර අඹුවන් පර පුරුෂයන් සේවනය කළෝ කටුඹුල් නිරයේ උපදින්නේය.   
  • තමා විසින් ගත් ණය නොගෙව්වෝද, දරුවන් විකුණුවෝද මිත්‍ර දෝහීන්ද, බොරුවට දිවුරූ අයද සතුන්ට වධ දීමට අත් පා කැපුවෝද ගුත නිරයට වැටෙන්නෝය.   
  • තමන්ගේ බල පුළුවන්කාරකම්වලින් මිනිසුන් තලා පෙළා දැමු අයට පදුම නිරය උරුමවන්නේය.  
  • පස් පවෙහි ඇලී අකුසල කළෝ අට්ටය නිරයේ උපදින්නාහ.   
  • ධර්ම රත්නය කෙරේ ගැරහුවෝ සෞගන්ධික නිරයට වැටෙන්නාහ.   
  • අනුන් මුළා කරවා ඔවුන්ගේ භාණ්ඩ මිලට මුදල් ගෙන තමන් සැප වින්දෝ අහ්හ නිරයට වැටෙන්නෝය.   
  • තෙරුවනට නිග්‍රහ කළ හෝ අභූත චෝදනා කළ මෝඩයෝ කුමුද නිරය උරුමවෙති.  
  • සිල්වතුන්ට සත්පුරුෂයන්ට ද්වේෂ කළ අය කුක්කුල හෝ උප්පල පුණ්ඩරික නිරයන්ට වැටෙති.  
  • විහාර ආරාම විනාශ කරන අය ආරාම දූෂක නිරයේ උපදින්නේය.  
  • ස්ත්‍රීන් කෙරේ අධික ලෙස ලොල්වුවහු මුත්තග්ගි මුත්ත තරිසග්ගි දූස මලග්ගි විපරිතග්ගි යන නිරයන්ට වැටෙති.  
  • තමා විසින්ම ඇති කළ ඌරන්, කුකුළන් ගවයන් මසුන් මරා මස් කරන්නෝ අසිපත් නිරයට වැටෙති.   
  • සුරාවට උපන් හපනුන් පසුතග්ගි හා ලෝකුඹු නිරයනට වැටෙති.   
  • අසරණ සතුන්ට පීඩා කළ අය වේතරණී නිරයේ උපදින්නෝය.  
  • තමන් ධනයෙන් ආඪ්‍ය වී දුප්පතුන්ට සත්පුරුෂයන්ට කායික මානසික පීඩා කළ අය චරෝදිකා නිරයට වැටෙති.   
  • වෙහෙර විහාර හා පූජනීය වස්තූන්ට අවමන් අපහාස කරන අය උච්චාරූල්හ නිරයට වැටෙන්නේය.   
  • සඟසතු දේපළ භූක්ති විඳින්නෝ අනුපට්ඨතග්ගි හා විලසග්ගි නිරයන්හි උපදිති.
  • සූදුව ජීවිතය කරගත් මිනිස්සු විරහිතග්ගි නිරයේ උපදිති.   

 

 

මේ ඉහත දැක්වූ නිරය වනාහි නිරයේ දරුණුතම කොටස වන අට මහා නිරය නොවේ. එහෙත් අතිශය දරුණු වධ වේදනා විඳින්නට වෙන නිරයන් අතරින් සමහරකි.   


මේ කිසිවක් ඔබට නෙත් මානයේ නැත. එහෙත් ඔබ කරන වැඩ සමඟ පෙනෙන මානයේම තිබිය හැක.   


විද්‍යාඥයන් කිසිවෙක් බොරු යැයි නොකියන ලෝක සත්‍යයේ අප කවුරුත් විනිවිද යා යුතු පිටසක්වළෙහි තවත් කොටසක් වනුයේ මෙයයි.

  
මතු සම්බන්ධ වේ.   


රත්මලාන කඳවල නවෝද්‍යා මහා විද්‍යාලයේ,  
නියෝජ්‍ය විදුහල්පති,  
තලංගල්ලේ සුධම්ම හිමි.   
ලිව්වේ :- අසංක අාටිගල