ත්‍රිග්‍රහ යෝගයෙන් ඔබට ලැබෙන හොඳ නරක


 

එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීමට සංයෝග යැයි කියනු ලැබේ. ඇතැම් විට රාශියක අංශක 28ක තරම් ඈතින් ග්‍රහයෙක් සිටියොත් ඉන් සංයෝග පල නොලැබේ. නමුත් රාශි දෙකක වුවත් එකිනෙකට කිට්ටුවෙන් සංයෝග වී ඇත්නම් ඉන් නිසි පල ලැබේ. මින් අදහස් වන්නේ ග්‍රහයින් ග්‍රහයින්ගේ සංයෝග එකිනෙකට කිට්ටුවෙන් සිටිය යුතු බවයි. මේ අනුව නියම සංයෝග ඵල ලැබීමට නම් එකිනෙකට ළඟින් ග්‍රහයින් ස්ථානගත විය යුතුයි. එක් ග්‍රහයෙකුට අයිති රශ්මි මණ්ඩලය ඇතුළත තවත් ග්‍රහයෙකු සිටී නම් නියම සංයෝග ඵල ලැබේ.  


ග්‍රහ සංයෝග ගැන කතා කිරීමේ දී ප්‍රධාන සංයෝග කීපයක් මෙසේ දැක්විය හැකිය.  


1. ද්වී ග්‍රහ යෝග  
2. ත්‍රිග්‍රහ යෝග  
3. චතුර් ග්‍රහ යෝග  
4. පංච ග්‍රහ යෝග  
5. ෂඩ් ග්‍රහ යෝග  


මේ ග්‍රහ යෝග අතරින් මේ ලිපියෙන් දැක්වීමට මා අදහස් කරන්නේ ත්‍රිග්‍රහ යෝග කීපයක් පිළිබඳවයි. අනිත් ග්‍රහ යෝග ඉදිරි ලිපි මගින් දැක්වීමට අදහස් කරමි.  


01. රවි/කුජ/බුධ යෝගය  


මේ යෝගය බොහෝ විට සුභ ඵල ගෙන නොදෙයි. අනුන්ට අපහාස කර කර තැනින් තැන ඇවිදින පුද්ගලයන් මේ යෝගයෙන් උපන් අයයි. අනාචාර ක්‍රියාවල නිරත වෙයි. ස්ථිර රැකියාවක් සොයා ගැනීමට නොහැකියි. නෑදෑයින්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදු වේ. පව්කාර අවාසනාවන්ත ජීවිත ගත කරයි.  


02. චන්ද්‍ර/කුජ/ගුරු යෝගය  


මේ යෝගයෙන් උපන් අය අධික කාමාධික පුද්ගලයන්ය. ස්ත්‍රීන්ගේ සිත් දිනා ගැනීමට ඉතාම දක්ෂයි. කේන්ද්‍රයේ බලවත් ස්ථානයක සිටියොත් ඉතාම ධනවත් පුද්ගලයෙකු වේ.  


03. චන්ද්‍ර/කුජ/සිකුරු යෝගය  


​ෙම් යෝගයෙන් උපන් පුරුෂයෝ ස්ත්‍රීන් සම්බන්ධව සිතින් හා ක්‍රියාවෙන් කාලය ගත කරන්නෝය. අධික වීර්යය ඇති ශක්තිමත් පුද්ගලයන්ය. තම නිවසේ දී හමුවිය නොහැකි තරම් නිවසින් පිට ජීවත්වීමට කැමැත්තක් දක්වති. කිසියම් කේන්ද්‍රයක මේ යෝගය නරකට සිටියොත් දූෂිත ක්‍රියාවල ප්‍රසිද්ධ කෙනෙක් වේ. ලැජ්ජා බය නැති කෙනෙක් වේ. රැජිනියකගේ මේ යෝගය යෙදුණොත් පුරුෂ අන්තඃපුරයක් තබා ගනී.  


04. චන්ද්‍ර/කුජ/ශනි යෝගය  


මේ යෝගයෙන් උපන් තැනැත්තා බාල කාලයේ දැඩි දුක් විඳියි. මවුගේ හානිය ද සිදුවීමට ඉඩ තිබේ. 6-8 රාශිවල යෙදුණොත් බාල කාලයේ දී මැරෙන්ට පුළුවන. කෙසේ හෝ ජීවත් වුවහොත් බලවත් කෙනෙක් බවට පත් වේ. කිසිවෙකුට මෙල්ල කළ නොහැකි දැඩි සිතක් ඇති තද කෙනෙක් වේ. නරකට සිටියොත් පවට භය නැති දුෂ්ටකම් කරන්නෙකු වේ.  


05. චන්ද්‍ර/බුධ/ගුරු යෝගය  


මෙය ඉතාම වටිනා යෝගයකි. සිතත්, ඥානයත්, විද්‍යාවත් එකට එක් කළාක් මෙනි. මෙම යෝගයෙන් උපන් තැනැත්තා ඉගෙනීමෙන් උසස් වේ. එමගින් සැප සම්පත් ලබා ගනී. ප්‍රිය අඹුදරුවන් ඇති කෙනෙක් වේ. උගත් අයට මිත්‍රයෝ වෙති. ලෝක ප්‍රසිද්ධ වාගීශ්වරයන් හෙවත් පණ්ඩිතයෝ වෙති. ජීවිතය යහතින් ගත කරයි. බලවත් ස්ථානයක මේ යෝගය පිහිටියේ ඉතාම බලවත් වේ. සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු වේ. කේන්ද්‍රයේ ඉතාම නරක ස්ථානයක පිහිටියත් ශුභ ඵල ගෙන දේ.  


06. චන්ද්‍ර/බුධ/සිකුරු යෝගය  


මෙය හිතත්, ඥානයත් නාමයත් එකට එක් කරන ලද යෝගයකි. මෙම යෝගයෙන් ඉහත යෝගයෙන් ලැබෙන සුබ ඵල ලැබෙන නමුත් බරපතළ වැරදි තිබේ. එනම් අනාචාරශීලීභාවය නිසා චරිතය අපිරිසිදු කර ගැනීමයි. මේ අතින් කිසිම ලැජ්ජාවක් නැත. හැට පිරුණත් තරුණ ස්ත්‍රීන්ට ආශා කරයි. ඒවා නිරායාසයෙන්ම ලැබේ. මේ යෝගයෙන් උපන් අය තමන් නිතරම තරුණ යැයි පෙනේ.   


07. චන්ද්‍ර/බුධ/ශනි යෝගය  


මේ යෝගය ද යහපත් එකක් වේ සඳු බුධ දෙදෙනාගේ යහපත් ගති වෙනස් වෙන්න ඉඩ නොදී තදව ස්ථිරව තබා ගැනීමට ශනි උපකාර වේ. මේ අනුව හිතත්, ඥානයත්. ස්ථිරකමත් එකට එක්වූ බැවින් ඉතා ගුණවත් ඥානවන්ත කෙනෙකු වේ. උගතෙකු වෙයි. රජුන් මෙන් පුද සත්කාර ලබන සිල්වත් උගත් පණ්ඩිතයෙකු වේ. බොහෝ තැන්පත් ලක්ෂණ පෙන්නුම් කරයි.  


08. චන්ද්‍ර/ගුරු/සිකුරු යෝගය  


මේ තිදෙනාගේ යෝගය ද ඉතාම යහපත් එකකු වේ. තමන්ගේ මව ඉතාම උසස් කෙනෙක් වේ. ළදරු කාලයේ සිටම ඉතාම සැපෙන් ජීවත් වේ. නියමිත වියේ දී යහපත් විවාහයක් කරගනී. භාර්්‍යාව හා දරුවෝ ද උසස් වෙති. බුද්ධියෙන් ධනය උපයයි. ස්ත්‍රීන්ගේ කරුණාව ආධාර නිරායාසයෙන් ලැබේ. බොහෝ උසස් වෙළෙඳ‌ාම හෝ උගත් කමින් කරන රක්ෂාවකින් ජීවත් වේ. කේන්ද්‍රයේ 4 වැන්නේ නම් ඉතා යහපත් පිහිටීමකි. නරක ස්ථානයක පිහිටියත් ශුභ ඵල ගෙන දේ.  


09. චන්ද්‍ර/ගුරු/ශනි යෝගය  


මේ යෝගය ද යහපත් එකක් වේ. පෙර කී යෝගවල ඵල මෙම යෝගයෙන් ද ලැබේ. වැඩිහිටි ස්ත්‍රීන් කෙරෙහි වැඩි ලොල් බවක් පෙන්නුම් කරයි. ඇතැම් විට භාර්යාව ද එවැන්නෙක් වේ. ඉගෙනීමත්, බලයෙන් ධනයෙන් උසස් ගුණධර්මවලින් අඩුවක් නොමැත. රජයෙන් ගරු සම්මාන ලැබීමට භාග්‍ය ලැබේ.  


10. චන්ද්‍ර/සිකුරු/ශනි යෝගය  


මෙය ඉතා පුදුම යෝගයකි. චන්ද්‍ර/සිකුරු ස්ත්‍රීන් දෙදෙනෙකි. හිතට හා කාමාශාවට ද අධිපති වේ. ශනි තද ස්ථිර රෝගී වූ මෙලොව කලකිරුණු මහල්ලෙකි. මෙවැන්නන්ට ස්ත්‍රීන් විෂය මේ යෝගයෙන් උපන් අය ඒකාන්තයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වේ. හොඳින් මහණ දම් පුරයි. උගත් සිල්වත් භික්ෂුවක වේ. ගිහිගෙයි විසුවොත් උගත් මහා පණ්ඩිතයෙකු වේ. මහාචාර්ය කෙනෙක් වේ. රාජගුරු වේ. රජයේ මැති ඇමැතින්ට උපදෙස් දෙන කෙනෙකු වේ. අතිදක්ෂ උගත් ලේඛකයෝ ද මේ යෝගයෙන් උපන් අය වෙති.  


11. කුජ/බුධ/ගුරු යෝගය  


මේ යෝගයෙන් උපන් තැනැත්තා දක්ෂ කවියෙකු වේ. එපමණක් නොව භාර්යාව ද කාව්‍යාකාරියක වේ. නැටුම් ගැයුම් සංගීතය ප්‍රිය තැනැත්තෙකු වේ. මොහු සමග ආශ්‍රය කිරීමට ඉතාම ප්‍රිය උපදවයි. නිතර සතුටින් ජීවත් වේ. තම දරුවෝ කාව්‍යකරණය දක්ෂ වෙති. තමන්ගේ ආදායම් මාර්ගය ද එය වේ.  


12. කුජ/බුධ/සිකුරු යෝගය  


මෙය සුභ ඵල දෙන යෝගයක් නොවේ. බොහෝ විට උපදින ඉන්ද්‍රිය දුර්වලකම් ඇති වේ. අහංකාර බොරු කියන කෙනෙකු වේ. දූෂිත චරිත ඇත්තෙකි. ඉගෙනීමට දුර්වලයි. ඉගෙන ගත්තත් ඵලක් නොලැබේ. බුධ නරකට සිටියොත් ලිංග රෝග සෑදීමටත් කුජ නරකට සිටියොත් ද‌ාමරිකකම් කිරීමටත් සිකුරු නරකට සිටියොත් පහත් ස්ත්‍රීන්ගේ ඇසුරු පැතීමටත් හේතු වේ.  


13. කුජ/බුධ/ශනි යෝගය  


මේ යෝගය ද ශුභ ඵල දෙන යෝගයක් නොවේ. ඇස් රෝග සෑදේ. නිතර නිතර කාර්යක් නොමැතිව අැවිදින්නෙකු වේ. උසස් රැකියාවක් නොකරයි. අනුන්ට අපහාස කර කර ජීවත් වේ. සිනහව මුහුණේ නොමැති කුඩුකේඩු අයෙකු වේ.  


14. කුජ/ගුරු/සිකුරු යෝගය  


වටිනා ශුභඵල දෙන යෝගයකි. යහපත් උගත් අයෙක් වේ. මේ යෝගයෙන් උපන් අයගේ දරුවන් උගත් අයයි. යහපත් භාර්යාවක් ලැබේ. සෑම අතින්ම දියුණුවෙන් දියුණුවට පත් වේ. මෙම යෝගවල හොඳ නරක තීරණය වීමේදී කේන්ද්‍රයේ අනිකුත් ග්‍රහයින්ගේ බලෑම් සැලකිල්ලට ගත යුතු බව සඳහන් කරමි. ඉතිරි ත්‍රිග්‍රහ යෝග ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.  

 

 


විශ්‍රාමලත් විදුහල්පති ප්‍රවීණ ජ්‍යොතීර්වේදී  
කේ.ඩී.ආර්.පී. රාජකරුණා  
ගුරු සෙවන ජොතිෂ්‍ය කාර්යාලය  
වතුරවෙල - කොස්ගොඩ