ත්‍රිකුණාමලය වරායට ගහන්න ආ මුහුදු කොටි නායකයකුගේ පාපොච්චාරණය


 

  • සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මත්පැන් හා මුදල් වලට ගිජු වී උදව් කරලා.   
  • සිවිල් ඉංජිනේරුවරයෙකු හා නාවික හමුදා නිලධාරියකුත් සහය වෙලා.   
  • ගුවන් යානයක් හා හෙලිකොප්ටරයක් මිසයිල් ගහලා විනාශ කළා.   

 

එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බළකායේ ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළත් එම උත්සාහයත් සාර්ථක ලෙස මැඩපවත්වා ගැනීමට නාවික හමුදාවේ රණවිරුවෝ සමත් වූහ.   


ඒ සෑම ප්‍රහාරයක්ම නාවික හමුදාව සාර්ථක ලෙස මැඩපැවැත්වූයේ මුහුදු කොටින්ට දැවැන්ත පරාජයක් ද අත්පත්කර දෙමිනි.   


මරාගෙන මැරෙන මුහුදු කොටි ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නැංගුරම් ලා තිබූ රණසූර සහ සූරයා යන අධිවේගී ප්‍රහාරක යාත්‍රා දෙකක් බෝම්බ අටවා පුපුරුවා හරිනු ලැබුවේ 1995 වසරේ අප්‍රේල් මාස​ෙය් 19 වැනිදාය.   


පොදු පෙරමුණු රජය හා කොටි සංවිධානය අතර පවත්වාගෙන ගිය සාම සාකච්ඡා බිඳවැටීමෙන් පසු කොටි සංවිධානය එල්ල කළ පළමු ප්‍රහාරය වනුයේ ද මෙයයි.   
මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තුන් වැනි ඊළාම් සටනේ ආරම්භය ද විය.   


2001 වසරේදී ද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර සංකීර්ණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර සහමුලින්ම විනාශ කර දැමීමට මුහුදු කොටි බළකායේ නායක සුසෙයි සැලසුම් කළේය.   


ඒ සැලැස්ම ව්‍යර්ථ කර ගැනීමට හැකියාව ලැබුණේ මුහුදු කොටි නායකයා විසින් ඒවා ත්‍රිකුණාමලයට ඒවා තිබූ ප්‍රබල මුහුදු කොටි නායකයෙක් පොලිසියට කොටුවීම නිසාය.   
පොලිස් අත්අඩංගුවට පත්වූයේ තානාපති පිල්ලේ සිවකරන් හෙවත් කන්තන් නමැති එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි කමාන්ඩෝ බළකායේ මේජර් නිලය දැරූ අයෙකි.   
එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි නායක සුසෙයි විසින් සිවකරන් හෙවත් කන්තන් ත්‍රිකුණාමලයට ඒවා තිබුණේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ කාර්ය ඔහුට පවරාය.   


සිවකරන්ට ප්‍රහාරය එල්ල කිරීමේ වගකීම පවරා ඇත්තේ 2001 ඔක්තෝබර් මාසයේ 23 වැනිදා ත්‍රිමලය කඳවුරට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වීම නිසාය. 

 
කනපතිපිල්ලේ සිවකරන් නමැති මුහුදු කොටි බළකායේ මේජර්වරයා කදිරමන් නමැති තවත් මුහුදු කොටි ප්‍රබලයෙකු සමග ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු සංකීරණයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ තිබේ.   


මොවුන් දෙදෙනා ත්‍රිකුණාමලය සෙල්වනායගම්පුර ප්‍රදේශයේ නිවසක ලැගුම් ගෙන සිට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.   


කනපතිපිල්ලේ සිවකරන් පොලිසියට කොටු වී ඇත්තේ අහම්බෙනි. සිවකරන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිවම්කෝවිල් පොලිස් මුර පොළේ නිලධාරියෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම පොලිස් නිලධාරීයාට ඔහු ගැන ඇති වූ සැකයක් මතය.   


සැකකරුගේ කලිසම් සාක්කුවේ බහා තිබූ පර්ස් එක පරීක්ෂා කර බැලීමේදී සයනයිඩ් කරලක් ද සොයා ගැනීමට පසුව පොලිසියට හැකි විණි.   


අල්ලා ගත් සැකකරු මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියෙකු බව සනාථ කිරීමට සයනයිඩ් කරල කෑම සාධකයක් විය.   


අල්ලා ගත් සැකකරු ත්‍රිකුණාමලය පොලිසියට බාර දුන් අතර මූලික විමර්ශනවලින් පසු සැකකරු කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස (ටී.අයි.ඩී.) වෙත බාර දී ඇත.   


ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් ද සිවකරන් නමැත්තා මුහුදු කොටි සංවිධානයේ මේජර් තනතුර දැරූ අයෙකු බවට හෙළි විය.   


ඊට අමතරව ඔහු විසින් සිදුකරන ලද බව කියන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රැසක් ද හෙළි වී තිබේ. 

 
​කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ එවකට රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීමට සෘජුවම දායක වූයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.   


ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම විසින් අල්ලා ගත් මේ දෙදෙනාගෙන් එක් අයෙක් පොන්නදුර රාමනරාජන් නමැති සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර අනෙකා තම්බිරාජා චාල්ස් නමැති නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරියෙක් ලෙස රාජකාරී කළ අයෙකි.   


සැකපිට අත්අඩංගුවට ගත් සිවිල් ඉංජිනේරුවරයා ත්‍රිකුණාමලය නාවික කඳවුරු සංකීර්ණයේ පිහිටීම ආදී තොරතුරු සිතියම් ගතකර පෙන්වා දී ඇති අතර සිවකරන්ට කඳවුරට ඇතුළු වීමට අවසරපත් සකසා දී ඇති බව ත්‍රස්තවාදී කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරීන් ද මේ ප්‍රහාරය සඳහා ආධාර උපකාර කර ඊට සහාය දක්වා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.   
ඒ.​කේ. 47 වර්ගයේ ගිනි අවි 23, ලෝගන් වර්ගයේ අවි 10, පී.කේ.එල්.එච්.ජී. අවි. 3ක්, අත්බෝම්බ 30ක්, ටොම්බ වර්ගයේ අවි 05ක්, පී.කේ. උණ්ඩ 3,000, පී.කේ. 47 වර්ගයේ උණ්ඩ 2,500ක් සහ ටොම්බ උණ්ඩ 50 ක්ද මෙම ප්‍රහාරය සඳහා ත්‍රිකුණාමලයට ගෙනැවිත් සඟවා ඇති බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වුවත් එම අවි ආයුධ හා උණ්ඩ තොග සොයා ගැනීමට නම් ​පොලිසියට නොහැකි විය.   


එම අවි ආයුද සඟවා ඇති ස්ථාන පෙන්වීමට තරම් මතකයක් සිවකරන්ට නොතිබීම හේතුවෙනි.   

 

අත්අඩංගුවට ගත් අයිරිස් මෝතා නෞකාව

 

 


තනපතිපිල්ලේ සිවකරන් නොහොත් කන්තන් නමැත්තා 1989 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ඇත්තේ රේගන් නමැති කොටි නායකයකුගේ මාර්ගයෙනි.   


අම්පාර කාංචිකුලම් ප්‍රදේශයේ එවකට පිහිටි කොටි කඳවුරකින් මූලික පුහුණුව ලබා ගැනීමෙන් පසු මඩකලපුව තරෙවෙයි කොටි කඳවුරේ 1993 වසර දක්වා සේවය කර ඇත.   
යාපනය එළඳමට්ටුවාන් කඳවුරේ දී 1993 වසරේ සිට 1996 වසර දක්වා මුහුදු කොටි බළකායේ කමාන්ඩෝ භටයකු ලෙස පුහුණුවක් ලබා තිබේ. 

 
සිවකරන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.   


ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකාර තනපතිපිල්ලේ සිවකරන් නමැති මුහුදු කොටි නායකයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත.   
මඩකලපුව කුඹුරුමුනෙයි යුද හමුදා කඳවුරට පහරදීමට 1990 වසරේ ජුනි මාසයේ ප්‍රහාරයක් එල්ල කිරීමට ගියා. හමුදාවේ ප්‍රහාරයෙන් අපේ 150ක් විතර මිය ගියා. තවත් 300ක් විතර තුවාල ලැබුවා. 1993 වසරේ නොවැම්බර් මාසයේ 11 වැනිදා පුතනගර් කඳවුරට පහර දී අප එම කඳවුර අත්පත් කර ගත්තා. මෙම සටනේදී අපේ 400ක් විතර මිය ගියා. 600ක් විතර තුවාල ලැබුවා. හමුදාවේ 700ක් විතර මිය ගියා. මගේ නායකත්වයෙන් 50 දෙදෙනෙකුගෙන් පමණ සමන්විත මුහුදු කොටි කණ්ඩායමත් 1995 වසරේ අප්‍රේල් මාසයේ දවසක යාපනය බලා යාත්‍රා කරමින් තිබූ අයිරිස් මෝතා නෞකාව පැහැර ගත්තා. එම නැව බේරා ගැනීමට ආ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකකට පහර දී විනාශ කර දැම්මා. අපි පැහැරගත් අයිරිස් මෝතා නැව යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ සඟවා තැබුවා.   


මා ඇතුළු මුහුදු කොටි 50 දෙනෙක් පමණ මන්නාරම සුත්තපිටිය හරහා පල්ලිමුනෙයි සුචමුත් දනෙයි තොටුපොළට ගොස් නාවික හමුදා ඩෝ්ර 03 කට පහර දුන්නා. එම ප්‍රහාරයෙන් ඩෝරා යාත්‍රා දෙකක් විනාශ වී ගියා. අනෙක් ඩෝරා යාත්‍රාව අපි පැහැරගෙන ආවා. මෙහිදී ඇතිවූ සටනේදී නාවික හමුදාවේ 15ක් විතර මිය ගියා. අප මේ ප්‍රහාරය එල්ල කළේ 1996 වසරේ අප්‍රේල් මාසේය දවසක. දිනය මට මතක නැහැ. 1998 වසරේ අප්‍රේල් මාසෙය් මා ඇතුළු මුහුදු කොටි 18 දෙනෙක් කිලාලි කඳවුරට ප්‍රහාරයක් එල්ල කළා. ඒ කඳවුරේ ජැටියේ නැංගුම්ලා තිබූ මෝටර් ජෙම් හා ඩෝර යාත්‍රා විනාශකර දැමුවා. ආයෙත් 1999 වසරේ අප්‍රේල් මාසයේ දවසක මම තවත් මුහුදු කොටි හය දෙනෙක් පිහිනා ගොස් කිලාලි නාවික හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කළා.   


එම කඳවුරේ තිබූ මෝටර් ජෙට් විනාශ කර එකක් පැහැරගෙන පුනගර් හා නාගදේවන් වෙරළට ආවා. අපි පැහැරගෙන ආ මෝටර් ජෙට් එකේ මිය ගිය නාවික හමුදා නිලධාරියෙකුගේ සිරුරක් තිබුණා.   


මුහුදු කොටි බළකාය වෙනුවෙන් ප්‍රහාරවලට නායකත්වය ලබාදීම වෙනුවෙන් මෙම සැකකරුට එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් සීසයිඩ් වර්ගයේ පිස්තෝලයක් පරිත්‍යාග කළ බව පොලිසියට ඔහු පවසා ඇත.  


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල නායකයකු වන බාල්රාජ් සේනායකත්වයෙන් 1996 වසරේ ජූලි මාසයේ මෙම සැකකරු ද ඇතුළු 7000ක් පමණ මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ලකර එම කඳවුර අත්පත් කර ගැනීමේදී මෙහෙයුමට සම්බන්ධ වී තිබේ.   


කනපතිපිල්ලේ සිවකරන් නමැති ප්‍රධාන පෙළේ මුහුදු කොටි නායකයා ත්‍රිකුණාමලයේ සිට මින්නේරියට ගෙනවිත් ඇත්තේ හෙලිකොප්ටර් යානයකින් දැඩි රැකවල් යටතේය.   
මින්නේරිය සිට ගුවන් යානයකින් කොළඹට රැගෙන ආ සිවකරන් එතැන් සිට යළිත් දැඩි රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත ගෙනවිත් ඇත.   
ගොඩබිමින් රැගෙන ඒමේදී කොටි අතර මගරැක සිට ප්‍රහාරයක් එල්ල කර මෙම මුහුදු කොටි නායකයාව මුදාගෙන යාමට ඇති ඉඩකඩ නිසා ඉහළ ආරක්ෂක බලධාරීන්ගේ නියෝග අනුව මොහු ගුවන් මගින් ගෙනඒමට පියවර ගෙන තිබේ.   


ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩයාමක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක්ම හෙළිදරව් කර ගැනීමට හැකි විණි. ඒ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු බයේ පවසා ඇත. මන්නාරම පේසාලේ මුහුදේ දී නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකකට පහර දී විනාශ කළා. ඒ ප්‍රහාරය අප එල්ල කළේ 1997 වසරේදී. යාපනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක 1998 වසරේදී මිසයිල ප්‍රහාරයක් එල්ල කර එම යානය විනාශ කර දැමුවා. වෙත්තලයිකර්නි කට්ටකාඩු නාවිකයා යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් 2000 වසරේදී එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් හමුදාවේ 100 දෙනෙකු මිය ගියා. මෝටර් අවියක් අපි කඳවුරෙන් පැහැරගෙන ආවා. 2000 වසරේදී ඩෝරා යාත්‍රා 09කින් ගොස් අලිමංකඩ කඳවුරට ප්‍රහාරයක් එල්ල කර එය අත්පත් කර ගත්තා.   


තවත් මෙවැනි ප්‍රහාර ගණනාවක් ගැන තොරතුරු සැකකරු විසින් පොලිසියට පවසා ඇත. කටුනායක ගුවන් තොටුපොළට හා ගුවන් හමුදා කඳුවරට ප්‍රහාරයක් එල්ල වූයේ 2001 වසරේ ජූලි මාසයේ 24 වැනිදාය.   


ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 08ක්ද තවත් ගුවන් යානා 27කට ද හානි සිදු විය.   


ඒ ගැන ද සිවකරන් තොරතුරක් පොලිස් ප්‍රශ්න කිරීමේදී මෙසේ පවසා ඇතැයි පොලිසිය කීය. 

 
“මම 2001 වසරේ දවසක වාකරෙයි වලට ගියා. ඒ අවස්ථාවේ සාම්පුර් කොටි කඳවුරේ අමුදන් ගමන් කතනයෙන් කතා කර වෙරුගල් මෝදර වල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 10 දෙනෙක් ඉන්නවා. ඔවුන්ව මගේ බෝට්ටුවෙන් ගිහින් එක්කරගෙන එන්න කිව්වා. මා කිව්ව විදිහට ඔවුන් 10 දෙනා කඳවුරට එක්ක ආවා. ජෙනේද්‍රන් කියා කොටි නායකයා මාත් එක්ක කිව්වා මේ 10 දෙනා තමා කටුනායක එයාර්​පෝර්ට් එකට ඇටෑක් කරන්න ගියේ. ඒ 10 දෙනා අතර සිටිය කෙනෙක් මට පෙන්වා මෙයා තමා මේජර් ටීනා. මේජර් ටීනා තමා කටුනායක ගුවන් තොටුපළ ප්‍රහාරයට ගිය ටීම් එකේ නියෝජ්‍ය නායකයා කියා. ඔවුන් 10 දෙනා අවි ආයුධත් එක්ක පැමිණ තිබුණේ කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරන්න යද්දී ඇඳගෙන ගිය ඇඳුම් පිටින්මයි කියා ජෙනේන්ද්‍රන් මාත් එක්ක කිව්වා.”   


මේ මුහුදු කොටි නායකයා තවත් හෙළිදරව්වක් ද ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ට කර තිබේ. 

 
දෙවැනි වරට ත්‍රිකුණාමලය වරායට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමට ආ අවස්ථාවේ කන්තත් නමැති මුහුදු කොටියාගේ මාර්ගයෙන් ත්‍රිකුණාමලය පොලිසියේ සේවය කළ සිංහල ජාතික පොලිස් නිලධාරියෙකු එම පොලිස් නිලධාරියාගේ නමද කියයි. හා තවත් සුදු කෙට්ටු පොලිස් නිලධාරියෙක් ද හඳුනා ගත්තා. අපේ ප්‍රහාරයට යාමට අවශ්‍ය කරන නාවික හමුදා නිල ඇඳුම් කට්ටල 30ක් එම පොලිස් නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව ලබා ගත්තා. ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙන්නාට රුපියල් 50,000ක් දුන්නා.   
කදිරාවන් හා තිරුබා යන මුහුදු කොටි දෙන්නාට රියදුරු බලපත්‍ර දෙකක් සාදා දීමට මෙම සිංහල ජාතික පොලිස් නිලධාරීන් දෙන්නා සහයා ලබා දුන්නා. ඒ වෙනුවෙන් ද රුපියල් 15,000ක මුදලක් ද ඔවුන්ට මත්පැන් පානය කිරීමට ද මුදල් ලබා දුන්නා. මම ත්‍රිකුණාමලය පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී එයින් එක් පොලිස් නිලධාරියෙක් ඇවිත් කතා බහ කර යන්න ගියා.   


​මෙම පරීක්ෂණ කණ්ඩායමේ නායකයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහතා ප්‍රධාන පෙළේ කොටි නායකයන් ඇතුළු කොටි ත්‍රස්තයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවා ඇති දක්ෂ නිලධාරියෙකි. 

 
කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරව එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති එච්.ජී. වික්‍රමසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු මෙම පරීක්ෂණවලට උප පොලිස් පරීක්ෂක ආබ්දීන්, පොලිස් සැරයන් ගංගනාත (300), පොලිස් කොස්තාපල්වරුන් වන සියාබ්දින් (473), ඉන්දික (74422) සහ ජයසූරිය (8693) යන මහත්වරුන් ද හවුල් වී ඇත.   

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය