ත්‍රිකුණාමල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැවක්


ලංකා මුහුදේ ගිලුණු නැව්

1942 ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරයකින් ගිලී ගියා

සගායින් නැව විනාශවීමට පෙර

 

කොළඹ හමුදා මූලස්ථානයේ තිබුණේ දැඩි උණුසුම් තත්ත්වයකි. සියලු‍ම රහස්‍ය වාර්තාවලින් හෙළිකර තිබුණේ එදින ත්‍රිකුණාමලය වරායට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවන බවයි.   


මේ 1942 අප්‍රේල් මස 9 දිනයයි. දෙවැනි ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණ තිබිණි. ජර්මනිය හා ජපානය එක් යුද පෙරමුණකට නායකත්වය දෙමින් ලෝකය පුරා සිය අණසක පතුරුවමින් සිටියේය. බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ලෙස තිබූ ශ්‍රී ලංකාවේ පිහිටීම බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු මිත්‍ර හමුදාවන්ට ඉතා වැදගත් වන බැවින් ජපානයේ ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්විය නොහැකිය.
   


මිත්‍ර හමුදාවන්ට අවශ්‍ය යුද උපකරණ, ඖෂධ, බෝම්බ පමණක් නොව සෙබළුන් ද පෙර අපරදිග අතර හුවමාරු වෙද්දී මෙරට කොළඹ, ගාල්ල හා ත්‍රිකුණාමලය වරායන් ඉතා වැදගත් ස්ථානයන් බවට පත්ව තිබීම ඊට හේතුවක් විය. දැන් ඔත්තුවක් ලැබී තිබේ. ජපානයේ ගුවන් ප්‍රහාරයක් ත්‍රිකුණාමලය වරායට එල්ලවන බවත් සියලු‍ නෞකා ඔවුන් විසින් බෝම්බ හෙළා විනාශ කර දමනු ඇති බවත් ඒ ඔත්තුවේ සඳහන් විය.   


මේ නිසා කොළඹ හමුදා මූලස්ථානය ත්‍රිකුණාමලය වරායේ නවතා තිබූ සියලු‍ නැව් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස උපදෙස් නිකුත් කළේය.   
මේ වනවිට ත්‍රිකුණාමලයට පැමිණ තිබූ නැව් අතර බ්‍රිතාන්‍යයේ සහ බුරුමයේ වාෂ්ප නැව් සමාගක් වන පී. හැන්ඩර්සන් සහ සමාගමට අයත් එස්.එස්. සගායින් නමැති නැව ද ත්‍රිකුණාමලය වරායේ තිබිණි. ස්කොට්ලන්තයේ වියිලයම් ඩැනී ඇන්ඩ් බ්‍රදර්ස් සමාගම විසින් 1925 මාර්තු 13 වැනි දින ඉදිකිරීම් නිමකරන ලද මගීන් හා භාණ්ඩ ප්‍රවාහන නැවක් වන මෙය මුල්වරට දියත් කර තිබුණේ 1925 දෙසැම්බර් 24 වැනි දිනදීය. මීටර 138ක් දිගැති පළල මීටර 18ක් වූ එහි වතුරට යටවන කොටසේ ගැඹුර මීටර 10කි. ටොන් 7,994ක භාණ්ඩ රැගෙන යා හැකි ලෙස සකසා තිබූ නැවේ මගීන් 137 දෙනකු සඳහා පහසුකම් ද තිබිණි.   


පුරා වසර 18ක් ලෝකය පුරා සංචාරය කර තිබූ මේ නෞකාව එංගලන්තයේ සිට බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය, තවත් යුද උපකරණ, විස්කි සහ ඉන්ධන ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන බුරුමයේ රැංගුන් වරාය වෙත යන අතරතුර ත්‍රිකුණාමලය වරාය දක්වා පැමිණ තිබිණි.   


එවකට ලෝකයේ තිබුණු ඉහළම තාක්‍ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කර තිබූ මේ නෞකාවේ වාෂ්ප එන්ජින් තුනක් තිබිණි. ඒ සඳහා බොයිලේරු තුනක් ද විය. ඉතා උසස් තත්ත්වයේ යකඩ භාවිත කර තිබූ බවත් කිසිදු පෑස්සුම් රහිතව රිවට් ඇණ යොදා නිර්මාණ කර තිබීමත් මෙහි තිබූ විශේෂත්වයකි.   
ත්‍රිකුණාමලය වරායේ තිබූ නැව් වෙනත් ස්ථානයන් වෙත රැගෙන ගිය ද මෙහි තිබූ බෝම්බ වරායේ බාමින් තිබූ බැවින් එය සවස් වනතුරුම ඉවත් කිරීමට හැකියාවක් නොතිබිණි.   
එදින සවස තුනට පමණ නැගෙනහිර අහසෙන් ජපන් ගුවන් යානා සමූහයක් මතුවූයේ ලැබී තිබූ ඔත්තුව නිවැරැදි බව පසක් කරමිනි. වේගයෙන් ත්‍රිකුණාමලය වරාය දෙසට පියඹා පැමිණි ජපන් යානා ත්‍රිකුණාමලය වරායට බෝම්බ හෙළමින් විනාශ කර දමන්නට විය. ඔවුන්ගේ අපේක්‍ෂාව නැව් වනසා දැමීම වුව ද නැංගුරම් ලා තිබුණේ එස්.එස්. සගායින් නැව පමණි. එය නවතා තිබුණේ ත්‍රිකුණාමලය වරායේම මැලේකෝ නමින් හඳුන්වන ස්ථානයේය. ගුවන් යානා ඒ නැවට බෝම්බ හෙළමින් පියඹා ගියේ දියත් කර ඇති අනෙකුත් නැව් සොයාගැනීමේ අරමුණෙනි. බෝම්බ පිපිරීමත් සමග සගායින් නැව ගිනි ගෙන දැවෙන්නට විය.   

 

Navy නැව ගිල්වන අවස්ථාව

නැවේ කොටස්

 


එළුවිල්, මඩකලපු දෙසට පියාසර කළ ජපන් යානා ඒ ප්‍රදේශවල තිබූ උදෑසන ත්‍රිකුණාමලය වරායෙන් ඉවත් කරන ලද තවත් නෞකා පහක් බෝම්බ හෙළා විනාශ කරන ලදී. ත්‍රිකුණාමලය වරායට ජපනුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඔවුන්ගේ පාර්ශ්වයෙන් සාර්ථක විය.   
ප්‍රහාරයෙන් සගායින් නෞකාව ත්‍රිකුණාමලය වරායේ මැලේකෝ ප්‍රදේශයේ දී විනාශ වුව ද එය සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලී ගියේ නැත. නැවේ ගින්න මැඩපැවැත්වීමට නොහැකි වූ බැවින් නාවිකයෝ ද නැව අතහැර දැමූහ. 1943 අගෝස්තු මස 24 වැනි දින නැව අනතුරට පත්ව තිබූ ස්ථානයේ සිට වෙනත් නැවකින් වරායට ඇදගෙන ආ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව එය නව ජැටියක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ගිල්වා දමා තිබිණ.   
පසු කාලීනව නැව වටා සහ එය මතුපිට කොන්ක්‍රීට් ද යොදා විනාශ වූ සගායින් නැව ජැටියක් බවට පත්කර තිබිණි. නමුත් එහි යකඩ දිනෙන් දින දිරාපත්වෙමින් තිබිණි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ත්‍රිකුණාමලයෙන් ඉවත්ව ගිය අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය වරායේ ආරක්‍ෂාව තර කළේය. උතුරේ යුද්ධය පැවැති කාලයේ මේ ස්ථානය තවත් කාර්ය බහුල වූ අතර නාවික යාත්‍රා නැවැත්වීමේ දී ද මේ ගිලු‍ණු නැව ප්‍රයෝජනයට ගැනිණි.   


දශක කිහිපයක්ම ගත වී ගියේ නැව ගිලී වසර 75ක කාලයක් අවසන් කරමිනි. මේ අතර ත්‍රිකුණාමලය වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට අවශ්‍ය පිඹුරුපත් සැකැසිණි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ නැවේ සුන්බුන් බාධාවක් විය. මේ නිසා නාවික හමුදාව තීරණය කළේ නැව එතැනින් ඉවත් කිරීමටය.   
නැව ගොඩ ගැනීමේ හැකියාව පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කළ නාවික හමුදාව එහි වැවී තිබූ ශාක කිහිපයක් ද ඉවත් කළේය. පළමුව දිරාපත් වූ නැවේ කැඩී යා හැකි තැන් පිළිසකර කර සැකිල්ල ශක්තිමත් කළේය. මේ සඳහා මිලි මීටර හතරක ඝනකම සහිත තහඩු ද සවිකරන ලදී. එමෙන්ම රබර් ආවරණයක් ද යොදන ලදී. ඉන් පසු කළේ නැවේ ඇතුළත තිබූ ජලය හිස් කිරීමයි. එමෙන්ම නැව උඩට ගැනීම සඳහා නැවේ තවදුරටත් පිරී ඇති භාණ්ඩ ඉවත් කිරීම ද සිදු කෙරිණි.   
 මුහුදු පත්ලේ නැව රැඳී ඇති ස්ථානයන් අසල හාරා නැවට යළි ඉපිලීමක් ලබාගත හැකි පරිදි බාධක ඉවත් කෙරිණි. නාවික හමුදාවේ මේ මෙහෙයුමට මාස පහක පමණ කාලයක් ගතවිය. අවසානයේ 2018 මාර්තු 22 වැනි දින නැව යළි මුහුදු ජලය මතුපිටට ගැනිණි.   


නාවික හමුදාව කියා සිටියේ නැවේ වයින් බෝතල්, බියර් බෝතල්, ගල් අඟු‍රු, දැල් වර්ග ඇතුළු භාණ්ඩ රැසක් තිබූ බවයි.   
වරායේ පුළුල් කිරීමේ කටයුතු සඳහා සගායින් නැව ඉවත් කිරීම කළ ද එය අනාගතය සඳහා ප්‍රයෝජනවත් ආකාරයෙන් වෙනත් තැනකට ගෙන ගොස් දැමීමට නාවික හමුදාව කටයුතු කළේය. ගිලු‍ණු නැවක් යනු සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. ඒ සඳහා නාවික හමුදාව තෝරාගත්තේ ත්‍රිකුණාමලයේ “එලිෆන්ට් අයිලන්ඩ්”‍ නමින් හැඳින්වෙන ස්ථානයකි. දූපතක් සමග ඉතා පැහැදිලි නොගැඹුරු මුහුදු පත්ලක් එතැන පිහිටා තිබීමත් ත්‍රිකුණාමලය වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙතැන නැව ගිල්වීම බාධාවක් නොවීමත් මේ ස්ථානය තෝරා ගැනීමට හේතු විය.   
දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයෙන් ත්‍රිකුණාමලයට එල්ල වූ ප්‍රහාරය වැනි ඓතිහාසික සිදුවීමක සජීවී ස්මාරකයක් වූ සගායින් නැව අනාගතයේ දී ද සංචාරකයන්ට දැකගත හැකි ආකාරයෙන් වෙනත් ස්ථානයක ගිල්වන ලද්දේ එබැවිනි.   

 

Navy නැව වරායේ තිබූ ආකාරය.

නැව පිළිබඳ අධ්‍යයන කටයුතු කරමින්...

 


මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවැසුවේය.   
“නාවික හමුදාව ඉතාමත්ම හොඳ කාර්යයක් කළා. සගායින් නැව ජැටියක් ලෙස ප්‍රයෝජනයට ගනිමින් තිබූ නිසා එය අධ්‍යයන කටයුතු සඳහා හෝ සංචාරක කර්මාන්තය සදහා හෝ ප්‍රයෝජනයට ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් මේ නැව තිබූ ස්ථානයෙන් ඉවත් කරලා වෙනත් තැනක මුහුදේ ගිල්වා තිබෙනවා. දැන් නැව එතැනට අලු‍ත් ආගන්තුක වස්තුවක්. අපිට මෙය ඉතා වැදගත් ස්ථානයක්. ත්‍රිකුණාමලය වරායේ දූපතක් අසල නැව මුහුදේ ගිල්වා තිබෙන්නේ මීටර 18ක් දක්වා ගැඹුරකට.   
නැවේ එක් කොටසක් මුහුදු ජල මට්ටමේ තිබෙන ආකාරයට. මේ නිසා නොගැඹුරු මුහුදේ ඇති මේ නැව අනාගතයේ දී සංචාරකයන්ගේ තෝතැන්නක් වේවි. ඒ වගේම මුහුදේ නැවක් ගිලු‍ණු විට ඒ නැවේ සහ නැවට ආසන්න පරිසරයේ ඇතිවන වෙනස්කම් මුල සිටම අපට අධ්‍යයනය කරන්න දැන් අවස්ථාවක් ලැබී තිබෙනවා. එය මුහුදු පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂකයන්ට ඉතාමත් වැදගත් අවස්ථාවක්.”‍   


1942 වර්ෂයේ දී ගිලී ගිය නෞකාවක් බැවින් එය පුරාවිද්‍යා නීති රීති අනුව තීන්දු තීරණ ගත හැකි දෙයක් නොවේ. එබැවින් නැව යළි ගිල්වීමට පෙර එහි මිනුම් කටයුතු සහ අධ්‍යයන කාර්යයන්ට මුහුදු පුරාවිද්‍යා ඒකකය සම්බන්ධ වී නැත.   
ඔහු පවසන්නේ නැව යළිත් ගිල්වීමෙන් පසු මාස හයකින් පමණ පසු එම ස්ථානය පරීක්‍ෂා කළ ද මසුන් ඇතුළු මුහුදු ජීවීන් බහුලව දක්නට නොලැබුණු බවයි. නමුත් වසරකට වැඩි කාලයකට පසු යළි එතැන අධ්‍යයනය කිරීමේ දී නැවේ බඳේ පවා කොරල්පර වැඩෙන්නට පටන්ගෙන තිබූ බවත් මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතිවිශාල ප්‍රමාණයක් ගිලු‍ණ නැව තම වාස භූමිය කරගෙන සිටින බවත් ඔහු පවසයි. මේ නිසා සගායින් නැව අනාගතයේ මුහුදු පුරාවිද්‍යාඥයන්ට ඉතා සුදුසු පර්​ෙ‌ය්ෂණ ස්ථානයක් වන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වනු ඇත.   

 

කොරල් වර්ධනය වෙමින් තිබෙන ආකාරය.

Navy - වරායේ ජැටියක් ලෙස ප්‍රයෝජනයට ගත් නැව.

 


මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතාගේ මගපෙන්වීමෙන් සමුද්‍ර පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂකයන් වන රසික මුතුකුමාරණ, සමීර ප්‍රසංග කරුණාරත්න, චමල් කේ. ගමගේ, රුක්ෂාන් ප්‍රියනන්දන, ඉන්දික උපුල් හේවගේ හා කමල් කුමාර ද සොයිසා මහත්වරු මෙම නෞකාව පිළිබඳ ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ කටයුතුවල නිරත වෙති.  

 

 

සජීව විජේවීර
මුහුද යට ඡායාරූප - රසික මුතුකුමාරණ   
නැව ගිල්වීමට පෙර ගත් 
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය