ත්‍රස්තවාදය නිසා බිහිවූ කොළඹ පාතාලය


දඩබ්ම

 

මාළිගාවත්ත දෙමළ පාතාලයේ උපත හා විපත දෙකටම පොදු සාධකය වුණේ සුදා නොහොත් සුදාකරන් නොහොත් ඉසෙගිමුත්තු සුනේන්ද්‍රන් කරුපයියාය. සුදාකරන් උපන්නේ මන්නාරමය. ඒ 1958දී වැඩිදුර ඉගෙන ගන්න තරම් සුදාකරන්ලාට වත්කමක් නොතිබිණ. ඒ නිසා උතුරේ මෙන්ම දකුණේත් බොහෝ දිළිඳු පවුල්වල දරුවන් මෙන් සුදාකරන්ද අඩු වයසින්ම පාසල හැර ගියේය. එතැන් සිට ඔහු පවුලේ බරට කර ගැසුවේය.   


තරුණ වයසට එළැඹුණාට පස්සේ පවුලේ අය වෙනුවෙන් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න සුදාකරන් උත්සාහ කළේය. ඔහු තේ කරත්තයක් තල්ලු කරගෙන නගරේ සැරිසැරුවේ තේ ඕන කරන අය ළඟට එනකල් ඉන්නවාට වඩා ළඟටම ගිහින් දෙන එක හොඳයැයි සිතූ නිසාය. එයින් ආදායම වැඩිකරගන්න ඔහුට හැකි විය.   


ඒත් අසූව දශකයේදී යුද්ධය එන්න එන්නම දරුණු වීම නිසා නගරෙට එන ජනතාව අඩු විය. තේ බීලා ගිමන් නිවාගන්න තරම් නගරෙට එන එකා දෙන්නාට වුවද ඉස්පාසුවක් තිබුණේ නැත. සුදාකරන්ට තමන්ගේ පවුල නඩත්තු කරන්න පුළුවන් ආදායම් මාර්ගයක් මන්නාරමෙන් සොයා ගැනීම පහසු වූයේ නැත. එසේම සුදාකරන්ලාට ගෙදර සිටීමද පහසු වූයේ නැත. එක්කෝ ඔහු එල්ටීටීඊ යට සම්බන්ධ දැයි සැකයෙන් රජයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වනු ඇත. එසේ නැත්නම් එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායමට බැඳෙන ලෙස බලපෑම් එනු ඇත. ඒ සියල්ලට පිළියම් ලෙස ඔහු කොළඹට ආවේය.   


කොළඹ ඔබ මොබ යමින් රස්සාවක් හෝ කුලී වැඩක් සොය ගිය සුදාකරන්ට අවසානයේ අපූරු පුද්ගලයෙකු හමුවිය. හේ සුදාකරන් තමන් සිටිනා තැනට කැඳවාගෙන ගොස් අපූරු රස්සාවක් ගැන කියා දුන්නේය.   


“මල්ලි අපි ගාව බඩු වගයක් තියෙනවා. මල්ලිට තියෙන්නේ ඒවා අපි කියන තැනට ගෙනිහින් දෙන්න.”   


බඩු මොනවාද කියා සුරේන්ද්‍රන් ඇසුවේ නැත. ඔහු ඒ වනවිට අවුරුදු විසිතුනක විසිහතරක කොල්ලෙකි. සමාජයේ තැළී පොඩිවෙමින් හැදුණ සුරේන්ද්‍රන්ට මේ සියල්ල වටහා ගැනීම අපහසු නැත. ඔවුන් ඒ වෙනුවෙන් දවසකට ගෙවන බව කී ගාස්තුව එතරම් ඉහළ අගයක් නොගත්තද හැමදාම ඒ ගාණ ලැබෙන නිසා ගෙදරට කීයක් හෝ යවන්න පුළුන් වෙවි යැයි සිතා හෙතෙම රාජකාරිය භාරගත්තේය. සුරේන්ද්‍රන්ගේ ලොක්කා ඔහුගේ නමද වෙනස් කළේය.   


“අනේ යකෝ ඔය නම කියන්නත් අමාරුයිනේ. අපි වෙන නමක් දාමු. අපි උඹට සුදා කියන්නම්.”   


එලෙස හොරොයින් ජාවාරකරුවන්ගේ අතරමැදියෙකු ලෙස කොළඹ ජීවිකාව ආරම්භ කළ සුරේන්ද්‍රන් ක්‍රම ක්‍රමයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ වනවිට ඔහු සුදා නොහොත් සුදාකරන් බවට පත් වී හමාරය. සුදාකරන් මරදාන, තමිල්නාඩුවේ පදිංචි වූයේය. එහි සිට ගෝලබාලයින් පිරිසක් එකතු කරගත් සුදා සිය ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය. ඔහු කෙටි කලකින්ම කොළඹ කුඩු ව්‍යාපාරය තමන් අතට ගත්තේය. තමන්ට ලැබෙන ආදායමෙන් පවුලේ නඩත්තුව සඳහා මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වෙනුවෙන්ද මුදලක් වෙන්කරන්නට සුදාකරන් අමතක කළේ නැත. හේ මරදාන පමණක් නොව මාළිගාවත්තද තමන් යටතට ගත්තේය. මාළිගාවත්තේ මුස්ලිම් තරුණයන් කුඩු ජාවාරමට සම්බන්ධ වන්නේ නම් ඔහු එය වැළැක්වූයේය. ඇතැම්විට මරණ තර්ජනවලින්ද තවත් විටෙක මරණය උරුම කරදෙමින්ද කුඩු පාතාලය තම අණසක යටතේ පමණක් තබාගන්නට ඔහු ක්‍රියා කළේය.   


දෙමළ ජනතාව වෙනුවෙන් තදින්ම පෙනී සිටි සුදාකරන් මාලිගාවත්ත බීබීසී පාලම අසළ කුණුඇළ ප්‍රදේශයේ දෙමළ ජනතාව පදිංචි කරවමින් මාලිගාවත්තේ තමන්ගේ බලය වැඩිකර ගන්නට උත්සාහ කළේය. සුදාකරන්ගේ නඩයේ සිටි ක්‍රිස්ටෝපර් නොහොත් සින්නප්පන් ක්‍රිස්ටෝපර් මහනුවර සිට රැකියාවක් සොයාගෙන කොළඹට පැමිණ කුඩු ජාවාරමට සම්බන්ධ වූයෙකි. පසුව ක්‍රිස්ටෝපර් මාලිගාවත්තෙන් ඉඩමක්ද ගෙයක් ද මිලදී ගත්තේය. ක්‍රිස්ටෝපර්ගේ ගෙදර දරුණු බල්ලන් සහිත බලු කූඩු හයකි. සුදාකරන් ඇතැම් විට තමන්ට අවනත නොවන මුස්ලිම් තරුණයින්ට දඬුවම් දුන්නේ බලු කූඩුවලට දැමීමෙනි.   


නඩරාජා විජේපාලන්ද සුදාකරන්ගේ සගයෙකි. ඔහු කොටහේන, කොච්චිකඩේම උපන් අඩි හයකටත් වඩා උස ඒ උසෙන්ම මිනිසුන් බිය වැද්දීමට සමත් වූ දරුණු කෲර පාතාලයෙකි. ඔහු වධකාගාරයක් පවා පවත්වාගෙන ගියේය. සුදාකරන් හෝ තමන් හෝ කණ්ඩායමේ අය කාගෙන් හෝ වරදක් සිදුව ඇතැයි දැනුම් දුන් පසු ඒ ප්‍රශ්නවලදී නඩු ඇහුවේද දඬුවම් නියම කළේද ඔහුය. කාන්තාවන් ඇසුරටද දැඩි සේ ලොල් වූ විජේපාලන් තමන්ට කැමැත්ත ඇති වූ කාන්තාව කෙසේ හෝ තමන් වෙත ගෙන්වා ගත්තේය.   
කරුපයියා වාප්පු බාලන් නොහොත් බාලේන්ද්‍රන් නොහොත් තෙල්බාලාද සුදාකරන්ගේ කල්ලියේ සාමාජිකයෙකි. ගොන් කරත්තයකින් තෙල් විකිණීම ජීවිකාව කරගත් වැල්ලම්පිටිය, බදුල්ලවත්තේ උපන් අයෙකි. තෙල් වෙළෙඳාමේ නිරතව සිටි නිසා ඔහු තෙල්බාලා විය. හෙතෙම පසුකලෙක සුදාකරන්ගේ සමීපතමයා බවට පත් විය. සුදාකරන්ලා, තෙල්බාලලා ප්‍රදේශයේ අතහැර ගිය පසු එහි බලය අල්ලා ගත්තේ තෙල්බාලාගේ සහෝදරියගේ පුත් රමේෂ්ය. පොලිසියෙන් සොයද්දි ඉන්දියාවට පලාගිය තෙල්බාලා 2017දී මරණයට පත් විය.   


දෙමළ පාතාලය යැයි කීවද සුදාකරන්ගේ පාතාල කල්ලිය සමග එක් වූ මුස්ලිම් අය මෙන්ම සිංහලයින්ද විය. නවුපර් මොහොමඩ් නියාස් හෙවත් පොට්ට නවුපර් ඉන් එක් අයෙකි. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම් නියම විය. සුදාකරන්ට එක් වූ සිංහලයන් දෙන්නෙකි. ඒ නෙලුව හේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා හා ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා හෙවත් බොරැල්ලේ ඕල්කට්ය.   

 


බොරැල්ලේ උපන් ඕල්කට් අවුරුදු දහඅටක් වැනි ඉතාමත් ළාබාල වයසේදී පාතාලයේ අත්පොත් තැබූවෙකි. කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම ලබා සිටි ඕල්කට් පෙරේරා පවුලේ ඥාතීන් පිරිසක් සමග ඇති වූ ආරවුලකින් සීයාත් පියාත් ඝාතනයට ලක්වීමෙන් පසු තමන් වෙතද එල්ලවූ මරණ තර්ජන හමුවේ එයට පිළිතුරු දෙනු පිණිස පාතාලය සොයා ගිය අයෙකි. ඔහුට පාතාලයේ අත්පොත් තැබුවේ තෙල්බාලාය. ඔහු 2010 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ වැටලීමකදී වෙඩි කා මිය ගියේය.   


මේ දෙමළ පාතාලයේ ප්‍රබලයන් කීප දෙනෙකි. මොවුන් විසින් බලුකූඩු හා වධකාගාර පවත්වාගෙන යමින් මාළිගාවත්තේ මුස්ලිම් වැසියන්ට සිදුකළේ සුලුපටු කරදරයක් නොවේ. ඔවුන්ගේ කැලෑ අධිකරණ, වධකාගාර ගැන පොලිසියටද වගේ වගක් තිබුණේ නැත. සුදාකරන්ලාගේ මත්කුඩු ජාවාරම පස්සේ පොලිසිය පැන්නුවේ නැත. එසේ වූයේ පොලිසියේ සියලු දෙනා අල්ලසට හසුවූවන් වන නිසා නම් නොවේ.   


පොලිසියේ ඉහළ තනතුරුවල සිටි ඇතැම් පිරිස් වෙත සුදාකරන්ලාගෙන් මසකට වතාවක් ලැබුණ ගතමනාව නිසා විය හැකිය. එසේම ඕල්කට්ලා සෘජුවම සබඳකම් පැවැත්වූ කොළොන්නාවේ සිටි (දැනටත් ඔහු ජීවතුන් අතර සිටියත් දේශපාලන කටයුතුවල සෘජුව යෙදෙන්නේ නැත) ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම්ද පොලිසියට එල්ල වන්නට ඇත. සුදාකරන්ලාගේ කුඩු ව්‍යාපාරයට මේ දේශපාලනඥයාගෙන් නොමඳ සහයක් ලැබී ඇත.   


කෙසේ වුවද තමන්ට එරෙහිව ගිය මුස්ලිම් ජාතිකයන් ඝාතනය කිරීම හෝ ඔවුන්ගේ අතපය කැඩීම හෝ බලුකූඩුවලට දමා කෲර වධබන්ධනයට ලක් කිරීම ආදියට පොලිසියෙන් පිළිසරණක් ලැබුණේ නැත. එසේම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින්ට දැනුම් දුන්නද ඔවුහුද එයට මැදිහත් නොවූහ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ එකල සිටි නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉමිටියාස් පමණි.   

 

 හොරොයින් ජාවාරකරුවන්ගේ අතරමැදියෙකු ලෙස කොළඹ ජීවිකාව ආරම්භ කළ සුරේන්ද්‍රන් ක්‍රමයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ වනවිට ඔහු සුදා නොහොත් සුදාකරන් බවට පත් වී හමාරය. සුදාකරන් මරදාන, තමිල්නාඩුවේ පදිංචි වූයේය. එහි සිට ගෝලබාලයින් පිරිසක් එකතු කරගත් සුදා සිය ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය. ඔහු කෙටි කලකින්ම කොළඹ කුඩු ව්‍යාපාරය තමන් අතට ගත්තේය. තමන්ට ලැබෙන ආදායමෙන් පවුලේ නඩත්තුව සඳහා මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වෙනුවෙන්ද මුදලක් වෙන්කරන්නට සුදාකරන් අමතක කළේ නැත. හේ මරදාන පමණක් නොව මාළිගාවත්තද තමන් යටතට ගත්තේය. මාළිගාවත්තේ මුස්ලිම් තරුණයන් කුඩු ජාවාරමට සම්බන්ධ වන්නේ නම් ඔහු එය වැළැක්වූයේය. ඇතැම්විට මරණ තර්ජනවලින්ද තවත් විටෙක මරණය උරුම කරදෙමින්ද කුඩු පාතාලය තම අණසක යටතේ පමණක් තබාගන්නට ඔහු ක්‍රියා කළේය.  


මෙයට කුමක් හෝ කළ යුතු යැයි ඔහු මොහොමඩ් නූර් සමග කතිකා කර ගත්තේය. මුස්ලිම් ප්‍රජාවගෙන් සුදාකරන්ලාට පිළිතුරු දිය හැකි කණ්ඩායමක් හදමු හේ යෝජනා කළේය.   
ඒ අනුව නූර් ඒ කණ්ඩායම හැදීමට අතගැසුවේය. එයට අයුබ්ඛාන් හා ෆාජි යොදාගැනීමට නූර් කල්පනා කළේය. ඒ ගමේ තරුණයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින්නේ ෆාජි සමග බව ඔහු දැන සිටි නිසාය. ෆාජි ඒ වන විට මාළිගාවත්ත පාපන්දු කණ්ඩායම නියෝජනය කළේය. දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම හොඳ නායකත්ව හැකියාවක් තිබූ නිසා ඔහුට කාගෙත් ප්‍රසාදය හිමිව තිබිණ. නූර් ඔහු තම කටයුත්තට සම්බන්ධ කරගැනීමට තීරණය කළේ ඒ නිසාය.   


අයුබ්ඛාන්ද සිටියේ ඔහු සමගමය. අවසානයේ මාළිගාවත්තේ මුස්ලිම් තරුණයෝ දෙමළ පාතාලයට එරෙහිව සන්නද්ධ වූහ. ඔවුන්ට එසේ සන්නද්ධ වීමට බලපෑ ආසන්නතම හේතුව වූයේ නාගරික මන්ත්‍රී ඉමිටියාස්ට සුදාකරන්ගේ කල්ලියේ අය පහර දීමය.   

 


සුදාකරන්ගේ වැඩක් කර දුන්නේ නැතැයි යන්න එයට හේතුව සේ දැක්වූවත් ඒ පිටුපස තිබූ සැබෑ හේතුව ඔහු මුස්ලිම් තරුණයන් සූදාකරන්ට එරෙහිව මෙහෙයවීම වන්නටද හැකිය. කෙසේ වුවත් තමන්ගේ දෑස් ඉදිරිපිටදීම වූ මේ සිදුවීමෙන් මුස්ලිම් තරුණයෝ තව තවත් කිපුණහ. ඒ නිසා වහාම ඔවුන් මන්ත්‍රී ඉමිටියාස් සමග එක්ව දෙමළ පාතාලයට එරෙහිව සන්නද්ධ වූ අතර ඔවුන්ට ආයුධ පුහුණුවද ලැබිණ. ඒ සඳහා නැගෙනහිර පළාතේ එවකට සිටි ප්‍රබල මුස්ලිම් ඇමැතිවරයෙක් සහය දුන්නේය. ඔහු ආයුධද සැපයීය. පසු කලෙක කොළඹ නියෝජනය කළ තවත් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද ඔවුන්ට සහය දුන්නේය.   


එදා පොලීසිය දෙමළ පාතාලය මර්දනය කරන්නට සමත් වූයේ නම් මුස්ලිම් පාතාලයක් ගොඩනැගීම වළකිනු ඇත. පාතාලයන් බිහිවීම සම්පූර්ණයෙන්ම පොලිසියට වැළැක්විය නොහැකි වුවත් පොලිසියට යම් කාර්යභාරයක් ඒ වෙනුවෙන් කරන්නට හැකිව තිබිණ. නීතිය හා සාමය ආරක්ෂා කිරීම ඔවුන්ගේ අත්නොහැරිය හැකි වගකීමකි. එහෙත් පොලිසිය දෙමළ පාතාලය මර්දනය කරන්නට දැඩි මැදිහත්වීමක් සිදුකළේ ආයුධ සන්නද්ධ වූ මුස්ලිම් තරුණයන් විසින් දෙමළ පාතාලයේ සාමාජිකයන් ඝාතනය කරමින් ලේ වැගිරීම් කරන්නට වූ පසුවය. නැගීමත් සමග එසේම මුස්ලිම් පාතාලය බිහිවීමේදී බරපතළ ලෙස දේශපාලනඥයින් විසින් ලබාදුන් සහයද, ඔවුන් මුස්ලිම් පාතාලයන් ලවා ලබාගත් සේවාවන්ද නිසා දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටි මුස්ලිම් තරුණයන් මුස්ලිම් පාතාලයක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය විය.   

 


මුදිතා දයානන්ද