තව්හිද් ජමාත් කල්ලියේ ආරම්භය සොයා ගිය ගමන


අනාවරණ

රටවැසියාගේ දැනගැනීම පිණිසයි...   

 

 

“අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැතැ”යි 


ජනවහරේ කියමනක් තිබේ. එහෙත් මහ අස්සයා පැන ගියද ඉස්තාලයේ උගේ පැටවුන් සිටී නම් ඒ ටිකවත් හරියට රැකගැනීමට ඉස්තාලය වසා දැමීම උචිත වනු ඇත. “ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ” කියලාත් කියමනක් ඇත්තේය. ඒ නිසා පැන ගිය අස්සයන් ගැන හිත හිතා ළත වෙනවාට වඩා පැටවුන් මොනවා කරාවිද කියලාවත් සොයබලා ගැනීමට ඉස්තාලය වසා තැබීමට සිදුවනු ඇත.   


එහෙත් අස්සගාලේ භාරකරු ගේට්ටු පියන් වේගයෙන් ඇදගෙන විත් අගුල් නොදමා ගේට්ටු කණුවට හේත්තු කර ඇතිවා පමණක් නම්, ඇතුළේ සිටින පැටවුන් හරියටම මහ අස්සයාගේම ද නැත්නම් වෙනත් අස්සයෙකුගේද? උන් පැන යාමට තැත් කරාවිද? යනාදිය ගැන කිසිදු විපරමක්වත් කරන බවක් පෙනෙන්නටද නැත්නම් අස්සගාලේ භාරකරු ගැන හිතා බලන්නට හිමිකරුට සිදුවනු ඇත.   


 රටේ තැනින් තැන බෝම්බ පිපිරුණ යුගය නිමා කර වසර දහයක් සපිරෙන්නට මසකට පෙර යළිත් රටේ බෝම්බ බිය ඇති කළේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් විසිනි. ඔවුන්ට ලංකාවේදී කියන නම කුමක් වුවත් එකම දවසේ එකම වෙලාවේ ස්ථාන හයකදීත් එදිනම තවත් ස්ථාන දෙකකදීත් බෝම්බ පිපිරීමක් සිදුකරන්නටත් මිනිස් ජීවත රැසක් බල්ලන් බළලුන් සේ වනසා තමන්ගේ ජීවිතයත් තොර කරගන්නට පෙළඹුණ මරාගෙන මැරෙන මිනිස් බෝම්බකරුවන් නිර්මාණය කිරීමේ හා ඔවුන් සිදුකළ හානියේ වගකීම භාරගත්තේ අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් විසිනි.   


අපේ රටේද තැනින් තැන ඔවුන්ගේ සාමාජිකයන් යැයි සැකකරන සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ. අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයකු යැයි සැකපිට බේරුවලින් අත්අඩංගුවට ගත් පරිගණක ඉංජිනේරුවරයාද පාස්කු ඉරිදා ප්‍රහාරයේදී රහසිගතව තොරතුරු හුවමාරු කරගැනීමේ සන්නිවේදන කටයුතුවලදී විශාල කාර්යභාරයක් සිදු කළැයි මේ වන විට තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගන්නට තිබේ. එසේ තිබියදී වුවද ලෝකයේ බොහෝ රටවල තහනම් සංවිධානයක් වන, බොහෝ රටවල් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගන්න අයි.එස්.අයි.එස්. සංවිධානය තවමත් ලංකාවේ තහනම් නැත.   


 වහාබ්වාදය පිළිගන්නා ඒ මතම තමන්ගේ කටයුතු සිදුකරන, ජිහාඩ් මත දරන එනම් ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීමට සූදානම් බව පැවසෙන තවත් සංවිධාන ගණනාවක් අපේ රටේ පවතී. එවැනි සංවිධාන කිසිවක් තහනම් කිරීමට තවමත් රජය කටයුතු කර නැත. තමන් වහාබ්වාදය පිළිනොගන්නා බව ප්‍රකාශ කළද සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ සැක සංකා සමාජය තුළින් මතුවෙමින් තිබේ. ඒ ඔවුන් සම්බන්ධයෙන් ඉතිහාසයේ පවතින යම් යම් අත්දැකීම් පදනම් කරගෙනය. ඒ නිසාම අප ඔවුන් සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ලැබුණු තොරතුරු සියල්ල පවතින්නේ ඔවුන්ට හානිකර ආකාරයටය.   


 ත්‍රස්තවාදී සංවිධාන ලෙස ඉස්ලාමිකයන් හා සම්බන්ධ සංවිධානය තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ගැසට් කරනු ලැබිණ. එසේ තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හා විලයාන් අස් සෙයිලනි සංවිධාන දෙක මෙන්ම ජාතික තවුහිද් සංවිධානය වේ. මේ සංවිධානය සෘජුවම පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නියෝජනය කළ සංවිධානයන්ය.   


 මෙයින් සහරාන් නියෝජනය කරන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි. එහෙත් ඔහුගේ ආරම්භය කොහේද? මේ සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. ඒ අතර වඩාත් පිළිගැනීමට ලක්වන මතය ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සමග කලක් එකට කටයුතු කර 2016දී පමණ එයින් ඉවත් වී වෙනම සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය.   


 සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා ගන්නේ 2018 සැප්තැම්බර් 23 වැනිදාය. එහෙත් ඔවුන් සියලු දෙනා ඉන් පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේය. මෙම සංවිධානයේ හිටපු ලේකම් අබ්දුල් රාසික් පවසන පරිදි එය පිහිටුවා තිබෙන්නේ 2005 වසරේදීය. ඒ වන විට අබ්දුල් රාසික් විශ්වවිද්‍යාල සිසුවෙකි. ඔහු සමග ආරම්භක සංවිධානයේ සම ලේකම් ලෙස සිටි මොහොමඩ් අල් තරක්සීන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට සම්බන්ධ වීම නිසා සංවිධානයෙන් ඉවත් ව තිබේ.   


 සහරාන්ද මේ කාලයේ තරුණයෙකි. ඔහු උසස් අධ්‍යාපනය හැදෑරු අයෙකු නොවූ අතර සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කළ අයෙකි. මේ කාලය වන විට ලෝකයේ අයි.එස්.අයි.එස්. කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රචාරය වෙමින් පැවතිණ. ජිහාඩ් සංකල්පයන් ද ලෝකයේ පැතිරෙමින් තිබූ කාලයකි. ඒ මතවාදය සමග එකල සම්ප්‍රදාය බැහැර කළ ඇතැම් තරුණ පිරිස් යම් දුරකට එකතු විය. ඒ එකතුවීමේදී රාසික් සම්ප්‍රදායෙන් බැහැරව කළ ඇතැම් ප්‍රකාශ දැඩි ලෙස බලපෑ බවද කියවේ. සහරාන්ද මේ මතයන් දරමින් රැඩිකල් හැසිරීමක් දැක්වූ අයෙක් විය. ඔහු එකල සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන සුෆි මුස්ලිම්වරුන් වන්දනාමාන කළ සොහොන් කොත් බිඳ දමා තිබේ. ඔහුගේ මේ රැඩිකල් හැසිරීම දැනගත් රාසික් ඔහු සොයාගොස් තම සංවිධානයට එක්කර ගත් බවටද ඇතැම්හු පවසති.   


 මරාගෙන මැරෙන බෝම්බකරුන් අතර සිටි කිසිවකු සමග තම සංවිධානයේ ගනුදෙනු නොතිබූ බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය පැවසුවද මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම සිදුකළ ඝාතකයා වූ මොහොම්මදු හස්තුන් මුලින්ම සම්බන්ධ වී සිටියේ අබ්දුල් රාසික් සමග බවද කියැවේ. හස්තුන් කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර ඔහු උසස්පෙළ ජීව විද්‍යාව හැදෑරු සිසුවෙකුව සිටියදී රාසික් සමග සම්බන්ධ වී ඇත. එසේම ඔහුගේ බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරාද උසස් පෙළ ජීව විද්‍යාව හැදෑරු කාන්තන්කුඩි ප්‍රදේශයේම පදිංචිකාරියකි.   


 ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් හස්තුන් ඇයට ඉස්ලාම් ධර්මය වැලඳගන්නා ලෙස බල කර ඇති අතර, ඇය ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වූ පසු කොළඹට පැමිණ රාසික් හමුවී ඇයට ඒ සඳහා බල කරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි ද දැන ගන්නට තිබේ. ඒ බලකිරීම මත ඉස්ලාම් ධර්මය වැලඳගත් පුලස්තිනි ටික කලක් මාළිගාවත්තේ සැඟව සිටි බවද ඇයට සැඟව සිටීමට උදව් කර තිබෙන්නේ රාසික් බවද කියවේ. එසේම ඇයව හස්තුන්ට විවාහ කර දීම සිදුකර තිබෙන්නේද රාසික්ගේ මැදිහත්වීමෙන් බවද කියැවේ.   
දියණිය සොයා ඇගේ මාපියන් පොලිසියට කළ පැමිණිලි හා පසුව ඇය හමුවූ ආකාරය සම්බන්ධයෙන් රාසික් පවසන දේවල් හා පුලස්තිනිගේ මාපියන් පවසන දේවල් අතර පරස්පරයක් පවතිනවා සේම ඒ සියල්ල දැන් කවුරුත් අසා ඇති සාමාන්‍ය තොරතුරු බවට පත්ව තිබේ.   


 කෙසේ වුවද අබ්දුල් රාසික් නමැති ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය එකල සිටි සම ලේකම් පවසන ආකාරයට ඇය 2015 දෙසැම්බර් 31 වෙනිදා හස්තුන්ගෙන් දික්කසාද වන බවත්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වන බවත් පවසා ලිපියක් ලියා කාන්තන්කුඩි පොලිසියට භාර දී පිටව ගොස් තිබේ. එහෙත් ඒ ලිපියේ ඇය තබා තිබෙන්නේ ඇගේ මහපටැඟිල්ලේ මුද්‍රාවකි. උසස් පෙළ ජීව විද්‍යාව හැදෑරු ඇය ඇයි තම ලියුමේ ඇඟිලි සලකුණක් තැබුවේ? ඇත්තටම මේ පුලස්තිනි ලියන ලද ලිපියක්ද? නැත්නම් ඇය මිය ගිය පසු ඇගේ මවගේ චෝදනාවලින් ගැලවීමට සකස් කරන ලද ව්‍යාජ ලියවිල්ලක් ද යනාදී ප්‍රශ්න ඇතැමුන් තුළ සැකසංකා ලෙස පවතී.   


 ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය මෙන්ම සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය යන සංවිධාන තුනම ජමෙයිතුල් උලමා සංවිධානය නමැති ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධානම මග පෙන්වීමේ සංවිධානයත්, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංවිධානයත් ආගමික සංවිධානය ලෙස රට වැදගත් සංවිධාන ලෙස පිළිගන්නේ නැත.   


 එයට හේතු ලෙස සමස්තලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක නුස්රත් නවුෆර් මවුලවිතුමා පවසන්නේ මෙවැනි අදහසකි.   


 ඔවුන් සියලු දෙනාම අපේ ඉස්ලාම් ධර්මයට පටහැනිවයි කටයුතු කරන්නේ. අපේ ධර්මයට අනුව අනෙක් ආගම් හෙළා තළා දකින්න බැහැ. අපි හැමෝම සමග සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. එහෙත් මේ සංවිධානවල කථා ශෛලයෙන්ම ඔවුන් අපේ සංවිධානවලට අනුකූල වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට අපේ සාමාජිකත්වය හිමි වුණේ නැහැ. එහෙත් වෙනත් තවුහිද් ජමාත් සංවිධාන රැසක් අපිත් සමග ඉන්නවා. සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය එවැනි සංවිධානයක්. එසේම තරිකා, රිකාරියා, වැනි තවත් ආගමික සංවිධාන රැසක් අපත් සමග කටයුතු කරනවා. ඒ අය ආගමානුකූලව හා මේ රටේ සංස්කෘතියට හානිකර නොවන ආකාරයට තමන්ගේ ආගමික කටයුතුවල යෙදෙන්නන්.   
 නුස්රත් මව්ලවි ප්‍රකාශ කරන්නා සේම අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් අයි.එස්.අයි.එස්. මතවාදයන් ලංකාවේ පැතිරයාමේ අවදානම දක්වීමන් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය 2015දී ඒකාබද්ධ ප්‍රකාශයක් කර තිබේ. එසේම ඔවුන් දක්වන පරිදි මේ අන්තවාදී මතවාදයන් සම්බන්ධයෙන් ඔවුන් ආරක්ෂක අංශද දැනුම්වත් කර ඇත. අබ්දුල් රාසික් පවසන ආකාරයටද ඔවුන් 2016 සිට එනම් ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිහිටෙව් දා සිටම ඔවුන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ.   
 ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු ලේකම් වත්මන් සිලෝන් තවුහිද් සංවිධානයේ ද ලේකම් වන අබ්දුල් රාසික් රට පුරා තමන්ගේ කාර්යාල පවත්වාගෙන යමින් ශාඛා සංවිධානය සකස් කරමින් දේශන පවත්වමින් තම මතවාදය රටපුරා ගෙනයාමට විශාල වැඩකොටසක් කර තිබේ. 2014 වසරේදී ඔහු විසින් කරන ලද ධර්ම දේශනාවකදී බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කියලා කාටවත් කියා නැති බවත් උන්වහන්සේ නොදැන මිනී මස්ද ආහාරයට ගෙන ඇති බවත් පවසා ඇත. මේ දේශනය ඔහු තම මුහුණු පොතෙන්ද ප්‍රචාරය කර තිබූ අතර ඔහු එය සිනාසෙමින් පවසන ආකාරයේම දැක්වෙන්නේ බුදුන්වහන්සේ පහත්කොට සලකන ආකාරයකි. මේ ප්‍රකාශයත් සමග බෞද්ධ සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර බොදුබල සේනා සංවිධානයේ සාමාජික භික්ෂූන් වහන්සේ නමක විසින් එම ප්‍රකාශයට එරෙහිව අලුත්කඩේ අංක එක අධිකරණයේ නඩුවක් පවරනු ලැබිණ. එම නඩුව තවමත් විභාග වන අතර එය 2016 මැයි 14 වෙනි දා නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබේ. එහෙත් වසර තුනක් අවසන් වනතුරුත් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නැත. ඒ නිසා නඩුව තවදුරටත් අධිකරණයේ විභාග වෙමින් පවති.   


 මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාසික් පවසන්නේ තමන් බුදුදහමට නිගා කිරීමේ කිසිම අදහසක් ඇතිව එවැනි ප්‍රකාශයක් නොකළ අතර ඉස්ලාමිකයන්ගේ යම් මතයන් වෙනස් කිරීමට උදාහරණ ලෙස එය ගත් නමුත් එහිදී තමන්ට වැරදීමක් සිදුව ඇති බව පිළිගන්නා අතර ඒ සම්බන්ධයෙන් සමාව ගනිමින් ප්‍රකාශයක් ද නිකුත් කළ බවය.   
 එහෙත් එතෙකින් නොනැවතුණ රාසික් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද අපහාසාත්මකව ප්‍රකාශයක් කළේය. ඒ 2016 නොවැම්බර් 05 වෙනිදා මාළිගාවත්තේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී ප්‍රකාශයක් කරමිනි. ඒ සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලිසියෙන් පැවරූ නඩුවක්ද විභාග වෙමින් පවතී.   


 එදින මාළිගාවත්තේ දී කළ උද්ඝෝෂණයේ දී ඔහු දැක්වූ අනෙකුත් අදහස් ද විවාදාත්මකය. ජී.එස්.පී බදු සහනය ලබාදීමට කොන්දේසි ලෙස ලංකාවේ විවාහ නීතිය සංශෝධනය කිරීමට යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසියක් වූ පරිදි මුස්ලිම් වැසියන් අතර පවතින ළමා විවාහ නීතිය වෙනස් කිරීමට දැරූ උත්සාහයට විරෝධය දැක්වීම එහි අරමුණ විය.   


 එහිදී අදහස් දැක්වූ අබ්දුල් රාසික් පවසන්නේ ඉස්ලාම් කාන්තාවන්ගේ විවාහවීමේ වයස සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට කිසිවෙකුට අයිතියක් නැති බවය. දැරිවියක් මල්වර වීමම විවාහයට සුදුසුකමකි. ඔහු පවසන්නේ දැරිවියක් මල්වර වීම, විවාහය ගැන දැනුමක් ඇති වීම, අවශ්‍යතාවක් මතුවීම විවාහයට පිවිසීමට සුදුසුකමක් බවය. එසේම ඔහු එහිදී කියා සිටින්නේ දැන් අවුරුදු පහළොවේදී නොව අවුරුදු අටේදී නවයේදී වුවත් මේ රටේ වැඩිහිටියන් නොදන්නා දේවල් පවා විවාහ ජීවිතය සම්බන්ධයෙන් පවසන්නට හැකි දරුවන් සිටින බවය.

   
 ඔහු ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දැන් පවසන්නේ තමන් ළමා විවාහයන්ට විරුද්ධ වන නමුත්, විවාහයට වයස් සීමාවක් පැනවිය යුතු නැති බවය. අවුරුදු විසිපහේදී වුවද විවාහය ගැන අවබෝධයක් නැති අයෙකුට විවාහ වීමට ඉඩදීම සුදුසු නොවන බව තමන්ගේ පිළිගැනීම බවද ඔහු කියා සිටී.   
 

 ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ලෙස වසර දහයකට අධික කාලයක් කටයුතු කළ එයට නායකත්වය දුන් අබ්දුල් රාසික් ඇතුළු පිරිසක් හිටි ගමන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය ලෙස නව සංවිධානයක් හදාගත්තේ ඇයි? ඔහු එසේ කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සිදුකරන ඇතැම් කටයුතුවලදී එය තහනම් සංවිධානයක් බවට පත්වුවහොත් ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයටද අවදානමකට මුහුණ දෙන්න සිදුවන බැවින් තමන්ගේ කාර්යයන් කරගෙන යාමට සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය නමින් නව සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය.   


 සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය රට පුරා කාර්යාල පවත්වාගෙන යමින් කටයුතු කරද්දී දේශන පවත්වමින් යද්දී ඔවුන් මුස්ලිම් ප්‍රජාව අතරම ජීවත්වෙද්දී ඔවුන්ට සහරාන්ලා සිදුකළ දේවල් කිසිවක් දකින්න නොලැබීම පුදුමයට කරුණකි. ඔවුන් දැක තිබෙන්නේ සහරාන්ලා මුහුණුපොත ඔස්සේ කළ ප්‍රකාශ පමණි. ගම්වල සිදුකළ පිපිරීම්, පුහුණු කඳවුරු පවත්වාගෙන යාම් සම්බන්ධයෙන් කිසිවක් ඔවුන් දැක නැත. මෙය කෙතරම්දුරට පිළිගත හැකිද? සහරාන්ලා පහරදී බලය ලබාගත් පසු එහි තමන්ගේ මතය දරන ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව ඔවුන්ද නිහඬව සිටියා යැයි සැකයක්ද ඇතැමුන් තුළ පවතී.   


 සහරාන්ලා බුර්කාව පිළිගනිද්දී රාසික්ලා බුර්කාව ප්‍රතික්ෂේප කරති. සාම්ප්‍රදායික මුස්ලිම්වරු ඇතැමෙක් සොහොන් වන්දනාවේ යෙදෙන විට රාසික්ලා හා සහරාන්ලා එය ප්‍රතික්ෂේප කරති. සහරාන්ලා මෙන්ම මෙරට පිළිගත් මුස්ලිම් සංවිධානයන් පවා ආරාබි බස ඉගෙනීම ඉස්ලාමිකයන්ට අවශ්‍ය දෙයක් ලෙස දකිද්දී රාසික්ලා අරාබි බස අපේ රටට අවශ්‍ය දෙයක් නොවන බව පවසති. සහරාන්ලා ආගම වෙනුවෙන් සටන් කිරීම අවි දැරීම පිළිගනිද්දී රාසික්ලා එය ප්‍රතික්ෂේප කරන බව පවසති.   
 කෙසේ වුවද පසුගිය කාලයේ ඇතැම් පල්ලියකින් කඩු හමුවීමත් සමග ඒවා සහරාන්ලාගේ කල්ලියේ අයගේ ආයුධ නොවේ නම් කාගේ උවමනාවට එක

තු කරන ලද ආයුධද යන සැකයක්ද පවතී.   


අප සමග කිසිම දවසක සහරාන් ඉඳලා නෑ.   


සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අප ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.   


 අපට වෙනම සංවිධානයන් හදාගැනීමේ උවමනාව ඇති වුණේ අපේ රටේ ඉස්ලාම් ධර්මය උගන්වන බහුතරයක් දෙනා දක්වන අදහස් අපේ රටට වගේම නියම් ඉස්ලාම් ධර්මයටත් නොගැළපෙන නිසයි. අප සමග කිසිම දවසක් සහරාන් ඉඳලා නැහැ. ඔහු කරන කියන දේවල් අපි දැක්කේ මුහුණු පොතෙන්. ඒ දැක්කාම ඔහු ගමන් කරන්නේ අයි.එස් කැරලිකරුවන්ගේ මතයන් සමග බවට දැනුණ නිසා අපි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි නිලධාරීන් දැනුම්වත් කළා. ඔහු මුහුණුපොතේ පළ කරන හැම දෙයක් ගැනම අපි දැනුම්වත් කළා. අපි හිතනවා ඒවා ගැන පරීක්ෂණ සිදුකෙරුණා කියලා. සහරාන් අපේ සංවිධානයට මම බඳවා ගත් බවට කරන ප්‍රකාශ මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මීගමුවේදී මරාගෙන මැරුණු හස්තුන් මට හමුවුණේ ඔහුගේ පෙම්වතිය සමග පැමිණ ඇයව ඉස්ලාම් ආගමට හරවාගන්නා ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදියි. ඔවුන්ට විවාහ වීමේදීත් මම උපදෙස් ලබා දුන්නා. ඇය ඉස්ලාම් ආගමෙන් ඉවත් වූ බවට කාන්තන්කුඩි පොලිසියට ලියුමක් භාරදී ගොස් තිබුණා. එයින් පසු මට ඔවුන් මුණ ගැසුණේ නැහැ. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් සමග අපේ සංවිධානයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම අපි ජමෙයිතුල් උලමා සංවිධානයට යටත් නැහැ. ඔවුන් අපේ මතයන්ට විරුද්ධ මතයන් දරන නිසා ඒ සමග කටයුතු කරන්න අපිට බැහැ.  


ප්‍රශ්නය - ඔබ සහරාන් ගැන දන්නේම නැද්ද?   


පිළිතුර - නැහැ. මම සහරාන් ගැන දැන ගත්තේ ඔහුගේ මුහුණු පොතේ සටහන් වලින්. ඔහු වෙනස් මතයක් ඒ කියන්නේ වහබ්වාදී මතයක්. අයි.එස්. කැරලිකරුවන්ගේ මතයන් හා සමාන මතයක් දරණ බව ඔහු මුහුණු පොතේ දක්වා තිබු සටහන්වලින් වැටහුණා. ඔහු එවැනි වෙනස් ගමනක් යන්න හදන බව දැන ගත්දා සිට අපි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඒ බව දැනුම්වත් කළා.   


ප්‍රශ්නය - ඒ දැනුම්වත් කිරීමෙන් පළක් වෙලා නැහැනේ. එහෙම වුණාට පස්සේවත් මේක තවත් වගකිව යුත්තෙකුට කියන්න නැත්නම් ලිඛිතව පැමිණිලි කරන්න කල්පනා කළේ නැද්ද?   


පිළිතුර - නැහැ. අපි දුන් තොරතුරු අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ කළ බවයි මගේ විශ්වාසය. ඒ නිසා සහරාන් අලුතෙන් කරන හැම දෙයක් ගැනම විස්තර මම මුහුණු පොතෙන් අරන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දුන්නා.   


ප්‍රශ්නය - ඔබට රට පුරා කාර්යාල තිබෙනවා. සහරාන්ලා පිපිරවීම් ගැන පෙර පුහුණු වීම් කර තිබුණා. තැන තැන කඳවුරු පවත්වාගෙන ගිහින් තිබුණා. ඒවා ගැන කිසිම තොරතුරක් ඔබට හෝ ඔබේ කාර්යාලවලට දැන ගන්න ලැබුණේ නැද්ද?   


පිළිතුර - අපි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තොරතුරු දුන්නා. අපි බුද්ධි අංශයක් නොවෙයිනේ. එය කරන දේවල් ගැන හොයන්න. අපට ලැබුණ තොරතුරු අපි දීලා තියෙනවා. ඒවා ගැන සොයන එක ඒ අයගේ වැඩක්.   


 මේ ප්‍රකාශවල ඇත්ත නැත්ත අප පෙන්වා දෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ වගකීම පවතින්නේ ආරක්ෂක අංශ වෙතය. ඒ සම්බන්ධයෙන් වගකීම දරන බලධාරීන්ටය. එහෙත් මාධ්‍යවලට වාරණ පැවරීමෙන් අනතුරුව රටේ ආරක්ෂක මෙහෙයුම් සිදුවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිම අදහසක් දැන් රට හමුවේ තබා නැත. එසේම ආරක්ෂක අංශවලම ඇතැමුන් දක්වන පරිදි ඇතැම් තොරතුරු අදාළ අංශ වෙත ලබාදුන්නත් අවශ්‍ය වේගයෙන් ඒවා ගැන සොයා බැලීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වන්නේද නැත.   

 

 

 

මුදිතා දයානන්ද