තවමත් ගාල්ලේ ඇති පෘතුගීසීන් සිටවූ දෙල්ගස හා කස ගස


ගාල්ල කොටුව

අට්ටාලයේ ඇති පැරණි දෙල්ගස

 

 

“ගාල්ල ලන්දේසි බළකොටුවේ සිය නිල නිවසේ සිටින වරාය පාලකවරයා රූමස්සල කඳුවැටිය දෙසින් ගාල්ල වරායට ඇතුළුවෙමින් සිටින නෞකාව දෙස දෑස් දල්වා බලා සිටියි. මේ නැව සැතපුම් දහස් ගණනක් ගෙවා මාස ගණනක ගමනකින් පසු ගාල්ල වරායට සේන්දුවන්නේ ගාල්ලේ ගබඩාවල රැස්කර ඇති භාණ්ඩ රැගෙන යාමේ අපේක්ෂාවෙනි. තවත් නැවක් ගාල්ල වරායෙන් පිටවෙමින් තිබේ. වරාය පාලකවරයා ඒ දෙසත් තම නිල නිවාසයේ සිට බලා සිටියි. “


එදා 17 වැනි සියවසේ දී ලන්දේසීන් ගාල්ල කොටුව, ගාල්ල වරාය සහ ඒ අවට පාලනය කරන කාලයේදී වරායේ පාලකවරයා හෙවත් හාබර් මාස්ටර්ගේ නිල නිවස්න අදට ද ගාල්ල කොටුවේ දක්නට ලැබෙයි. ඒ දැනට ඕලන්ද රෝහල ලෙසින් හඳුන්වන නමුත් කලින් ඉංග්‍රීසි රෝහල පැවැති ගොඩනැගිල්ලටත් ගාල්ල මහාධිකරණ ගොඩනැගිල්ලටත් අතර මැදිනි.


එය අතීතයේ ලන්දේසි වරාය පාලකවරයාගේ නිල නිවස වුවද සැබැවින්ම ලන්දේසීන් විසින් සැකසූ මුර අට්ටාලයකි. මේ මුර අට්ටාලය ඉදිකර ඇත්තේ නිල නිවසක් ලෙස භාවිතයට ගත හැකි අයුරින් වීම එහි විශේෂත්වයයි. එමෙන්ම ගාල්ල කොටුවේ ඇති මුර අට්ටාල අතරින් වඩාත් ආරක්ෂාකාරීවන ලෙස ඉදිකළ තාප්පයක් දැකිය හැකි එකම මුර අට්ටාලය මෙයයි. මේ අට්ටාලය හඳුන්වන්නේ ඇකර්ස්ලූට් අට්ටාලය නමිනි.
නිල නිවසක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ආකාරයකින් නිම කර ඇති ගාල්ල බළකොටුවේ ඇති එකම අට්ටාලය ද වේ. මෙහි ඇති තවත් වැදගත් කමක් වන්නේ ශ්‍රී ලංකාවේ ජනාතව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන “රට දෙල්”‍ මෙරටට හඳුන්වාදුන් ඕලන්ද ජාතිකයන් විසින් මෙරට සිටවන ලද මුල්ම රටදෙල් පැළය මේ අට්ටාලයේ අද දක්නට ලැබෙන විශාල රට දෙල් ගස යැයි පිළිගැනීමක් පැවතීමයි.


ඒ අසළම තවත් සුවිසල් ගසක් දක්නට ලැබේ. එය කස ගසකි. කස පැළ ගාල්ලේ රෝපණය කර ඇත්තේ පෘතුගීසීන් විසිනි. මේ ගසේ විශාලත්වය අනුව එය පෘතුගීසීන් විසින් මෙරට රෝපණය කළ පැළවලින් එකක් බව බො‍හෝ උද්භිද විද්‍යාඥයන්ගේ පවා විශ්වාසයයි. නමුත් ඒ ගැන තවමත් විධිමත් පරීක්ෂණයක් සිදුකර නැත.


මෙවන් අද්විතීය වටිනාකමක් ඇති ඇකර්ස්ලූට් මුර අට්ටාලය අද ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය භාරයේ පවතින අතර කිසිදු සංචාරකයකුට ‍එහි ඇතුළුවීමට අවසර නැත. එය වරාය අධිකාරිය සතු නිවාඩු නිකේතනයක් ලෙස භාවිත වන්නේ ගාල්ල කොටුව ලෝක උරුමයක් බවට පත්කිරීමේ මූලික අරමුණු පවා උල්ලංඝනය කරමිනි.
පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක ගෘහ නිර්මාණ ලක්ෂණ දක්නට තිබීම හේතුවෙන්ම ලෝක උරුමයක් බවට පත්කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව දී ඇති මේ අට්ටාලය තවදුරටත් මෙලෙස සාමාන්‍ය ජනතාවගෙන් සහ සංචාරකයන්ගෙන් ඈත්කර තිබීම කොතෙක් දුරට සාධාරණ ද යන්න ගැටලු‍වකි.


මෙම අට්ටාලයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ගාල්ලේ පෘතුගීසි බළකොටුවට පහරදී එය යටත් කරගත් ලන්දේසි අණ දෙන නිලධාරියා වූ විලියම් ජාකොබ් කොස්ටර් සිහිවීම පිණිස ඔහු උපන් ප්‍රදේශය වූ නෙදර්ලන්තයේ ඒකර්ස්ලූට් ගම්මානයේ නමින් 1759 දී මේ අට්ටාලය “ඇකර්ස්ලූට්”‍ ලෙස කර ඇති බවයි.
අට්ටාලය ලන්දේසීන් විසින් ඉදිකර ඇත්තේම වරාය පාලකවරයාගේ නිල නිවස ලෙසිනි. වරායට​ ඇතුළුවන හා පිටවන නෞකා ඔහුට තම නිල නිවසේ සිටම නිරීක්ෂණය කළ හැකි ආකාරයෙන් මෙය ඉදිකර තිබේ. ලන්දේසි ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අද ලන්දේසි රෝහල ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍ය රෝහල් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එනම් මේ අට්ටාලයට යාබද කොටසේ තනි මහලක ලන්දේසි රෝහලක් පැවති බවයි.


දෙල් ගසේ කතාව ආරම්භ වන්නේ එතැනිනි.


උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සයිසෙස් Artocarpus incisus නමින් හැඳින්වෙන්නේ දෙල් ගස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ බ්‍රේඩ් ෆුට් හෙවත් පාන් පලතුර යනුවෙනි. ලන්දේසීන් තමන්ගේ යටත් රාජ්‍යයන් හි විශේෂයෙන්ම වරාය ආශ්‍රිත නගරයන්හි දෙල් පැළ රෝපණය කිරීමට පියවර ගත්හ.


ඔවුන් එවැනි පියවරක් ගෙන ඇත්තේ රට දෙල්වල ඇති ඖෂධීය ගුණය සැලකිල්ලට ගනිමිනි. පැරණි ලන්දේසි ලේඛනවලට අනුව නැව්වල මාස ගණන් ගතකරන යාත්‍රිකයන් විවිධ වසංගත රෝගවලට ගොදුරුවීම වැළැක්වීමේ ගුණයක් දෙල් සතුව තිබී ඇත. මේ නිසා ඔවුහු යාත්‍රිකයන්ට ආහාර ලෙස නැව්වලට දෙල්ගොඩ තොග ගණන් ලබාදිය යුතු බැවින් තමන් යටතේ වූ සෑම වරායක් ආසන්නයේම දෙල් පැළ රෝපණය කර ඇත.
මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ ගාල්ල කොටුවේ ස්ථාපිත කර තිබූ ඔවුන්ගේ රෝහල් භූමියයි. එම රෝහලත්, කොටු පවුරත් අතර තිබූ උද්‍යාන කොටසේ අදටත් දෙල් ගස් කිහිපයක් දැකිය හැකි අතර විශාලතම දෙල් ගස පිහිටා ඇත්තේ වරාය පාලකවරයගේ බංගලාව පිහිටි ඇකර්ස්ලූට් අට්ටාලයේය.
එදා රෝහල් භූමියේ විවිධ ඖෂධ ශාක වැවූ ඖෂධ උයනක් තිබූ බවට ද සාක්ෂි ඇත. එකල තිබූ දෙල් ගස් පසු කලෙක විනාශ වී යන්නට ඇති බවත් අද එතැන දක්නට ඇත්තේ පසුව සිටුවන ලද දෙල්ගස් බවත් සිතිය හැකිය. නමුත් ඇකර්ස්ලූට් අට්ටාලයේ ඇති දෙල් ගසේ විශාලත්වයත් කඳෙහි ස්වභාවයත් සැලකූ විට එය ලන්දේසීන් විසින් මෙරට රෝපණය කරන ලද මුල්ම දෙල්පැළ කිහිපයෙන් එකක් බව සැලකිය හැකිය.
ශ්‍රී ලාංකිකයන් රට දෙල් පලතුරක් ලෙස හඳුන්වන්නේ නැත. එය ආහාරයක් පමණි. කෙසේ වෙතත් ජනවහරේ පැවසෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ එඩිතර වීර ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වාදී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේක්ෂාවෙන් දෙල් ශාකය මෙරට රෝපණය කරවූ බවයි. නමුත් සත්‍ය කතාව නම් දෙල් කෑමෙන් වසංගත රෝග දුරුවන බව ලන්දේසීන් විශ්වාස කිරීමයි.


මේ දෙල්ගස යට ලන්දේසීන් විසින් පුවරුවක් සවිකර ඇති බවත් එහි “දෙල් කෑමට පුරුදු කර සිංහලයන්ගේ පුරුෂ ශක්තිය නැතිකර ඔවුන් යටත් කරමු.”‍ යනුවෙන් සටහනක් ඇති බවත් ඇතැම්හු විශ්වාස කරති. නමුත් එවැනි සටනක් තිබූ බවටවත් කිසිදු සාක්ෂියක් නැත.

 

“බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගාල්ල ඕලන්ද කොටුවේ ඇතැම් තැන්වල වෙනස්කම් කළා. කොටුවේ පැරණි ඕලන්ද රෝහල වෙනුවට එතැන දෙමහල් රෝහලක් ඉදිකළා. මේ ගොඩනැගිල්ල පසුව ගාල්ල කච්චේරිය ලෙස පවත්වාගෙන ගිහින් දැන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ වෙළෙඳ සංකීර්ණයක් ලෙස භාවිත කරනවා. එයට කියන්නේ නම් ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල කියලා. නමුත් එය ඉංග්‍රීසි ජාතිකයන්ගේ රෝහල.


මේ ස්ථානයේ ඇති උද්‍යානයේ තමයි මුල්ම දෙල් පැළ ලන්දේසීන් විසින් රෝපණය කරලා තියෙන්නේ. ඉංග්‍රීසීන් ඕලන්ද ජාතිකයන් වරාය පාලකවරයාගේ නිල නිවස ලෙස භාවිත කළ ගොඩනැගිල්ල රෝහලේ මෘත ශරීරාගාරය බවට පත්කළා.

 


මේ වනවිට රට දෙල් යනු ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වූ ශාකයකි. ශ්‍රී ලාංකිකයෝ රට දෙල් කෑමට පුරුදුව සිටිති. කෙසේ වෙතත් මේ රට දෙල් ගසේ ගෙඩි මෙරට ඇති අනිකුත් රට දෙල් ශාකයන්ගේ ඵලයන්ට වඩා රසවත් බව බොහෝදෙනා කියති.


ගාලු‍ උරුමය පදනමේ විමර්ශන නිලධාරී තරංග ලියනාරච්චි මහතා පවසන්නේ වරාය පාලකවරයාගේ නිල නිවස බ්‍රිතාන්‍ය පාලන කාලයේදී වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවකි.


ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.


“බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගාල්ල ඕලන්ද කොටුවේ ඇතැම් තැන්වල වෙනස්කම් කළා. කොටුවේ පැරණි ඕලන්ද රෝහල වෙනුවට එතැන දෙමහල් රෝහලක් ඉදිකළා. මේ ගොඩනැගිල්ල පසුව ගාල්ල කච්චේරිය ලෙස පවත්වාගෙන ගිහින් දැන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ වෙළෙඳ සංකීර්ණයක් ලෙස භාවිත කරනවා. එයට කියන්නේ නම් ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල කියලා. නමුත් එය ඉංග්‍රීසි ජාතිකයන්ගේ රෝහල.
මේ ස්ථානයේ ඇති උද්‍යානයේ තමයි මුල්ම දෙල් පැළ ලන්දේසීන් විසින් රෝපණය කරලා තියෙන්නේ. ඉංග්‍රීසීන් ඕලන්ද ජාතිකයන් වරාය පාලකවරයාගේ නිල නිවස ලෙස භාවිතා කළ ගොඩනැගිල්ල රෝහලේ මෘත ශරීරාගාරය බවට පත්කළා.


නමුත් නැවත 1907 වර්ෂයේ දී මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා නැවත වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත්කළා. ලන්දේසීන් විසින් ඉදිකළ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ජාතිකයන් විසින් ප්‍රතිසංස්කරණය කරද්දී එහි අභ්‍යන්තරයේ විශාල වෙනස්කම් කර තිබෙනවා. ඒ නිසා එහි දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ.”‍


රෝහලේ මෘත ශරීරාගාරයක් බවට පත්ව තිබූ ඕලන්ද වරාය පාලකවරයාගේ නිල නිවස යළි වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත්කළ ද එහි දැන්නම් වරාය පාලකවරයා පදිංචි වී නැත. එය පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනයක් ලෙස භාවිත කර දැන් යළි වරාය අධිකාරිය සතු නිල නිවසක් බවට පත්ව තිබේ.


මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ ගාල්ල කොටුවේ ඇති සියලු‍ම රාජ්‍ය ආයතන කොටුවෙන් ඉවත් කළ යුතු බවයි. දැනට පොලිසිය, හමුදාව, උසාවිය ආදිය සඳහා ප්‍රයෝජනයට ගන්නා ගොඩනැගිලි සහ ඔවුන් විසින් වෙන්කරගෙන ඇති ස්ථාන වහාම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයට පත්කර මහජනයා සඳහා විවෘත කළ යුතු බව රජය පවසයි. නමුත් වසර ගණනක සිට ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතිය ද එවැනි දෙයක් සිදුවන බව පෙනෙන්නට නැත.


මේ පිළිබඳ ගාලු‍ උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කිවේය.


“ගාල්ල කොටුවේ ඇති සියලු‍ම රජයේ ආයතන කිරීමට දැන් අවුරුදු ගණනක සිට කටයුතු කරනවා. ඒ අනුව සියලු‍ම රජයේ ආයතන ඉවත් කළ යුතුයි. මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලිවල තියෙන ලොකුම ගැටලු‍ව තමයි ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම. ඊට තිබෙන ආසන්නම උදාහරණය පැරණි තැපැල් කාර්යාලය තිබූ පරිපාලන ගොඩනැගිල්ල කඩා වැටීම. නමුත් මේ නිවාඩු නිකේතනය පවත්වාගෙන යන වරාය අධිකාරිය ඒ ගොඩනැගිල්ල ඉතාමත් හොඳින් නඩත්තු කරනවා.


ගැටලු‍ව තියෙන්නේ එය මහජනයාට සහ සංචාරකයන් සඳහා විවෘත නොකිරීම. නමුත් රජයේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් ඒ ස්ථානයෙන් ඉවත්විය යුතුයි. දැනට අපි සාකච්ඡා කරනවා මේ ස්ථානයේ පැරණිම දෙල් ගස සහ මුල් යුගයේ හිටවපු කස ගසකුත් තිබෙන නිසා ඒවාත් මේ අට්ටාලයත් මහජනයාටත් දැක ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පුළුවන් ද කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉක්මන් තීරණයක් ගන්නවා.”‍
ගාල්ල කොටුවේ ඇති අට්ටාල අතරින් අපූරු ඉතිහාස කතාවක් සඟවාගෙන සිටින ඇකර්ස්ලූට් අට්ටාලය තවදුරටත් පාසල් සිසුන්ගෙන්, මහජනතාව‍ගෙන් හා විදෙස් සංචාරකයන්ගෙන් සඟවා තැබිය යුතුද?

 

අට්ටාලයට ඇතුළුවීමට ඇති එකම දොරටුව හා තාප්පය

 

ඇකර්ස්ලූට් මුර අට්ටාලය ඉදිරියෙන් පෙනෙන අයුරු

 

අට්ටාලයේ ඇති පැරණි දෙල් ගස සහ බ්‍රිතාන්‍ය රෝහලත් එහි උද්‍යානයත් මුහුදත් මෙහි පෙනේ. මේ උද්‍යානයේ දෙල් පැළ රෝපණය කර තිබූ බව පැවසේ

 

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර