තරුණියන් ලෙඩ කරන කළුකුමාරයා කවුද ?


ඉර සැඟව ගිය ගොම්මනේ තනිවූ මලිති මිදුලේ පිච්ච පඳුර ළඟ බංකුවේ වාඩිවූවාය. මුදාහළ බොකුටු කෙස් කළඹ සීතල සුළඟට දඟකරන්නට විය. මධුර ස්වරයෙන් ඇය ගී පදයක් මිමිණුවාය.   
‘කෙල්ලේ මොකද ඔතන කරන්නේ මම කෝච්චර කියලා තියෙනවද මේ ගොම්මන් වෙලාවේ කොණ්ඩේ කඩාගෙන මිදුලේ තනියම ඉන්න එපා කියලා. මලිතිගේ ආතා ඇයට සැර විය. මලිති නෝක්කාඩු ලෙසින් ගෙට ගොඩ වූවාය.

   
‘ඇයි ආතේ මම අපේ ගෙදරනේ හිටියේ.. මේ වෙලාවේ හරිම සනීපයි එළිමහන’   


මලිති ආතාට පැවසුවාය.   


‘‘උඹ දැක්කා නේද ළිඳ ළඟ ගෙදර කෙල්ල? ගොම්මන් වෙලාවේ තොටුපළේ නාන්න ගිහින් වෙලා තියෙන දේ.. අන්තිමට සනීප කරගන්න තොවිලෙකුත් නටන්න වුණා.   
ආතා බැරෑරුම් හඬින් පැවසුවේය.   


‘ඇත්තටම ඒ අක්කට මොකද වුණේ ආතේ?’ මලිති නැවතත් ප්‍රශ්නයක් ඇසුවාය.   


ඒකිට කළුකුමාරයා වැහිලා... උමතුවෙන් වගේ කියවනවා. කන්න බෑ කියනවා. ඇඟ කෙට්ටු වෙලා. කසාද බඳින්න ඉන්න ළමයා පේන්න බෑලු. හිටි ගමන් රෑට දොර ඇරගෙන එළියට දුවනවලු.’’ ආතා කියාගෙන ගියේය.   


‘‘ආතේ ඇත්තටම කවුද කළුකුමාරයා කියන්නේ.’’ මලිති යළිත් ප්‍රශ්නයක් නැඟුවාය.   


‘‘මම අහලා තියෙන විදියට කළුකුමාරයා කියන්නේ අනුරාධපුරේ රජ කරපු පුවෝතල රජතුමාගේ පුතෙක්. එයාගේ නම නීල මදන. හැබැයි ඒ පුතා පුවෝතල රජතුමාගේ බිසව වෙච්චි මුතුමාල බිසවගේ නම් නෙවෙයිලු. ඒ කුමාරයාගෙ අම්මා රජක ස්ත්‍රියක්ලු. මේ කුමාරයා තරුණ කාලේ හරි ජවසම්පන්නයි ලු. පුවෝතල රජතුමාට විතරක් ඔසවන්න පුළුවන් යගදාව ඔසවන්න ඒ කුමාරයාටත් පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා රජතුමා සොළීන්ට විරුද්ධව සටන් කරන්න මේ කුමාරයට වගකීම් බාරදීලා.   


ඔහොම ඉන්නකොට මේ රටේ හිටපු මහලු කාන්තාවකගේ දරුවෝ දෙන්නා සොළීන් ඒ රටට අරගෙන ගියාලු. ඒ දරුවන් බේරගන්න නීල මදන කුමාරයත් ඉන්දියාවට ගියාලු. ඒත් කුමාරයට පාර වැරදිලා ගිහින් තිබෙන්නේ කාන්තාවන් විතරක් ජීවත්වෙච්ච ප්‍රදේශයකට. කුමාරයාගෙ හැඩිදැඩි සිරුර දැක්ක ගෑනු ටික ඔහු තමන්ගේ ස්වාමිපුරුෂයා කරගන්න පොරකෑවලු. එහිදී විවිධ තාඩන පීඩනවලට ලක්වෙච්ච කුමාරයා මියගියා ලු. එදා ස්ත්‍රීන් ගැන කුමාරයාගේ හිතේ ඇති වෙච්ච වෛරය නිසා ඔහු භූතයෙක් වෙලා තරුණ ස්ත්‍රීන්ට කරදර කරනවා. ඒ නිසා තමයි වැඩිවියට පත් වෙච්ච තරුණ ගෑනු ළමයිට තනි පංගලමේ ගමන් යන්න එපා කියන්​නේ. නාන තොටුපළවල් ළඟ ළිං ළඟ තනිවෙන්න හොඳ නෑ. පුළුටු කෑම කකා ගොම්මනේ ඇවිදින්න හොඳ නෑ. අශෝභන හැසිරීම් හොඳ නෑ. අනාරක්ෂිත තැන්වල ඇඳුම් මාරු කරන්න හොඳ නෑ. ගෑනු ළමයි සදාචාර සම්පන්නව ජීවත් වෙන්න ඕනෑ.’’   


ආතා කළුකුමාරයාගේ බලපෑම් ගැන කියවාගෙන ගියේය. මලිති දිගු සුසුමක් හෙළුවේ සැබෑවටම කළුකුමාරයෙක් ඉන්නවාදැයි සිතමිණි. සැබැවින්ම ග්‍රාමීය වැඩිහිටි කාන්තාවන් තුළ දැඩි විශ්වාසයක් පවතින කළුකුමාරයා කවරෙක්ද? ඔහු භූතාත්මයක්ද? එසේත් නොමැතිනම් වැඩිවියට පත් දැරියන් සමාජයේ ඇති නපුරින් බේරාගැනීම සඳහා භාවිත කළ මනඃකල්පිතයක්ද? මේ සම්බන්ධව ඇති ජනප්‍රවාදයන් මොනවාද? අපි සොයා බැලුවෙමු.   


එහිදී කළුකුමාර උත්පත්තිය පිළිබඳ රසවත් කතා රාශියක් හමුවිය.   


එනම් එක් කතාවකට අනුව කළුකුමාරයා යනු උඩුගම්පොළ රාජධානියේ විසූ සකල කලාවල්ලභ රජතුමාගේ එක් පුත් රුවනකි. ඔහු අග බිසවගේ පුතකු නොවූ හෙයින් රජකමට සුදුසුකමක් නොවීය. කුඩා කල සිටම හිතුවක්කාර ගති ඇත්තකු සේ දිවිගෙවූ කුමාරයා දුෂ්ඨ ගති ඇත්තකු වූවේය. විවාහ නොවූ තරුණ කාන්තාවන්ට මෙන්ම විවාහ වූ හා වයස්ගත කාන්තාවන්ට ද මොහුගෙන් අතවර සිදුවිණ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් රජුට පැමිණිලි කළ අතර රජතුමා සිය පුතුට දඬුවම් පැමිණ වීය.   


ඊට වෛර බැඳි කුමරු සිය පිය රජතුමා ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඒ අනුව රජතුමා ජල ක්‍රීඩා කරන පතහේ ජල මට්ටමට යන්තමින් වැසෙන සේ දරුණු උල් සිටුවීය. ඒ පිළිබඳ නොදත් රජතුමා සිය පිරිස සමග ස්නානයට පැමිණියේය. එහෙත් ඔහුගේ සූක්ෂම නෙත් ජලයේ වසා සිටින බත් කූරෙකු අසල නැවතුණේය. ඒ පිළිබඳව රාජපුරුෂයන් සොයා බැලූ අතර පතහේ සිටුවා ඇති මාරාන්තික උලක් මත බත්කූරා වසා සිට ඇති බව දැකගන්නට ලැබිණි. රජතුමා එම ඝාතන සැලසුම් තමා දඬුවම් කළ පුතාගේ බව දැනගත්තේය.   


ඒ පිළිබඳව ඉවවැටුණු කුමාරයා මාළිගයෙන් පළාගොස් සමනල අඩවියේ තිබූ කන්දකින් පහළට පැන දිවි නසා ගත්තේය. ඔහුගේ තිබුණ දුර්ගුණ හා අධික වූ රාග ගති නිසා මරණින් පසු කාන්තාවන්ට බැලුම් හෙළන යක්ෂයකු වී උපත ලැබුවේය. එම යක්ෂයා කළුකුමාර අවතාරය බව ජනශ්‍රැතියේ ප්‍රකට වී ඇත.   


ඒ පිළිබඳව ලියවී ඇති පැරණි කවියක් මෙසේය.   


පසන් කලාවල්ලභ පිය නර නින්දා   
තමන් හට නොදී රජ කරනා සින්දා   
මරන්නට නාන පොකුණේ උල් ඉන්දා   
සිටින්නට නුනි මෙනුවර මේ සන්දා   


මීට අමතරව කළු කුමාරයා පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතයක්ද වෙයි. මහා වංශයට අනුව එය මෙසේය.   


හය වැනි සියවසේදී බුවනෙකබාහු චක්‍රවර්ති රජු රජකම් කළේය. මෙම රජුගේ අනුග්‍රහය සහිතව ඉන්දියාවේ විල්ලෝඩ් ප්‍රදේශයෙන් පැමිණි කුමරෙක් මානවළු ප්‍රදේශය පාලනය කළේය.   
ඔහුගේ හම කළු පැහැ වූ නිසා ඔහු කළුකුමාර ලෙස ප්‍රසිද්ධ වී ඇත. කාමයට ගිජු වූ ඔහු බිසෝවරු රාශියකගේ පහස ලැබුවේය. විටෙක ඔහුට කැරැල්ලක් මැඩලීමට යාමට සිදුවිය. එහිදී ඔහු සිය බිසෝවරුන්ට ප්‍රකාශ කර සිටියේ සටනින් පැරදුණහොත් කළු කොඩියක් රැගෙන එන බවයි. කැරැල්ල මැඩලූ ඔහු කවටකමට කළු කොඩියක් එවා ඇත. කළු කුමාරයා යුද්ධයෙන් පැරදුණ බව සිතූ බිසෝවරු අසළ තිබූ දියඇල්ලකින් පැන සිය දිවි නසාගත්හ. අද ආභරණ ඇල්ල ලෙස ප්‍රකටව ඇත්තේ එදා බිසෝවරු ආභරණ පිටින්ම පැන දිවි නසාගත් ඇල්ලය.   


මෙම බිසෝවරුන්ගේ මරණයෙන් පසුවද ඔහු බිසෝවරු 32 ට අධික පිරිසක් සිය මාළිගයේ තබාගෙන ඇත. එසේ බිරින්දෑවරු සිටියදී පවා කළුකුමාරයා ඒ ප්‍රදේශයේ කාන්තාවන්ට ලිංගික පීඩා සිදුකර ඇත. එමනිසා ඔහු යක්ෂයකු ලෙස සලකන්නට ස්ත්‍රීහු පසුබට නොවූහ. අධික රාගයෙන් යුතුවූ මොහු මරණින් පසුද ස්ත්‍රීන්ට ලොල් කරන යක්ෂ ආත්මයක්ව ඉපදී ඇත.   
මේ පිළිබඳව රාජකුලවඩන විහාරයේ ඇති සෙල්ලිපියේ ද සඳහන්ව ඇත.   


මීට අමතරව කළුකුමාරයා පිළිබඳව තවත් රසවත් කතාවක් ඇත. එය මෙසේය.   


විජිතමාන රජතුමාගේ බිසව කරඩුමාන දේවිය වූවාය. මේ දෙපළට රූමත් පුත් රුවනක් ලැබුණේය. ඔවුන් ජීවත්වූයේ මුහුද මධ්‍යයේ තිබූ දූපතකය. රන් ඔටුන්නක් සිරස දරා යගදාව අතින් ගත් කුමරු සැබැවින්ම තේජාන්විතය. ජවසම්පන්නය. දුටුවන්ගේ නෙත් පැහැරගන්නා රූපශ්‍රීයක් සහිත ඔහු ගමන්ගන්නේ කළු ගොනෙකුගේ පිට මත නැගීය. එසේ යන අතරතුර ඔහුට තරුණියක හමුවිය. කුමරු ඇයට පෙම් බැන්දේය. ඒ පිළිබඳ කරඩුමාන රජතුමා දැනගන්නා අතර ඔහු සිය පුතණුවන්ගේ පෙම්වතිය මරා දැම්මේය. ඒ පිළිබඳව කම්පා වූ සිත් ඇති කුමරු මුහුදට පැන දිවි නසාගත්තේය. එහෙත් ඔහුගේ ආත්මය සිය පෙම්වතිය සොයා ඇවිද යන්නේය. ඇගේ රූපයට සමාන රුව ඇති තරුණ කාන්තාවෝ ඔහුගේ ළෙන්ගතුකමට පාත්‍රාවීම සිදුවෙයි. මල්වර වූ කාන්තාවන් හා විවාහ වයසේ කාන්තාවන් තෝරාගන්නා කුමරු ඔවුන් අතැර නොයන්නේය.   

 

පෙම්වතෙක් ඉන්න ගෑනු ළමයෙක් ඉරගල වැටෙන යාමයේ පෙම්වතා හමුවීමට සැලසුම් කළහොත් ඇයට විවිධාකාර ​රෝගාබාධ ඇතිවෙනවා. එය සිදුකරන යකා මදන යක්ෂයා ලෙස හඳුන්වනවා.


ජනප්‍රවාදයේ එන කළුකුමාර දෝෂයට අනුව එසේ පැමිණෙන කුමරු එම දෝෂයට ලක්වූ කාන්තාවන්ට නින්දෙදී අහර කවයි. ලිංගික ආශ්වාදයක් ලබාදෙයි. මේ නිසා ආහාර අරුචිය, වෙනත් පිරිමින් හොරුස්නා ගතිය, උණ විකාරයෙන් කියවීම, නින්දෙන් පිබිදී නිවසින් එළියට යාම ආදී බොහෝ දේ සිදුවෙයි. එසේම තරුණ කාන්තාවන්ගේ සිරුර කෘෂ වෙන අතර දරුවන් නොලැබීම, ඔසප්චක්‍රය අක්‍රමවත් වීම, මළ දරුවන් ලැබීම, ගබ්සාවීම ආදී ව්‍යාධීන් සිදුවෙයි.   


මේ සියලු දේ ​ෙජ්‍යාතිෂය අනුව කෙම්පහන්වලට ලක්වෙන දෑය.   


මෙවන් වූ මතවාද රාශියක් සහිත කළුකුමාරයා පිළිබඳව විද්‍යාත්මක සත්‍යය කුමක්දැයි විග්‍රහ කිරීම ආන්දෝලනාත්මකය. එහෙත් ජනශ්‍රැති විද්‍යාවට අනුව සැබැවින්ම කළුකුමාර කතාව කුමක්දැයි විග්‍රහ කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සම්බන්ධ කර ගත්තෙමු.   


ජනශ්‍රැතියේ කාළවේල කියලා යකෙක් ගැන කතා වෙනවා. කාළවේල කියලා යකෙකුයි චිත්‍රකූඨ කියලා යකෙකුයි ඉතිහාසයේ ඉඳලා තිබෙනවා. මේ දෙන්නට ජලයට අධිපති දෙවිවරු දඬුවමක් වගේ ආරක්ෂක පදවි දෙකක් දුන්නලු. මේ අය වැව් අසබඩ, පොකුණු අසබඩ, හැන්දෑවට සැරිසරන්න කාටවත් ඉඩ දීල නෑ. මේ කාළවේලයි චිත්‍රකූඨයි මැරුණට පස්සේ නොපෙනී ඉන්න පුළුවන් යක්ෂ ආත්මයක් ලැබිලා තිබෙනවා. (ජනශ්‍රැතියට අනුව)   


කවුරු හරි මේ නාන ස්ථානවලට නරකක් කරන්න ආවොත් මේ දෙන්නා ඒ අයට වැහෙනවලු. ඒකේ නායකයා තමයි කාළවේල. කාළ කියන්නේ කළු කියන්න. වේල කියන්නේ අවස්ථානුකූලව යම් යම් දේ බාරදුන්නා කියන එකට. නිකවැරටිය පැත්තේ වැඩිමල් මිනිසුන් කළුයකා පිළිබඳව මෙවැනි අදහසක් දරනවා.   


කළුයකා කියන්නේ කාළවේලට. එයාට හුඟාක් බලය තියෙනවා. එයා තරුණියන් ගොම්මන් යාමේ නාන්න ආවොත් බය කරනවා. එහෙම බය වුණ තරුණියන්ට දිෂ්ඨියක් වැහෙනවා. ඒකට කියන්නේ කළුයක් දිෂ්ඨිය කියලා. ඉන් තරුණ කාන්තාවෝ ලෙඩ වෙනවා. ඒක ඉවත් කිරීමට යකැදුරන්ගේ පිහිට ලබාගන්නවා.   


මේක එක මතයක්. මේ පිළිබඳව තවත් තාලයක මතයක් තිබෙනවා.   


පෙම්වතෙක් ඉන්න ගෑනු ළමයෙක් ඉරගල වැටෙන යාමයේ පෙම්වතා හමුවීමට සැලසුම් කළහොත් ඇයට විවිධාකාර ​රෝගාබාධ ඇතිවෙනවා. එය සිදුකරන යකා මදන යක්ෂයා ලෙස හඳුන්වනවා. මේ පිළිබඳව හොයපු කෙනෙක් තමයි මගේ මියගිය මිත්‍රයා තිස්ස කාරියවසම්. එතුමා ශාස්ත්‍රපති උපාධියට ලියූ නිබන්ධනය මට කියවන්න දුන්නා. ඒකේ තිබුණ කළුයකාගේ දිෂ්ඨිය, කාලවේල හමුවීම, මදන විකාරය තරුණ ගෑනු ළමයි ලෙඩ රෝගවලට ගොදුරුවීම, බුදුගුණ කියලා යක්ෂාවේෂය ඉවත්කර සුවපත් කිරීම වැනි මාතෘකා පිළිබඳව.   


මීට අමතරව කළුයකා කියන්නේ නැතිව කළුකුමාර දේවතාවා ලෙස ගෞරවයෙන් පුදසත්කාර කරන්න අවස්ථාත් තිබෙනවා. ඊට හේතුව අසනීප කළ තරුණ ගෑනු ළමයෙක් සුව කළ පසුව මව්පියෝ හිතනවා ඇය විවාහ ගිවිස ගැනීම සඳහා සුදුසු කාලය පැමිණ ඇති බව. එයට කියන්නේ කළුකුමාර සන්නිය කියලා. සන්නිය කියන්නේ ලෙඩ කියන එකට.   


ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ එහෙම කතාවක් ඇහුණා. ඒ වගේම කතාවක් වංග දේශයේත් තිබෙනවා. රවින්ද්‍රනාත් ඨාකූර් මහා කවියා ඉංග්‍රීසියෙන් නාට්‍යයක් ලිව්වා, බ්ලැක් ප්‍රින්ස් ද ඩාර්ක් වේම්බර් (Black Prince the Dark Chember) කියලා. බ්ලැක් ප්‍රින්ස් කියන්නේ කළුකුමාරයා කියන එකට. ඒකේ ඉංග්‍රීසි පරිවර්තනයට අනුව වංගදේශයේ සිට තරුණ කාන්තාවකට ඇතිවුණ රෝගයක් පිළිබඳවයි කතා කරන්නේ. මේ කතාවත් අපේ කුස කතන්දරයට සමානයි.   


කුස ජාතකයේ පබාවතී කියනවා නැබුළු යකෙක් මා අත ගති තදේයා


රකුසු මූණ දැකගත්තෙමි සඳේයා කියලා. 

 
පබාවතීගේ ලස්සනයි කුස කුමාරයාගේ අවලස්සනයි ගැන කතා කරද්දී සුරූපිනියගේ ලස්සනට විරූපියා වැසීයනවා. එය හොඳ කිරීමට ඇයට වෙදකම් කළ යුතුයි. මෙය පෙරදිග කතාවක්. අපේ රටට කොහොම ආවද දන්නේ නෑ.   


ඒ වගේම කළුකුමාර දිෂ්ඨිය කියලා පැරණි පොතක් ලියවිලා තියෙනවා. ඒකේ කළුකුමාර දිෂ්ඨිය වැහුණු කාන්තාව සිහිබුද්ධිය විකල්ව නටන්න පටන්ගන්නවලු. එතකොට දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලලා නැටිල්ල නතරවන තුරු යාගහෝම කළ යුතුයිලු.   


මේවා කොයි තරම් දුරට නූතන සමාජයට ගැලපෙනවද දන්නේ නෑ. ඒත් දැනගෙන සිටීම නොදැන සිටිනවාට වඩා හොඳයි කියලා මම හිතනවා.   

 

 

 

 

 

 

 

 


සටහන - කුමාරි හේරත්   
සිතුවම - අන්තර්ජාලයෙන්