තරුණකම පෙන්වන්න හරකුන්ගේ පිටේ නගින හැමර් ගෝත්‍රිකයෝ


 

ඔමෝ ගංඟාව, ඉතියෝපියාවේ මහා වනාන්තරය මැද්දෙන් ගලා යන්නේ සොබාදහමේ මිහිරිතම ගීතය ගයමිනි. එහෙත් කෙන්යානු, ඉතියෝපියානු දේශසීමා ප්‍රදේශයේදී මේ මියුරු ගීයට තවත් අපූරු ගී හඬක් එකතු වෙයි. ඒ හැමර් නම් වූ වනගත අඩ නිරුවත් ගෝත්‍රික ජනතාවගේ මුවින් නැගෙන ගී හඬයි.


ඔමෝ මිටියාවත පුරා වන මැද හදාගත් ගම්මාන ගණනාවක වාසය කරන හැමර් ගෝත්‍රික ජනගහනය තිස් දහසකට කිට්ටුය. 
හැමර් ගෝත්‍රිකයන්ගේ ගමක සැලසුම අපූරුය... විශාල තණ බිමක් මැදිකරගෙන වෘත්තාකාරව ඉදිකළ මෙම ගම්මානයේ ගෙවල් තිබෙන්නේ එකකට එකක් කිට්ටුවන ආකාරයටය. මෙසේ කවයක් පරිදි හැදුණු මේ ගෙවල්, ගෙවල් නොව පැල්පත්ය. මැටියෙන් ඉදිකර ශාක පත්‍රවලින් වසන ලද පියැසි සහිත මේ පැල්පතකට ඇතුළු විය යුත්තේ දෙකට නැමී ගෙනය.


මේ පැල්පත්වල තිබෙන අනෙක් විශේෂත්වය වන්නේ මේ තුළ නිදාගන්නේ ගෝත්‍රයේ කාන්තාවන් හා කුඩා දරුවන් පමණක් වීමය. තම පවුලේ සහ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් හැමර් ගෝත්‍රිකයන් කටයුතු කරන ආකාරය එයින්ම පැහැදිලි වේ. එතකොට ග්‍රෝත්‍රික පිරිමි නිදියන්නේ නැද්ද යන පැනය දැන් ඔබේ සිතේ දඟකරයි. ඇත්ත වශයෙන්ම ඔවුන් නිදියන්නේ පැල්පත්වලින් පිටතය. ඒ ගෙවල්වල නිදියන ගැහැනුන්ට සහ දරුවන්ට උපරිම ආරක්ෂාව සලසමිණි.


රාත්‍රියට පිරිමින්ගේ ආරක්ෂාව ලැබෙන්නේ ගැහැනුන්ට හා දරුවන්ට පමණක් නොවේ. ගෝත්‍රික ජනතාවගේ එකම සම්පත වන හරකුන්ටත් සමගය.


අපේ රටේ වෙසෙන දිග අං සහිත කින්නියා වර්ගයේ හරකුන්ට සමාන කහ පැහැයට හුරු මේ ගවයන් හැමර් ගෝත්‍රිකයන්ගේ ප්‍රාණය හා සමානය. ඒ නිසාම රාත්‍රියට තම ගවයන් සියලු දෙනාම ගම්මානය මධ්‍යයේ ඇති තණ බිමට ගාල් කිරීමට ගෝත්‍රිකයෝ වග බලාගනිති. පිරිමි ජනතාව රාත්‍රියේදී මේ ගවයන්ටද රැකවරණය සලසමින් නිවෙස් අසල එළිමහනේ නිදා ගනිති.


තම ගව රැළ මේ තරම් පරෙස්සම් කරන්නේ කාගෙන්ද? එක පැත්තකින් භයානක වන සතුන්ගෙන්ය. අනෙක් පැත්තෙන් භයානක අසල්වැසි ගෝත්‍රිකයන්ගෙන්ය.

 


හැමර් ගෝත්‍රිකයෝ ජීවිකාව ගෙනයන්නේ ගොවිතැනින් සහ දඩයමෙනි. ඔවුන්ගේ ගොවිබිම්වල සෝගම්, බෝංචි, අලවර්ග, ඉරිඟු, වට්ටක්කා මෙන්ම විවිධ පළතුරු වර්ගද වැඩෙයි. එහෙත් මේ වගාව වෙනුවෙන් ඔවුහු මුළු ජීවිතයම කැප කරන බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මෙම ගොවිතැන් කටයුතු වෙනුවෙන් හැමර් පවුලේ සියලුම දෙනා වෙහෙසෙති. පිරිමි කරන්නේ පස බුරුල් කිරීම වැනි බර වැඩය. ගැහැනු පැල සිටුවීම පොහොර සහ වතුර දැමීම අස්වනු නෙළා ගැනීම වැනි අනෙකුත් කටයුතු කරති.
එතකොට පිරිමින්ට පැවරෙන අනෙක් දෛනික කාර්යය දඩයමේ යෑමයි. කුඩා ඇන්ටිලෝපයන් සහ වල් ඌරන් හැමර්ලාට වැඩිපුරම ගොදුරු වන සතුන්ය. 


මී පැණි එකතු කිරීමද හැමර් ගෝත්‍රිකයන්ගේ තවත් එක් පුරුද්දකි. මේ වෙනුවෙන් වනේ පුරා කරක්ගහන ගස් නගින පුරුද්ද හැමර්ලා සතුය.


පිරිමි උදවිය මේ අයුරින් වනයේ කරක් ගසද්දී ගැහැනු උදවිය කරන්නේ තම දරුවන් බලාගැනීම ඉවුම් පිහුම් කිරීම සහ ගොවිතැන් කටයුතු කිරීමය.  


හැබැයි හැමර් ගෝත්‍රිකයෝ මොනතරම් ගොවිතැන් කළත් සියලු අස්වැන්න ගෝත්‍රික ගම්මානයේ කොයිකාටත් පොදුය. කවුරුන් හිටෙව්වත් කවුරුන් සාත්තු කලත් ගම්මානයේ ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක අස්වැන්න නෙලාගත හැකිය. මුළු ගම්මානයම එකම රැහැනකින් බැඳී ආදරයෙන් වෙලී පැටලී තිබීම ඊට හේතුවයි.


ඊළඟට හරක්? හැම හැමර් පිරිමියෙකුටම අඩුම ගණනේ හරක් විස්සක් තිහක්වත් හිමිය. හරක් එළුවන් සහ බැටලුවන් හැමර් ගම්මානයකදී වැඩිපුරම දකින්නට ලැබෙන සතුන්ය. මේ හරකුන්ගෙන් කිරිද ලේද ලබාගැනේ. මස් වෙනුවෙන් මේ ගවයන් මරගැනීමේ පුරුද්දක් හැමර්ලාට නැත. හේතුව වනයේ ඕනෑතරම් දඩයම් තිබීමත් ගවයන්ට ඔවුන් දක්වන ආදරයත්ය. 


හැමර් ගම්මාන උන් හිටි ගමන් අවදි වෙයි. සියලු පිරිමි එකතු වී දුනු ඊතල පොලු මුගුරු රැගෙන අසල්වැසි ගෝත්‍රික ගම්මානයකට කඩා වදිති. එසේ කරන්නේ එක පැත්තකින් තම ශක්තිය ප්‍රදර්ශනය කරන්නටය. අනෙක් පැත්තෙන් ගවයන් සහ ඔවුන්ගේ බවභෝග කොල්ල කන්නටය. මෙසේ ගෝත්‍රික ආක්‍රමණයක් සිදුවන දවසට රාත්‍රිය එකම සාදයක් බවටද පත්වේ. සෝගම් බීර බොමින් රස මසවුළු බුදිමින් ගයමින් නටමින් රැය පහන් කිරීම හැමර්ලාට ප්‍රීතියකි. 


මේ අයුරින් අසල්වැසි ගෝත්‍ර ආක්‍රමණය වැනි වීර ක්‍රියා නිතරම පාහේ සිදුවන බැවින් හැමර් ගෝත්‍රික තරුණයන් මේ වීරකමට හුරුපුරුදු කිරීමද ගෝත්‍රික වැඩිහිටියන්ගේ පුරුද්දකි. මේ වෙනුවෙන්ම වාර්ෂිකව උත්සවයක්ද පැවැත්වෙයි. දින තුනක් තිස්සේ පැවැත්වෙන මේ සැණකෙළියේදී කෙරෙන්නේ තරුණයන්ගේ වීරත්වය ප්‍රදර්ශනය කිරීමයි. තරුණයන් නිරුවත් කර ඔවුන්ගේ පිටට සහ පසුපසට කසපහර ගැසීම එක් චාරිත්‍රයකි. මේ කසපහර එල්ල කරන්නේ එම තරුණයාගේ වැඩිමහලු සහෝදරියන් සහ ඥාතිවරියන්ය. මේ කසපහරවලින් කොයිතරම් රිදුනත්, ඒ රිදුම දරාගෙන ඒවාට ඔරොත්තු දීමට තරුණයන්ට සිදුවේ.


සැණකෙළියේ අවසාන දවසේ පැවැත්වෙන විචිත්‍රාංගය ලෝකයේ වෙන කොතැනකවත් දකින්නට නොලැබෙන එකකි. එය නම් හරකුන්ගේ පිටවල් මතින් නොවැටී දිවයාමයි. මෙම ක්‍රීඩාව කරන්නේද ඇගේ නූල් පොටක්වත් නැතිවය. මෙහිදී ගමේ වැඩිහිටි පිරිමින් හරකුන් එක පේළියට තබා ඔවුනට එහා මෙහා වන්නට ඉඩ නොදී අල්ලාගෙන සිටිති. තරුණයා කළ යුත්තේ දුවගෙන විත් ගවයාගේ පිටට පැන අනෙක් ගවයන්ගේ පිටවල් මතින් දිවයෑමය. 

 


බැලූ බැල්මට එය මොන කජ්ජක්දැයි හිතුණත් එය හපන්කමකි. හේතුව මේ දිවයාමේදී තරුණයා බිම ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩිවීමයි. ඇත්ත වශයෙන්ම හරකුන් විසි දෙනකුගේ පිටවල් උඩින් දිවයෑමේදී තරුණයන් බොහෝ විට බිම ඇද වැටෙයි. ඒ නිසා මේ හපන්කම කර ජය ගැනීමට අවස්ථා හතරක්ම ලබාදෙයි. බැරිවෙලාවත් අවස්ථා හතරෙන්ම ජයගත නොහැකි වුවහොත් යළි මේ හපන්කම කිරීමට තවත් අවුරුද්දක් බලා සිටින්නට ඔවුන්ට සිදුවේ.


මෙය එක පැත්තකින් විවාහ පරීක්ෂණයක්ද වෙයි. හැමර් තරුණයෙකුට විවාහය සඳහා වන පළමු සුදුසුකම මේ ක්‍රීඩාවෙන් ජය ගැනීමය. එසේ ජයගන්නා ක්‍රීඩකයාට එය නරඹන්නට එන තරුණියන් අතරින් කෙනෙකුගේ හිත දිනාගැනීමටද හැකිවෙයි. එවිට ඇගේ මව්පියන්ට එළුවන් තිහක්ද හරකුන් විස්සක්ද දී මනාලිය තම පැල්පතට කැඳවා ගත හැකිය. 


හැමර් පිරිමියෙකුට බඳින වයස උදාවන්නේ අවුරුදු තිහෙන් පසුවය. හැබැයි ඔහුගේ මනාලියගේ වයස අවුරුදු දාහතකට වැඩි නොවේ.


අනෙක් අතට හැමර් පිරිමියෙකුට සරණකරගත හැක්කේ එක් ගැහැණියක් පමණක් නොවේ. උපරිම වශයෙන් ගැහැනු හතර දෙනෙකි. හැබැයි මේ හැම ගැහැනියකටම තම සැමියා වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්නට සිදුවෙයි. කොටින් කිවහොත් එය වහල් මෙහෙයක් වැනිය. දෙවෙනි තුන්වැනි බිරින්දෑවරුනට පළමුවැනි බිරියගේ අණසකටද අවනත වන්නට සිදුවන බැවින් ඔවුන්ගේ ජීවිත මහා කාලකණ්ණි ජීවිතය.


හැමර් ගැහැනු යටිකයට පමණක් ඇඳුම් ඇන්දත් සිය සිරුර අලංකාර කරගැනීමට මහත් වෙහෙසක් ගනිති. මේ සඳහා මුහුණු මෙන්ම පියයුරුද පින්තාරු කිරීමට ඔවුහු වෙහෙසෙති. එසේම විවිධ වර්ණවල මාල හත අටක් පැළදීමද, හිස මත පිහාටු ඔටුන්නක් පැලඳීමද හැමර් යුවතියන්ගේ ජනප්‍රිය විලාසිතාවන්ය. යකඩ සහ හම් වළලු පැළඳීමටද හැමර් කාන්තාවෝ  ප්‍රියකරති. 


හැමර් ගෝත්‍රිකයන්ගේ  හුදෙකලා දිවි පෙවෙත පසුබිම් කරගත් නවකතාද ලියැවී ඇත්තේය. ඉන් එක් නවකතාවක් නම් කර ඇත්තේ කහගවයන්ගේ වාස භූමිය යනුවෙනි. සැබැවින්ම හැමර්වරු තම ගෝත්‍රයට වඩා මුල්තැන දෙන්නේ ඔවුන් සතු කහ පැහැයට හුරු ගවයන්ටය.


බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වන හැමර් ගෝත්‍රිකයන්ගෙන් සුලු පිරිසක් තවමත් කඳුවලටත් ගස්වලටත් වැඳුම් පිදුම් කරති. එහෙත් බහුතර පිරිස අල්ලා දෙවියන්ට ගෞරව කරති.

ශාන්ත කුමාර විතාන