තරණය කිරීම තහනම් කළ ඕස්ට්‍රේලියාවේ උලුරු පර්වතය


රටකින් රටකට

 

 

ඕස්ට්‍රේලියාවේ විස්මය දනවන භූ විෂමතාව නිසා එරට ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් ලැබීමේ භාග්‍යය උදාකරගෙන ඇත. මෙම භූ විෂමතාවයන් මනස්කාන්ත සුන්දර වූ ස්වභාවික නිර්මාණයක් බිහිකර ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන්ගේ උපරිම රසාස්වාදය සලසා දෙමිනි.   


මහා බාධක වැටිය (Great Barrier Reef), සිම්ප්සන් කාන්තාරය, ඔගස්ටන් කන්ද, ලෝක වාර්තා අතරට ඇතුළත් ස්වභාවික නිර්මාණයන් අතරින් කීපයකි. මේවා අතුරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ උලුරු (Uluru) පර්වතයයි. දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ ගණනකගේ ආකර්ෂණය දිනාගත් උලුරු 1987 දී ලෝක උරුමයක් බවට පත් කෙරුණි. 


උලුරු නොහොත් අයර්ස් රොක් (Ayers Rock) පිහිටා ඇත්තේ උතුරුදිග ප්‍රාන්තයේ දකුණු කෙළවර මධ්‍යම ඕස්ට්‍රේලියාවේ උලුරු කටා ජුටා ජාතික වනෝද්‍යානයෙහිය. 
ආසන්නතම විශාල නගරය වන ඇලිස් ස්ප්‍රිං පිහිටා ඇත්තේ කි.මී. 450ක් දුරිනි. ලෝකයේ දෙවැනි විශාලතම තනි ගලකින් නිර්මාණය වූ පර්වතය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. විශාලත්වයෙන් පළමුවෙනි ස්ථානය ගන්නා ඔගස්ටස් කන්ද පිහිටියේ උලුරු සිට කි.මී. 320ක් දුරින් බටහිර ඕස්ට්‍රේලියාවේ වීම ද වැදගත් සිද්ධියකි. උලුරු කටා ජුටා ජාතික වනෝද්‍යානයේ මෙවැනි රතු පැහැය ගත් ගෝලාකාර පාෂාණ නිර්මාණ 36ක් දක්නට ඇත. උලුරු පර්වතය මීටර් 348 කි. (අඩි 1142) උසින් යුක්ත වන අතර මුහුදු මට්ටමේ සිට උස මීටර් 863කි. (අඩි 2831) කි.මී. 3.6ක් දිගින් ද කි.මී. 1.9ක් පළලින් ද කි.මී. 94ක වට ප්‍රමාණයෙන් ද යුත් උලුරු, පීටර්මෑන් කඳු වැටිය අවුරුදු මිලියන 550ක ඉහත සිට (ඕස්ට්‍රේලියාව නිර්මාණය වූ අවධියේ) ඛාදනයට ලක්වීමෙන් ශේෂ වූ පාෂාණයකින් නිර්මාණය වී ඇති බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. 


උලුරු පර්වතය වඩාත් ප්‍රසිද්ධ වීමට හා වැදගත් වීමට එක් හේතුවක් වී ඇත්තේ එහි වෙනස් වන වර්ණයයි. සූර්යයා පිහිටන ආකාරය හා පවත්නා වායු ගෝලීය තත්ත්වය අනුව වරෙක රතු පැහැයෙන් ද වරෙක තැඹිලි පැහැයෙන් ද දිස්වේ. උලුරු රතු පැහැයෙන් දිස් වන්නේ අවුරුදු දස දහස් ගණනක සිට ඔක්සිකරණය වීම නිසා හෝ පර්වතය නිර්මාණය වී ඇති යකඩ හා මිශ්‍ර වී ඛනිජ මල බැඳීම නිසා විය හැකි බව ආචාර්ය බ්‍රැඩ්ෂෝ මහතා සඳහන් කර ඇත. 


උලුරු පර්වතය තරණය කිරීම අන්තරාදායක මෙන්ම වෙහෙසකර ක්‍රියාවකි. බොහෝ ස්ථාන දළ බෑවුම් සහිතයි. පර්වතය මුදුනට ළඟා වීම සඳහා කි.මී. 1.6ක් ගමන් කළ යුතු අතර ඒ සඳහා පැය දෙකක පමණ කාලයක් ගත වේ. සංචාරකයින්ගේ නැගීමේ පහසුව සඳහා 1964 දී මුල් කොටසේ දම් වැල් සවි කරන ලදී. පර්වතය මුදුන තැනිතලා ස්වරූපයක් ගන්නා අතර දිවා කාලයේ එහි උෂ්ණත්වය 47°C ක් පමණ වේ. බිහිසුණු ලෙස හමන වේගවත් සුළඟ ද සංචාරකයින්ට මහත් අභියෝගයක් විය. පර්වතය තරණය කිරීමේදී දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත. 1950 සිට මෙම වසරේ ඔක්තෝබර් දක්වා ජීවිතක්ෂයට පත් වූවන්ගේ ගණන 39ක් බව වාර්තා වේ. බොහෝ සංචාරකයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පර්වතය තරණය කිරීමේ දී ඇති වුණ හෘදයාබාධවලින් බව වාර්තා වේ. අවසාන වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මේ වසරේ 76 හැවිරිදි ජපන් ජාතික සංචාරකයෙකි. ජලය එකතු වන විවිධ පොකුණු, උල්පත් ගල් ගුහා මෙන්ම ආදිවාසීන්ගේ සිතුවම් කලාවන් ද මෙහි ඇති අතර පර්වතය මුදුණේ සිට අවට පරිසරයේ ඇති චමත්කාර හා සුන්දර දසුන් නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් 250,000 ක් පැමිණි බව වාර්තා වේ. 


උලුරු කටා ජුටා ප්‍රදේශ යුරෝපීයයන් විසින් පළමුවෙන්ම සිතියම් ගත කළේ වර්ෂ 1822 දීය. මෙ ප්‍රදේශය ගවේෂණය කළ “අර්නස්ට් ගයිල්ස්” හා “විලියම් හෝසි” පළමුවෙන්ම මෙම පර්වතය දැක ඇති අතර “විලියම් හෝසී” විසින් එවකට දකුණු ඕස්ට්‍රේලියාවේ පාලකයාව සිටි සර් හෙන්රි අයර්ස්ගේ නමින් 1873 දී උලුරු පර්වතය “අයර්ස් රොක්” යනුවෙන් නම් කළේය. උලුරු කටා ජුටා ජාතික වනෝද්‍යානය එහි වාසය කළ “අනන්ගු” වැසියනට පවරන තෙක් මෙම පර්වතය ප්‍රසිද්ධ වූයේ “අයර්ස් රොක්” යන නාමයෙනි. උලුරු නැරඹීම සඳහා ප්‍රථමයෙන්ම සංචාරකයකු පැමිණ ඇත්තේ 1936 වසරේ දීය. වර්ෂ 1940 දී යුරෝපීය ජාතිකයින් ස්ථිර පදිංචිය සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇත. වාහන ගමන් කළ හැකි මාර්ගයක් පළමුවෙන් සකස් කර ඇත්​කේ 1948 දීය. 1958 දී උලුරු කටා ජුටා වනෝද්‍යානය පීටර් මෑන් රක්ෂිතයෙන් ඉවත් කොට උතුරුදිග ප්‍රාන්තයේ අතිරේක මණ්ඩලයක් වෙත පවරා ඇත. 1985 ඔක්තෝබර් 26 උලුරු ඉතිහාසයේ විශිෂ්ට හා වැදගත් දිනයක් විය. එදින ඕස්ට්‍රේලියානු රජය විසින් උලුරු කටා ජුටා ප්‍රදේශයේ එහි නියම උරුමක්කාරයන් වූ “යන්කුනිජ්ජාරා” හා “පිජන්ජජාරා” යන ආදිවාසීන්ට නිල වශයෙන් භාර දෙන ලදී. මේ අනුව එම ප්‍රදේශයට භාවිතා කළ “ඔල්ගා” වෙනුවට උලුරු කටා ජුටා ජාතික වනෝද්‍යානය ලෙසත් පර්වතයේ නම “අයර්ස් රොක්” වෙනුවට “උලුරු” යනුවෙනුත් භාවිතා කිරීමට කටයුතු කළේය. මෙය “අනන්ගු” ආදිවාසීන් හට කරන ලද ගෞරවයක් ලෙස හැඳින්වේ. “යන්කුනිජජාරා” හා “පිජන්ජජාරා” ආදිවාසීන් පොදුවේ හැඳින් වූයේ “අනන්ගු” යන නමිනි. 


වසර 60,000 කට පමණ පෙර සිට උලුරු පර්වතය අසල වාසය කර ඇත්තේ “අනන්ගු” ආදිවාසීන්ය. පිජන්ජජාරා භාෂාවෙන් “උලුරු” යනු විශාල බොරලු ගලකි. 
මෙය ආදිවාසීහු ඈත අතීතයේ සිට උලුරු පර්වතය සමග දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය ඔවුන්ගේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් ලෙස ද සැලකූහ. නිරන්තරයෙන් “අනන්ගු” වැසියන් තම සාම්ප්‍රදායික උත්සවයක් මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර සිදු කළේ මෙහිදීය. “අනන්ගු” ආදිවාසීන් විශ්වාස කරනුයේ මෙම අපූර්වතම පර්වතය නිර්මාණය කළේ ඈත අතීතයේ ජීවත් වූ ඔවුන්ගේ මුතුන් මිත්තන් බවය. එම මුතුන් මිත්තන් පැමිණීමට පෙර ඕස්ට්‍රේලියානු භූමිය හිස් මුඩු බිමක් ලෙස තිබුණ බවත් මුතුන් මිත්තන්ගේ නිර්මාණකරුවා පැමිණ මිනිසුන්, සතුන් මෙන්ම ගහ කොළ ද නිර්මාණය කළ බවත් ඔවුහු විශ්වාස කරති. 

 

 


ඈත අතීතයේ ජීවත් වූ මෙම ආදිවාසීන්ගේ මුතුන් මිත්තන් විවේක ගන්නා පූජනීය ස්ථානයක් ලෙස ඔවුහු “උලුරු” සලකති. එසේම මෙම පර්වතය යට විශාල කුහරයක් ඇති බවත් එහි තුළ ඉතා බල සම්පන්න ආත්මයක් ජීවත් වන බවත් විශ්වාස කරති. 


මෙම ආත්මයන්ගේ අතිමහත් බලය හා ශක්තිය ඔවුන් හැඳින්වූයේ “ජූකුර්පා” (Tjukurpa) යනුවෙනි. ඔවුන්ගේ නීතිය ජුකුර්පා නීතිය විය. දුසිම් ගණන් ආත්මයන් “උලුරු” ප්‍රදේශය වටා ජීවත් වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝ තැන්වල දැකිය හැකි බවත් අනන්ගුවාසීහු ප්‍රකාශ කරති. මේ නිසා තමන්ගේ පූජනීය ස්ථානයක් වන “උලුරු” මත නැගීම ගැන අනන්ගු ආදිවාසීහු දශක දෙකක පමණ කාලයක සිට දැඩි විරුද්ධත්වයක් පළ කළහ. 


ලක්ෂ ගණන් දෙස් විදෙස් සංචාරකයින් “උලුරු” පර්වතය තරණය කිරීම නිසා එය ධාවනයට ලක්විය හැකි බවත්, එහි ස්වරූපය වෙනස් විය හැකි බවත් බොහෝ දෙනෙකුගේ මතය විය. එසේම සංචාරකයින් ගෙන එන අපද්‍රව්‍ය තැන්පත් කරන කසළ බඳුනක් බවට පත් වී ඇති බවත් පිළිගැනුණි. සංචාරකයින් තම ශාරීරික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට වැසිකිළි කැසිකිළි ලෙස උලුරු පර්වතය යොදා ගන්නා බවටත් චෝදනා නැගුණි. වැසි සමයේ දී එම අපද්‍රව්‍ය සේදී ගොස් අසළ ඇති ගංගාවට හා ජලාශවලට එක් වීමෙන් ජලය විෂ වී සතුන් මෙන්ම ශාඛයන් ද විනාශ විය හැකි බවත් අවධාරණය කෙරුණි. 


මෙම සියලු කරුණුත් අනන්ගු ආදිවාසීන්ගේ බලවත් ඉල්ලීමත් සලකා බැලූ උලුරු කටා ජුටා ජාතික වනෝද්‍යාන කමිටුව පසුගිය මස 26 වැනි දින සිට (2019.10.26) උලුරු පර්වතයට නැගීම තහනම් කළේය. මෙම තීරණයෙන් පැහැදිලි වනුයේ “අනන්ගු” ආදිවාසීන්ගේ “ජුකුර්පා” නීතිය හා ඕස්ට්‍රේලියානු නීතිය මනා ලෙස කළමනාකරණය කර ඇති බවය. 
උලුරු යනු හුදෙක් පර්වතයක්ම නොව එය ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන කැඩපතක් බවට පත්ව ඇත. 

 


ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක 
තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධීක්ෂණ නිලධාරී 
(ඡායාරූප අන්තර් ජාලයෙනි.)