තමිල් නාඩුවේ සීතල නගරය රටකින් රටකට


 

 

තමිල්නාඩුව කී සැණින් ඔබට මතක්වන්නේ ගිනි අව්වෙන් දැවෙන නිරතුරුවම වාහන ශබ්දයෙන් ගිගුම් දෙන තොරක් නැතිව විවිධ ජනී ජනයා ගැවසෙන කලබලකාරී පරිසරයකි.  


එහෙත් ඒ ජනාකීර්ණ උණුසුම් පරිසරයට හාත්පසින්ම වෙනස් වූ සීතල නගරයක් තමිල්නාඩුවට අයත්ය.  
ඒ සඳහා චෙන්නායි නගරයේ සිට කිලෝ මීටර් 550 ක් පමණ ඈතට ගමන් කළ යුතුය. මෝටර් වාහනයකින් නම් කාලය පැය 10 කට අධිකය. චෙන්නායි සිට කෙළින්ම ඒ සීතල නගරය නොහොත් ඌටි කරා දුම්රියෙන් යා නොහැකිය.  


නිල්ගිරි එක්ස්ප්‍රස් දුම්රියෙන් මෙට්ටුපලයාම් කරා පැමිණ එතැනින් තුනුර් හරහා ඌටි කරා ළඟා විය හැකිය. ඒ සඳහා පැය 13ක් පමණ ගතවෙයි.  


වඩාත් සොඳුරු දසුන් දැක ගත හැක්කේ බස් රථයෙන් හෝ මෝටර් රථයකින් යන විටදීය.  
නිල්ගිරි කඳු ප්‍රදේශයේ දේශගුණය විටින් විට වෙනස් වන්නකි. ඌටි කරා යන මාර්ගයේ කිලෝ මීටර් 30 ක් ඇතුළත ඉතා පටු වංගු 36 ක් පසු කළ යුතුය.  


නිල් ගිරි යනු නිල්පාට කඳු යන්නය. ඌටි පිහිටා ඇති දිස්ත්‍රික්කය ද නිල්ගිරි ලෙස හැඳින්වෙයි.  


ඌටි යනු කෙටි යෙදුමකි. එය උඩගමණ්‍ඩලම් ය. එය ඔට්ටක්කල් මණ්ඩු යන්නෙන් බිඳී ආ බව පැවසේ. දෙමළ භාෂාවෙන් එහි තේරුම වන්නේ තනි ගලක පිහිටි ගම යන්නය.  


කොයිම්බතුර් සිට කිලෝ මීටර් 86ක් උතුරින් ද මයිසෝරයේ සිට කිලෝමීටර් 128 ක් දකුණින් ද ඌටි පිහිටා ඇත.  

 

 

 

ඌටි කරා යන ගමනේ දී නගරයේ කලබලකාරිත්වය මදින් මද අඩුවී නිල්ලෙන් පිරුණු මාර්ගයකට කෙමෙන් අවතීර්ණ වෙයි. නිල්ලෙන් පිරුණ යයි කීවද ඒවාද අව්වෙන් හේබා ගිය බවක් පෙන්නුම් කරයි.  
නිල්ගිරි කඳු ප්‍රදේශයට ළඟා වෙද්දී ශ්‍රී ලංකිකයකුට නම් සිහිවන්නේ බණ්‍ඩාරවෙල ප්‍රදේශයයි.  
තේ වතු යාය, ඉහළින් දිස්වෙන තේ කම්හල් ඒ හැඟීම වඩාත් තීව්‍ර කරවයි. බණ්‍ඩාරවෙල දී මෙන් දැඩි සීතලත් නැති දැඩි රස්නයත් නැති සුවදායී දේශගුණයක් අතරමගදී විඳගත හැකිය.  


වාහන බහුල වශයෙන් ගමන් නොකරන නිසා බොහෝ විට කඳුපාර නිසලයි. ඒ නිසල බව වරින්වර බිඳීයන්නේ වරින්වර ගමන් ගන්නා සංචාරකයන් රැගත් බස් රථ හා වෙනත් මෝටර් වාහන වලිනි.  


ඉන්දියාවේ ඇතැම් සංචාරක ආයතන මගින් දෙන බස් රථ ගැන විශේෂයෙන් කිව යුතුය. ඒවායේ සංචාරකයන් ගමන් ගන්නා කොටස වායු සමීකරණය කර ඇත. එහෙත් රියැදුරුගේ කොටස වායු සමීකරණය නැත. එය ඉදිරි අසුනක් සමග ඇති කුටියක් මෙනි. මේ බස් රථවල ජංගම දුරකථන චාජ් කර ගැනීම සඳහා පහසුකම් සපයා ඇත. ඒ පහසුකම දුර ගමන් සේවා යන දුම්රියවල ද දැක ගත හැක්කකි.  


ඌටි පිහිටා ඇත්තේ ඉහළ කොටසේය. ඒ නිසා සීතල අධිකය. ඌටි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් ලෙස දැක්වෙයි.  


ඌටි කරා යා යුතු හොඳම කාලය ලෙස සැලකෙන්නේ අප්‍රියෙල් සිට ඔක්තෝබර් දක්වාය. අප්‍රියෙල් කාලයේ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් තමිල්නාඩුවේ උෂ්ණත්වය අධිකය. මේ නිසා බොහෝ සංචාරකයෝ ඌටි කරා ඇදෙති. ඊට තවත් හේතුවක් වන්නේ හින්දු අවුරුදු නිවාඩුව ද යෙදී තිබීම නිසාය.  
ඌටි සොයා ගන්නා ලද්දේ 1817 දී බ්‍රිතාන්‍ය පාලන සමයේ දී යැයි කියැවේ. ඒ කොයිම්බතුර් හි ජෝන් සුලිවන් නම් පරිපාලන නිලධාරියකු විසිනි. එතැන් පටන් ඌටි ප්‍රභූවරුන්ගේ නිවාස මධ්‍යස්ථානයක් ලෙස පැවතිණ.  
ඌටි පිළිබඳව ප්‍රථම ලිඛිත සාක්ෂියක් හමුවන්නේ 1821 මාර්තුවේ දීය. ඒ මදුරාසි ගැසට් පත්‍රයකට එවන ලද ලිපියකිනි. බ්‍රිතාන්‍යයන් පාලනය ආරම්භ කිරීමට පෙර නිල්ගිරි කඳුයායේ පදිංචිව සිටියේ තෝඩා ජනයාය. ඔවුන් ආදිවාසී ජන වර්ගයක් ලෙස සැලකේ. තෝඩා ජනතාව එකල ගොවිතැන් ආදියේ යෙදී සිටි අතර ගව පාලනය ද කළ බව සඳහන් වෙයි.  


පසුව එය නැගෙනහිර ඉන්දියා සමාගමේ පාලනය යටතට පත්විය.  


නිල්ගිරි කඳු වළල්ල ඌටි අහස සිඹින ආකාරය දැක ගත හැකිය. එහි ප්‍රදේශවාසීන් මේ කඳු හඳුන්වන්නේ රැජිණගේ කඳු වශයෙනි.  


නිල්ගිරි ප්‍රදේශය ඈත කාලයේ පටන්ම සාතවාහන ආදී විවිධ රජවරුන්ගේ පාලනයට යටත්ව තිබූ බව සැලකේ. ඒ හැරුණු විට මයිසුරයේ මහා රාජලා ද පාලනය කර ඇත. ටිපු සුල්තාන් විසින් 18 වැනි සියවසේ දී අල්ලා ගන්නා ලද නිල්ගිරි ප්‍රදේශයේ දේශ සීමා පුළුල් කරගත් බව සඳහන් වෙයි. ඒ විවිධ අවස්ථාවල දී සතුරන්ගෙන් බේරීම සඳහා ගල් ගුහා සකස් කරගෙන සැඟවීම සඳහාය.  
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු ඌටි ප්‍රභූන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස තිබූ තත්ත්වය වෙනස්වී එය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය වී ඇත.  


ඌටි හරියටම ශ්‍රී ලංකාවේ නුවරඑළියට සමානය. එහි ඇති උද්භිද උද්‍යානය අක්කර 55 කි. මල් යායවල් ගිම්හාන කුටි මෙන්ම වෙනත් ගහ කොළ ද දකින විට අපට මතක් වන්නේ නුවරඑළියේ හග්ගල උද්‍යානයයි. වෙනසකට ඇත්තේ හග්ගල ප්‍රදේශයට වඩා ඌටි නගරය තුළ රථ වාහන ගමනාගමනය අධික වීමයි. මේ උද්‍යානයේ සුවිශේෂ ගසක් හැටියට සඳහන් වන්නේ ෆොසිල ගසයි. ෆොසිල ගසේ කඳ අවුරුදු මිලියන 20ක් පැරණි යයි සැලකේ.  
අප හග්ගල උද්‍යානය නරඹන්නට යන්නාක් මෙන් බොහෝ සංචාරකයන් උෟටි උද්භිද උද්‍යානයේ තුරුගොමු මල් ගොමු අතර ඇවිදිනු දැක ගත හැකිය.  


මුහුදු මට්ටමේ සිට මීටර 2240 ක් උසින් පිහිටි උෟටි හි ජනගහණය 90,000 ක් වෙතැයි සැලකෙයි. එහි නිල භාෂාව දෙමළය.  


සංචාරකයන් වෙනුවෙන් ඉදිකළ හෝටල් රැසකි. උද්‍යානය නැරඹීම හැරුණු විට තවත් විශේෂිත ස්ථානයක් වන්නේ ඌටි ගල් බංගලාවයි. මෙය ජෝන් සුලයිවන් විසින් 1822 දී තනන ලද ප්‍රථම බංගලාව ලෙස සැලකෙයි. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කිරීමේ දී එය එංගලන්තයේ ගොඩනැගිලිවල ආකෘතිය සිහිපත් කෙරෙන්නක්.  


නිල්ගිරි කඳුවළල්ලේ උස්ම ස්ථානය ඩොඩාබෙට්ටු මුදුන, කල්හෙටි දිය ඇල්ල, පියකර දිය ඇල්ල, ඌටි රෝස උයන, ඌටි සෙල්ලම් කෝච්චිය මෙන්ම බොහෝ රටවල ඉතා ප්‍රචලිත අංගයක් වූ ඉටි රූප මන්දිරය මෙහි සෙසු සංචාරක ස්ථාන වෙයි.  


ඉටි රූප මන්දිරයේ මහත්මා ගාන්ධි, අබ්දුල් කලාම් ආදි සුවිශේෂ පුද්ගල ජීවමාන ඉටි රූපවලින් අලංකාරව ඇත.  


සංචාරකයන්ට විනෝද වීමට විවිධ ක්‍රීඩාවල යෙදිය හැකි අතරම බෝට්ටු සවාරි යෑම ද ජනප්‍රිය අංගයකි. ඒ අැවලාන්ඩ් විල, ඌටි විල හා එමරල්ඩ් විල ඌටි කිට්ටුවම පිහිටා ඇති බැවිනි.  


ඒ අතරම මුව උයන, මෙන්ම ජාතික වනෝද්‍යාන නැරඹීමට ද හැකිය. මේ සියල්ලටම වඩා නෙත සිත සනහන්නේ තමිල්නාඩුව වැනි ශුෂ්ක ප්‍රාන්තයක තුරු වදුලෙන් ගැවසී ගත් දැඩි සීතලකින් යුත් පරිසරයක දවසක් දෙකක් නැවතී සිටීමය.

 

 

රොඩ්නි විදාන පතිරණ