තම වරදින්ම නිවසට එන යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩයෝ


ගෙදර මොනව කරත් දියුණුව නෑ. නිතරම කරදර වලින් පිරිල. ලෙඩෙක් රෝගයක් නැති දවක් තිබුණ කියලවත් මතයක් නෑ. සතුටක් සමගියක් ඇත්තෙනම් නෑ. ගෙදර නිතරම අඳුරින් පිරිලා. හරි හම්බ කරන කිසි දෙයක් ඉතිරියක් නෑ. ණය තුරුස් ඉවරයක් කර ගන්න කොතෙක් උත්සාහ ගත්තත් හැමදාම ණය. දරුවන්ට ඉගන ගන්න උනන්දුවක් නෑ. දරුවන්ට හරියන රැකියාවක් සොයනව තවම ලැබුණෙම නෑ. සෑම අතින්ම කරදර මයි.   


මෙලෙස සමහරු අඬවැඩියා නඟති.   


​මෙසේ වන්නට හේතුව ලෙස කරුමය තමයි කියලා හිතක් අපට හැමදාමත් අපල කියල හිතති. නැත්නම් අල්ලපුගෙදර අය අපට කොඩිවිනයක් කරලා තමයි කියලා හිතා සාස්තර පළවල්වල ගිහිල්ලා බොරුකරුවන්ට අසු​වී අතේ තියෙන මුදල් වියදම් කර ගනිති. නැහැ. මේ සියලු කරදරවලට හේතුව වන්නේ තමන්මයි කියලා කිව්වොත් ඔබ පිළි ගන්න කැමති වෙන එකක් නැත. නමුත් ඇත්තටම මේ සියලු කරදරවලට සියයට හැත්තෑ පහක්ම බලපාන්නේ තමන්ගේ නොසැලකිලිමත්කම නිසා කරගන්නා වැරදි හේතුවෙනි.   


ඔබ දන්නවාද යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ යන කොටස් අප සමගම මෙම පොළෝ තලය මත ජීවත් වන බව. මොවුන්ගේ බලපෑම් නිසා මිනිස් ජීවිතවලට නොයෙකුත් කරදර සිදුවන සහ සිදු කරනු ඇති බවත් අසා ඇතැයි සිතමි. බුදු දහම තුළින් ද යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ යන කොටස් වලින් මිනිස් ජීවිතවලට යම් බලපෑම් සිදු කරන බව ඉතා සුපැහැදිලි ලෙසටම ප්‍රේත වස්තුව තුළ පෙන්වා දේශනා කර තිබෙන බව ස්ථීරවම සඳහන් කරන්නට කැමැත්තෙමි. හොඳයි එහෙම නම් කොහොමද මේ සියලු කරදරවලට යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ යන කොටස් වලින් අපේ ජීවිතවලට බලපෑම් ඇති වීමට අපට බලපාන්නේ කියා බලමු.   


යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ යන කොටස් සෑම විටම ජීවත්වන්නට කැමති වන්නේ අඳුරු තැන් වල. අපිරිසිදු දුඟඳ හමන ස්ථාන වල හා පිලුණු දෑ කැහි, සොටු, සෙම්, අසුචි වැනි දෑ ඇති තැන්වල ඒවා ආහාරයට ගනිමින් පුළුටු සුවඳ, දහඩිය සේම කුණු වූ දැයේ දුගඳ අඝ්‍රාණය කරන්නට ඉතාම කැමැත්තක් දක්වමින් ආසා කරමින් එවැනි තැන්වලට අරක්ගෙන ජීවත් වන්නේය. ඔබගේ නිවසේ අපිරිසිදු කම සහ අපිළිවෙළ තමයි ප්‍රධානතම හේතුව. නිවසක් තනන්නට පළමුව නිවැරදි වාස්තු විද්‍යාත්මක සොයා බලා නිවාස සැලසුම් අන්දවා සුබනැකැත් අනුගමනය කරමින් නිවසේ සියලු වැඩ නිමවා ඉන් පසුව සුබ නැකැත් දිනයක නිවසේ පදිංචිය සිදු කරමින් ජීවත් වන්නට ආරම්භ කරනු ඇත. මේ සියලු කරදරවලට මුල් ආරම්භය සිදු කර ගන්නේ එතැන් සිට බව කිවුවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. එම නිවසේ කිසිම පිළිවෙළකින් තොරව ජීවත් වන්නට යාම මෙහි මුල් පියවර වන්නේය.   
ඉන් අනතුරුව කිසිදු පිළිවෙළකට නොමැතිව බඩු බාහිරාදිය තැන තැන තැබීම සිදු කරයි ද? කිලිටි රෙදි තැන තැන දාඩිය දුගඳ සමග දින ගණනක් තබයි. ඒවායේ දුගඳට ප්‍රේතයින් ආසා කරන බැවින් ඒවාට අරක් ගනු ඇත. තවද නිවසේ දිනපතාම අතුපතු ගා පිරිසිදු නොකරයිද, අහුමුලුවල කුණු ගොඩවල් ගසා තබයි ද ඒවාට ද ප්‍රේතයින්, පිසාචයින් අරක්ගනු ඇත. දිනපතාම නිවසේ සියලු දොර ජනෙල් අඩුම ගාණේ උදේ සවස පැයක් දෙකක් වත් විවෘතව තැබීම ඉතාමත් අවශ්‍යම වන්නේ හිරු එළිය සේම පිරිසිදු වාතාශ්‍රයක් නිවස තුළ ගමන් කළ යුතු නිසාවෙනි. එසේ නොකරන්නේ නම් සහ නිතර අඳුරු කාමර නිවස තුළ තිබීම ඉතාම භයානක හා මහත් විපත්වලට පැමිනෙනු ඇත්තේ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ, යක්ෂ යන කොටස් එම අඳුරු අපිරිසිදු තැන්වල හිඳිමින් අපේ ජීවිතවලට මහත් විනාශයන් ඇති කරීමයි.   


එලෙසම තමන් සහ ගෙදර අය නිවසෙන් බැහැරව ගොස් පාවහන් පැලඳ නිවස තුළට ඇතුළුවී එම පාවහන් කිසිදු පිළිවෙළකින් තොරව තැබීමත්, මේස් දාඩිය සමගින් දුගඳ හමමින් තැබීම, පාවහන්වලට පැගී කැහි සොටු සෙම අසූචි වැනි දෑ සමග නිවස තුළ තැබීම නිසා දුගඳට ප්‍රේතයින් ආසා කරන බැවින් ඒවාට අරක්ගනු ඇත.   


එලෙසම දහවල් විශේෂයෙන් රාත්‍රියට ආහාර ගත් පසුව ඉඳුල් පිඟන්, ඉඳුල් වළං, ඉඳුල් සහිත හැඳි තැන තැන දමමින් තිබීම හා කසළ බඳුන් නිසා නිවසේ දොරවල් ජනෙල් රාත්‍රියට වසා ඇති නිසා දුඟද නිවස පුරා පැතිරී යයි. එම නිසා ප්‍රේතයින් එම දුඟද කරා ඇදී එන්නේ ඒවාට ආසා කරන බැවිනි. ඉන් සිදු කර ගන්නේ නැති කරදර නිවස තුළට ගෙන්වා ගැනීමකි. තවද රෙදි සේදීමට ගොස් සබන් ගා එසේ නොමැති නම් රෙදි සෝදන කුඩු දමා බේසමක දින ගණනක් දුඟද හමමින් තැබීම ද නැති දෝෂ කැඳවා ගැනීම සිදු කර ගැනීමක්ය. තවද තම නිවසේ ප්‍රධාන දොර සහ පසුපස පිට වන ඇතුළු වන දොරවල් අබියස අපිරිසිදු නම් හා දොරකොඩ සිටගෙන කැහි සොටු සෙම දොර අසලටම දමන්නේ ද බුලත් කෙළ ගසන්නේ ද ඒවාට ඉතාම හොඳින් ආසා කරන ප්‍රේතයන් ස්ථිරවම දොර ඉදිරිපිට අරක්ගනිමින් නිවස දෙස බලා සිටිමින් විපත් ඇති කරන්නේය. වැසිකිළි තුළින්ද නිතර අපිරිසිදු වී දුර්ගන්දය වාතලයට මුසුව වත්ත පුරා නිවස තුළ හමා යන්නේ එයට ද ප්‍රේත පිසාචයින් අරක්ගෙන නැති කරදර ඇති කරන්නේය. එසේ දුඟඳ වැසිකිළියකට නිතරම යන්නේ නම් විස බීජ ශරීරයට ඇතුළු වී රෝග වනවා සේම ඔබගේ ශරීරය ප්‍රේතයන්ගේ අතපත ගෑමට ලක් වීම හේතුවෙන් සුව නොවන අසනීප ඇත්වන්නේය. තම නිදන කාමරය තුළ කිළිටි ඇඳුම් පාවහන් හා ඉගෙනුම් කිරීමට ගන්නා පොත පත සේම පාඩම් කරන මේසය තුළද අක්‍රමවත්ව අපිළිවෙළට තැබූ විට තමන්ගේ මනස ද අවුල් සහිත දුර්වල වනු අැත. එසේ මනස දුර්වල අයගේ ශරීරයට ඉතා ඉක්මනින්ම යක්ෂ, ප්‍රේත, භූතයින් ඇතුළු වන්නේය. එවිට ඉගනුම් දුර්වල වන අතරම අපවිත්‍රව තිබීම වැසිකිළියක් හෝ වැසිකිළි වළක් තිබීම තුළින් එම නිවසේ ජීවත්වන අයගේ මනස අවුල් වන්නා සේම පිස්සු විකාර වන්නටත් දෙවියන්​ගේ බැල්ම නොලබන්නටත් හේතුවෙන් නිතරම කරදර අඩු නොවන්නේය.   
ඊසාන දිසාව නිතරම ඉතාම පිරිසිදුවම තබා ගැනීම අවශ්‍යයෙන්ම සිදු විය යුක්තකි. බලන්න සමහර නිවෙස් වලට ගියාම එම නිවස තුළ අඳුරින් පිරිල වගේ දැනෙනවා නේද? එසේ වන්නේ එම නිවස තුළ යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩයන්ගෙන් පිරීපවතින නිසාම එසේ අඳුරින් පිරී යන්නේය. ඉහත සඳහන් දුර්වලතා වලින් පිරුණු නිවසේ ජීවත් වන සියලු දෙනාගේ ජීවිතවල නිතරම පවතින්නේ සිත්වල සහනය සතුට සමගිය නිරෝගීකම නැතිවීම. ණය තුරස්වලින් පිරී ඉතිරීයාම. රැකියා නොලැබීම. විවාහය නොවීය සහ විවාහය අසාර්ථක වීම. සතුරු කරදර හා බලාපොරොත්තු බිඳ වැටීම් පමණි. මේ තත්ත්වයන් නිවැරදිව අවබෝධ කරගත හොත් හා නිවැරදිව පෙර සඳහන් අසුබ දෑවලින් වළකින ලෙස සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකර ගතහොත් තම ජීවිත සතුටින් හා ප්‍රබෝධයෙන් ගොඩ නගා ගන්නට හැකි වන්නේය. දිනපතා ගෙවත්ත, නිවස ඉතාමත් හොඳින් පිරිසිදුව තබා ගනිමින් උදේ සවස නිවසට කහ වතුර ඉස සාම්බ්‍රානි දුම් අල්ලා තම ආගමානුකූලව කටයුතු කළ හොත් ඉතාම යහපත් ජීවිතයක් ඇති කර ගන්නට හැකි වන්නේය. යම් ගැටලුවක් තිබේ නම් මාගෙන් විමසන්න.   

 

 


ජ්‍යොතිෂ පර්​ෙ‌ය්ෂණවේදී, දෙවිනුවර, කිරළවැල්ලේ ආචාර්ය ජී.ජී. කේමන් කුලසිරි.   
කොටුවේගොඩ, මාතර.