තණ්ඩලේ කියන්නෙ කාටද?


 

දුම්රිය සේවය ආරම්භ ​ෙවන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිත විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.  


 ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එද‌ා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.  


 ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහයංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත ​ෙවන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.  
 මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.

 

 

 වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  
එස්.කේ. ජයවර්ධන