ඩුබායි පොලිසියට එක්වුණු රොබෝ පොලිස්


 

ඔබ දන්නවාද ලොව පළමු රොබෝ පොලිස් නිලධාරියා මේ වනවිට ඩුබායි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බව. අඩි 5ක් උස කිලෝ ග්‍රෑම් 100ක් බර මෙම මානවරූපී (මිනිසකුට පෙනුමින් සමාන) රොබෝට භාෂා 6ක් ඉතා හොඳින් පුළුවන් බව පැවැසෙයි. ‘රොබෝ කොප්’ යනුවෙන් මෙම රොබෝ නම් කර ඇත්තේ 80 දශකයේ අතිශයින් ජනප්‍රිය ‘රොබෝ කොප්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය සිහිගැන්වීම සඳහාය.


දුවන්න පනින්න, හොරු ලුහුබැඳ යන්න, චිත්‍රපටවල රොබෝ පොලිස් නිලධාරීන් මෙන් වික්‍රම කරන්න නම් ඩුබායි පොලිස් රොබෝට හැකියාවක් නොමැත. මෙම රොබෝ සාමාන්‍ය රොබෝ යන්ත්‍රයක් පමණි. කෙසේ නමුත් පරිගණක ගත කළ වැඩසටහන් අනුව ක්‍රියාත්මක වෙයි. තනිවම තීරණ ගැනීමට හෝ යමක් කිරීමට හෝ හැකියාවක් නැත. ඒ, කෘත්‍රිම බුද්ධියක් නොමැති නිසාය. ඩුබායි පොලිසියට එක්වන රොබෝ නිලධාරීන් හඳුන්වා දීම ‘ජීටෙක්ස්’ නමැති ‘පරිගණක සහ ඉලෙක්ට්‍රොනික’ ප්‍රදර්ශනයේ දී පැවැත්විණි. ඒ, ඩුබායි ලෝක මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේදීය. එහි පැමිණි සැමගේ අවදානයට රොබෝ පොලිස් නිලධාරීන් ලක්වුණැයි බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන්ලයින්’ වෙබ් පුවත් සේවය වාර්තා කර තිබේ. සාර්ථකත්වයත් සමඟ ඩුබායි පොලිස් මූලස්ථානයට රොබෝ අනුයුක්ත කෙරුණි.


හොරු ලුහුබැඳ යමින් වික්‍රම කරන්න නොහැකි වුවත්, ඩුබායි ‘ඇන්ඩ්‍රොයිඩ්’ පොලිස් රොබෝට බොහෝ දේ කළ හැකි බව ඔවුන් නිර්මාණය කළ තාක්ෂණ සමාගම කියයි. මුහුණු ස්කෑන් කර, පුද්ගලයන් ලියාපදිංචි කිරීම් දෙපාර්තමේන්තුවේ දත්ත හා සැසඳීම, අවශ්‍ය උපදෙස් ලබා දීම, පෝරම පිරවීම් කිරීමට සහාය පළ කිරීම ආදී ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වෙයි. දඩ කොළ සඳහා දඩ මුදල් අය කර ගැනීම, සැලූට් කරමින් ආචාර කිරීමටත්, අතට අත දී සුහදශීලීව කතාබහ කිරීමටත් මෙම රොබෝට හැකියාව ඇත. ඩුබායි පොලිසියේ ‘නව තාක්ෂණ දෙපාර්තමේන්තුවේ’ ප්‍රධානී මේජර් අද්මාන් අලී පවසන්නේ මෙම 2017 වසර අවසන් වෙද්දී, ඩුබායි පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ පහසුවට ඔවුන් වෙනුවෙන් මෙම පොලිස් රොබෝලා කිහිප දෙනකු යොදවන බවය. ඒ, සංචාරකයන් බහුලව ගැවෙසන තැන්වලටය.


පළමු අදියර යටතේ ‘බර්ජ් කලීෆා’ ගොඩනැගිල්ල සහ ඒ අවට රොබෝ පොලිස් නිලධාරීන් යොදවන බව ද මේජර් අද්මාන් අලී වැඩිදුරටත් කියා සිටී. මීටර් 10 ක් හෝ 20 ක් දුරින් පුද්ගලයකු හඳුනා ගැනීමට මෙම රොබෝ පොලිස් නිලධාරීන්ට පහසුවෙන් හැකියාව ඇත. 2020 වසර වෙද්දී මෙවැනි රොබෝ පොලිස් නිලධාරීන්, ඩුබායි පොලිස් නිලධාරීන් හා සම සමව රාජකාරි සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ රොබෝ පොලිස් නිලධාරීන් නිර්මාණයේ දී ඩුබායි පොලිසිය, අයි.බී.එම්. සහ ගූගල් සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. අයි.බී.එම්. සමාගමේ සුපිරි පරිගණක කිහිපයක් ද මෙම රොබෝවරුන් මෙහෙයවීමට යොදා ගන්නා බව ද වාර්තා වේ.

 


ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි