ඩී.සී. අට ගුවන් යානයෙන් යාපනයට අහසින් ගිය කාලේ


 

 

  • රජයෙන් ලැබුණු වොරන්ට් එකෙන් රජයේ සේවකයන් එදා ගුවන් සවාරි ගියා.

 

අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවාවක් මුල්වරට ආරම්භ කර ඇත්තේ හැටේ දශකයේය.   


රත්මලාන ගුවන්තොටුපොළේ සිට යාපනය, පලාලි, ත්‍රිකුණාමලය සහ අම්පාරට ගුවනින් යාමට අභ්‍යන්තර ගුවන් සේවාව ආරම්භ කිරීමෙන් පසු ජනතාවට අවස්ථාව සැලසිණි.   
අභ්‍යන්තර ගුවන් සේවාවක් මෙරට ආරම්භවීමෙන් පසු රජයේ සේවය කරන නිලධාරීන්ට විශේෂ වරප්‍රසාදයක් හිමිවිය.   


විනෝද චාරිකාවක් දුම්රියෙන් යාමට, වසරකට නිදහස් ගමන් බලපත්‍ර තුනකට හිමිකම්කීමට, රජයේ සේවය කරන නිලධාරීන්ට ඇත.   


මේ නිදහස් ගමන් බලපත්‍ර රජයේ සේවකයින්ගේ භාෂාවෙන් කියනවා නම් වොරන්ට් එකෙන් බිරිය හා දරුවන් සමග නොමිලයේ කෝච්චියෙන් කැමති පළාතක සංචාරය කර ආපසු පැමිණීමට අවස්ථාව හිමිවිය. 

 
වසරකට ලැබෙන මෙම වොරන්ට් 03 එක්වරම ලබාගෙන ඕනෑනම් ගුවනින් යාමේ වරප්‍රසාදය රජයේ සේවය කරන නිලධාරීන්ට ලැබී තිබිණි.   
හැබැයි මේ සුවිශේෂ වරප්‍රසාදය එකල ලැබී තිබුණේ පළමු පන්තියේ නිදහස් ගමන් බලපත්‍රයක් එහෙමත් නැත්නම් වොරන්ට් හිමි රජයේ නිලධාරීන්ට විතරය.   
පළමු පන්තියේ වොරන්ට් හිමි රජයේ නිලධාරීන්ට ඔවුන්ගේ බිරිය හා දරුවන්ද කැටිව යාමට වරම් ලැබුණි.   


අපි මේ සූදානම් වන්නේ මේ සුවිශේෂී වරප්‍රසාදය යටතේ රත්මලාන ගුවන්තොටින් අහස් යානාවලට නැග පලාලි ගුවන්තොටට ගොඩබැස්ස රජයේ නිලධාරීන් හා ඔවුන්ගේ දරු පවුල්වල ඉස්සර මතකයන් ගැන ආවර්ජනය කරන්නටය.   


එදා ඒ සුවිශේෂී වරප්‍රසාදය යටතේ ගුවනින් ගිය රජයේ නිලධාරීන් මේ වනවිට මිය පරලොව ගොස් බොහෝ කල්ය.   
එහෙත් රජයේ සේවය කළ නිලධාරීන්ගේ දුවා දරුවන් තවමත් ජීවතුන් අතරය.   


නන්දා පීරිස් මහත්මිය රහස් පොලිසියේ යතුරුලියන්නියක ලෙස සේවය කළාය.   
නන්දාගේ සැමියා වූ වික්ටර් පීරිස් මහතා සේවය කළේ ආහාර දෙපාර්තමේන්තුවේය.  


නන්දා මහත්මිය හා වික්ටර් පීරිස් මහතා ද තම දරුවන් පස්දෙනාද කැටිව යාපනයේ සංචාරයක නිරතවීමට රත්මලාන ගුවන්තොටුපොළෙන් අහස් යානයකට ගොඩවී ඇත්තේ 1978 වසරේ දවසකය.  


එදා යාපනයේ සංචාරයක නිරතවීමට ගුවනින් යාපනය බලාගිය නන්දා මහත්මිය හා ඇයගේ සැමියා වික්ටර් මහතා මේ වෙනකොට ජීවතුන් අතර නැත.  
මීට වසර ගණනකට ඉහතදී මව හා පියා සමග යාපනයට ගුවනින් යද්දී චන්ද්‍රා පීරිස් මහතා පුංචි කොලු පැටියෙකි.  
ජීවිතයේ මුල්වරට ගුවනින් ගිය චන්ද්‍රා මහතා, පසුව ගුවන් හමුදාවට බැඳී වසර 20 සේවය කර ඇති බලලත් නිලධාරී ඉංජිනේරුවරයෙක් වන්නේය.  
චන්ද්‍රා මහතා දැන් පදිංචිව සිටින්නේ දියතලාවේය.  


රත්මලාන ගුවන්තොටුපොළේ සිට යාපනය පලාලි දක්වා ගුවනින් ගිය ගමන ගැන චන්දන පීරිස් මහතා මතකය අවදිකළේ මෙසේය.  
අපේ අම්මා රහස් පොලිසියේ යතුරුලියන්නියක ලෙස සේවය කළා. තාත්තා ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළා. අම්මාගේ වොරන්ට් එකෙන් තමා යාපනයේ සංචාරය කරන්න ගියේ. අම්මයි තාත්තයි, අපේ ලොකු අක්කා විනෝදනී, අයිය නිලුපුල් පීරිස්, ශාන්ත මල්ලී හා ඩේලියා රන්මිණි නංගි හා මමත් මේ සංචාරයට එකතුවුණා. අපි එතකොට පොඩි අය. ඒ වුණාට ගුවනින් ගිය පළමු ගමන නිසා ඒ ගැන හොඳ මතකයක් අදටත් තිබෙනවා.  


මගේ මතකයේ හැටියට බැකෝඩා හෝ ඩී.සී. 08 වර්ගයේ ගුවන් යානයකින් තමා අපි යාපනයට ගියේ. පලාලි ගුවන්තොටුපොළෙන් බැහැලා ලයිට්හවුස් එක බලන්න ගියා. ඊට පස්සේ සිමෙන්ති පැක්ටේරිය බලන්නත් ගියා. කකුළුවෝ, තල් අල එහෙම යහමින් කෑවා මට අද වගේ මතකයි. දවස් දෙක තුනක් යාපනයේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් තමා අපි ගියේ. යාපනයේ රාජකාරි කරන රහස් පොලිසියේ නිලධාරීන් මහත්වරුන් කට්ටියක් අපේ අම්මා මුණගැසෙන්න ආවා. නන්දා මිස් යාපනයේ තත්ත්වය එච්චර හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් මෙහෙන් පිටවෙලා යන්න කියා රහස් පොලිසියේ මහත්වරු අම්මා එක්ක කිව්වා.  
රහස් පොලිසියේ මහත්වරුන්ගේ ඒ කීමෙන් පසු අපි කට්ටියම කන්කසන්තුරේ ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් මාස්ටර්ගේ නම රාසයියා. රාසයියා මහත්තයා අපිට හරියට උදව් කළා. ඔහු අපට රැකවරණය දුන්නා. කිසිම දෙයකට බයවෙන්න එපා කිව්වා. කන්කසන්තුරේ ස්ටේෂන් එකෙන් අනුරාධපුරයට ආවා. අනුරාධපුරය වන්දනාමාන කරලා ගම්බිම් බලා පැමිණියා යැයි චන්ද්‍රා පීරිස් මහතා කීය.  


පළමුවරට ගුවනින් ගිය චන්දන මහතා ගුවන් හමුදාවට බැඳීමට සිහිනෙකින්වත් සිතා නැත.  
කෙසේ හෝ ගුවන් හමුදාවට බැඳුණු චන්ද්‍රා පීරිස් මහතා, ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ බලලත් නිලධාරී ඉංජිනේරුවරයකු ලෙස ගුවනින් ගිය ගමන්වාර ගැන නම් අනන්තය. අප්‍රමාණය.  
චන්ද්‍රා අයියා නිලුපුල් පීරිස් වර්තමානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටී.  
අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් 1983 වසරේ නතරකර ඇත්තේ ඒ වකවානුවේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා සැලකිල්ලට ගනිමිනි.  
නැවත සිවිල් ගුවන් ගමන් සේවා ඉන් වසර කිහිපයකට පසු ආරම්භ කර තිබේ.  


මේ හා සම්බන්ධ තොරතුරු හෙළිකරමින් චන්ද්‍රා පීරිස් මහතා කිව්වේ මෙවැනි කතාවකි.  
ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් 83 වසරේ නවතා දැම්මාට පස්සේ යළි ආරම්භ කළේ වසර කිහිපයකට පසු ආරම්භ කර තිබෙනවා. 1995 වසරේ අප්‍රේල් මාසයේ 28 වැනිදා රත්මලානේ සිට පලාලි බලා පියාසර කළ ඇව්රෝ ගුවන් යානය කොටින්ගේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වුණා.  
මේ සිද්ධියෙන් පස්සේ යළිත් රටේ අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා නතර කළා.  
1998 වසරේ යළිත් අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කළා. 2002 වසරේ ලයන් එයාර් ගුවන් යානයට කොටි මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දැමුවා. එයින් පසු යළි එම ගුවන් සේවා නතර කළා. වන්නි මානුෂීය මෙහෙයුම මගින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අපේ රටෙන් තුරන් කළාට පස්සේ 2014 වසරේ සිට රටේ අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් යළිත් වරක් පටන්ගත්තා.  


එහෙත් රජයේ නිලධාරීන්ට අපේ රට තුළ නොමිලයේ ගුවනින් යාමට තිබූ වොරන්ට් ක්‍රමය නම් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නොමැත.  


ඒ ක්‍රමය නැවත ආරම්භ කිරීමට වර්තමාන රජයේ අවධානය යොමුවිය යුතු බව රජයේ සේවකයින්ගේ අපේක්ෂාවයි.  
රත්මලානේ සිට සංචාරයකට වොරන්ට් එකෙන් යාපනයට ගිය විශ්‍රාමික ගුරු මාතාවක් හමුවිය.  
ඇය හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමා විජේසිංහ ඒකනායක (83) මහත්මිය වන්නීය.  


ගුවනින් යාපනයේ ගිය ඒ සුන්දර සංචාරයේ මතක සටහන් ප්‍රේමා මහත්මිය ආවර්ජනය කරමින් මෙසේ පැවසුවාය.  
මගේ මහත්තයා ඩබ්ලිව්.ජේ.සී. ෆොන්සේකා. ඔහු මේ වෙනකොට මියගිහින්. ඒ කාලයේ ඔහු ගම් සභා කාර්යාලයේ සේවය කළා. මම ගුරුවරියක් ලෙස රැකියාව කළා. අපේ දරුවෝ වන චන්න, සමිත් හා සංඛ ඒ කාලයේ පුංචි අය. දරුවෝ තුන්දෙනත් එක්ක මමයි, මහත්තයයි තමා යාපනය යන්න ගියේ ඒ මගේ වොරන්ට් එකට. අපේ ඥාති මල්ලි කෙනෙක් වන චන්ද්‍රදාස මොරටුව, කල්දෙමුල්ලේ පදිංචිවෙලා ඉන්නවා. කළින් දවසේ චන්ද්‍රදාස මල්ලිගේ ගෙදර ගිහින් නැවතුණා. ඊට පස්සේ දවසේ චන්ද්‍රදාස මල්ලිගේ වාහනයෙන් අපිව රත්මලාන ගුවන්තොටුපොළට එක්ක ගෙන ගියා. අපි යාපනයේ සංචාරයට ගියේ 1974 අවුරුද්දේ.  


මගේ මහත්තයා යාපනය ටවුන් එකේ තිබුණ මහජන බැංකුවට ගියා එයාගේ එකවුන්ට් එකෙන් මුදල් ගන්න. ඒ වෙලාවේ මම බැංකුව ඉදිරිපිට පාරේ වැටිලා තිබිලා රුපියල් 50 නෝට්ටු දෙකක් දැකලා ඒ නෝට්ටු දෙක අහුලාගත්තා. මම ඒ සල්ලිවලට ඇල්මේනියම් මුට්ටියක් හා මිරිස් පැකට් කිහිපයක් ගත්තා. යාපනය ගමන සිහිවෙන්න තමා ඇල්මේනියම් මුට්ටිය මිලදීගත්තේ. මිරිස් පැකට් ඇල්මේනියම් මුට්ටිය ඇතුළේ දාගෙන ගෙදර අරගෙන ආවා. ඒ ඇල්මේනියම් මුට්ටිය තාම මගේ ළඟ තියෙනවා. එදා යාපනයේ ඉඳලා ගෙනාපු ඇල්මේනියම් මුට්ටියේ තමා තාමත් තේ හදන්න වතුර උණු කරන්නේ යැයි ප්‍රේමා මහත්මිය පැවසුවාය.  
නාගදීප විහාරය එහෙම වැඳගෙන දවස් දෙකකට විතර පස්සේ යාපනයේ ඉඳලා කෝච්චියෙන් කොළඹට ආ බවද ප්‍රේමා මහත්මිය පවසන්නීය.  
යාපනය සංචාරයේ තවත් සොඳුරු මතකයන් ගණනාවක්ම ඇය සිහිපත් කළාය.  


රත්මලානේ සිට යාපනයට 70 දශකයේ ගුවනින් ගිය අය ගැන තොරතුරු සොයද්දී ප්‍රේමා මහත්මිය ගැන අපට කිව්වේ හලාවත, මාදම්පේ මධ්‍ය පුස්තකාලයේ සේවය කරන ඇයගේ ලේලිය වන අරුණි නන්දිකා මහත්මිය වන්නීය.  
රත්මලානේ සිට යාපනයට ගුවනින් 1973 වසරේදී ගිය වෙන්නප්පුව, නයිනමඩමේ හණතොටුපොළ පාරේ පදිංචි ලෙටීෂියා ජයසූරිය (73) මහත්මිය මෙසේ කීවාය.  
මගේ අයියා ජෝ ජයසූරිය. අයියා දැන් ජීවතුන් අතර නැහැ. ඒ කාලයේ අයියා බෝලවත්ත පැත්තේ ඉස්කෝලෙක ඉගැන්නුවා. ගුවනින් යාපනය යන ගමන සංවිධානය කළේ මගේ අයියා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 23 ක් විතර වෙනවා. විවාහවෙලා හිටියේ නැහැ. අයි

යා උගන්වපු ඉස්කෝලේ ස්ටාෆ් එක තමා මේ ගමන ගියේ. නාගදීපය එහෙම වන්දනා කරන්න ගියා.  
අපි යාපනයට ගියේ 1973 වසරේ සැප්තැම්බර් මාසයේ. දිනය මතක නැහැ. අපි යාපනයට යනකොට ඒ පැත්තේ ලොකු ගංවතුරක් තිබුණා. යාපනයට ගිය දාට පහුවැනිදා ආයෙත් ප්ලේන් එකෙන්ම රත්මලානට ආවා. අපි යන කාලයේ යාපනයේ කොටි කලබල තිබුණේ නැහැ යැයිද ලෙටීෂියා මහත්මිය කීවාය.  

 

 


සටහන -  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප - මාදම්පේ එස්. හේරත්