ටැන්සානියාවේ වන පෙතක අපූරු අත්දැකීම්


රු ආහා ජාතික උද්‍යානයේ දින පහක්

 

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.


අප්‍රිකාව, ටැන්සානියාව සහ රුආහා ජාතික උද්‍යානය   


පෘථිවිය මත මහාද්වීප (Continents) අතුරින් විශාලත්වයෙන් දෙවැනි තැන හිමිවන්නේ අප්‍රිකානු මහාද්වීපයටය. වපසරිය වර්ග සැතපුම් 11,717,370 කින් යුත් අප්‍රිකාවේ ජනගහනය (2001 වසර) කෝටි 87 කි. අප්‍රිකානු මහාද්වීපයේ සමස්ත බිම් ප්‍රමාණයෙන් 25% ට ආසන්න ප්‍රමාණයක් වසා පැතිර ඇත්තේ සහරා කාන්තාරයයි. (Sahara dessirt) මීට වසර ලක්ෂ හතළිහකට (40) පෙර මිනිස් සංහතියේ ආරම්භය අප්‍රිකාවේ සිදු වූ බවට සාධක විද්‍යාඥයින් සොයාගෙන තිබේ.   


ලොව දිගින් වැඩිම ගංගාව වන නයිල් ගංගාව (Nile River - කි.මී. 6650) නැගෙනහිර අප්‍රිකාවේ උගන්ඩාව (Uganda), සුඩානය (Sudan) සහ ඊජිප්තුව (Egypt) හරහා උතුරු දිසාවට ගලා යමින් කයිරෝ නගරයට Cairo නුදුරින් මධ්‍යධරණී මුහුදට (Mediterranean sea) සම්බන්ධ වේ. නැගෙනහිර අප්‍රිකාව. උගන්ඩාව, කෙන්යා, (kenya) සහ ටැන්සානියා රාජ්‍යවලින් සමන්විත වෙයි. වර්ග කිලෝ මීටර් 935,037 ක වපසරියෙන් යුත් ටැන්සානියාවේ ජනගහණය කෝටි 37.5 කි.   


රටේ ප්‍රධාන භාෂාව ස්වහිලි Swahili  වන අතර ප්‍රධාන ආහාරය හඳුන්වනුයේ උගාලි (Ugali) හැටියටය. එය සාද‌ා ගන්නේ බඩඉරිඟු (Maize) පිටි වතුරෙන් තම්බා ගැනීමෙනි. උගාලි කෑමට ගනු ලබන්නේ තක්කාලි, බීලූනු, මාළුමිරිස්, හරක් මස්, සූරියකාන්ත තෙල් (Sun Flower Oil) යොද‌‌‌ා පිළියෙල කරනු ලබන සුප් (Soup) සමගය. ලොව ප්‍රචලිත සෙරෙන්ගෙටි (Serengeti) ජාතික උද්‍යානය (වපසරිය වර්ග කි.මී. 14,763) පිහිටා තිබෙන්නේ ද ටැන්සානියාවේය.   


ටැන්සානියා රාජ්‍යයේ රට අභ්‍යන්තරයේ පිහිටා තිබෙන රුආහා (Ruaha) ජාතික වනෝද්‍යානය (Ruaha National Park) වපසරියය වර්ග කි.මී. 20,226 කි. එය රටේ විශාලතම වනෝද්‍යානයයි. ප්‍රකාශයට පත්වූයේ 1964 වර්ෂයේදීය. උද්‍යානයට එම නම ලැබුණේ දකුණු මායිමට සමාන්තරව ගලා බසිනා ‘මහා රුආහා’ ගංගාව (Great Ruaha River) හේතුවෙනි. වසරකට උද්‍යානය නැරඹීමට යන සංචාරකයින් සංඛ්‍යාව දළ වශයෙන් 40,000 කි.   


චන්ද්‍රා සහ මා ඉගෙනුම ලබන වනජීවි විද්‍යාලයේ (කිලිමන්ජරෝ කන්ද) සිට රුආහා උද්‍යානයට දුර කි.මී. 1030 කි. ගොඩබිමෙන් මෙම උද්‍යානයට ළඟා විය හැක්කේ ඉරින්ගා (Iringa) නගරය පසුකොට කි.මී. 120 ක් ධාවනය කොට ‘මහා රුආහා ගංගාව හරහා යාමෙනි. ගංගාව හරහා යාමට පාලමක් නොමැති අතර අපට සිදුවූයේ දැවැන්ත පාරුවකට යුනිමොග් ට්‍රක්රථය (Truck) ඇතුළු කොට ගඟෙන් එගොඩ වීමය.   


අපි දෙදෙනා ට්‍රක්රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි බැවින් ගඟ දෙපස මනාව දර්ශනය විය. ‘චන්ද්‍ර‌ා බලපං කෝ... මේ හිපපො​ටේමස්ලා (Hippopotamus) හීලෑවෙලා වගේ. පාරුවත් එක්කම පිහිනනවා. එම සත්තු 20 ක් පමණ පාරුව සමග ඉදිරියට පිහිනා යති. මෙම දැවැන්ත පාරුව තනා ඇත්තේ වානේ බැරල් රාශියක් සම්බන්ධ කොට ඒ මත ශක්තිමත් ලෑලි තට්ටුවක් සවිකිරීමෙනි. පාරුව ක්‍රියාත්මක වන්නේ මිනිස් ශ්‍රමයෙනි. (Mannually Operated Ferry)   


උද්‍යානයට පිවිසීම   


ට්‍රක් රථයේ රියැදුරු කිගාලේ (Kigale) අපි දෙදෙනා අමතමින් ‘සර්ලා දෙන්නා ට්‍රක්රථයෙම වාඩිවෙලා ඉන්න. අපේ බඩු බෑග් පිටිපස්සේනේ... මම බලලා එන්නම්. හරි දැන් ඉදිරියට යමු...මේ ‘රුආහා’ ගංගාවේ  ඉඳලා කිලෝමීටර් අටක් (8) ගිය තැන හමුවෙනවා. ම්සෙම්බේ Msembe උද්‍යාන මූලස්ථාන කාර්යාලය (Park Head Quartets) උද්‍යාන භාරකරු ‘ෂාවියා ජෝන්ස්’ මහතා කාර්යාලයේ ඉන්නවා නම් මම සර්ලා දෙන්නා හඳුන්වලා දෙන්නම්...’ රියැදුරු කිගාලේ අප ඇමැතීය.   


නියඟය එළඹ ඇති බැවින් (උෂ්ණත්වය) දැඩි රශ්මියක් දැනෙයි. රුආහා ගංගාව පසුකරත්ම අපි දුටුවේ ගඟට බසින අප්‍රිකානු අලි රංචුය. ගඟෙන් එගොඩ වූ අලි රංචු උන්ගේ ශරීරය උඩට මඩ පස් දමාගෙන ආහාර සොයා යති. මෙම අලින්ගේ (Loxodonta Africana) විශේෂත්වය නම් ගැහැනු, පිරිමි දෙකොට්ඨාසයම දල සහිත වීමයි. විශ්වකෝෂයෙහි සඳහන් පරිදි හැනිබල් (Hannibal උපත කිස්තු පූර්ව 247) නමැති උතුරු අප්‍රිකානු ජාතික යුධ සෙන්පතියා අප්‍රිකානු අලි සහ අශ්වයින්ගේ ආධාරයෙන් ක්‍රිස්තු පූර්ව 218 දී ඇල්ප්ස් (Alps) කඳුවැටිය (උස අඩි 10,000) තරණය කොට එය හරහා ගොස් තිබේ. එහෙත් බොහෝ දෙනෙකුගේ මතය අප්‍රිකානු අලි මිනිසාට සේවය කිරීම සඳහා හීලෑ කළ නොහැකි බවය.   


ඉදිරියට යත්ම අපි දුටුවේ දැවැන්ත බැඕබැබ් (Baobab Adansonia Digitata) ගස් සහ ඇකේෂියා ගස් (Accacia Tortalis) මණ්ඩියකි. ගස් යට ඇත්තේ තණ පඳුරුය (Grasses) රුආහා ගංගාව දෙපස විශාල සියඹලා ගස්ය. රියැදුරු කිගලේ අපි දෙදෙන අමතමින් ‘සර් කොරොන්ගෝ (ස්වහිලි භාෂාව) කියමින් තණ උලා කන රෝන් ඇන්ටිලොප් (Roan Antelope Hippotraguseyuinus) ගෝනකු පෙන්වීය. උගේ අං යුගලය වක්‍රාකාරව පස්සට නැමී ඇති අතර උස අඩි 4 1/2 පමණ වෙයි. දුඹුරු පැහැතිය.   


මිසෙම්බේ (Msembe) උද්‍යාන මූලස්ථානය වෙත පැමිණි අපගේ ට්‍රක් රථය එම කාර්යාලය ඉදිරිපිට නැවැත්විණි. ඉක්බිතිව ඉන් බැසගත් රියැදුරු කිගාලේ ‘සර්ලා දෙන්නත් බැහැලා එන්න. උද්‍යාන භාරකරු ​ජෝන්ස් මහත්මයා හම්බවෙන්න යමු. තනි තට්ටුවේ සාමාන්‍ය ගොඩනැගිල්ලක් වූ එහි ෂාවියා ජෝන්ස් සිටින බව රියැදුරු කිගාලේ අපට පැවැසීය. රියැදුරු කිගාලේ අපි දෙදෙන ජෝන්ස් වෙත හඳුන්වා දෙන ලද්​දේ ස්වහිලි භාෂාවෙනි. ඒ අතර තුරේ ඔහු අප දෙදෙනා හට අතට අත දෙමින් පිළිගනිමින් ..Pleade sit.... කියමින් විද්‍යාලයේ පරිපාලන නිලධාරි කාලේ මහතාගේ ලිපිය කියවීය.   


‘චන්ද්‍රා විල්සන් බානා ඔයාලා දෙන්නට මම උපරිම වශයෙන් උදව් කරනවා. අවශ්‍ය දෙයක් මට දන්වන්න. නොදන්න දෙයක් මගෙන් අහන්න. මගේ වැඩ නැති අවස්ථාවලදී ඔයාලා දෙන්නගේ සංචාරයට... මගේ නිල ලෑන්ඩ්රෝවර් රථය දෙන්නම්. මුලින්ම දෙන්නගේ කූඩාරම ඉදිකරගන්න. මම සේවකයින් ​දෙදෙනෙක් එවන්නම්. ඒ අය ආහාර පිළියෙළ කරලා දෙයි. ඔහු මෙසේ ද කීය.   


මම පොඩි අවවාදයක් දෙනවා. රාත්‍රී කාලේ කූඩාරම් පොළ වටේම සිංහයෝ, අලි ඉන්නවා. අලි හරිම සැරයි. ඒ නිසා රාත්‍රියේදී අවශ්‍යම දෙයකට ඇරෙන්න කූඩාරමෙන් එළියට යන්න එපා. කොහොම වුණත් උද්‍යානයේ වනජීවි නිලධාරියෙක් එවනවා රයිපල් පතොරොම් සමග. ඒ ඔය දෙන්නගේ ආරක්ෂාවට... රියැදුර කිගාලේට පුළුවන් මගේ නිල නිවාසයේ ඉන්න.’ අපි දෙදෙන ඔහුට ස්තුති කළෙමු.   


‘ජෝන්ස් ඔයාට බොහොම ස්තුතියි. අපි දවස් පහක් මේ උද්‍යානයේ ඉන්නවා. ඔයාට ආරාධනා කරනවා හැම රාත්‍රියකම කෑම කන්න අපි දෙන්නාගේ කූඩාරමට එන්න කියලා.   
 ‘හොඳයි... විල්සන් චන්ද්‍රා මම එන්නම්...’ ඔහුගේ ප්‍රතිචාරය විය. සවස 5.00 ට පමණ අපි දෙදෙන කූඩාරම් කඳවුරු පළට ළඟා වීමු. එය පිහිටා තිබුණේ උද්‍යාන කාර්යාලයේ සිට කිලෝ මීටරයක් පමණ ඈතින් රුආහා ගංගාවේ අතු ගංගාවකට නුදුරිනි. වැසිකිළි පහසුකම්, ඉවුම් පිහුම් කිරීමට ස්ථානයක් සහ ජල නළ වලින් වතුර සැපයීම පහසුකම්වලින් යුක්ත විය.