ටයිගෙන් මගහැරුණු ‘හඳයා’ දෙවැන්න


 

තොටවත්තගේ දොන් මනුවෙල් ටයිටස් සිල්වා නොහොත් අප කවුරුත් හඳුනන ටයිටස් තොටවත්තයන් ඉපදුණේ 1927 අප්‍රියෙල් 10 වැනිදාය. අප අතරින් වෙන් වූයේ 2011 ඔක්තෝබර් 15 වැනිදාය.  

කොළඹ උපන්, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ටයි සැබෑවටම සිනමාවේ විප්ලවකාරයෙකි.  


චිත්‍රපට සංස්කාරකවරයකු ලෙස රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී බ්ලේක් සමඟ එයින් අස් වූයේ රේඛාවෙන් සිනමාවේ විප්ලවය අරඹන්නටය.  


එතැන් පටන් චිත්‍රපට ගණනාවක සංස්කරණ ශිල්පියකු ලෙස දායක වූ ටයි මහත්තයා ඊළඟ විප්ලවය ඇරැඹුවේ චණ්ඩියා චිත්‍රපටයෙන් අධ්‍යක්‍ෂවරයකු ලෙස සිනමාවට අවතීර්ණ වීමත් සමඟය.  


චණ්ඩියා තිරගත වූයේ 1965 මාර්තු 18 වැනිදාය.  


චණ්ඩියා කලාත්මක සිනමාවත් වාණිජ සිනමාවත් එක්තැන් කළ අවස්ථාවක් විය. ඇතැම් විචාරකයන් පවසන්නේ චණ්ඩියා චිත්‍රපටයෙන් ගාමිණී දුෂ්ට චරිතයක් රඟපෑ බවය.  


1981 සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ටයි මහත්තයා මා සමඟ පැවැසූ අදහස් මෙසේය.  


“චණ්ඩියා, හඳයා වගේ චිත්‍රපට මිනිසුන් අතින් කවදාවත් ගිලිහෙන්නේ නෑ. චණ්ඩියා දැනට ලක්‍ෂ සියයකටත් වඩා ආදායම උපයා තියෙනවා. ඒත් මම චිත්‍රපටය හදන්න, අධ්‍යක්‍ෂණය, සංස්කරණය, තිර නාටකය සේරටම ගත්තේ රුපියල් විස්පන්දහසයි. ඒ ගැන මම පසුතැවෙන්නේ නෑ. ඒ අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා.”


ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදීම ඉතාමත් සුන්දර කාර්යයකි. ඔහුගේ මුවට එන උපහාස වදන් ඇතැම් විටෙක පුවත්පතකට ලිවීමට ද අපහසු තරම්ය.  

 


‘නිරුවත් ජවනිකා තිරයට එනවාට ඔබ කැමැති ද?’ මා වරක් ඇසූ විට ඔහු දුන් පිළිතුර මතක් වනවිට දැනුදු මට සිනා යයි.   


“ඉස්සර චිත්‍රපට හැදුවෙ ෆයිට් කීය ද සිංදු කීය ද කියලා ගැනලා. ඉතිරි රීල් ගානට අඩුව පිරෙව්වා. දැන් ගෑනියෙක්ගේ කකුල් කීය ද රේප් කීය ද කියලා ගැනලා සමහරු චිත්‍රපට හදනවා.   


රජ්ජුරුවෝ වුණත් වැසිකිළියට ගියාම හෙළුවෙන්. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් සිංහාසනයට නගිනකොට ස්වර්ණාභාරණයෙන් සැරැසෙනවා.”


ටයි මහත්තයා (බොහෝදෙනා ඔහු හැඳින්වූවේ මෙනමිනි) මුල් යුගයේ චිත්‍රපටවලට නම යෙදුවේ ටයිටස් සිල්වා කියාය. එම නම ඇතැම් පැරැණි චිත්‍රපටවල නාමාවලියේ දැකගත හැකිය.   


ඔහු හොඳ නැටුම් ශිල්පියකු බව ඔහුගේ බොහෝ ලිපිවල දක්නට නොලැබෙයි. එකල සම්මුඛ සාකච්ඡා සඳහා අප ගිය විට ඔහුගේ පැරැණි ඇල්බම් රැගෙන එම ඡායාරූප අපට පෙන්වන්නේ දැඩි රුචියකිනි.  


1954 අප්‍රියෙල් මාසයේ මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඇය පිළිගන්නා නැටුම් කණ්ඩායමට ටයිටස් තොටවත්ත ද එක් වී සිටියේය. ඔහු හා එක් වූ අනෙක් සුප්‍රකට නළුවා වූයේ රේඛාව චිත්‍රපටයේ ‘යමු නැළවිල්ලේ’ ගීතය සමඟ සිහිපත් වෙන ආනන්ද වීරකෝන් ය.  


“ශේෂා පළිහක්කාරගෙ නැටුම් කණ්ඩායමක් ඒ කාලෙ තිබුණා. මම ටයිටස් ඇතුළු පිරිස තමයි රැජින පිළිගන්න ගිය නැටුම් කණ්ඩායමේ සිටියේ.” දැනට 86 වැනි වියේ පසුවන ආනන්ද පැවැසීය.  


ඒ එලිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවට ආ ප්‍රථම වතාවයි.  


“මේ බලපන් පුතා මම ඒ කාලෙ, උඹට අඳුරන්න පුළුවන් ද?”


ටයි මහත්තයා බොහෝ අයට කතා කළේ පුතා කියාය. එහි ලෙන්ගතු බවක් මෙන්ම ඇතැම් විට සෝපහාස බවක් ද විය.  


වරක් ඔහුගේ එක් චිත්‍රපටයක රූගත කිරීම් අතර දිවා ආහාර ගන්නා අවස්ථාවේ ඔහු ආවේ මඳක් ප්‍රමාදවය. ඒ වනවිට රූගත කිරීම් කණ්ඩායමේ සියල්ලන්ම ආහාර ගෙන අවසානය. ටයි පැමිණ ඔහුගේ කෑම පාර්සලය ඉල්ලා සිටියේය. ඒ වනවිට ටයි මහත්තයාට කෑම පාර්සලයක් නොතිබිණි. එය අමතක වීමක් වන්නට පිළිවන.  


“කෝ බං පුතා මගෙ කෑම එක” ටයි ඇසුවේය.


‘හරි වැඩේනෙ වුණේ, ටයි මහත්තයාගෙ කෑම එක පූසා කෑවනේ’ නිෂ්පාදන කළමනාකරු කිවේය. ටයි මඳක් නිහඬව සිටියේය.  


“ඒ කියන්නෙ පුතා උඹ කියන්නෙ, පූසා මේ කන්නෙ ටයි මහත්තයාගෙ කෑම එක කියලා දැනගෙන කෑවා කියලා ද?” ටයි ඇසුවේය.  


තවත් දිනෙක ඔවුන් නිතර එක්වන අවන්හලක් වූ රන්දෝලි වෙත ගොස් ඔහුගේ මෝටර් රථය නැවැත්වීය. එවිට එතැනට දිව ආ පොලිස් භටයකු කීවේ ‘හා හා ඔතන නවත්වන්න බෑ’ කියාය. “නවත්වන්න බැරි නම් පුතා මම ඔතන නැවැත්තුවේ කොහොම ද?” පොලිස් භටයා ද වැඩේ අත්හැරියේ නැත. දිගටම තර්ක කළේය.   


“හරි පුතා, උඹ මාව උඹගෙ ලොක්කා ළඟට අරන් යන්න ද හදන්නේ. අරන් පලයන්. උඹ මාව අරන් යන්නෙ කොහොම ද? නැඟපන් මගේ කාර් එකේ යමු. හැබැයි පුතා මම උඹගෙ ලොක්කාට කියනවා උඹ මට විරුද්ධව පැමිණිල්ල දාන්න උඹ ආවෙ මගේ කාර් එකේ කියලා.” ටයිගේ සෝපහාස වදන් එසේය.  


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘පුරන් අප්පු’ අධ්‍යක්‍ෂණය කිරීමට පෙර ‘පුරන් අප්පු’ කතාව චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කිරීමේ සැලැසුමක් තිබිණ. එයට ද ටයිටස් තොටවත්ත සම්බන්ධව සිටියේය.  


එහි ‘පුරන් අප්පු’ගේ චරිතය සඳහා තෝරාගෙන සිටියේ පසු කලෙක අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රී ලාංකික සිනමාවේ අවසන් තාරකාව ලෙස සැලැකෙන විජය කුමාරතුංගය.  


ඔහු ඒ කාලය වනවිට සිනමාවට පැමිණ සිටියේ නැත. දිනක් එවකට විසිතුර සිනමා පුවත්පතේ කර්තෘ අාතර් අමරසේනයන් වෙත පැමිණි හුරුබුහුටි තරුණයෙක් තමා පුරන් අප්පු චිත්‍රපටයේ රඟපෑමට තෝරාගත් බවත් ඒ සඳහා අසුන් පිට යෑම පුහුණු වන බවත් කියා සිටියේය. ඒ සමඟ ඔහු අසකු පිට නැග සිටින ඔහුගේ ඡායාරූපයක් ද මේසය මත තැබීය. එය ඔහුට පුවත්පතේ පළ කරගැනීමට අවශ්‍ය විය. ඒ කඩවසම් තරුණයා විජය කුමාරතුංගය. එහෙත් ඒ ‘පුරන් අප්පු’ නිෂ්පාදනය අතරමග නැවැතිණි.  


පසු කලෙක ටයිටස් තොටවත්තයන් ‘මරු සිරා’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරද්දී එහි සිරිපාලගේ චරිතය සඳහා විජය තෝරා ගත්තේය. එහිදී ටයි විජයට කිවේ අපූරු කතාවකි.  


“විජේ, උඹ මේ චරිතෙ හරියට කළේ නැති නම් උඹගෙ මරු සිරා මමයි. ඒක දැනගනින්.”  


ටයි ඔහුගේ ‘මරු සිරා’ චිත්‍රපටය තුළින් කිසියම් සමාජ දෘෂ්ටියක් පළ කිරීමට ඔහු උත්සාහ ගත්තේය. පොලිස් නිලධාරියකු හා පුවත්පත් වාර්තාකරුවකු අතර වන සංවාදයක් ලෙසින් දිග හැරුණ ‘මරු සිරා’ චිත්‍රපටයේ පොලිස් නිලධාරියා ලෙස හෙන්රි ජයසේනත්, පුවත්පත් වාර්තාකරු ලෙස ටයිටස් තොටවත්තම රඟපෑම සුවිශේෂිත්වයකි.


එහෙත් ඔහු චිත්‍රපටය තමාගේ කැමැත්ත පරිදි කරගැනීමට නොහැකි වූ බව කියා සිටියේය. “මම පුතා ‘මරු සිරා’ චිත්‍රපටයේ නාමාවලිය යනකොට සිංදුවක් දාන්න නෙමෙයි හිටියෙ. අනුරාධපුරේ මහ වනාන්තර උඩින් හෙලිකොප්ටර් ෂොට් එකක් යනවා. එතකොට පසුබිමෙන් සිරිපාල හිරේ ඉන්නකොට ලියපු කවි ගායනය ඇහෙනවා. කොහෙද මේ ප්‍රොඩියුසර්ලට සිංදු දාන්න ඕනෑ වුණානේ.”  


ටයිගේ ‘හඳයා’ අද ද කතා කරන සුප්‍රකට ජනප්‍රිය චිත්‍රපටයකි. එය ඔහු නිෂ්පාදනය කළේ චිත්‍රපට සංස්ථාව මගින් එකල ලබාදුන් සියයට සියයේ ණය ක්‍රමයෙනි. එම ණය පියවූයේ ටයිටස් තොටවත්ත හා වසන්ත ඔබේසේකර (පළඟැටියෝ) පමණකි.  


හඳයා තිරගත වූ මුල් සතියේ සිනමාහල් තුළ සෙනඟ නොවීය. ටයි එයින් හොඳටම සසල වූයේය. ඔහු බොරැල්ලේ සිට පයින් යනු දැක ඇත්තේ ආතර් යූ. අමරසේනයන්ය.“ෆිල්ම් එක දුවන්නෙ නෑ අමරේ” ඔහු කියා ඇත.  


පුවත්පත් කන්තෝරුවට ආ ආතර් යූ. ද බෙහෙවින් සසල වූ කටහඬකින් කතා කළේය.  


“මට හරියට දුක හිතුණා. ටයි මහත්තයා හොඳටම අප්සෙට් වෙලා හඳයාට සෙනඟ නෑ කියලා ඉක්මනට ගිහින් හඳයා එකේ ළමයි ටික ඉන්ටවීව් කරගෙන එන්න.” ඔහු මට කීවේය. “අපි මොනවා හරි කරන්න ඕන” ඔහු වැඩිදුරටත් පැවැසීය.  


ඒ අනුව එහි රඟපෑ ළමා නළු නිළියන් බොහෝදෙනකු හමුවී ‘හඳයා’ පිළිබඳ දීර්ඝ ලිපියක් පළ කිරීමට මට අවස්ථාව ලැබිණ. දෙවැනි සතිය වනවිට ‘හඳයා’ ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී යන්නට විය. ටයිගේ තේමාව වූයේ හඳයා 8-80 දක්වා ප්‍රේක්‍ෂකයන්ට කියායි. එය දැනුදු ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය චිත්‍රපටයකි.  


1979 ජනාධිපති සම්මාන උළෙලේදී ‘හඳයා’ට අර්බුදයක් මතු වුව ද 1980 ජනාධිපති සම්මාන උළෙලේදී ‘හඳයා’ට සියල්ලටම හරියන්නට මෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ තෑගි සම්මාන ලැබුණි. එය ඊට පෙර 1980 ඉතාලියේ පැවැති ගිෆෝන් චිත්‍රපට උළෙලේ හොඳම ළමා චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර සම්මාන ලැබීමෙන් පසුවය. සරසවිය, ඕ.සී.අයි.සී. ආදී සම්මාන උත්සව කිහිපයකදීම ‘හඳයා’ සම්මාන ලැබුවේය. හඳයා අධ්‍යක්‍ෂණය, තිර කතාව මෙන්ම සංස්කරණය ද ටයිගේය.  


හඳයා කළු සුදු චිත්‍රපටයකි. එම චිත්‍රපට උළෙලේ තරගකාරී චිත්‍රපට තිබුණේ වර්ණයෙනි. හඳයා එම විනිශ්චය මණ්ඩලය නරඹා තිබුණේ ඉංග්‍රීසි උපශීර්ෂ ද නොමැතිවය.  


“මම මේ උත්සවේටවත් සහභාගි වුණේ නෑ. සහභාගි වුණා නම් කියයි සල්ලි ටිකක් දීලා කාව හරි අල්ලගෙන සම්මානෙ මට කරකව ගත්තා කියලා” ටයි සම්මානය ගැන කීවේ එසේය.  


“පසුගිය කාලයේ අපේ ඇතැම් චිත්‍රපටකාරයො විදේශ චිත්‍රපට උළෙලවලට සහභාගි වෙලා එහිදී කාටත් ලැබෙන සහභාගි වීමේ සහතිකය උඩ නිදාගෙන ලෝකය පෙරළුවා වගේ කෑ ගැහුවා. මගේ හඳයාට ලැබුණේ ජාත්‍යන්තර තරගකාරී උළෙලක පළමුවැනි ස්ථානය” ඔහු කීවේය.  


ඔහු ඊළඟට කියා සිටියේ හඳයා දෙවැනි පරිච්ඡේදයට සූදානම් වන බවය.  


“හඳයා දෙවැනි පරිච්ඡේදය වර්ණයෙන් කිරීමටයි මගේ බලාපොරොත්තුව. කළු-සුදුවලින් කරන එක ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. ඒත් ඉතාලි චිත්‍රපට උළෙලේදී මට තේරුම් ගියා හඳයා වර්ණයෙන් තිබුණා නම් එහි අගය වැඩිවෙන්නට තිබුණා කියලා. මට කළු-සුදු නෙගටිව් අඩි 80,000ක් ලැබිලා තියෙනවා. ඊට වඩා අඩු ප්‍රමාණයකින් හරි මේ චිත්‍රපටය වර්ණයෙන් කරන්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”   


“මගේ මේ නිර්මාණය හඳයා අංක 2 හැටියට හඳුන්වන්න කැමැති නෑ. මොකද එන්ටර් ද ඩ්‍රැගන්, ඩ්‍රැගන් කම්ස් අගේන් වගේ හඳයා සීරීස්  එකක් හදන්න මගේ බලාපොරොත්තුවක් නැති නිසා.”


“හඳයා පවුලේ ළමයි දැන් දැලි රැවුල් එන වයසට පත්වෙලා. පියා සුරාව අත්හැරලා. මේ කාලය ඔවුන් හැමදෙයක්ම විමසිල්ලෙන් විවේචනාත්මකව බලන කාලයක්. මේ පිරිස හා පියා අතර ඇතිවන පිය පුතු අරගලය ‘හඳයා’ දෙවැනි පරිච්ඡේදයෙන් සාකච්ඡා කෙරෙනවා.”  


ටයි මහත්තයා දැඩි ප්‍රබෝධයකින් යුතුව එම අදහස් ප්‍රකාශ කළ ද ‘හඳයා’ කළු-සුදු චිත්‍රපටය ඔහුගේ අවසන් චිත්‍රපටය විය. ඔහු ඉන් පසුව රූපවාහිනියටත් ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වූයේය.  


ටයි මහත්තයා චිත්‍රපටවලටත් වඩා ජනතාව හා දරුවන් අතරට ගියේ රූපවාහිනිය ඔස්සේ බව විටෙක සිතෙයි. ඒ, ඔහුගේ හඬ කැවූ රූපවාහිනී නිර්මාණ තවමත් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන බැවිනි.  


එහෙත් ටයිටස් තොටවත්ත නමැති කෘතහස්ත සිනමාකරුවා රූපවාහිනියට යට වී ගියේය. හඳයා දෙවැනි පරිච්ඡේදය ඔහුට මඟ හැරෙන්නට එය ද හේතුවක් වන්නට ඇතැයි සිතමි.

රොඩ්නි විදාන පතිරණ