ජෝතිගේ අපූරු රෝහල් ගතවීම


ජෝතිපාල කලාකරුවා අප අතරින් වෙන්ව ගොස් අවුරුදු 34කට ආසන්නය. 1936 පෙබරවාරි 12 වැනි දින උපන් ඔහු මෙලොව හැර ගියේ 1987 ජුලි 07 වැනිදාය.


ජෝතිට බෙහෙවින් ආදරය කළ, ජෝතිගේ ජනප්‍රිය ගීත ගණනාවකට තිරයේ රැඟුම් පෑ විජය කුමාරතුංගයන් ජෝතිගේ අභාවයේ දී ශ්‍රී ලංකාවේ නොසිටියේය. එය ඔහුගේ සිත බෙහෙවින් පෑරුණු කරුණක් බව ජෝති වෙනුවෙන් කළ කතාවක දී විජය සඳහන් කළේය.


කෙසේ වුවද අද ද ජෝති ජීවත් වෙයි. ඔහුගේ ගීතයක් නොඇසෙන වෙලාවක් නොමැති තරම්ය. නවක ගායකයන්, සංගීත කණ්ඩායම් ජෝතිගේ ගීත නොගයන අවස්ථාවක් නොමැති තරම්ය.


පුවත්පත් සාකච්ඡාවකට අප එකල ජෝති සොයා යනවිට ඔහු කීවේ “අපි ඉතින් පීචං ගායකයොනෙ මල්ලි” කියාය. එහෙත් ඔහු සාකච්ඡාව දුන්නේය.


එ් ජෝතිගේ ගීත ගුවන් විදුලියේ තහනම් කළ යුගය විය. ඔහු හින්දි අනුකාරක ගී ගායනා කිරීම ගීත තහනමට හේතුව ලෙස දැක්විණ. ඒ කාලයේම එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතද තහනම් කෙරිණි. ඒ ඒවා බයිලා නිසා බවය.


දැන් මෙන් ගුවන් විදුලි රූපවාහිනී නාළිකා ගණනාවක්, යූ ටියුබ්" ඉන්ටර් නෙට් ආදිය නොතිබුණු ඒ කාලයේ ගුවන් විදුලියෙන් ගීත තහනම් කිරීම යනු එම ගායකයාගේ හෝ ගායිකාවගේ අභාවය විය.
මේ නිසා ආණ්ඩු මාරු වූ හැම විටෙකම බලයට පත් පක්ෂයට උදව් කළ අයගේ ගීත (හොඳ වුවත් නැතත්) වැඩියෙන් ප්‍රචාරය කළ අතර එම පක්ෂයට විරුද්ධ වූවන්ගේ ගීත තහනම් කෙරිණි. එහෙත් ජෝති මේ කිසිවක් තඹයකට ගණන් නොගත්තේය. ශ්‍රීලනිප රජයෙන් එකල ජෝතිගේ ගීත තහනම් කළ බව දැනගත් මොහොතේම මම ජෝති සොයා ගියෙමි. ඔහු සුපුරුදු ලෙසින්ම මා සුහදව පිළිගත්තේය. “ජෝති අයියගෙ සින්දු තහනම් කරල නේද” මම ඇසුවෙමි.


ජෝති ඊට උත්තර දුන්නේ තනි වැකියකිනි. “මගෙ සින්දු තහනම් කරල මට මොකක් කරන්න ද මල්ලී” ඒ පිළිතුර මීට වඩා කර්කශ විය. එය මෙහි සඳහන් කළ නොහැකිය.
“මට රෙකෝඩින්වලින් කිසිම අඩුවක් නෑ. ෂෝස් අඩුවකුත් නෑ. මම ඊයේ රෑත් රෙකෝඩින්. අදත් තියෙනවා” එක් අතකින් ගීත තහනම ඔහුට වාසනාව ගෙන ආ බව මට සිතෙයි.


ගාමිණී ෆොන්සේකා නම් රංගවේදියා වරක් පැවැසුවේ දක්ෂයන් කපන්න කපන්න ලියලන බවයි. ඔහු ඊට උදාහරණයක් ද දෙන්නේය. “හරියටම අනන්ත නම් නාගරාජයා වාගෙ” ජෝති ද කපන්න කපන්න ලියලා දලු දමා වඩාත් පැහැබර විය.
ටජ් මහලක්, දිය පොදක්, මල් පිබිදෙන ආදී ස්වතන්ත්‍ර මිහිරි ගීත ගණනාවක් ජෝතිගෙන් බිහි වුණේ ඒ කැපිල්ලේ ප්‍රතිඵල අනුවය.


එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා වූ (දැනුදු) ජෝති සංදර්ශනවල දී උත්සවවල දී හොඳින් හැඳ පැලඳ ගිය ද මාලිගාවත්ත මහල් නිවාසයේ එහේ මෙහේ ඇවිද්දේ බතික් සරමකින් සැරසීය. ඇඳුම් පැලඳුම්වලින් ඔහුට රසික ආකර්ෂණය දිනා ගැනීමට වුවමනා නොවුණා විය හැකිය. ඔහුට උලත් පිලත් එක විය.
ජෝතිට තම හිතවතුන් හඳුනා ගැනීමේ දී තැනක් නොතැනක් නොවීය. මහ රජ මැදුරේ දී ප්‍රභූවරුන් අතර දී ඔහු දැකගන්නට ඔහුගේ අත්සන ලබා ගන්නට රසිකයන් පොරකන අවස්ථාවක දී පමණක් නොව මහ පාරේ දී දැක්කද ඔහු තම හිතවතුන්ට කතා කළේය. සිනාසුණේය. අත වැනුවේය. වරක් මම ගාමිණී ෆොන්සේකා හමුවන්නට වෝඩ් පෙදෙසේ ඔහුගේ නිවසට ගියෙමි. (එකල ගාමිණී හිටියේ වෝඩ් පෙදෙසේය.) මා එහි යනවිට ජෝතිද පැමිණ සිටියේය. ඒ ජෝති රාත්‍රියට ගාමිණීට ආරාධනා කරන්නටය.
බොහෝ අවස්ථාවල දී ඉංග්‍රීසියෙන් කතා කරන ගාමිණී ජෝති සමග කතා කළේද ඉංග්‍රීසියෙනි. ජෝති ඉංග්‍රීසි භාෂාව හසුරවන්නේ ඉතා චතුර ලෙසිනි. ඔහු මා දුටු විගස කීවේ ළඟ දී ගිය එතෙර සංචාරයේ දී ඔහුට පාප් වහන්සේ හමු වූ බවය. “වෙලාවක එන්න. මා ළඟ පින්තූර ඔක්කොම තියෙනවා. මා අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූ මුල්ම චිත්‍රපටය වූ “ශිල්ප දෙනු මැන” සඳහා ජෝතිගේ ගීයක් යොදන්නට මමත් නිෂ්පාදක සීවලී වික්‍රමආරච්චිත් තීරණය කළෙමු.


එය මංගල සාදයක ගැයෙන්නක් වූ අතර එම ගීතයට පමණක් ආගන්තුක චරිත නිරූපණයක් සඳහා විජය කුමාරතුංගයන්ට ඇරයුම් කළෙමු. චිත්‍රපටයට එන්නේ වසන්ති චතුරාණිගේ සහ අමරසිරි කලංසූරියගේ මංගල සාදයක් ලෙසයි. මංගල සාදයට එන විජය එම ගීය ගයයි.
එම ගීතය පටිගත කිරීම පිළිබඳ කතාබහ කරගන්නට මා ජෝති හමුවන්නට මාලිගාවත්ත මහල් නිවාසවලට ගිය ද ගෙදරින් මට කීවේ ජෝති රෝහල් ගතවී ඇති බවයි.
“හරි වැඩේ ට්‍රැක්ස් කරලත් ඉවරයි. ඉක්මනට වොයිස් කරල විජයගෙන් ෂූටින්වලට ඩේට් එකක් ගන්න ඕනෑ..” මම මඳක් බිඳුණු හඬෙන් කීවෙමි.


“නෑ නෑ ඔයා ජෙනරල් හොස්පිට්ල් එකට ගිහින් ජෝතිව මුණ ගැහෙන්නකො” වාට්ටුවේ නොම්මරය ද මට ලැබිණ.


මම ජෝති මුණ ගැහෙන්නට මහ රෝහලට ගියෙමි. එවිට උදේ දහයමාර පමණ විය. ජෝති වාට්ටුවේ නැත. (එය ගෙවන වාට්ටුවකි)


“ජෝති අයියා දැන් හිටියා. පොඩ්ඩක් කොහෙට හරි යන්න ඇති”යි. වාට්ටුවේ සේවකයකු කියනවාත් සමගම ජෝති කිසියම් පාර්සලයක් අතැතිව සරමකින් හා කමීසයකින් සැරසී වාට්ටුවට එමින් සිටියේය.
ඔහු රෝගීව සිටින බවක් නම් නොපෙනිණි.


“මම ඊ​යේ රෑ ෂෝවලට ගිහිල්ල දැන් පොඩ්ඩකට ඉස්සරවෙලා ආවෙ මල්ලි”
“සනීප නැත්නම් ෂෝවලට යන්නෙ මොකට ද?”
“නෑ මල්ලි මට ඩොක්ටර්ල බොන එක වහාම නවත්තන්න කියල තියෙන්නේ. දවල්ට ගෙදර ඉන්න කොට දන්නැද්ද යාළුවෝ එනවා. එතකොට බොන්න වෙනවා. ඒ හින්ද මම හොස්පිට්ල් ඇඩ්මිට් වුණා. රෑට ෂෝවලට යනවා.”
ඒ නම් අපූරු රෝහල් ගතවීමකි. මං මගේ කාරණය පැහැදිළි කළ විට ඔහු කීවේ “මල්ලි ඩේට් එක දාගෙන මට හොස්පිට්ල් එකට වාහනයක් එවන්න. එච්චරයි”
“අනිද්දා නම් ස්ටුඩියෝ එක තියෙනව කියල කිව්වා.”
“එහෙනං දාගන්න උදේ දහයට.”
“ජෝති අයියගෙ ෆී එක..”
“මල්ලිගෙන් මොන සල්ලි ද මල්ලි. මට වාහනයක් විතරක් එවන්න”
“එහෙම නෙමෙයි ඒක හරි නෑනෙ. ජෝති අයියගේ ෆී එක කියන්නකො”
“මං දන්නෑ මල්ලි දසේගෙන් අහන්න” කතාව එතැනින් නිම විය.


පටිගත කිරීම සඳහා සියල්ල සූදානම් කර යළි මම පෙරදින ජෝති හමුවීමට රෝහලට ගියෙමි. එවිට ඔහු යළි මහල් නිවාසයට ගොස් තිබුණේය.


රාත්‍රී සංදර්ශනවලට යන ජෝති දවාලට රෝහල් ගත වී දින කීයක් සිටියාදැයි මම නොදනිමි. එහෙත් ඔහු මධු විතෙන් මිදෙන්නට තෝරා ගත්තේ රෝහල්ගතවීමය. එමෙන්ම එය කොතරම් දුරට සාර්ථක වුවාද කියා ද නොදනිමි.


කෙසේ වුවද මගේ ගීත පටිගත කිරීම සුපුරුදු ලෙස සිදුවිය. ඔහු ඒ සඳහා සහභාගි විය.
ඔහු පද රචනය කාගේදැයි ඇසුවේ නැත. පදමාලාව, තනුව හෝ සංගීත පටය කලින් ඉල්ලා සිටියේ නැත. සරත් දසනායකයන් තනුව හා සංගීතය නිර්මාණය කරන බව මා පැවැසූ විට ඔහු බෙහෙවින් සතුටු විය. ”දසේ මරු” ඔහු කීවේ එපමණකි.


නියමිත වේලාවට පටිගත කිරීමට යන්නට ජෝති සුදානම්ව සිටියේය.


ශබ්දාගාරයේ දී මම ජෝති අතට මවිසින් ලියන ලද පදමාලාව දුනිමි. (එය කලින් සරත් දසනායකයන් විසින් බලන ලද අතර තනුවට හරියටම ගැළපිණ) එය දුටු සරත් දසනායක ඈත සිටම මාදෙස බලා කෑ ගැසුවේය.
“උඹගෙ ඔය කුරුමිණි අඬු ජෝතිට හරියන්නේ නෑ. සිංදුව ලියපන් පොල්ගෙඩි අකුරෙන්.” ජෝතිට ගීත රචනාව දීමේ දී විශාල අකුරෙන් ගීතය ලිවිය යුතුය. එනිසා ගීතය මම පිටු තුනකම පොල්ගෙඩි අකුරෙන් ලීවෙමි.
“මේක සෑඩ් මූඩ් ද හැපී මූඩ් ද මල්ලී” ගීතය එහෙන් මෙහෙන් බැලූ ජෝති මගෙන් ඇහුවේය. ජෝතිට එය නොවැටහුණා නොවේ. එය ගීත රචකයා ලවා යළිත් තහවුරු කර ගැනීමකි. ඔහුගේ නිහතමානීත්වයයි. මේක වෙඩින් සෝන්ග් එකක්නෙ හැපී මූඩ්” මම කීවෙමි.


“රයිට්” සරත් දසනායක සර්පිනාව වාදනය කර ජෝතිට තනුව පැහැදිලිකර දුන්නේය. ඔහු වරක් හෝ දෙවරක් දසේගේ සර්පිනා වාදනය සමග ගීතය ගැයුවේය.
“හරි ට්‍රැක් එක දාන්න ට්‍රැක් එක දාන්න” ජෝති කෑ ගැසුවේය.
සංගීත පටය වාදනය කෙරිණි. මා ලියූ ගීතය ජෝතිගේ ළයාන්විත ගැඹුරු හඬින් ශබ්දාගාරය පුරා විහිදෙන්නට විය.


“සුවඳ රොන් සුනු සැලී
බඹර ගුම් නද නැගී
මංගලම් ජය මංගලම්
සුබ මංගලම් වේවා...”


“කවුද මල්ලි මේක ෆිල්ම් එකේ කියන්නේ” ජෝති ගීතය ගයා අපමණ සතුටින් යුතුව මගෙන් විමසීය.
“විජය”


“ෂා නියමයි මල්ලී. එහෙනම් ෂුවර් එකටම හිට් වෙයි”


චිත්‍රපටයේ රූ ගත කිරීම්වලට කෙටි කලකට පෙර නොසිතු නොපැතූ ලෙස විජය ඝාතනය කෙරිණ. එනිසා විජයගේ රූගත කිරීම අවලංගු කිරීමට සිදුවිය. ගීතය චිත්‍රපටයෙන් ඉවත් විය.


බොහෝ කරදර මැද “ශිල්ප දෙනු මැන” රූගත කර දෙබස් පටිගත කළ ද එය නිම කිරීමට නොහැකි විය. ජෝතිගේ ගීතය ඇතුළු ගීත තුන පමණක් අන්තිමට ඉතිරි විය.


පසුකලෙක යළි චිත්‍රපටයේ වැඩ කටයුතු අරඹන්නට සිතා මා දළුගම සරසවි චිත්‍රාගාරයට ගොස් දළ සේයාපට ගැන සොයා බලද්දී ඒ සියල්ල නිසි කළමනාකරණයක් නොමැති කමින් විනාශ වී තිබිණ. ඉතිරිව තිබුණේ එකට ඇලී දියර බේරෙන කෑන් පමණකි. සරසවි චිත්‍රාගාරයේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත වී තිබීමත් පැරණි චිත්‍රපටවල නෙගටිව් පට සංරක්ෂණය කිරීමට නිසි මගපෙන්වීමක් හෝ ක්‍රමවේදයක් නොමැති වීමත් මීට හේතුව විය. පොසිට්ව් පට හා ශබ්ද පට අඩංගු කබඩ් එක වහලෙන් වැස්සට තෙමීම නිසා ඒ සියල්ල ද විනාශ වී තිබිණ. චිත්‍රපටය විනාශ වී ගිය බව දැන ගත් මා එදින යළි සරසවි චිත්‍රාගාරයෙන් ආපසු හැරී ආවේ අතිශය ළෙන්ගතු මිතුරකුගේ මළගමකට ගොස් එනවිට දැනෙන අතිශය ශෝකාකුල හැඟීමෙන් යුතුවය. අද ද සරසවි චිත්‍රාගාරය දකින විට විනාශ වී ගිය මගේ මුල්ම චිත්‍රපටය සිහිපත් වී දැඩි කනගාටුවක් දැනෙයි.
ලෝකයේ මුල්ම යුගයේ නිහඬ චිත්‍රපට පවා සංරක්ෂණය කර තිබිය දී මේ ශ්‍රී ලංකාවේ වසර දහයක පහළොවක නෙගටිව් පටයක් පොසිටිව් පටයක් ශබ්ද පටයක් ආණ්ඩුවේ චිත්‍රාගාරයක දී පරිස්සම් කර ගත නොහැකි නම් එවැනි රටක සිනමාවේ දියුණුව ගැන කවර කතා ද? එහෙත් සිනමාව රැකගන්නට සිනමාවෙත් ඉන් පිටතත් හඬ තළන්නන් බොහොමයකි.

 

 

රොඩ්නි විදානපතිරණ