ජීවීන් සිටින ග්‍රහලෝක ගැන බුුදු හිමියන්ගේ මහා හෙළිදරව්ව


 

මේ පෘථිවි ග‍්‍රහ ලොව ආදී සක්වළ පමණක් නොව මුළු චූලනිකා සහස්සී ලෝක ධාතුව පුරාම වාසය කරන තවත් ජීවී කොට්ඨාසයක් පිළිබඳව බුද්ධ දේශනයේ මැනැවින් සඳහන් කරයි. මනුෂ්‍යයාගේ පියවි ඇසට හසු නොවෙන මේ ජීවී කොට්ඨාසය දුගති ගණයේලා සැලකෙන සතර අපායෙන් එකකට වැටේ. නිරය, තිරිසන්, අසුර, දුගති ගැන අපි පසුගියවර කතා කළෙමු. මේ ලෝකයේ පමණක් නොව ලෝක ධාතු සියල්ලේම වාසය කරන පේ‍්‍රත ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පුළුල් අදහසක් දේශනා කර ඇත.   

 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අදෘෂ්‍යමාන ලෝක වලින් ප්‍රේත ලෝකය බුද්ධ කාලීන මහ රහතන් වහන්සේලාගේ පියවි ඇසට හසුවිය. මුගලන් මහ රහතන් වහන්සේ, ගිජුකුළු පව්ව බසින විට දුටු ප්‍රේතයන් පිළිබඳව දහම් සභාවේ දීර්ඝව සාකච්ඡා කෙරුණු බව පෙනේ. 


අපේ ගෙවල් දොරවල්වල, අඟුපිල්වල, මංමාවත්වල, අපිරිසිදු ස්ථානවල මේ සෑම සියලු තැනකම පාහේ ප්‍රේතයෝ වෙසෙත්. ඔවුහු දහස් ගාණක් සිටියද පියවි ඇසට නොපෙනෙති. දුටුවොත් බියවී නූල් බඳින්නට සිදුවෙත්. ඒතරම් විරූපී, බයංකර, රූපයක් ප්‍රේතයන්ට තිබෙන බව කියැවේ. 


ප්‍රේත ලෝකය අපායේ කොටසක් බැවින් එය පහතාකාරයට විස්තර කළ යුත්තේය. 


අපාය වචනය තුළින් ගම්‍ය වන්නේ යහපතින් පිරිහීම, ශාන්තිය හා දියුණුව පිරිහීම, අභිවෘද්ධිය පිරිහීම, ආලෝකය පිරිහීම වැනි අදහසකි. 


මජ්ඣිම නිකායේ අට්ඨ කතාවට අනුව දුග්ගති, විනිපාත, නිරය, අධම, පාතාල යන වචන ද අපාය හැඳින්වීමට යොද‌ා ගැනෙයි. ඒ වචන තුළම ඇත්තේ ගොඩට ඒම වැසී ගිය අඳුරකි. 


අපායට ඇද වැටීමට හේතු ද මජ්ඣිම නිකාය විස්තර කර දෙයි. එයින් ප‍්‍රධාන හේතු දෙකක් වෙන් කොට ගත හැක්කේය. 


අධම්ම චරියා විසම චරියා හේතු...... 
අපායං දුග්ගතිං විනිපාතං 
නිරයං උප්පජ්ජන්ති 


ඒ අනුව අධර්ම චර්යාව හෙවත් ධර්ම විරෝධීව යාම සීල, සමාධි, ප‍්‍රඥාවෙන් තොරව කටයුතු කිරීම මේ සතර අපායට වැටීමට හේතුය. 


ඊළඟට විසම චර්යාව හෙවත් හිතාමතාම වැරදි වැඩෙහි යෙදීමය. යා යුතු මඟ දැන ගෙන පෙර අසා ගෙන තිබියදී වැරදි ම​ෙඟහිම ගමන් කිරීමය. 


එවැනිහු මරණින් මතු ප්‍රේත, නිරය, තිරිසන් ආදී දුගතියට යන බව මතක තබා ගත යුත්තේය. 


තිරිසන් සත්වයන්ටත් වඩා අතිශය බියකරු, විරූපී, අපිරිසිදු ජීවිත රටාවක් ප්‍රේතයන්ට ඇත්තේය. අප එදිනෙදා වෙසෙන සමාජයේදී නෑමක් නොකරන, වැරහැලි අඳින, ගඳ ගසන, කොණ්ඩා නොපීරා, දත් නොමදින මිනිස්සු ප්‍රේත වචනයෙන් සමහරු හඳුන්වති. සැබැවින්ම ඔවුන්ටත් වඩා දහස් ගුණයකින් ප්‍රේත ලෝකය දුගතියකි. ප්‍රේතයන් වී ඉපදීම ඊළඟ භවය තුළ මේ මනුෂ්‍යයන් අතරින් කීදෙනකුට උරුම විය හැකි ද? චුති සිත දුර්වල වීමත්, ඉහත කී අධර්ම චර්යාවේ හා විසම චර්යාවේ යෙදීමත් නිසා සමහරුන් ප්‍රේත ලෝකයට වැටේ. 


බුද්ධ දේශනය අනුව අප කතා කරන ප්‍රේත ලෝකයට අමතරව ‘‘ප්‍රේත’’ යනුවෙන් මියගිය තැනැත්තා පොදුවේ හඳුන්වති. 


පාංශුකූල අවස්ථාවේදී මියගිය ඥාතියාට පුණ්‍යානුමෝදනා කරද්දී 
‘‘යථාවාරී වහා පුරා’’ ගාථාවේ ‘‘පේතානං උපකප්පති’’ යනුවෙන් සඳහන් කරන්නේ මරණයට පත් වූ තැනැත්තාය. ඔහු මියගොසින් දිව්‍ය ලෝකයේ ඉපදුණ ද, අපායේ ඉපදුණ ද, බ‍්‍රහ්ම ලෝකයක හෝ මනුෂ්‍ය භවයක ඉපදුණ ද හේ ‘‘ප්‍රේත’’ ගණයෙහි සලකයි. එතැනදී මේ වචනය ගොඩනැගී ඇත්තේ 
ප‍්‍ර-ඊත-පේත යන අදහසිනි. එනම් මේ ලෝකය අතහැර ගිය තැනැත්තා යන ලෙස ගනිමිනි. 


නමුත් ප්‍රේත ලෝකය නමැති අපාය පිළිබඳ දේශනාවේදී භයානක ප්‍රේත ලෝක හතරක් පිළිබඳව අට්ඨ කතාව කරුණු කාරණා මතුකර දෙයි. 


එනම්: 
1. නිජ්ඣාම තණ්හික 
2. බුප්පිපාසක 
3. පාංශු පිසාච 
4. පරදත්තූප ජීවී 


මෙහි නිජ්ඣාම තණ්හිත ප්‍රේතයන්ගේ මුළු ශරීර අභ්‍යන්තරයම ගිනි ගනියි. ඉන්පසු ශරීරයේ බාහිරයද පිච්චේයි. පිච්චි පිච්චීම ඉවරක් නොවෙයි. මුළුමනින්ම පිච්චුණ ද නොමැරෙයි. කර්මය ගෙවනතුරු නොමැරීම පිච්චෙයි. ඔවුහු වේදනාව ඉවසා ගත නොහී දඟලයි. දුවයි. උදවු ඉල්ලයි. එහෙත් කර්මය සියල්ලට වඩා බලවත්ව ඇත. ඔවුන්ගේ වචනයක්වත් අපට ඇසෙන්නේ නැත. මේ ලෝක ධාතුව පුරාම මෙවැනි ප්‍රේතයන් කෝටි ප‍්‍රකෝටි ගණනකි. 


ප්‍රේත ලෝකයේ දෙවැනි කාණ්ඩය බුප්පිපාසකයෝය. ඔවුන්ගේ ආහාර හැටියට බුද්ධ දේශනය සඳහන් කරන්නේ කෙළ, සෙම, සොටු, මළ මුත‍්‍රාදී අපවිත‍්‍ර දෑය. එහෙත් බුප්පිපාසක ප්‍රේතයන්ට ආහාර පිණිස ඒවාවත් නොලැබේ. අවුරුදු දහස් ගණන් ආහාර නැතුව වතුර පොදක් නැතිව දුක් විඳින්නට සිදුවේ. 


මේ බුප්පිපාසික ප්‍රේතයන් තමන් දුටු බව දිනක් ආනන්ද හිමියෝ දම් සභාවේදී බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කළහ. 
ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක භික්ෂුවය. උන්වහන්සේ රහත්ව නොසිටි පෘථග්ජන භික්ෂුවකි. 


දිනක් ආනන්ද හමුදුරුවෝ ගොම්මන් වේලාවක මහ වනයක් මැදින් ‘තනි පංගලමේ’’ වැඩම කළහ. වන මැද මනරම් වූ දිය පිරි විලකි. 


උන්වහන්සේ විලට ළං වී පාත‍්‍රයට පැන් පුරවා ගත්හ. පාත‍්‍රයට පැන් පුරවා ගත් වෙලාවේ පටන් උන්වහන්සේට එතැනින් ඉවතට යන්නට නොදෙයි. 


‘‘ස්වාමීනි නවතින්න... මටත් තිබහයි. මට වතුර ටිකක් පොවා යන්න’’ හඬක් නැගෙයි. 


ආනන්ද හාමුදුරුවෝ වටපිට බැලූහ. කිසිවෙක් මේ වන මධ්‍යයේ පේන්නට නැත. පිටත් වන්නට හදන විටම මේ හඬ ඇසෙයි. දෙතුන් විටක්ම ඇසුණු නිසා ආනන්ද හාමුදුරුවෝ ප‍්‍රතිඋත්තර දුන්හ. 


‘‘මම රහත් ඵලයට පැමිණි භික්ෂුවක් නොවෙමි. මට ඇහෙන්නෙ හඬ විතරයි. මට දර්ශනය වෙන්න.’’ 


එසේ කී විටම විල ළඟ තිබුණු ගලක් දෙකට පැලී ගල් පතුරක් ලෙස ඉවත් වී ප්‍රේතයෙක් මතුවිය. 


මේ ප්‍රේතයාගේ එක ඇසක් මනුෂ්‍ය ඇසකි. අනෙක් ඇස ගිනි ජාලයක් මෙනි. කකුල් ඉරටු මෙනි මුළු ශරීරයම විකෘති ස්වභාව ඇත්තේය. 


‘‘ස්වාමීනි මට වතුර ටිකක් බොන්න ඕනෙ.... තිබහයි. වතුර බීපු කාලයක් මට මතක නෑ’’ 


‘‘ඉතින් ඔබ ඉන්නෙ බොහෝ වතුර තියන විලක් ළඟනෙ. ඇයි වතුර බීපු කාලයක් මතක නෑ කියන්නෙ’’ 


‘‘ස්වාමීන් වහන්ස, මම බුප්පිපාසක ප්‍රේතයෙක්. මේ ප්‍රේත ලෝකයට වැටිලා අවුරුදු දහස් ගණනක් වෙනවා මේ කාලෙම හිටියේ ගලට හිරවෙලා. අනේ මට වතුර ටිකක් පාත‍්‍රයෙන් කටට හලන්න.’’ 


ආනන්ද හාමුදුරුවෝ ප්‍රේතයාගේ ළඟට ළං වී පාත‍්‍රයෙන් කටට වතුර ටිකක් වත් කළහ. පුදුමයකි. කටට වැටෙන වතුර උගුරෙන් පහළට නොවැටෙත්. උගුරේ මහ වණයක් මෙන් සිදුරක් මතු වී වතුර මහ පොළොවටම පෙරෙයි. දිය බිඳුවක්වත් කුසට නොවැටෙයි. 


මේ බුප්පිපාසක ප්‍රේතයා පිළිබඳව දම් සභා මණ්ඩපයේදී ආනන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ. 


ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ, 
‘‘ආනන්ද... ඔය ප්‍රේත ආත්මය මාත් දැක තිබෙනවා. ඔහු ප්‍රේත ආත්මයට වැටීමට හේතු පාපකර්මය ඔබලාට කියමි. 
මේ ප්‍රේතයා පෙර මනුෂ්‍ය අාත්ම භාවයක ඉතා සැපදායී ජීවිතයක් ගෙවූ අයෙක්. ඔහු ජීවත් වුණු ප‍්‍රදේශයේ විශාල ජල හිඟයක් ඇති වුණා. ගමේ සියලු දෙනාම පිපාසයට දිය නැතිව බොහෝ අසරණ වුණා. මේ ගමේ දිය ඉතිරි වුණු එකම ළිඳ තිබුණේ මේ මනුෂ්‍යයාගේ ගෙදරයි. ඔහුට ඇතිවන්නට ළිඳේ දිය පිරී තිබුණා. 


ගමේ මිනිස්සු ඔහුගේ නිවසට ඇවිත් දිය ඉල්ලා සිටියත් තමන්ට ජලය නැතිවේ යැයි බිය නිසා ඔහු ජලය දුන්නේ නෑ. 
අවසානයේ මේ මනුෂ්‍යයා මියගොස් උපන්නේ බුප්පිපාසක ප්‍රේත ලෝකයේයි. එයට වැටුණු දවසේ පටන් මේ ප්‍රේතයාට කන්නට නෑ. බොන්නට නෑ. මේ නුව​ෙරහි වනයේ විශාලම දිය පිරි විල ළඟ ජීවත් වුණත් දිය බොන්න වාසනාව ඔහුට නැති වුණා. කටට වැටෙන වතුර පොද උගුරින් පහළට වැටෙන්නේ නෑ. මේ නිසා වතුර දැක දැක ඔහු හූල්ලනවා. වතුර ඉල්ලා කෑ ගසනවා. වේදනා විඳිනවා. පින්වත් ආනන්ද, තමන්ට යහමින් තියෙද්දී අනුන්ට ආහාර ස්වල්පයක් නොදෙන, ජලය ස්වල්පයක් නොදෙන මනුෂ්‍යයන් මරණින් මතු උපදින්නේ මේ බුප්පිපාසක ප්‍රේත ලෝකයේයි. මනුෂ්‍ය ආත්මය අවුරුදු 80-100යි. නමුත් ඔවුන් කරගත් පාපකර්ම අවුරුදු ලක්ෂ ගාණක් මේ ප්‍රේත ආත්මවලට වී දුක් විඳිනවා. ඒ නිසයි මේ භයංකර සසරින් එගොඩ විය යුතුවන්නේ’’යි වදාළහ. 


මෙවැනි ප්‍රේතයන් මේ සහස්සී ලෝක ධාතුව පුරාම වාසය කරන බව බුද්ධ දේශනාවයි. එහෙත් මනුෂ්‍ය ඇසට දර්ශනය නොවේ. ඇතැම් විට ඔවුන්ගේ හඬ අපට ඇසෙයි. 

මගපෙන්වීම: මාලබේ අරංගල ශ්‍රී ශෛල්‍යාරාමාධිපති විචිත‍්‍ර ධර්ම කථික රාජකීය පණ්ඩිත ආචාර්ය
ඇත්කඳුරේ සුමනසාර හිමි 


සටහන:
අසංක ආටිගල