ජාතිවාදයට මුවාවී නැගෙනහිර පළාතේ ඉඩම් කොල්ලයක්


අනාවරණ

අත්පත්කර ගැනීමට එළිපෙහෙළි කළ ඉඩම්

 

 

කොටි ත්‍රස්තවාදය උතුරු නැගෙනහිර දෙපළාතේ ක්‍රියාත්මක වෙද්දී නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදය තැනින් තැන පටන් ගත්තේද යුද සමයේදීමය. පොතුවිල්, කෝමාරි, තිරුක්කෝවිල්, අක්කරපත්තු, නින්දවූර්, සයින්දමරුන්දු, කල්මුණේ, මරුතමුණේයි, කාත්තන්කුඩි, මඩකළපුව, චෙන්කලඩි, ඔඩ්ඩමාවඩි දක්වා මුහුදු තීරයේ ඇති නගරාශ්‍රිතව වැඩිපුර ජීවත්වන්නේ මුස්ලිම් ජන ප්‍රජාවයි. 


වෙළෙඳ ආර්ථිකය මුළුමනින්ම ඔවුන් සතු අතර කල්මුණේ සිට කාත්තන්කුඩි දක්වා දුර කිලෝමීටර් 35කි. පොතුවිල් සිට කල්මුණේට දුර කිලෝමීටර් 69කි. යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොකරන තැනට බලපෑම් කළ බව නොරහසකි. හර්තාල් ඇතිකරමින් කඩසාප්පු වසා දමා, රාජ්‍ය ආයතනවල සාමාන්‍ය රාජකාරීවලට බාධා කරමින්, ප්‍රවාහන සේවා අඩාළ කරමින් ඔවුහු හැසිරුණෝය. 


ඒ අතර කොටින්ගේ කනින් රිංගා සාමාන්‍ය නීතියට අභියෝග කරමින් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ ද උපරිම සහාය ලබා ගනිමින් රාජ්‍ය සේවයට ම අභියෝග කරමින් ක්‍රියා කළ පිරිස් විවිධ කල්ලි අනුව ක්‍රියාකළ බව නොරහසකි. 


ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් වැඩි දෙනෙක් සුන්නතුල් ජමාද්වරුය. අල්කුරාණයේ සහ නබිනායකතුමාගේ ඉගැන්වීම් ඇදහීම කර ගනිමින් ඔවුහු ක්‍රියාකරති. ඉන්දියාවේ පී.ජේ. සෙයිනුල් ආබ්දීන් නම් මව්ලවිවරයා සුන්නතුල් ජමාද්වරුන්ගේ විශ්වාසයන් අභියෝගයට ලක්කරමින් තව්හීද් ජමාද් විශ්වාසයන් නමින් අලුත් දර්ශනයක් උගන්වන්නට විය. ලංකාවේ මුස්ලිම් පවුල්වල තරුණ කණ්ඩායම් සෙයිනුල් ආබ්දීන් මව්ලවිවරයාගේ ඉගැන්වීම්වලට නැඹුරු වන්නට විය. 


ලෝකයේ වෙනත් ආගමක් නොතිබිය යුතුය සහ වෙනත් ආගමක් අදහන පිරිස් නොසිටිය යුතුය යන සංකල්පය එම ඉගැන්වීම්වල සංක්ෂිප්තය විය. ව්‍යාපාරික, ධනවත් මුස්ලිම් පවුල්වල උගත් තරුණ පිරිස් අතරින් කිහිප දෙනෙක් මේ සංකල්පය ඉක්මනින් වැලඳගත්හ. කොටි ත්‍රස්තවාදය තිබුණු සමයේ දී මුස්ලිම්වරු සිය දෛනික කටයුතු සිදුකරගෙන ගියහ. දෙමළ භාෂාව කතාකිරීම නිසා ඔවුන්ට එය බාධාවක් නොවීය. 


කොටි ත්‍රස්තවාදීන් සහ ලංකාවේ ආණ්ඩුව අතර ඇතිකරගත් සාම ගිවිසුමෙන් පසුව සහ සුනාමි ව්‍යවසනයෙන් පසුව නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රජාව වැඩිපුර ජීවත්වන ප්‍රදේශවලට සෞදි අරාබිය ඇතුළු අරාබිකරයෙන් මුදල් මෙන්ම ද්‍රව්‍යමය ආධාරයන් වැඩිපුරම ලැබෙන්නට විය. 


වෙරළබඩ ජීවත්වී සුනාමියෙන් දේපළ අහිමිව දිවි රැකගත් ජනතාවට නැවත ගෙවල් හදා දෙන්නට ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ලංකාවට පැමිණියේ ය. අලුතින් ගෙවල් හදන්නට වෙරළින් ඇතුළත ඉඩම් අවශ්‍ය විය. මේ විකල්ප ඉඩම් සොයාදෙන්නට ඉදිරිපත්වූයේ දේශපාලනඥයින්ය. විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයෝ මේ අවස්ථාවේ බොරදියේ මාළු බාමින් ඇතැම් රජයේ නිලධාරීන්ද එක්කර ගනිමින් විකල්ප ඉඩම් පෙන්වා දෙමින් කවුරු විරුද්ධ වුවත් සුනාමියෙන් විපතට පත්වූවන්ට ඒවා බෙදා දී ලැබුණ විදෙස් ආධාර හරහා ගෙවල් හදාදී ලකුණු දාගත්තෝය. 


සාම ගිවිසුමෙන් පසු නැගෙනහිර පළාතේ වී ගොවිතැන කරදරයකින් තොරව කරගෙන යන්නට ද හැකියාව ලැබුණි. කුඹුරු ගොවිතැන් කරන්නෝ මුස්ලිම්වරුය. මුස්ලිම් සමාජයේ ද ව්‍යාපාරික හා කෘෂිකාර්මික යනුවෙන් ජීවනෝපායන් කරන කණ්ඩායම් දෙකක් සිටිති. මින් ව්‍යාපාරික ලෙස ගොවිතැන් කරන පිරිසක් සිටිති. ඔවුහු කුලීකරුවන් යොදාගෙන කුඹුරු අස්වද්දති. කුලීකරුවෝ වන්නේ අඩු අදායම්ලාභී මුස්ලිම්වරුය. 


සාම ක්‍රියාවලියෙන් පසු පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රජයේ ඉඩම් අල්ලා ගැනීම අතිශයින් බහුල විය. ඒව බොහෝ විට කූට ලේඛන සකසමින් කළ ඒවා විය. 
පොතුවිල් නගරයෙන් දකුණට වන්නට ආරුගම්බේ පිහිටා ඇත. ආරුගම්බේ වෙරළ තීරය සර්ෆිං ක්‍රීඩාවට ඉතා සුදුසු වෙරළ තීරයක් විය. සුනාමියට පෙර අවිධිමත් ඉදිකිරීම් සුනාමියත් සමගම විනාශව ගියේය. සුනාමියෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය ආරුගම්බේ මේ වනවිට සර්ෆිං ක්‍රීඩාව සඳහා එන සහ සංචාරයට එන විදේශිකයන්ගෙන් බහුල, සංචාරක හෝටල්වලින් පිරුණු වෙරළ තීරයකි. 


නීතිය පසෙකලා හෝටල ඉදිවෙමින් වෙරළ තීරය දකුණට ආක්‍රමණය වෙද්දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මිනිස් භාවිතයෙන් තොර කැලෑ අක්කර විසිපහකින් යුතු කොටසක් රක්‍ෂිතයක් කර මායිම්ගල් යෙදුවේ 2006 සහ 2007 කාලයේය. ඒ එවකට අම්පාර අඩවි වන නිලධාරී ලලිත් ගමගේ, අතිරේක අඩවි වන නිලධාරී රොෂාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ මායිම්ගල් දැමුවේ ලාහුගල අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ය. අම්පාර මහ දිසාපතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් කොළඹ මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතාය. 


මෙයින් ටික කලකට පසු පුද්ගලයින් නව දෙනෙක් පැමිණ එකී ඉඩම් තමන්ගේ බවත් තමන් ඒ ඉඩම් බලපත්‍ර මත ලබාගත් ඒවා බවත් කියන්නට වූහ. එපමණක් නොව බලපත්‍ර කඩදාසි ද පෙන්වන්නටද වූහ. 

 

අත්පත් කරගැනීමට තැත්කළ ආරුගම්බේ ඉඩම 

 

 


පොතුවිල් සින්න උල්ල පදිංචි මොහොමඩ් සමීඩ් අබ්දුල් කාසිම් PP/P3/ES/1617 දරන බලපත්‍ර කඩදාසියෙන් 2001 පෙරවාරි 22 දින අක්කර දෙකක් තමන්ට පවරා ඇති බව පෙන්වා වන සංරක්‍ෂණ නිලධාරීන්ට මායිම්ගල් නොදමන ලෙස බල කළේය. එහි මුද්‍රාව තිබුණේ සිංහලෙනි. 


පොතුවිල් සින්න උල්ල පදිංචි මොහොමඞ් කාසිම් මුස්තාපා PP/P3/ES/1611 දරන බලපත්‍ර කඩදාසිය ඉදිරිපත් කරමින් තමන්ට ද එහි අක්කර දෙකක් හිමි බව කීවේය. එකී බලපත්‍රය ද එදිනම නිකුත් කර තිබූ අතර එහි මුද්‍රාව තබා තිබුණේ දෙමළෙනි. 


අයතු අහමඩ් ලෙබ්බේ පොතුවිල් පදිංචිකරුවෙකි. ඔහු PP/P3/ES/1623 දරන බලපත්‍ර කඩදාසිය පෙන්වමින් 2001 නොවැම්බර් 27 දිනට තමන් මෙම ඉඩම් කොටසේ අක්කර දෙකක් භුක්ති විඳ ආ බව කීවේය. එම බලපත්‍රයේ මුද්‍රාව තිබුණේ ඉංග්‍රිසියෙනි. 


පොතුවිල් 08 ලිපිනයේ පදිංචි මොහොමදු සරීෆ් මොහොමදු ස්මයිල් ද බලපත්‍ර කඩදාසියක් ඉදිරිපත් කරමින් තමන් ද එකී ඉඩම් කොටසින් අක්කර දෙකක් භුක්තිවිඳගෙන ආ බව කීවේය. ඔහු ඉදිරිපත් කර තිබුණේ අංක PP/P3/ES/1619 දරන බලපත්‍ර කඩදාසියයි. එයද නිකුත් කර තිබුණේ 2001 පෙබරවාරි 22 දිනය. එහි මුද්‍රාව ද දෙමළ එකක් විය. 
අබ්දුල් අශීෂ් මොහොමඩ් අල් ඉර්ෂාඩ් පොතුවිල් 14 ලිපිනයේ පදිංචිකරුවෙකි. අංක Am/PDS/20A/P18/36 දරන බලපත්‍ර කඩදාසිය 2001 අගොස්තු 31 දින තමන් ලබාගත් බවත් පර්චස් 40ක කොටසක් තමන් භුක්තිවිඳගෙන ආ බවත් සිංහලෙන් මුද්‍රාව තිබූ එකී බලපත්‍රකරු පවසා තිබුණි. 


මොහොමදු අබ්දුල් කාදල් මොහොමදු, පොතුවිල්, රහුමාන්තුල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි. 2001 ජූලි 04 වන දින සිට තමන් මෙම ප්‍රදේශයෙන් අක්කර දෙකක් PP/P3/ES/1615 බලපත්‍ර කඩදාසිය මත ලබාගෙන භුක්ති විඳගෙන එන බව දැන්වීය. එහි මුද්‍රාව ද තිබී ඇත්තේ සිංහලෙනි. 


පොතුවිල්, සින්න උල්ල ලිපිනයේ පදිංචි ස්මයිල් ලෙබ්බේ අලියාර් PP/P3/ES/1624 අංක දරන 2001 ජූලි 04 දින සිංහලෙන් මුද්‍රා තැබූ බලපත්‍ර කඩදාසිය ඉදිරිපත් කරමින් තමන් ද අක්කර දෙකක් භුක්ති විඳගෙන ආ බව දන්වන ලදී. 


හම්සා ලෙබ්බේ මොහොමඩ් යන අය PP/P3/ES/1618 දරන බලපත්‍ර කඩදාසිය ඉදිරිපත් කරමින් 2001 ජූලි 19 දින නිකුත් කළ බලපත්‍රය අනුව අක්කර දෙකක් භුක්ති විඳගෙන එන බව පවසා තිබුණි. එකී බලපත්‍රයේ තිබූ මුද්‍රාව දෙමළ බසින් තිබුණි. 


අලියර් අබ්දුල් මජීඩ් යන අය 2002 ජනවාරි 11 දින නිකුත් කළ PP/P3/ES/1626 දරන බලපත්‍රයෙන් අක්කර දෙකක් භුක්ති විඳගෙන එන බව දන්වා තිබුණි. එහි මුද්‍රාව ඉංග්‍රිසියෙන් තබා තිබුණි. 


පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කර තිබූ මෙම බලපත්‍ර ව්‍යාජ ඒවා බව කළ විමර්ශනයකින් තහවුරු කර ගැනීමෙන් පසු සනාථ කර ගත හැකි විය. පොතුවිල් ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු මෙන්ම මුස්ලිම් දේශපාලනඥයෙකු ඒ සිදුවීම පසුපස සිටි බව ප්‍රසිද්ධ රහසක් විය. 


මේ මුස්ලිම් දේශපාලන පක්‍ෂ නියෝජනය කරන දේශපාලනඥයින් එවකට පැවති ආණ්ඩුවේ ඇමැතිධුර ද දරමින් කටුයුතු කළ පිරිස් වන අතර පවතින නීතිය නොතකා රාජ්‍ය දේපළ සිය හිතුවතුන්ට ලබාදීමට ක්‍රියා කළ පිරිස්ය. මේ පුද්ගලයින් තමන්ට අයිති ඉඩම් කොටස් ඇතුළත් කර මානක සැලැස්මක් (සිතියමක් ද) සකස් කර තිබුණි. නමුත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙනීගියේ විශාල පලුගස් ආදීය ඇති එකී ඉඩම් කොටස කිසිදා මිනිසුන් භූක්ති විඳ නොතිබූ බවයි. 


හුදෙක් අපරාධයක් වූ මෙම ක්‍රියාවන්ට එරෙහි වී නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයට ජාතිවාදී මුහුණවරක් ලබාදීමට ඊට සම්බන්‍ධ වූ පිරිස් උත්සාහ ගත්තද, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම මත ඒ උත්සාහය ව්‍යර්ථව ගියේය. ඒ අාකාරයටම වත්මන් යහ පාලන නැගෙනහිර පළාත නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ද පෙර ලෙසම ඉඩමක් අත්පත් කරගැනීමට තැත් කළේය. එහෙත් වනසංරක්‍ෂණ නිලධාරීන් ඊට ද ඉඩ දුන්නේ නැත. දේවතා කොටුවක් තැනීමට ස්වේච්ඡා සංවිධානයක සිංහල ජාතිකයෙක් ද ඉඩම් කොටසක් ඉල්ලා සිටියද එය ද ප්‍රතික්‍ෂේප කරමින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ඉඩම් කොටස රැකගැනීමට පියවර ගත්තේය. 


තමන් භුක්තිවිඳගෙන ආ ඉඩම් කොටස්වලට ඇතුළුවීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවසර නොදෙන බව පවසමින් බලපත්‍ර මත අයිති එකී ඉඩම් ලබාදෙන ලෙස වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්නැයි එම නිලධාරින්ට එරෙහිව ඉහත නම් සඳහන් මුස්ලිම් ජාතිකයන් නව දෙනා 2010 වසරේ දී පොතුවිල් දිසා අධිකරණයේ DC/0001/10/L අංකයේ සිට DC/0009/10/L නඩු නවයක් පවරනු ලැබීය. එකී නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගවීමෙන් පසු මීට දෙසතියකට පමණ පෙර තීන්දුව ප්‍රකාශයට පත්විය. එහිදී එකී ඉඩම් ඔවුන්ට දීම ප්‍රතික්‍ෂේප කරමින් වන සංරක්‍ෂණ නිලධාරීන් ගත් පියවර අනුමත කරමින් තීන්දුව ප්‍රකාශයට පත්විය. 


මේ තීන්දුවත් සමග ඉඩම් අල්ලා ගැනීමට තැත්කළ පිරිස පසුපස සිටින අදෘශ්‍යමාන හස්තයන්ගේ ඊළඟ පියවර කුමක්වනු ඇති දැයි දැනගත හැක්කේ ඉදිරියේ දීය. 

 

බොහෝ දේශපාලන පක්‍ෂවල නායකයෝ රටේ නීතිය එකක් විය යුතු යැයි ගිරිය පුප්පමින් කෑගැහුවද ආණ්ඩු පිහිටුවීමට සහාය ලබාදෙන සුළු නියෝජිත පිරිස් සිටින බහුතරය සිංහලයන් නොවන දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් කරන නීති විරොධී ක්‍රියා හමුවේ මුනිවත රකිති. 


පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුළ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවාගෙන ඇත්තේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල සහයෝගය මතය. 2002 පැවති පළාත් පලාන ආයතන මැතිවරණයේදී පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසුමේදී 58%ක් මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ විසින් ලබාගනිද්දී දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාන පක්‍ෂ 18%ක් ඉක්මවා ඡන්ද ගැනීමට සමත්විය. 


එහෙත් මේ ප්‍රතිශතයන් 2006 සහ 2011 මැතිවරණවලදී වෙනස් විය. දෙමළ දේශපාලන පක්‍ෂවල ඡන්ද ලැබීමේ ප්‍රතිශතය 10%කින් පමණ පහළට වැටුණු අතර මුස්ලිම් ජනයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ඡන්ද ප්‍රතිශත ඉහළ යන්නට විය. එහි එකතුවේ ප්‍රතිශතය 70%ක් විය. 2018 වනවිට දෙමළ දේශපාලන පක්‍ෂ සඳහා ඡන්දය ලැබීම පොතුවිල් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ යම් වැඩිවීමක් දක්නට විය. එය 16% දක්වා වැඩිවෙද්දී ප්‍රධාන දේශපාලන පක්‍ෂ සමග සෙසු මුස්ලිම් ජන නියෝජනය සහිත දේශපාලන පක්‍ෂ යම් ඡන්ද වර්ධනයක් පෙන්නුම් කරමින් 72%ක් වැනි ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නට සමත්විය. 


එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, අහිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් වටා ගොනුවෙමින් ඔවුහු 2018 පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළහ. 


නැගෙනහිර පළාතේ පොතුවිල් නගරයට ආසන්නයේත් පොතුවිල් නගරයේත් බෞද්ධ නටබුන් බොහොමයකි. පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටියේ ද එහිය. මේවනවිට පොතුවිල් මුහුදු මහා විහාරය සතු ඉඩම් අන්‍යයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගැනීමෙන් පසුව ඉතිරිව ඇත්තේ සුළු බිම් කඩකි. 


ගොවීන් සහ සුනාමියෙන් දුකට පත් පොතුවිල ජනතාවට යැයි කියමින් ආණ්ඩුවේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගන්නට රජයේ නිලධාරී සහ දේශපාලනඥයින් ක්‍රියා කළේ යුද්ධය නිමවීමටත් පෙරය. 2007 වනවිට නැගෙනහිර පළාතේ එල්ටීටීඊ බලය හීනව යද්දී ඇතැම් රාජ්‍ය නිලධාරීන් දූෂිත වන්නට විය. 


කොරොක්කෝව නමින් තිබූ වගා බිම් ප්‍රදේශයක් යුද්ධය නිසා වගා නොකළ බවත් ඒවනවිට වගා කටයුතු කළ හැකි බැවින් එම කොරොක්කෝව ප්‍රදේශයේ ඉඩම් අක්කර 502ක් පැරණි වගාකරුවන්ට ලබාදෙන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබූ මෙම බිම්කඩ පෙන්වන්නට වූයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එය පන්සල්ගොඩ නමින් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉඩමක් විය. 


ඒ අක්කර 502 ගොවීන් සහ දුකට පත් ජනයා වෙනුවෙන් යැයි නම් 253 ලැයිස්තු ද සැකසෙන්නට විය. සැබැවින්ම ඒ නම් ලැස්තුවල සිටියේ සැබෑ ගොවීන් හෝ දුකට පත් ජනයා නොව ආණ්ඩුවේ රස්සා කරන, ආණ්ඩුවෙන් පඩි ගන්නා නිලධාරීන්ය. ඒ අතර ගුරුවරු මෙන් ම අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු පවා සිටියෝය. මොවුන් සියලු දෙනාම පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන්නෝ වූහ. ප්‍රදේශයේ මුස්ලිම් ජාතික වෙල් විදානේ කෙනෙකු ඒ ලැයිස්තුවේ සිටින පුද්ගලයන් ගැන පැහැදිලි තොරතුරු ලබාදුන්නේය. ඒ නම් ව්‍යාජ ඒවා වූ අතර ඡන්දහිමි නාමලේඛන වලද නොතිබූ නම් විය. 


එහි පුදුමය නම් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම්වලට පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර ලබාදීමයි. මේ වනවිට එකී බලපත්‍ර ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇති අතර ඒවාට අත්සන් යොදා තිබුණේ ද එවැනි බලපත්‍රයකට අත්සනක් යෙදිය යුතු තනතුරු දරන්නන් නොවන අයය. මේ වනවිට ඒ පුද්ගලයන් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා දඬුවම් ලබාදී තිබේ. 


කුමන ජාතික උද්‍යානයේ වෙසෙන වන අලි කුඹුකන සංරක්‍ෂිතය හරහා ලාහුගල, කිතුලාන ජාතික උද්‍යානයට පිවිසෙන අලිමංකඩ පිහිටි ප්‍රදේශ මේ අකාරයට පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් හා දුකට පත් පිරිස් සඳහා වගාකිරීමට බෙදාදිය යුතුයැයි ජාතිවාදී ස්වරූප මවා පාමින් දේශපාලනඥයෝ ද තර්ක කළහ. 

 

 


නමුත් කොරොක්කෝව නමින් පෙන්වන ඉඩම මේ පන්සල්ගොඩ ඉඩම නොවන බව ඔවුන්ට අවබෝධ කර දෙන්නට නොහැකි විය. ඒ අනුව 2007 යල් කන්නයක් වගා කරන්නට ඔවුන්ට අවසර දීමට අම්පාර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවේදී තීරණය විය. ඒවනවිට එකී බිම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් බිමක් බව වනසංරක්‍ෂණ

දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතා මෙන්ම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ගාමිණී සමරකෝන් යන මහත්වරු පෙන්වා දුන්හ. 
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩමක නමින් එම කොට්ඨාසයේ පදිංචි පිරිසක යාබද ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් අක්කර 502ට හිමිකම් කීම ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව අතරද විවිධ මත පැතිර යන්නට විය. ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පානම, ලාහුගල සහ හුලංනුගේ යන සිංහල වැසියන් බහුල ගම්මානවලින් සමන්විත විය. ඒ ජනතාව මෙය දුටුවේ තමන්ගේ බිම් යායද පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතර මුස්ලිම් ජනයා විසින් ආක්‍රමණය කරන බවයි. ඔවුන් තුළ ජාතිවාදී විෂබීජ පතුරුවමින් යම් යම් උසිගැන්වීම් කරන්නට පිරිස් සිටියෝය. 


මෙම කැලෑ ප්‍රදේශයේ ගස්කොළන් අධික විය. ලංකාවේ ගස්කොළන් අධික කොටසක් වූ මේ ප්‍රදේශය මුලින් පලනය වූයේ කල්මුණේ අඩවි වන නිලධාරි කාර්යාලයෙනි. ඊට පසු අක්කරපත්තු අඩවි වන කාර්යාලයෙනි. වැදගත්කමක් නැති බීට්ටු දෙකක් ලෙස එය සලකා තිබුණි. හෙක්ටයාර් 38000ක විශාලත්වයකින් යුතු කුඹුකන සංරක්‍ෂිතය සහ හෙක්ටයාර් 48000ක විශාලත්වයෙන් යුතු බක්මියාව, තිඹිරිගොල්ල රක්‍ෂිත ප්‍රදේශ ආක්‍රමණය වන බව වගා කිරීමට ඉඩම් දීම පසුපස වන බව ඒවට වගකියන රජයේ නිලධාරීන්ට තේරුම් ගියේය. 


ඒනිසා 2007 මහ කන්නය වගා කිරීමට අවසර දී මෙකී පන්සල්ගොඩ ඉඩම් සම්බන්‍ධයෙන් ස්ථිර විසඳුමක් එනතුරු කන්නයෙන් කන්නයට වගාකිරීමට ඉඩදිය යුතුයැයි යෝජනාවක් ද අම්පාර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දී ඉදිරිපත්විය. අම්පාර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා එසේ කළ නොහැකි බව පැහැදිලි කර දුන්නේය. එය පාර්ලිමේන්තුවෙන් අනුමතවිය යුතු බව කළ පැහැදිලි කිරීම් කමිටුවට පැමිණ සිටි සිංහල, දෙමළ, මුස්ලිම් රාජ්‍ය නිලධාරීහූ සියලු දෙනාම අනුමත කරමින් පිළිගත්හ. ඒ අනුව පන්සල්ගොඩ ඉඩම බේරාගැනීමට හැකි විය. 


ඒවනවිට ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහල ජනතාව ද ඒ ඉඩම්වලට ඇතුළුවීමට උත්සාහයක් ගෙන තිබුණි. මෙය ජාතිවාදී ස්වරූපයකට හැරවීමට ඇතැම් පුද්ගලයන් ක්‍රියා කළත් සියලු ජාතීන්ට අයත් උගත් බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන්ගේ අවංක මැදිහත්වීම මත ජාතිවාදී ස්වරූපයෙන් බැහැර අපරාධ ක්‍රියා බවට සලකා නීතිය ක්‍රියාත්මක විය. 
පාරිසරික වශයෙන් විශාල වැදගත්කමක් ඇති වන සතුන් සහ වෘක්‍ෂලතා ආදීයෙන් පරිපූර්ණ වූ මෙම ප්‍රදේශයට අඩවි වන කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඒ සමගම පැන නැගුණි. ඒ අනුව මෙම සිදුවීමෙන් පසු බීට්ටු එකොළහකින් යුතුව හෙක්ටයාර් ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයෙන් යුතු ලාහුගල අඩවි වන නිලධාරී කාර්යාලය ද ස්ථාපිත කෙරුණි. 
එවකට අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර, දිසා වන නිලධාරී ලලිත් ගමගේ, වන ජීවී සහකාර අධ්‍යක්‍ෂ ගාමිණී සමරකෝන්, ලාහුගල වනජීවී අඩවි ආරක්‍ෂක ඩී.පී. සියාසිංහ ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මත ජාතිවාදී ස්වරූපයක් පෙන්නා දේශපාලනඥයින්ගේ ආශිර්වාද ලබමින් ව්‍යාපාරිකයන් අතළොස්සකගේ ඉඩම් කොල්ලයක් නවත්වා ගැනීමට හැකිවිය. 

 

 


දේශපාලන සහ ධන බලය මත බලහත්කාරයෙන් සිටි එකොළොස් දෙනෙකුට විරුද්ධව නඩු පැවරීම සිදුකළ අතර පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන්ට එකී ඉඩම්වලට ඇතුළුවීම වළක්වාලමින් ඒ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්විය. 


මේ අතර යුද්ධයෙන් පසු මෙම පන්සල්ගොඩ ඉඩම් අල්ලාගැනීම අනුගමනය කරමින් පානම රදැල්ල, ප්‍රදේශයේ රජයේ ඉඩම් අල්ලා ගැනිමට සිංහල පිරිස් කටයුතු කළෝය. එය මැඩ පැවැත්වීමට ගිය වන සංරක්‍ෂණ නිලධාරියෙකුට ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් පහර දුන්නේය. ඔහුට විරුද්ධව අධිකරණයේ නඩුවක් ද ගොනුවිය. ඒ අල්ලාගත් හිටපු සභාපතිවරයාට ද නඩු පැවරුණි. ඔවුන්ට ද ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය තීන්දු ලබාදුන්නේය. 


මේ ගැටලු ජාතිවාදී ස්වරූපයට ගොඩනැගීමට සුළු පිරිස් ක්‍රියා කළේ පටු පරමාර්ථයන් මතය. එහෙත් එකී අරමුණු ඉටු කරගන්නට රාජ්‍ය නිලධාරීහු ඉඩ නොදුන්හ. එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහාය ලැබුණි. නමුත් වර්තමානයේ යළිත් මේ තත්ත්වයන් ඉස්මතු වෙමින් එන බවක් පෙනේ. ඒවාට ද පිළිතුරු දිය යුත්තේ බුදධිමත්වමය. 
ඉතිරි කොටස ලබන සතියේ.... 

 

 

 


සටහන හා ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය