ජාතිය නිදහස් කරගත් දන්තුරේ මහ සටන


ඉතිහාසයෙන් පිටුවක්   

සිංහල ජාතිය ලෝකයේ බලවත්ව සිටි යුරෝපීය ජාතිකයින්ගෙන් නිදහස් කරගත් මහ සටනට අදට වසර හාරසිය විසිපහක් පිරේ. එම ඓතිහාසික මහ සටන නූතන පරම්පරාවේ දැනගැනීම සඳහා පුරාණ ලේඛන හා හේග් කෞතුකාගාරයේ වාර්තා පරිශීලිනයෙන් මෙසේ ඉදිරිපත් කරමි.   


පෙර දවස අප රටට ආක්‍රමණිකයන් ආයේ සොළී නොහොත් චෝල ජාතික නූතන මදුරාසියෙන්, කාලිංගයෙන් නොහොත් නූතන ඔරිස්සා ආදී දකුණු ඉන්දීය ප්‍රාන්තවලිනි. ක්‍රි.ව. 1505 දී රටට ගොඩබැස ක්‍රමයෙන් මුහුදුබඩ මෙන්ම කන්ද උඩරටට ද ක්‍රි.ව. 1589 දී පමණ ව්‍යාප්ත වූයේ පෘතුගීසි ආක්‍රමණිකයන් ය. ඔවුන් පැමිණෙන විට හයවන පරාක්‍රමබාහු නොහොත් ශ්‍රී පරාක්‍රමබාහු රට එක්සත් කර කෝට්ටේ රාජධානිය පිහිටුවා තිබුණි.   
 විජයබා කොල්ලයෙන් පසු රට තුනට බෙදී සීතාවක හා රයිගම වශයෙන් ද ප්‍රාන්ත රාජ්‍යයන් බිහි විය. මෙම තත්ත්වය පෘතුගීසි ආක්‍රමණිකයන්ට ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට මෙන්ම වෙළෙඳ අධිකාරිය තහවුරු කරගැනීමටත් මහඟු අවස්ථාවක් විය. මේ වන විටත් ඔවුන් කරල්ලියද්දේ කුමාර බණ්ඩාර නොහොත් දිය පිට විද්ද මහඅදහසින වූ තුන් වන ජයවීර හැඳින් වූයේ සෙංකඩගල ජෝන් යනුවෙනි. ඔහුගේ අගබිසව වූයේ ගලගමම මහඅදසින්ය. ඇය ඔවුන්ට දෝන මාගරිටා විය.   


 1676 ලන්දේසි ආණ්ඩුකාරයා වූ වෑන්ගෝයන් (කණිෂ්ඨ) (Memorandum on Some Sinhala Royal Families Page 25) සීතාවක රාජසිංහ නොහොත් ජයවීර මහ අස්තාන මල පසු ඔහුගේ යෙහෙළියක් වූ සියන්දර මහ බිසෝ බණ්ඩාර රජකමට පැමිණියත් ඇය ද පෘතුගීසින්ට එක්ව කතෝලික ආගම වැළඳගෙන පෘතුගාලයට පැන ගියාය. (ඕලන්ද වාර්තා හේග් කෞතුකාගාරය) ඉන්පසුව III ජයවීරගේ බෑණා වූ යමසිංහ බණ්ඩාර රජකමට පැමිණියත් ඔහු ද කතෝලික ආගම දොන් පිලිප් ජාවෝ නමින් වැළඳගෙන ගෝවට පලා ගියේය.   


 මෙවන් පසුබිමකයි පෘතුගීසින්ට විරුද්ධව දන්තුරේ මහ සටන ඇරඹුණේ පෘතුගීසින් මහාකළුපරාක්‍රම නමින් හැඳින් වූ පේරාදෙණිය පරපුරේ වීරසුන්දර නොහොත් විජේසුන්දර බණ්ඩාර ​බොරු වළක දමා මරවා දැමූ සීතාවක රාජසිංහගෙන් කවද‌ා හෝ පළිගන්නා බවට ප්‍රතිඥා දුන් වීරසුන්දර බණ්ඩාරගේ පුතුන් දෙදෙනා වූ කොනප්පු බණ්ඩාර හා සලප්පු බණ්ඩාර ද (නූතන ව්‍යවහාරය අනුව නම් කේ.බී. සහ ඇස්.බී.) පෘතුගීසින්ට එක්ව ඔවුන් දෙදෙනා ද සටන්ක්‍රම, යුද්ධ ශිල්ප අවි පුහුණුව ලැබීය. සලප්පු සටනක දී මිය ගියෙන් ඉතිරි වූයේ කොනප්පු පමණය.   


 ඔහු එවකට දකුණු ආසියාවේ සිටි දක්ෂම මල්ලව සටන්කරු විය. දන්තුරේ සටනට පෘතුගීසින් මන්නාරමේ සිටි කුසුමාසන දේවි නොහොත් දෝන කැතරිනා හෙවත් මහබිසෝ බණ්ඩාර හෙවත් මහාබණ්ඩිගේ හෙවත් ලෝකනාථ මහඅදසින් සමඟ විසිදහසක මහ සේනාංක දෙකක් කොළඹ සිට සහ මන්නාරමේ සිට දක්ෂ පෘතුගීසි යුද්ධ නායකයෙකු වූ ලෝපස් ද සෝසාගේ ප්‍රධානත්වයෙන් එවීය.   


 පෘතුගීසින්ගේ අරමුණ වූයේ කුසුමාසන දේවිය පෘතුගීසි කුමාරයෙකුට පාවා දී සිංහලේ ඔවුන්ගේ රාජ්‍යයට ඈඳ‌ා ගැනීමය. ඒ සඳහා ආධාරයට සීතාවක සිටි අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් ද ජයවීර යන නමින් පෘතුගීසින්ගේ සහයට එක්විය. ඔවුන් සියලු දෙනාම එක්ව 1594 අවුරුද්දේ ඔක්තෝබර් 06 දින බලන බළකොටුවෙන් එවකට දන්තොට වතුර නමින් හැඳින් වූ දන්තුරේ යක්දුරේ වෙල්යායෙන් සටන අරඹා පෘතුගීසින් සමූල ඝාතනය කිරීමට සමත් විය.   


සටනින් පසු ඉතිරි වූ පෘතුගීසින් කීප දෙනා කන්ද උඩරට සිරකරුවන් ලෙස තබන ලදී. සටනින් පසුව කුසුමාසන දේවිය ද දෝන කැතරිනා නමින් පෘතුගීසින්ට එක්ව මින් ඉහත සඳහන් කළ රාජ්‍යයට උරුමකම් තිබූ කුමාරවරු මෙන් තාන්න මාන්න ලෝභයෙන් ගෝවට පලා ගියේ නම් එද‌ා සිංහල ජාතියේ අවසානය වනු ඇත. අප එසේ නම් කතෝලික ආගම අදහන පෘතුගීසි භාෂාව භාවිත කරන සංකර ජාතියක් වනු ඇත. ඇය එසේ නොකොට සිංහල කුමාරයෙකු වූ කොනප්පු බණ්ඩාර හා එක්ව ඔහු විමලධර්මසූරිය නමින් රජකරවා 1739 තෙක් සිංහල රාජ පරම්පරාවක් දැයට තිළිණ කළා පමණක් නොව එවකට රාජ්‍යත්වයේ සංකේතය වූ දෙල්ගමු විහාරයේ කුරහන් ගලක් යට සඟවා තිබූ දළද‌ාව සෙංකඩගලට වැඩම කරවා අද ලෝක උරුමයක් වූ දළදා මාළිගයෙහි තැන්පත් කිරීමට ද සමත් වූවාය.   


 එසේ සලකන විට දන්තුරේ සටන් බිම මෙන්ම බලන බළකොටුව, කුමාරගල දේවාලය මාමුඩාවෙල ආදී ස්ථානයන් ද ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමය. මෙම සංවත්සරය සැමරීම සඳහා දන්තුරේ විහාරය මුල් කරගනිමින් උත්සව රාශියක් විමලධර්මසූරිය- කුසුමාසන දේවි පදනම මගින් එහි ලේකම් දඹගොඩ සෙනෙවිරත්න මහතා විසින් සැලසුම් කොට ඇත. යටිනුවර පාසල් සිසුන් දැනුම්වත් කිරීම, පහන් හාරසිය විසිපහක් දැල්වීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, නොමිලේ ඇස්කණ්ණාඩි හාරසිය විසිපහක් ලබා දීම. දන්තුරේ කතිකාව එළිදැක්වීම ආදිය ඒ අතර වේ. නූතන පරපුරේ දැනගැනීම සඳහා මෙම කතාව දැන් දෙරණ රූපවාහිනියෙන් ටෙලි නාට්‍යයක් වශයෙන් දර්ශනගත කර ඇත.   

 


එස්.බී. කරල්ලියද්ද