ජ්‍යොතිෂයේ එන පංචාංගය හඳුනා ගනිමු


ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයට දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන අංග පහ අයත් වේ. පංචාංගයෙහි ගුණ ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැක. දිනයෙන් ආයුෂ වර්ධනය කරයි. නැකතෙන් පව් දුරු කෙරේ. තිථියෙන් ශ්‍රියාව ඇති කරයි. යෝගයෙන් නිරෝගීකම ඇති කෙරෙයි. කරණයෙන් කාර්ය සිද්ධ කෙරෙයි. 


දිනය 

නැකැත් සෑදීමේදී සැලකිල්ලට ගනු ලබන පංචාංගයෙන් පළමු අංගය වන්නේ දිනයයි. ජ්‍යොතිෂයට අනුව සතියට දින හතකි. රවි ග්‍රහයාට ප්‍රධාන වූ රිවි දිනය හෙවත් ඉරිද‌ා දිනයද සඳු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන සඳු දිනයද අඟහරු ග්‍රහයා මුල්කරගෙන කුජ හෙවත් අඟහරුවාද‌ා දිනයද බුධ ග්‍රහයා මුල්කරගෙන යෙදෙන බුධ දින හෙවත් බද‌ාද‌ා දිනයද බ්‍රහස්පති ග්‍රහයා හෙවත් ගුරු ග්‍රහයා මුල්කරගෙන ඇති බ්‍රහස්පතින්ද‌ා දිනයද කිවි හෙවත් සිකුරු ග්‍රහයා මුල්කරගෙන ඇති සිකුරාද‌ා දිනයද ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන සෙනසුරාද‌ා දිනයද මෙම දින හතවේ. 


මිනිසුන් කරන කියන කටයුතුවල පැවැත්ම හෙවත් ආයුෂ මැන ගන්නේ දිනය මුල් කරගෙනය. මේවායින් අවපස සඳු දිනද කුජ දිනද ශනි දිනද අසුබ දින වශයෙන් දක්වා ඇත. පුරපස සඳු දිනද බුධ දිනද ගුරු දිනද කිවි දිනද සුබ දින වශයෙන් නම් කර ඇත. රිවි දින හෙවත් ඉරිද‌ා මධ්‍යස්ථ දිනයක් ලෙස නම් කෙරේ. මේවායින් සුබ දිනයක් සුබ කටයුත්තක් කිරීමට යොද‌ා ගන්නා අතර එම කටයුත්තට ආයුෂ ලබා දීම බලාපොරොත්තු වේ. 


නැකත 

පංචාංගයේ දෙවන අංගය වන්නේ නැකතයි. අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුවසිරස, ආදී වශයෙන් නැකැත් 27ක් ජ්‍යෙතිෂයේ ඉගැන්වෙයි. මෙම නැකැත් 27 එක් ග්‍රහයෙකුට නැකැත් 3 බැගින් ග්‍රහයින් 9 දෙනාට වෙන්කර ඇත. මෙම නැකැත් 27 අප කරන කටයුතුවලට සුබ අසුබ වශයෙන් දෙකොටසකට බෙද‌ා දැක්වෙයි. සුබ නැකැතක් යොද‌ා ගැනීමෙන් කරන කටයුත්තට බාධක දුරලා ජයග්‍රහණය දක්වා කරගෙන යාමට ශක්තිය ලැබෙයි. 


තිථිය 

පංචාංගයේ තුන් වන අංගය වන්නේ තිථියයි. පෑලවිය දියවක, තියවක, ජලවක ආදී වශයෙන් පුරපස තිථි 15ක් හා අවපස තිථි 15ක් වශයෙන් ජ්‍යොතිෂයේ දක්වා තිබේ. මෙම තිථි නන්ද‌ා, භද්‍ර, ජයා, රික්තා, පුණ්ණ ලෙස කොටස් 05 කට වෙන් කර ඇත. මේවා අතුරින් ජලවක හා නවවක රික්තා තිථි දෙකද පසළෙ​ාස්වක හා අමාවක තිථීද අසුබ තිථි වශයෙන් නම් කර ඇත. සුබ තිථීයක් යෙදෙන දිනක යම් කටයුත්තක් ආරම්භ කළහොත් එයින් ශ්‍රියාවද සෞභාග්‍යයද සමෘද්ධියද අලංකාරයද ඇතිවන්නේ යැයි ජ්‍යොතිෂයේ දැක්වෙයි. 


යෝගය 

ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයේ සිව්වන අංගය යෝගය නම් වේ. යෝග 27ක් පිළිබඳව ඉගැන්වෙයි. විෂ්කම්භ, ප්‍රීති, ආයුෂ්මත්, සෞභාග්‍ය, ශෝභන ආදී වශයෙන් දැක්වෙන යෝගවලද සුඛ යෝග හා අසුබ යෝග වශවෙන් වර්ග කර ඇත. අතිගණ්‍ඩ, ධෘති, ශූල, ගණ්ඩ, ව්‍යාඝ්‍රත, වජ්‍ර, වෘතිපාත, පරිඝ​​, වෛධෘති යන යෝග අසුබ යෝග ලෙස නම් කර ඇත. 


කරණය 

පංචාංගයේ පස්වන අංගය කරණය නම් වේ. 


බව, බාලව, කෞලව, තෛතිල, ගරජ ආදී වශයෙන් කරණ 11ක් දක්වා ඇත. මේවාද සුබ කරණ හා අසුබ කරණ වශයෙන් වර්ග කර ඇත. මේවා අතුරින් විෂ්ඨි කරණය ඉතාමත් අසුබ කරණයක් ලෙස දක්වා ඇත. 
සුබ කරණයකින් යම් කටයුත්තක් පටන් ගතහොත් එම කාර්යය සමෘද්ධ වෙයි. අසුබ කරණයක් නම් කරන කාර්යය අසාර්ථක වෙයි. මෙම පංචාංගයම සම්පූර්ණවීම තුළ වැඩ කටයුතු කිරීමෙන් ඥ‌ාන, ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන පංච සම්පත්තියම උද‌ාවන බව ජ්‍යොතිෂයේ දක්වා ඇත. 

 

 


අාර්.එම්. පොඩිරාළහාමි 
රඹුක්කන.