ජ්‍යොතිෂ ග්‍රහයන්ගේ අප්‍රකට තොරතුරු


ජ්‍යොතිෂයේ ඉහළම තලය ලෙස හැඳින්විය හැක්කේ පලාපල කථනයයි. එද‌ා මෙද‌ා තුළ යම් ජ්‍යොතිර්වේදියෙක් ජනතාව අතර ආදරයටත් භක්තියටත් පත්වූයේ නම් ඒ පලාපල කීම හරහාය. එසේම රටේ නමගිය ජ්‍යොතිර්වේදියෙකු ලෙස පෙනී සිටිය දී එක් වරම රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලැබූ අයෙකු වේ නම් ඔහුට විපාක දෙනු ලැබුවේ ද මේ පලාපල කථනයමයි. 

 
යමෙකුගේ පලාපල කථනය අසාර්ථක වීමට මූලික හේතු දෙකකි. මින් පළමුවැන්න වන්නේ ඔහු විසින් ජ්‍යොතිෂය හරි හැටි ග්‍රහණය කරගෙන නොතිබීමය. දෙවැන්න වන්නේ ඔහු ජ්‍යොතිෂයේ කොතරම් පරිණත වුවත් පලාපල කථනයේ දී තම වෙනත් අභිප්‍රායන් මුල් කරගනිමින් සත්‍යය සැඟවීමය. අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ තත්ත්වය හොඳින් දනී. එහෙත් ඔවුන් ජ්‍යොතිෂයෙන් බැහැර නොවී ගවේෂණාත්මකව එහි සත්‍යතාව සොයනු පෙනේ. පලාපල කථනයට ඉවහල් වන්නා වූ මෙම ලිපිය හුදෙක්ම ඔවුන් සඳහා වෙයි.   
එක් අවස්ථාවක ශ්‍රී ලංකා ජාතික ​ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් ආධුනික ජ්‍යොතිෂකරුවන් සමූහයකට දේශනයක් සැපයීම සඳහා සහභාගි වූ මම ඔවුන්ගේ මූලික දැනුම පරික්ෂාකර බැලීම සඳහා අධ්‍යාපනයට කාරක වන්නා වූ තමා දන්නා යම් ග්‍රහයෙකු නම් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි.   
ඒ අනුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගුරු ග්‍රහයා ද ටික දෙනෙක් බුධ ග්‍රහයා ද තිදෙනෙක් කේතු ග්‍රහයා ද දෙදෙනෙක් සඳු ග්‍රහයා ද නම් කරන්නට යෙදුණහ. එකම එක් අයෙක් සිකුරු ග්‍රහයා නම් කළේය. මේ පිළිතුරුවලින් මුලින්ම මම පුදුමයටත් දෙවනුව ඉමහත් සතුටටත් පත්වීමි.   


අද ජ්‍යොතිෂය තුළ ඉතා විරල වශයෙන් දක්නට ලැබෙන. ඒ නිසාම භාවිතයෙන් බොහෝ ඈතට විසිවී ගිය ග්‍රහයන් පිළිබඳ සියුම් මූලධර්ම සමාජය තුළ අදටත් අවිදිමත් ලෙස පවතින බව මෙම පරික්ෂණයෙන් පැහැදිලි විය. මෙය විධිමත් ලෙස ජන සමාජයට ඉදිරිපත් කළ යුතුය. මේ ලිපිය ඒ සඳහාමය.   


පලාපල කථනයේ දී ජන්ම ​ෙක්න්ද්‍රය කොටස් 12කට බෙදා ඒවා මුලින්ම රාශි සහ භාව වශයෙන් සැලකිල්ලට භාජනය කළ යුතුය. ඉන්පසුව රාශි අධිපතීන් හා භාව අධිපතීන් ගැන සොයා බැලිය යුතුය. ඉන්පසු සිදු කෙරෙන්නේ එම ස්ථානවල තැන්පත් ග්‍රහයන් ගැනත් ඔවුන්ගේ සබඳතා හා දෘෂ්ටි පිළිබඳවත් සොයා බැලීමය.   


මෙය ඉතා සැලකිල්ලෙන් කළ යුතු දෙයක් වන අතර මෙම ලිපියෙන් සිදු කෙරෙන්නේ යම් විෂය ධාරාවකට අදාළ වන්නා වූ ග්‍රහයන් හඳුනාගැනීම පමණි. අපේ විෂය ධාරාව අධ්‍යාපනය වන අතර එය හා බැඳුණු ග්‍රහයන් වශයෙන් සැලකෙන්නේ ගුරු - බුධ - කේතු සඳු හා සිකුරුය.   


ගුරු ග්‍රහයා   


ගුරු ග්‍රහයා ජ්‍යොතිෂයේ හැඳින් වෙන්නේ ප්‍රඥා කාරක ග්‍රහයා ලෙසය. ඔහු අතිෂයින්ම ශුභ ග්‍රහයෙකි. ගුරු ජන්ම කේන්ද්‍රයේ බලවත්ව සිටී නම් ඔහු අධ්‍යාපනයට ඉතා දක්ෂයි. ඉතා ඉක්මනින් කරුණු අවබෝධ කර ගනී. ජන්ම කේන්ද්‍රයේ අධ්‍යාපනය නිවේදනය කරන භාවය හතර වැන්නයි.  


හතර වැන්න කටකය, ධනු හෝ මීනය වී එහි හුදකලා ගුරු ගොඩනගන ගුරු හංසයෝගය එක එල්ලේම ජන්මියාගේ අධ්‍යාපනයට බලපායි. ගුරු ප්‍රඥා කාරක ග්‍රහයෙක් වුවත් පාසල් හා විශ්වවිද්‍යාල නිවේදනය නොකරයි. හරි හැටි පාසල් අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනා සමාජයේ ඉහළ තැන්වල වැජඹෙති. නිවැරදි තීරණ තීන්දු ගනිති.  
ඕනෑම සමාජයක මේ තත්ත්වය මෙසේමය. මින් තේරුම් යන්නේ ප්‍රඥාව පාසල් අධ්‍යාපනය තුළින් ලබන්නක් නොවන බවයි. එය ග්‍රහ බලවේග අනුව නිපදවෙන උත්පත්ති ශක්තියකි. ගුරු ග්‍රහයාගේ මහ දශා කාලය වසර 16කි. එම කාලය කෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන ගිය හැකි කාලයකි.  


බුධ ග්‍රහයා  


පොත්පත්, පුස්තකාල නිවේදනය කරන බුධ ග්‍රහයා එක එල්ලේම පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බලපායි. බුධ ග්‍රහයා තරුණය. ඉගෙන ගන්නා වයසේ සිටී. ශිල්පශාස්ත්‍ර හා ලියකියවිලිවලට බලපායි. විවිධ අධ්‍යාපනික විෂය ක්ෂේත්‍ර ගණනාවක් බුධ යටතේ පවතී. අධ්‍යාපනය නිවේදනය කරන්නා වූ හතර වැනි භාවයට අධිපති බුධ මිථුන කන්‍යා යන රාශි දෙක තුළ හුදකලා වී භද්‍ර නම් වූ මහායෝගය ගොඩනගයි. මෙය සියලු අධ්‍යාපනික ක්‍රියාද‌ාමයන්ට සුබ යෝගයකි. බුධ ගේ මහ දශා කාලය අවුරුදු 17කි. මෙය අධ්‍යාපනයට ඉතා සුබය.   


කේතු ග්‍රහයා  


පෘථිවියේ සහ සඳුගේ ගමන් මාර්ග කපා හරින ලක්ෂ ස්ථානයක් වූ කේතු ජ්‍යොතිෂයේ දී ග්‍රහයෙකු සේ සැලකේ. දෛවඥයන් අධ්‍යාපනය සඳහා දරුවන්ගේ කේන්ද්‍ර පරික්ෂා කිරීමේ දී කේතු ගැන සැලකිලිමත් වීම ඉතා අඩුය. ඇතැම් අය කේතු නොසලකාම හරී. ජ්‍යොතිෂයේ කේතු දැක්වෙන්නේ නෙළුම් මලක් මත වාඩි වී පොතක් කියවන පුද්ගලයෙක් ලෙසය.  
අතීත සෘෂිවරු කේතු අතට පොතක් දුන්නේ ඇයි දැයි අප සොයා බැලිය යුතුය. පැරණි පොත්පත්වල රාහුගේ සහ කේතුගේ පලාපල අන් ග්‍රහයන්ගේ මෙන් නොදැක්වේ. ඔවුන් රාහු සහ කේතු සැලකුවේ ශනිවත් රාහු කුජවත් කේතු යන වශයෙනි. එනම් ශනි වැනි රාහු සහ කුජ වැනි කේතු යන අර්ථයෙනි. කේතුගේ විශේෂත්වය වන්නේ ගාම්භීර දෙයට ආශා කිරීමයි. පුරාවිද්‍යාව, මළ භාෂා ඉගෙනීම, වාග් විද්‍යාව ආදිය කේතුට ප්‍රිය වේ. පරිවර්තන කටයුත්ත කේතු ආශාවෙන් කරන්නකි. මේ හැර සියලුම ගුප්ත විද්‍යා බෙර වාදනය සහිත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියට කේතු ප්‍රිය වේ.  


කේතු කුසීත ග්‍රහයෙකු සේ බොහෝ දෙනෙක් දනී. ඇත්තටම එය එසේ නොවේ. ඔහුගේ කාර්යය මැරතන් ධාවකයෙකුට සමානය. වේගය පාලනය කරගෙන බොහෝදුර යයි. ඔහු දක්ෂ කාලය කළමනාකරණය කරන්නෙකි. මේ තත්ත්වය අවබෝධ කරගත් බොහෝ දෙනා අවුරුදු 7ක් වන කේතුගේ මහ දශා කාලය තුළ කුමන හෝ ආකාරයක අධ්‍යාපනික ජයග්‍රහණයක් උදාකර ගනී.  


සඳු ග්‍රහයා  


අධ්‍යාපනය ගොඩනැගෙන්නේ මව්ගේ තුරුලේ සිට යයි කීමක් ඇත. මොන්ටිසෝරිය නරක නම් ඉන් යහපත් ගුණවත් පුද්ගලයෙකු බිහි නොවේ. දරුවෙක් උපන් දා සිට මවගේ ආදරය සහ රැකවරණය ලබන අතර හොඳ නරක ද ඉගෙන ගනී. දරුවා නරක දෙයින් මුදවා හොඳ දෙයට ළංකරවන්නේ මවය. ජන්ම පත්ත්‍රයක සඳු සිටින ස්ථානය බලා මවගේ තත්ත්වය අවබෝධ කරගත හැක.  


සඳු ස්ත්‍රී ග්‍රහයෙකි. ශුභ වාදී ග්‍රහයෙකි. අන් හැම ග්‍රහයෙකුටම සතුරන් සිටී. සඳුට සතුරන් නැත. පුරපස සඳු හා අවපස සඳු වශයෙන් සඳුගේ ස්වභාවය ජන්ම පත්‍රයේ දැක්වේ. පුරපස සඳු ​ෙලා්කෝත්තරය උතුම් ගුණදම් සහිතය. අවපස සඳු ලෞකිකය. තමාගේම දේට වැඩි ආශාවක් දක්වයි. සඳු තරම් තමාගේ දරුවන්ට ළැදියාවක් දක්වන වෙනත් ග්‍රහයෙක් නැත. දරුවාගේ හැදීම වැඩීම මෙන්ම අධ්‍යාපනය ද මවගේ පාලනයට යටත්ය.  


මවගේ උනන්දු කරවීම නැත්නම් අද සමාජයේ එතරම් උගතුන් සිටිය නොහැක දරුවෙකුගේ මූලික අධ්‍යාපනයම පසුකාලීන අධ්‍යාපනයට හේතුවේ. මෙම මූලික අධ්‍යාපනයේ නිමැයුම්කරු මව ය. ජ්‍යොතිෂය පැත්තෙන් සඳු ය.  


සිකුරු ග්‍රහයා  


බොහෝ දෙනෙක් සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ ලෞකික සැප සම්පත්වලට අධිපති ග්‍රහයකු හැටියටයි. යාන වාහන, සැප පහසුකම්, අලංකාර ආභරණ. මිහිරි ආහාරපාන සංගීතය, නර්තනය, විලාසිතා යනාදී වශයෙන් බොහෝ දේ ඒ තුළ අන්තර්ගතය. ස්ත්‍රී ග්‍රහයෙකු වන සිකුරු බුධ ග්‍රහයාගේ හොඳම මිත්‍රයෙකි.  


අධ්‍යාපන කාරක බුධට සිකුරු ග්‍රහයා එක්වීමේදී සරස්වතී නම් බලසම්පන්න යෝගයක් සෑදේ. එය ලලිත කලාවන් සඳහා ඉතා යෝග්‍යය. ඒ හැර සිකුරාට අධ්‍යාපනය සම්බන්ධයෙන් එක එල්ලේ පවතින වෙනත් සබඳතා නැත. මේ මෙසේ වුවත් වක්‍ර ආකාරයකින් සිකුරාට අධ්‍යාපනික වටිනාකමක් ලැබේ. ඒ සිකුරුට පවතින ඉතා හොඳ මතක ශක්තිය නිසාය.  


බුධ කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කොතරම් බලවත් වුවත්, ඔහු කල් ඇතිව අධ්‍යාපන කටයුතුවල කොයිතරම් යෙදී සිටියත් විභාගයෙන් පරදින අවස්ථාවේ ඒ මතකය අවදි නොවීමෙනි. ඉගෙන ගත්තා සේම ඉගෙන ගත් දේ පිළිබඳ හොඳ මතකයක් ද තිබිය යුතුය. ඉතා හොඳින් මතක ශක්තිය ඇති ග්‍රහයා සිකුරුය.  


මේ නිසා විභාගය එක එල්ලේ සමත් වීමට සිකුරු ග්‍රහයාගේ බලපෑම ද අවශ්‍යය. අද ඉතා හොඳින් පාඩම් කළ බොහෝ දෙනෙක් පරීක්ෂණ අසමත් වෙද්දී එතරම් පාඩම් නොකළත් තිබෙන මතකය උපයෝගී කරගනිමින් විභාගවලට උත්තර සැපයූ අය සමත් වන්නේ මේ නිසාය.  


මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ පලාපල කීමේදී ප්‍රධාන ග්‍රහයන් ගැන මෙන්ම අප්‍රධාන ග්‍රහයන් ගැන ද සැලකිලිමත් විය යුතු බවයි. ජ්‍යොතිෂය මිනිසුන්ට පවතින අපල දැනුම් දීම පමණක් සිදුකරන ශාස්ත්‍රයක් නොවේ. අපලවලින් බේරෙන ආකාරය සහ අපලය ජයග්‍රහණයක් කරගන්නා ආකාරයත් එය කියාදෙයි.  


කේතු ග්‍රහයාගේ සත් අවුරුදු කාලය සාප කාලයක් සේ සිතා සිටි සංස්කෘතික අමාත්‍යංශයේ සේවය කරන එක් උසස් නිලධාරි මහතෙක් ජ්‍යොතිර්වේදියෙකුගේ බලකිරීමට නැවත අධ්‍යාපනයට යොමුවී වාග් විද්‍යාවෙන් උපාධි ලැබ නැවත පශ්චාත් උපාධිය සඳහා දැනට රාජකාරි නිවාඩු ලැබ සිටී. මෙවන් සිදුවීම් අද අප හමුවේ ඕනෑතරම් වෙයි. කවුරුත් නරක යයි කියන කාල වකවානු තුළ සියල්ල තම යහපතට යොදාගත් මිනිසුන් මෙන්ම එවැන්නකට ඔවුන් යොමු කළ ශාස්ත්‍රය ද ශ්‍රේෂ්ඨ වෙයි. එවැනි ශාස්ත්‍රයක් හරිහැටි හැදෑරීම අපිත් ආරම්භ කරමු.  

 

 


කලාභූෂණ  
ගකවි අමරසිංහ