ජයසිරිමා බෝ හාමුදුරුවන් රැකබලා ගන්න ජනතාවගේ හඬ


 

 

ජයසිරි මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වූ දා සිට ජයසිරි මහ බෝධීන්වහන්සේ රැකබලාගැනීම ආරක්ෂා කිරීම සහ තේවාවන් පැවැත්වීම සඳහා දිවි දෙවෙනි කොට කැපවී සේවා සිදුකරන විහාර ගම්මානවල ජීවත්වන ජනතාව පොදු පහසුකම් නොමැතිව අසරණව සිටිති. 


අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ජයසිරි මහා බෝධීන් වහන්සේ අාසන්නයේ මෙම විහාර ගම්මාන නවයක් පිහිටා තිබේ. මුළු ලෝකයක් ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟට පැමිණ පිහිට ලබා ගනිති. එහෙත් කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ජයසිරි මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වූ දා සිට රැකබලාගන්නා ආරක්ෂා කරගන්න ජනතාවට කිසිම අයෙකුගේ පිහිටක් නොමැතිවීම පුදුමය දනවන කරුණකි. 


එමෙන්ම මෙම ගම්මානවල ජනතාව පිළිබඳව රට තොට දැනගැනීම ඔවුන්ට පොදු පහසුකම් සැපයීම ආදී බොහෝ සංවර්ධන කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් විසින්ම වැට කඩුලු බැඳ ඇති බවත් මෙම වැටකඩුලු බිඳ දැමුවහොත් සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්ට එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට පිටව යෑමටය. එමෙන්ම පාරම්පරිකව පැවත එන රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට බවත් ජනතාව කියති. 


මෙම සංවර්ධනයේ අරුණලු නැති ජයසිරි මහා බෝධීන් වහන්සේගේ තේවාවන් සිදු කරන ගම්මාන නවය වන්නේ විහාර හල්මිල්ලකුලම, විහාර පාළුගම, විහාර කල්ලංචිය, විහාර බුලන්කුලම, විහාර තිරප්පනේ, විහාර මැදවච්චිය, විහාර රුසියන්කුලම, විහාර ඉලුප්පුකුලම, විහාර කැප්පිටියාව යන ගම්මාන වෙයි. 
මෙම වැසියන් ගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අපි මෙම ගම්මානයට ගියෙමු. 


මේ ගම්වල වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැන හා වී වගාවයි. එහෙත් අහස් දියෙනි. යන්න එන්න පාරක් නොමැතිව ඉඩමක අයිතියක් නොමැතිව දරුවෙකුට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් නොමැතිව නිසි ලෙස නිවසක් නොමැතිව අඩුපාඩු රැසක් මධ්‍යයේ මොව්හු ජීවත් වෙති. ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්වූයේ ජයසිරි මහා බෝධීන් වහන්සේ අතීතයේ සිටම ආරක්ෂා කරගෙන අදටත් එම රාජකාරිය කිසිදු මුදලකින් තොරව පැය 24 පුරා වසරේ දින 365 ම දිවා රාත්‍රි දෙකේම සිදුකරන බවය. 
විහාර හල්මිල්ලකුලම ගම්මානයේ සිරි සුගත මහා විහාරයේ විහාරාධිපති ගෝනගල ඤාණාලෝක ස්වාමීන් වහන්සේ තම වැසියන් විඳින දුක පිළිබඳව මෙසේ පැවසූහ. 
 ‘‘දිවි දෙවෙනි කොට ජයමහ රන් කඳ ආරක්ෂා කිරීම තමයි අපේ වගකීම. ඒක සෑම ජනාධිපතිවරයෙකුගේ ම වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන මෙම ජනතාවගේ පොදු පහසුකම් සංවර්ධනය කර දීම රජයක වගකීමක්. මෙතෙක් පැවති කිසිම රජයක් මේ මිනිස්සු ගැන සොයා බැලුවේ නැහැ. ඒ කියන්නේ ජයසිරිමා හාමුදුරුවෝ ආරක්ෂා කරන මිනිස්සුන්ට පෙරදා පුදුමාකාර විදිහට ගෞරව බහුමානයෙන් යුතුව විහාර ගම්මාන බාරදීලා මේ වැඩේ කළේ. හැබැයි නිදහසෙන් පස්සේ මේ ජනතාවට පොදු පහසුකම් නැතිව තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ.” 

 

 


 “මේ පිරිස ජයසිරි මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ ඉඳලා උන්වහන්සේගේ මුර භාරව තමයි පැමිණිලා තියෙන්නෙ. එදා සිට ඔවුන් ඒ අයගෙන් පැවත එන අය මේ අයට පැවරිලා තියෙන්නේ පාරම්පරික උරුමයක් රාජකාරියක්. එය පරම්පරාවෙන් පරම්පරාවට අදටත් දිවි දෙවැනි කොට සිදු කරනවා. අද අපේ මිනිස්සු බෝධීන් වහන්සේගේ ආරක්ෂාව ගන්නවා. රාජරාජ මහා අමාත්‍යවරුන් ජනපතිවරුන් පවා ඇවිල්ලා හිස තියලා පිහිට ලබාගෙන යනවා හැබැයි අද වෙලා තියෙන්නේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ඇස් දෙක වගේ බලාගන්න පාරම්පරික ජනතාවට ජයසිරිමහා බෝධීන් වහන්සේගේ උරුමකම් කියන ගම්මාන නවයක ජනතාවට පිහිටක් නැහැ. ඒ අයට පොදු පහසුකම් කප්පාදු කිරීමක් තමයි වෙන්නේ. 


අනුරාධපුර නගරයට කිලෝමීටර් 5ක දුරක් මේ ගම්මානවලට තියෙන්නෙ. හැබැයි පාරක් හදලා නෑ. නිසි ලෙස පාසලක් නෑ. පාසලක් තිබුණත් වැසිකිළියත් නෑ. අපේ ජනතාව හේන් ගොවිතැන් කරන්නේ වැහි ජලයෙන්. වැස්සත් නැති වුණහම මේ මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නෑ. ඒ අය බඩගින්නේ කුසගින්නේ පුදුම දුකක් විඳින්නේ. හැබැයි ඒ දුක වින්ද කියලත් ජය සිරි මහ බෝධීන්වහන්සේ රැකගන්න යන ගමන නවතන්නේ නෑ. ජයසිරි මහා බෝධීන් වහන්සේට ගිහිල්ලා අපි බඩගින්නෙ ඉන්නවා කියල මේ මිනිස්සු දුක කියන්නේ නෑ. හැබැයි පරම්පරාවෙන් එන ජය සිරි මහ බෝධීන්වහන්සේ රකින එක කරනවා.” 


අපේ මිනිස්සු කටයුතු කරන්නේ බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම පළමු කොටසක් ජීවත්වීම දෙවැනි කොටසත් කියලා ඒ තරම් බෝධීන් වහන්සේ දිවි දෙවැනි කොට සලකන්න තමයි මේ අය කැපවෙලා ඉන්නේ. අදටත් ඒ කැපකිරීම කරනවා.’’ 


ඉන්දියාවේ සිට බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන අවස්ථාවේ පැමිණි පරිවාර පිරිසේ පරපුරින් පැවත එන විහාරහල්මිල්ලෑව පදිංචි කේ .සුසන්ත හේමචන්ද්‍ර මහතා මෙසේ පැවසීය. 
“බෝධි ගුප්ත කුමාරාගෙන් පැවත එන පරම්පරාවක් අපි. එදා ඉදලම අපේ විහාර ගම්වල ජනතාව දිවිහිමියෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කළේ. අදටත් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ තේවාව කරලා ආරක්ෂාකරගෙන හෙටටත් අනාගතයටත් ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරනවා. 


අපි දන්නවා ලෝකෙ කොහේවත් ජයසිරිමහා බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නේ නෑ. ඒ නිසා ඒ උතුම් බෝධීන් වහන්සේ රැක ගැනීම අපේ වගකීමක්. ඒ වගකීම පවරලා තියෙන්නේ අදක ඊයෙක නෙවෙයි, බෝධි ගුප්ත කුමාරයා මේ රටට ඇවිල්ලා එවකට රාජාභිෂේක ලබලා උන්වහන්සේ ආරක්ෂා කරන්න අපිට කැප කරලා තියෙනවා. ඒ නිසා වෙන කිසිම කෙනෙකුට එතෙන්ට යන්න බැහැ අපිට හැර. 


අපි උදේ ගිහාම පහුවදා වෙනකන්ම බෝධින් වහන්සේ රැක ගන්නවා. අනිත් එන අයට ලිඛිතව බෝධීන් වහන්සේ බාර දීලා තමයි අපි නැවත ගම්වලට එන්නේ. එදා ඉදල අද දක්වාම මේ ගම්මාන නවයේ ජනතාව මුර ක්‍රමයට බෝධීන්වහන්සේ රකිනවා. එහෙම අපේ ගම සිදුකළත් අපිට පොදු පහසුකම් කියන ඒවා මොනවත් නෑ. පාරක වාහනයකටවත් යන්න බෑ. අපේ ගම් නවයේ සියයට අනූනවයක් ගොවිතැනින් ජීවත් වෙන්නේ. 
තාම අහස් දියෙන් අපේ වැව පිරෙන්නේ. ඒත් වතුර ටිකක් දෙන්නෙ නෑ. වැවක් හාරලා දෙන්නෙ නෑ. තියෙන වැවත් සම්පූර්ණයෙන්ම රොන් මඩවලින් පිරිලා. පාසිවලින් පිරිලා. වතුර ටිකක් නාගන්න නෑ. හැම ගමකටම වැවක් තියෙනවා. වැව් ඔක්කොම ගොඩවෙලා. වැස්සොත් විතරයි ගොවිතැනක් කරන්නේ. මහවැලි වතුර මේ ප්‍රදේශයෙන් ගලා බසිනවා. හැබැයි අපේ ගම්මානවලට දෙන්නේ නෑ, 

 

 


නිවාස ව්‍යාපෘති එනවා. අපේ ගම්මාන නවයට දෙන්නේ නෑ. ඒ වගේම පාන්දර එළියට පහළියට යන්න බෑ අලි. වන අලි ගම් වැදිලා ඉන්නවා. ඒ වගේම අපි ඉන්න ගම්මානවල මිනිස්සුන්ට ඉඩමේ අයිතිය ඔප්පුවක් දෙන්නේ නෑ. අඩුම තරමේ බැංකුවෙන් ණයක් ගන්න විදිහක් නෑ. අපේ ගමට රස්සාවක් දෙන්නේ නෑ. විහාර ගම්මානවල ජනතාවට හැමදාම කුඩම්මගේ සැලකිලි.” 
විහාර ගම්මානවල පදිංචිව සිටින නිලුකා ආරියදාස මහත්මිය. 
 ‘‘එදා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගායනා කළ “දරමිටි සෙව්වා” ගීතය අද අපට ඇත්තක් බවට පත්වෙලා තියෙනවා. එදා ඒ ගීතය ලිව්වේ රන්වැට ගැහුවට පස්සේ රන් වැටින් ඇතුළට අපට යන්න තහංචි පැනවීමත් එක්ක. හැබැයි අද අපට වෙලා තියෙන්නේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඇති, අපි ඒ අයිතිය නැති කරගෙන ජීවත් වීමේ අයිතිය නැති කරගෙන, මේ ගීතය අපටම උරුම කරගෙන ඉන්න විදිහක්. 


“අද ඇතැම් විට අපේ දරුවන් අපේ අයිතිය ගැනවත් දන්නේ නෑ. බොහෝවිට විවිධ මුදල්වලට වෙනත් අය පවා දානවා ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟට. මොකද ඒක සිදු නොකළ යුතුයි. අපේ මුතුන් මිත්තෝ ජයසිරිමහා බෝධිය ආරක්ෂා කරන්න ගිහිල්ලා ජීවිතය පවා නැතිකර ගත්තා. අපේ කිරි අත්තා කොටි ගහද්දී මියගියා ජයසිරි මහා බෝධිය රැකගෙන ඉද්දී. ” 


මේ පරම්පරාවේ තියෙනවා වරිග සම්මුතියක්. සුනන්දා කුමරිය බෝධිගුප්ත කුමාරයාට විවාහ කරල දීලා මිහිඳු මහරහතන් වහන්සේ වරිග සම්මුතිය පිහිටවලා මෙම රජ දෙපළ පරම්පරාවටයි සිරි මහා බෝධිය ආරක්ෂා කිරීම සිදු කළ යුතුයි කියලා එදා ඒ පැනවුණු වරිග සම්මුතිය මුතුන් මිත්තන්ගේ ලේ වල පවා තිබුණා. අදටත් ඒක ඒ විදිහමයි. අපේ අයට ජයසිරි මහා බෝධිය ආසන්නයේ රාජමාළිගා හදලා නිවාස තනලා ලබාදීලා තමයි හිටියේ. හැබැයි ඉංග්‍රීසි පාලනයත් සමග අපේ මුතුන් මිත්තන් මේ විහාර ගම්මාන නවයට ඇවිල්ලා සැඟවිලා ඉඳලා ඉතා සූක්ෂම ලෙස එකිනෙකා ගිහිල්ලා ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළා. ඒ වෙනකොට කිසිම කෙනෙක් හිටියේ නෑ. හැබැයි අපේ මිනිස්සු වනසතුන්ගෙන් ඉංග්‍රීසීන් ගෙන් මැරුම් කකා දරමිටි බැඳගෙන ගිහිල්ලා තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළේ. ඒ තමන්ගේ වගකීම ඉටුකළා අදටත් එහෙමමයි. 
මොකද ජය සිරි මහ බෝධිය ආසන්නයේ පදිංචිවෙලා හිටපු අපේ පරම්පරාව ආරක්ෂාකරගන්න එදා මුතුන් මිත්තන් වන වැදුණා. අපේ පරම්පරාවේ කාන්තාවෝ හරිම ලස්සනයි. ඒ ලස්සනකමට විදේශික ජාතිකයෝ ගිජුවෙලා එන්න පටන් ගත්තා. අපේ මුතුන්මිත්තෝ ලස්සන කාන්තාවන්ගේ ඇඟේ පාදවල නරක්වෙලා ගඳගහන කරවල කෑලි බැන්දා. මොකද මේ වරිගය ආරක්ෂා කරන්න ඕනෑ නිසා. අපේ පරම්පරාවෙ අයට වෙන කොහෙන්වත් විවාහ වෙන්නවත් බෑ. මොකද මේ පරම්පරාවෙන් පරම්පරාවට ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම වෙනත් අයට, වෙනත් ලේවලට, වෙනත් කුලයකට අයිතිවෙයි කියලා. 


පසුගිය 80 දශකය වෙනකන්ම අපේ පරම්පරාවේ අය ජයසිරිමහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරගෙන එද්දී විවිධ සල්ලිකාර අය ඇවිල්ලා එම හිමිකාරීත්වය පවා අහිමි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම එදා සිට තමයි අපේ ගම්මානවල ජනතාවට අධ්‍යාපනය නැති කරන්නේ. අපට පහසුකම් ලබා නොදෙන්නේ. අඩුම තරමේ දැන් සිටින දරුවෙකුටවත් ඉගෙන ගන්න පහසුකම් දෙන්නේ නැත්තේ අඩුම තරමේ වැසිකිළියක් පාසලකට හදන්නේ නෑ. මොකද ඉගෙන ගෙන මේ තත්ත්වයට ගියොත් එම අයට බලය නැතිවෙයි කියන හීනමානයක් තමයි වෙන්නේ. 


ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකීම නවත්වයි කියලා අපට රස්සාවක් දෙන්නේ නෑ. අපිට හරිම දුකයි. අපි පාසල් යන කාලේ ඉඳලම අපේ පාසල්වල වැසිකිළි නෑ. හදන්නේ නෑ. මේ ගමට එන සියලු ම සංවර්ධන කටයුතු නවත්වනවා. සංවර්ධනය කියන එක පේන්නවත් නෑ. හැබැයි මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ මේ පරම්පරාව ඉක්මනටම විනාශ වෙලා යයි. මොකද මිනිස්සු දැන් අලුත් වෙලා. එතකොට මේ අය ගමටම වෙලා ඉන්නේ. 


දැන් ගමේ කෙල්ලෝ පිට පළාත්වලට ගිහිල්ලා වැඩ කරනවා. හැබැයි ඒ පැත්තෙන් කවුරු හරි කොල්ලෙක් එක්ක යාළුවෙලා විවාහ වෙලා ගමට එනවා. එතකොට මේ වරිගෙ සම්පූර්ණ වෙනස් වෙනවා. පහසුකම් නොමැතිවීම නිසා. සිරිමහ බෝධීන්වහන්සේ රකින්න ඉන්න ගම්මානයේ ජනතාව වරිග සභාව පවා විනාශ වෙන තත්ත්වයට පත්වෙලා. 
අනිත් මිනිස්සුන්ට වගේම අපේ දරුවන්ටත් ඉගෙනීමේ අයිතිය ඕනෑ. අපිටත් සංවර්ධනය කියන එක ඕනෑ. හැබැයි අපිට මේ මොන කෙණෙහිලිකම් කරත් ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කළන එක නවත්වන්නේ නැහැ. ඒක අපේ යුතුකම වගකීම වෙනවා. මගේ තාත්තා ජීවිත කාලයේම ජයසිරි මහා බෝධීන් වහන්සේ ඉස්සරහ තිබුණු පරමල් සුද්ද කරලා කුණු සුද්ද කරලා, ජයසිරි මහා බෝධීන් වහන්සේට කිසිදු හානියක් නොවෙන්න එයා මැරෙනතුරුම වැඩ කළා. හැබැයි දැන් අපේ පරම්පරාවේ ඇතැම් අයට ජයසිරි මහා බෝධීන් වහන්සේත් තහනම් කරලත් තියෙනවා.” 


විහාර ගම්මානවල පදිංචි එන්. කරුණාරත්න මහතා. 


“අපේ රාජකාරිය අපි කරනවා. හැබැයි අපිට වෙන්න ඕනැ රාජකාරි තමයි පැහැර හැරිලා තියෙන්නේ. කවුරුත්ම හොයල බලන්නේ නෑ අපි ගැන. විහාරගම් නවයේ මිනිස්සු පුදුමාකාර විදිහට දුක්විඳින්නේ. අපිටත් දැන් අවුරුදු හැත්තෑව අසූව කිට්ටු වෙලා. මේ වෙනකන් අපි දුක්වින්දා. අපේ මුතුන්මිත්තෝ ජීවිතය පරදුවට තිබ්බා. ගම් දුර තනතුර දරාගෙන හිටියා. හැබැයි අද සිද්ධ වෙලා තියෙන්නේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන අපට කාගෙවත් ආරක්ෂාවක් නෑ. අඩුම තරමේ මේවා ජනමාධ්‍යයටවත් යන්නේ නෑ. කොහේ හෝ බලවේගයකින් මේ සියල්ල නවතා දමනවා. ගමට එන සංවර්ධන නවතා දමනවා. 

 

 


සටහන-ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස