ජයග්‍රහණය සමරන්න හැදූ හිරු දෙවිඳුගේ ප්‍රතිමාව


ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ පුදුම 7

 

‘ඉපැරැණි පුදුම 7’ සහ ‘නවීන ලෝකයේ පුදුම 7’ ආදී වශයෙන් ලෝක පුදුම ලැයිස්තු දෙකකි. මිනිසා විසින් නිර්මාණය කළ අපූරු මෙන්ම විස්මිත ඉදිකිරීම් මෙම පුදුම අතරට අයත් වෙයි. ඉපැරැණි පුදුම 7 නම් කිරීමෙහිලා පුරෝගාමියකු වූයේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් යැයි පැවැසෙයි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිදුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඞ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නව පුදුම 7 නම් කිරීම සිදුවූයේ සුවිශේෂී දිනයකය. ඒ, 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදීය. නූතන පුදුම 7 තෝරා ගැනීම සිදුවූයේ අන්තර් ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව පුරා මිලියන 100 ක පිරිසක් ඊට දායක වූහ

‘කොලෝසස් ඔෆ් රෝඞ්ස්’ යන නමින් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන මෙම ඉපැරැණි පුදුමය, යෝධ ප්‍රතිමාවකි. ඉපැරැණි පුදුම හතට ප්‍රතිමා තුනක් අයත් වෙයි. එයින් මෙම යෝධ ප්‍රතිමාව, සූස් දෙවිඳුගේ ප්‍රතිමාව  සහ ආටිමිස් දෙවඟනගේ දෙවොලේ ඇති ආටිමිස් දෙවඟනගේ ප්‍රතිමාව පරයන එකක් වුණැයි අතීත වාර්තාවල සඳහන් වෙයි.


‘කොලෝසස් ඔෆ් රෝඞ්ස්’ යනු ග්‍රීක හිරු දෙවිඳු හේලියෝස්ගේ ප්‍රතිමාවකි. මෙය ඉදි කෙරුණේ රෝඞ්ස් දූපතට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියසය. රොඞ්ස් වරායට නැව් ගමනා ගමනය සිදුවුණේ ප්‍රතිමාවේ පාද යටින් යැයි පැවැසෙයි. ග්‍රීක පුරාණයට අනුව, හේලියෝස් බලසම්පන්න ටයිටන්වරුන් වන ‘හයිපීරියන්’ සහ ‘තේදා’ යන දෙදෙනාගේ කඩවසම් පුත්‍රයාය. කලින් සඳහන් කළ සූස් මහ දෙවියන් මෙම ටයිටන්වරයකු වන ක්‍රෝනෝස්ගේ පුත්‍රයන් තිදෙනාගෙන් කෙනෙකි. හේලියෝස් ට සොහොයුරියක සිටින අතර ඇය සලීන්ය. සඳට අධිපති දෙවඟන ඇයයි. මෙම විස්මිත ප්‍රතිමාවේ උස අඩි 108 (මීටර් 33) කි. ඒ අනුව පුරාණ ලෝකයේ උසින් වැඩිම ප්‍රතිමාව මෙයයි.


ක්‍රි.පූ. සිවුවැනි සියවසේදී රෝඞ්ස් දූපත සහ එහි වැසියන් පක්ෂපාතීත්වයක් දැක්වූයේ ඊජිප්තුවේ පළමු ටොලමි රජුටය. ඒ අනුව, එවකට තම බලය පෙන්වන්න වූ පළමු ඇන්ටිගෝනස් මොනොතැල්මස් රජු, ටොලමි රජුගේ පමණක් නොව, රෝඞ්ස් ආණ්ඩුකාවරයාගේ පොදු සතුරා විය. ක්‍රි.පූ. 304 වෙද්දී, ඇන්ටිගෝනස් මොනොතැල්මස් රජුගේ උපදෙස් පරිදි ඔහුගේ පුත්‍රයා ඩෙමෙට්‍රියස්, රෝඞ්ස් දූපත වට කරමින් එය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටියේය. දූපත අල්ලා ගැනීමට හැකිවූයේ නම් නාවික වෙළෙඳ කටයුතු තම පාලන අධිකාරියට යටත් කර ගැනීමට ඇන්ටිගෝනස් මොනොතැල්මස් රජුට හැකි වෙයි. රෝඞ්ස් දූපත් වැසියෝ ඩෙමෙට්‍රියස්ගේ නාවික බලඇණියට විරෝධය දක්වන්න වූහ. ඒ අනුව, ඩෙමෙට්‍රියස් රෝඞ්ස් දූපත යටත් කර ගන්නා තුරු දූපතට යෑමට හෝ දූපතෙන් පිටවීමට කිසිදු නැවකට ඉඩක් ලබා දුන්නේ නැත. 


ටොලමි රජු ඔහුගේ නාවික බළඇණිය රෝජ්ස් වැසියන්ගේ සහායට යවනු ලැබුණි. ඔවුන් එක් වී ඩෙමෙට්‍රියස්ගේ නාවික බළඇණියට පහර දී පලවා හැරියේය. සතුරන් පලා යද්දී ඉතිරි කර ගිය අවි ආයුද, නැව් කොටස් ආදිය රෝඞ්ස් දූපත් වැසියෝ විකුණා එයින් ලබා ගත් මුදලින් මොනොතැල්මස් රජු සහ පුතු ඩෙමෙට්‍රියස්ගේ පරාජය සනිටුහන් කිරීමට සිහිවටනයක් නිර්මාණය කළ යුතු යැයි තීරණය කළහ. රෝඞ්ස් දූපතේ චැරේස් නමැති නිර්මාණකරු ලබා අති දැවැන්ත ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට දූපත් බලධාරීහු තීරණය කළහ. හිරුට අධිපති හේලියෝස්ගේ ප්‍රතිමාව ඉදිකිරීම සඳහා කටයුතු යෙදුණේ ඒ අනුවය. 


චැරේස්ගේ ගුරුවරයා ලයිසිපෝස් ය. අඩි 72 ක් උසැති සූස් දෙවියන්ගේ ලෝකඩ ප්‍රතිමාව ඉදි කළ තැනැත්තා ලෙස සැලකෙන්නේ මොහුය. රෝඞ්ස් දූපතේ මෙම දැවැන්ත ප්‍රතිමාව ඉදි කිරීම ඇරැඹුණේ ක්‍රි.පූ. 292 දීය. ප්‍රතිමාවේ සැකිල්ල ලෝහ කූරුවලින් නිර්මාණය කළේ යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. ප්‍රතිමාවට පිත්තට තහඩු සවි කර ඇත. ඒ, දෙවියන්ගේ සිරුර දීප්තිමත් වීමට සලස්වමිනි. කිරිගරුඬවලින් ඉදි කළ වේදිකාවක් මත ප්‍රතිමාව ඉදි කෙරුණි. වේදිකාවේ උස මීටර් 15 ක් බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි.


අද වනවිට යෝධ ප්‍රතිමාව දකින්න නැතත් රෝඞ්ස් දූපතේ ප්‍රිමාව පිහිටි ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුමයකි. රෝඞ්ස් දූපත වර්තමාන ග්‍රීසියට අයත් කුඩා දූපත් සමූහයකින් එකකි. දූපතේ 90,000 ක පිරිසක් අද ජීවත් වෙති. යෝධ ප්‍රතිමාව නිසා පමණක් නොව, පුරාවිද්‍යාත්මක වටිනාකමක් පවතින හෙයින් රෝඞ්ස් දුපත සංචාරක ආකර්ශණයකි. රෝඞ්ස් දූපත ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේ 1988 වසරේදීය. හේලියෝස්ගේ මෙම යෝධ ප්‍රතිමාව විනාශ වී ඇත්තේ ද ප්‍රබල භූමි කම්පාවකිනි. ඒ, ක්‍රි.පූ.226 දීය. කෙසේ නමුත් එහි කොටස් සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. 2015 දී මෙම ප්‍රතිමාව යළි ඉදිකිරීමේ සැලැස්මක් පැවැතිය ද එය ක්‍රියාත්මක නොවිණි.

 

 

 

 

ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි