ජමාත් ත්‍රස්තවාදියකුගේ බිරිඳගේ හෙළිදරව්ව


සැකකාර කාන්තාව සිටි නිවස පරික්ෂා කිරීම

සැකකාර කාන්තාව සිටි නිවස පරික්ෂා කිරීමට පැමිණි පොලිසිය

 

 

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුගේ බිරිඳ මාවනැල්ලේ මුරුතවෙල ප්‍රදේශයේ නිවසක සිටිය දී පොලිසිය හා විශේෂ කාර්ය බළකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන ඇය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිසිය පවසයි.   


මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ ඉකුත් 26 වැනි දින පස්වරු 1ත් 2ත් අතර කාලයේ දීය. මෙම කාන්තාවට වයස අවුරුදු 24 කි. ඇය නමින් ෆාතිමා සහීඩා නම් වන්නීය. ෆාතිමා යනු මාවනැල්ල අවට බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවට ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා යන අයගේ බිරිඳයි.  


මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා පසුගිය 21 වැනි දින පාස්කු ඉරිද‌ා ප්‍රහාර මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවට ද මෙ වන විට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත. ඒ නිසාම පසුගිය අප්‍රේල් 25 සහ 26 විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආරක්ෂක අංශවලට සොයා ගැනීමට අවශ්‍යම සැකකරුවන් තිදෙනෙකුගේ හා සැකකාරියන් තිදෙනෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබුණි. එය ප්‍රදර්ශනය කර පැය 24ක් යෑමටත් පෙර මේ අයගෙන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට හැකි වීම ආරක්ෂක අංශ ලැබූ ජයග්‍රහණයකි.   


මෙම කාන්තාවගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ කරගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග අතුරුදන්ව සිටි බුදු පිළිම කැඩීමේ ප්‍රධාන සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශවලට පැවසුවහොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැඳුනුම්පතක් ද ලබා දී දෑස් බැඳ මහ මග දමා ගොස් ඇති බවයි. එම හැඳුනුම්පත ද මාතර ප්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය කියයි. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප්‍රදේශයක සිට මෙලෙස මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව ද මේ වන විට මූලික ප්‍රශ්න කිරීම්වලින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.  


බුදු පිළිම කැඩීමේ සිද්ධියෙන් පසුව මාස 4 කට වැඩි කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිට කර කියා ගැනීමට දෙයක් නොමැති කල්හි නැවත මාවනැල්ල සිය මාපියන්ගේ නිවස වෙත ෆාතිමා පැමිණ ඇත. මෙතෙක් ආරක්ෂක අංශවලින් හෙළි කරගත් කරුණු අනුව හෙළි වී ඇත්තේ පසුගිය 26 වැනි දින ෆාතිමා සහ දරුවා කෑගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කරඬුපන කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට ආසන්න පාළු ස්ථානයක කිසියම් ප්‍රදේශයක සිට වාහනයකින් රැගෙන විත් දමා ගොස් ඇත්තේ ඇයගේ ස්වාමියා වන මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා සමගයි. කෑගල්ල අවට පාළු ස්ථානයක බැස ඇති මේ තිදෙනා (ෆාතිමා, දරුවා සහ ඊබ්‍රහීම් සාදික්) එතැන් සිට රඹුක්කන මාර්ගයට හැරෙන කරඬුපන හන්දියට පැමිණ ඇත්තේ කුලි ත්‍රීරෝද රථයකිනි. ඊබ්‍රහීම් සාදික්ගේ කුඩා දරුවාට එම ස්ථානයට යාබදව ඇති විසිතුරු මසුන් විකිණීමට තබා ඇති ස්ථානයකින් ඊබ්‍රහීම් කුඩා මසුන් කිහිප දෙනෙක් ද රුපියල් 100යක මුදලකට රැගෙන නුවර බලා පිටත් වන බසයකට නැග බස් ටිකට් ලබා ගෙන තිබුණි. එයින් එක් බස් ටිකට් පතක් මහනුවරට ලබා ගෙන ඇති අතර අනික් ටිකට් පත මාවනැල්ල දක්වා ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.   


එදින දහවල් 12.30ට පමණ මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපස ඇති බස් නැවතුමෙන් සාදික්ගේ බිරිඳ ( ෆාතිමා ) හා කුඩා දරුවා බැස නගරයේ කුලී ත්‍රිරෝද රථයකින් සිය මහ ගෙදර පිහිටා ඇති මුරුතවෙල දක්වා ගොස් ඇති අතර සාදික් මහනුවර බසයේ නුවර දෙසට ගමන් කර ඇති බව එදින ෆාතිමාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය කරුණු අනාවරණය කර ගෙන ඇත.   


ෆාතිමා සිය නිවස වෙත යන විටත් එදින සිකුරාදා දිනයක් වූ හෙයින් ඔහුගේ පියා වන දැනට විශ්‍රාම සුවයෙන් සිටින ගුරුවරයෙක් වන මොහොමඩ් පලීල් මහතා ආගමික කටයුතුවලට පල්ලියට ගොස් සිට ඇති අතර නිවසේ ඔහුගේ බිරිඳ සහ අනික් ගැහැනු දරුවන් පමණක් සිට ඇත. ෆාතිමා මාවනැල්ලේ සිට සිය නිවසට යන අවස්ථාවේ නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබුණු නිසා මුළුතැන්ගෙය දිශාවේ පිහිටා ඇති කුඩා දොරෙන් නිවසට ඇතුළු වූ ෆාතිමා ඒ ආසන්නයට ගොස් මවට කතා කර ඇත.   
එම සිද්ධිය ෆාතිමාගේ මව වන 58 හැවිරිදි රූස්නා බෙගම් මහත්මිය අපට විස්තර කළේ මෙලෙසිනි.   


මාගේ දුවගේ නම මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්නේ ෆාතිමා ලතීෆා කියලා නමුත් ඇයගේ නිවැරදි නම ෆාතිමා සහීඩා. මේ මගේ තුන් වැනි දරුවා. මට ඉන්නේ ගැහැනු දරුවන් හතර දෙනෙක්. මෙයාට වැඩිමහල් දුවලා දෙන්නාත් විවාහ වෙලා ඉන්නේ. හතරවැනි දුව උසස් පෙළ හදාරමින් ඉන්නේ. මේ දුව ඉගෙන ගත්තේ මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක. හොඳට ඉගෙන ගත්තා. ඉගෙනීමටත් හරි දක්ෂයි. විශ්වවිද්‍යාලයටත් යන්න ඉන්නකොට 2015 අවුරුද්දේ විවාහ වුණා. විවාහ වුණේ ගෙනාපු යෝජනාවකට අනුවයි. මාගේ දුවට කලක ඉඳලාම ක්ලාන්තය වාගේ හැදෙන ගතියක් තිබුණා. දැන් අත්අඩංගුවට අරන් ඉන්න මාගේ දුවගේ ස්වාමියාගේ තාත්තා “කවුන්සිල්” (උපදේශනය) කරන කෙනෙක්. ඒනිසා එයා ලවා මෙයාට කවුන්සිල් කරා. ඒයා මව්ලවි කෙනෙක්. ඒ වාගේම සමාජයේ හොඳ වැදගත් විදිහට හිටපු කෙනෙක් නිසා සමාජයෙන් කිසි වරදක් තිබුණේ නැති නිසාත් දරුවන් ගැනත් වැරදි මතයක් සමාජ ගත වේලා නොතිබුණු නිසාත් අපි මාපියන් වශයෙන් මේ විවාහ යෝජනාව ගෙනාවාට පස්සේ දෙන්නා විවාහ කර දුන්නා. නමුත් මේ කෙනා අපි හිතුවේ නැහැ රටම ගිනි තියයි කියලා.   


2018 දෙසැම්බර් මාසයේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සිදු වුණාට පස්සේ මගේ දුව එක්කරගෙන ගිහින් තියෙනවා පුංචි දරුවාත් එක්ක. මට තේරෙන විදිහට මගේ දුව මේ සම්බන්ධයෙන් කිසි දෙයක් දන්නේ නැතිව තමයි එයාව අරන් ගිහින් තියෙන්නේ. එක දරුවයි මාගේ දුවට ඉන්නේ. ඒ පිරිමි දරුවාට වයස අවුරුදු 2යි මාස 7යි. බුදු පිළිම කැඩුවාට පස්සේ මේ අය ගිය හැටි අපි දන්නේ නැහැ. මේ සිද්ධිය වුණාට පස්සේ තමයි ගෙදරින් ගිහින් තිබුණේ. ඊට පස්සේ මේ අය ගැන ආරක්ෂක අංශවලින් හොයන්න පටන් ගත්තා. අපි පොරොන්දුවක් වුණා දරුවා ගැන තොරතුරක් දැන ගත්ත ගමන් දන්වනවා කියලා. ඒ සිද්ධිය එහෙම වුණා.   


අප්‍රේල් 26 වැනිදා මාගේ මහත්තයා පල්ලියට යනවා කියලා ගියා. එදා සිකුරාදා දවසක්. මම ගෙදර ඉස්සරහා ගෙට්ටුවත් වහලා ගෙදර ඉන්න වේලාවේ කුස්සිය පැත්තේ තියෙන පොඩි දොර ළඟින් “ අම්මා, අම්මා” කියලා මට කතා කරනවා ඇසුනා. මට මේ ශබ්දය ඇහෙන කොට එදා මගේ ළමයා නැති වුණාට වඩා කම්පනයක් මට ඒ වේලාවේ ඇති වුණා. මේ රටම ගිනිගෙන තියෙන වේලාවක්. ඊට කලින් දවසේ මෙයාගේ ඡායාරූප රූපවාහිනියෙන් ප්‍රසිද්ධ කරලා තිබුණු වේලාවක මේ ළමයා මගේ ගෙදර ආපු එක ගැන මට මොනවත් හිතා ගන්න බැරි වුණා. අපි තමයි දරුවාගේ ඡායාරූප ආරක්ෂක අංශවලට දුන්නේ. මේ ගැන රටට ඇත්ත අනාවරණය කිරීම අපි අතින් සිදුවිය යුතු යුතුකමක් ලෙස. මොකද අපි ජාති ආගම් භේද ඇති කරගෙන හිටපු මිනිස්සු නොවෙයි. සිංහල මිනිස්සු එක්ක හොඳින් මෙච්චර කාලයක් ජීවත් වුණා. මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ විදිහට හිටපු අපට මේ සිද්ධිය හිතා ගන්න ඇත්තෙන්ම අපහසුයි.   


මගේ දුවලාගෙන් වැඩිමලා බැඳලා වෙනම ඉන්නවා. දෙවැනියා සහ හතර වැනි දුව මගේ ගාව ඉන්නවා. මම දුවලාට කතා කරලා කීවා ෆාතිමා දුව ඇවිත් ඉන්නවා කියලා. එයාලා ගේ ඇතුළේ ඉඳන් කීවා අම්මා පිස්සු කියන්නේ නැතිව ඉන්න කියලා. හතර වැනි දුව හිතුවාලු අම්මා “මැන්ටල්” වෙලා අක්කා නැති දුකට අම්මා කියවනවා ඇති කියලා. ඒ අතරතුර මම ෆෝන් එක ගත්තා මහත්තයාට කොල් කරන්න කියලා. නමුත් මට දැන් හිතා ගන්න බැහැ මොනවාවත් පේන්නේ නැහැ. මොකද්දෝ වුණා වගේ. ඊට පස්සේ මම ගෙදරට ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම මිටර් 200ක් විතර ඈතින් තියෙන පල්ලියට දුවගෙන ගියා. මට වුවමනාව තිබුණේ මෙයාව ඉක්මනින් පොලිසියට භාර දෙන්න.   


ෆාතිමා දුව ගේට්ටුව අරිනවාත් සමගම ඇතුළට ආවේ ‘තාත්තා කෝ? මම පොලිසියට යන්න ඕනෑ’ කියාගෙනයි. මට එතකොටම පැහැදීමක් ආවා මාගේ දුව ගැන. එයා මේකට සම්බන්ධ නැහැ කියලා. ඊට පස්සේ මම මගේ අනික් ළමයි දෙන්නාට අක්කා එළියේ පුටුවක වාඩි කරවන්න කියලා තමයි මම පල්ලියට දුවගෙන ගියේ.   


පල්ලියට දුවන අතරේ අඳුරන කෙනෙක් හමු වුණා එයාට මම කීවා ත්‍රීවීල් එකක් කතා කරලා දෙන්න කියලා ඊට පස්සේ එයා ත්‍රීවීල් එකක් කතා කරලා දුන්නා. එ්කෙන් පල්ලියට ගියා. මට අබාය දාන්නවත් සෙරෙප්පුවක් දාගෙන එන්නවත් ඒ වේලාවේ සිහියක් තිබුණේ නැහැ. මම පල්ලියට ගිහින් කිවා පලීල් සර්ට එන්න කියන්න, පලීල් සර්ට එන්න කියන්න කියලා කලබලයෙන් කෑ ගැසුවා. පල්ලියේ ඉන්න අය ඇසුවා පල්ලියට ගහන්න එනවාද කියලා. මම කීවා නැහැ කියලා. අපේ ගෙදර ප්‍රශ්නයක් එන්න කියලා මම කීවා.   
මහත්තයා එක්ක ගෙදර ඇවිත් අපි කොළඹ සී.අයි.ඩි. එකේ මාරසිංහ මහත්තයාට කතා කරලා කීවා දුව ඇවිත් ඉන්නවා දැන් අපි මොකද කරන්නේ කියලා. ඒ අතරතුර මාගේ දෙවැනි දුව අපේ අක්කාටයි එයාගේ මහත්තයාටයි කොල් කරලා කියලා තියෙනවා දුව ගෙදර ආපු විත්තිය.   


අපි ආරක්ෂක අංශවලට දැනුම් දුන්නත් මට මාගේ දුව දකින කොට වේදනාවක් ඇති වුණා මම දුව බදාගෙන ඇඬුවා. මට ඒ වේලාවේ කියවුණා මගේ දුව මට ආයෙ දකින්න සිද්ධ වෙයි කියලා මම හිතුවේ නැහැ කියලා.   


එදා බුදු පිළිම කැඩුවාට පස්සේ මෙයාගේ මහත්තයා ගෙදර ඇවිත් කියලා තියෙනවා ඉක්මනින් ලෑස්ති වෙන්න ගමනක් යන්න. යන ගමන් විස්තර කියන්නම් කියලා. ඒ විදිහට තමයි ලැස්ති වෙලා ගිහින් තියෙන්නේ යනකම් කිසිම විස්තරයක් දන්නේ නැතිලු. මගේ දුව කියලා තියෙනවා මම ගෙදර එක්කරගෙන යන්න කියලා. ඒ වුණත් හිඟුල හන්දියට ඇවිත් නුවර පැත්තට හැරුනු ගමන් මෙයා අවුල් වෙලා තියෙනවා. අපේ ගෙදරට එනවා නම් කොළඹ පැත්තට තමයි එන්න ඕනෑ. ඒ වේලාවේ ඉඳන් මගේ දුව මේ කොහේද යන්නේ කියලා අහලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් කියන්නේ නැතිව මෙයා එක්කරගෙන ගිහින් තියෙනවා එතන ඉඳන් තමයි මාගේ දුවට ඔය මහත්තයා කියන මනුෂ්‍යයා රටම ගිනි තිබ්බ මනුෂ්‍යයා වෙනස් කම් කරන්න පටන් ගෙන තියෙන්නේ.   


අපි එයාව සම්පුර්ණයෙන් විශ්වාස කළා. අපි එක්ක අහිංසක විදිහට හිටියා. නමුත් ඒ මනුෂ්‍යයා අපිව සම්පූර්ණයෙන් රැවැට්ටුවා. මාගේ දුව 26 වැනිදා අපේ ගෙදරට එනකම් මේ රටේ මොකක් වුණාද කියලා කිසි දෙයක් දැනගෙන ඉඳලා නැහැ. දවස මොකද්ද? දිනය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද මෙච්චර කාලයක් මෙයා හිර කරලා තමයි තියලා තියෙන්නේ.   


බුදු පිළිම කඩපු දවසේ මෙයා එක්කරගෙන ත්‍රීවීල් එකක ගිහින් තියෙනවා. ඒ යනකොට කුරුණෑගල බෝඩ් එක දැක්කාලු. කුරුණෑගල පසු කරලා කැලෑවක් වාගේ තැනකදි ත්‍රීවීල් එක වෑන් එකක් ළඟ නැවැත්තුවාලු. එතකොට මාගේ දුව දැකලා තියෙනවා වෑන් එක අනික් පැත්තේ මනුෂ්‍යයෙක් හිටගෙන ඉඳලා තියෙනවා. ත්‍රීවීල් එකේ රියැදුරා විදිහට කටයුතු කරලා තියෙන්නේ එයාගේ මහත්තයා. ඔය රටම ගිනි තිබ්බ කෙනා අම්මයි පුතයි ත්‍රීවීල් එක පිටුපස්සේ ගිහින් තියෙනවා. මාගේ දුව වෑන් එක ඇතුළට ගත්තාට පස්සේ අර මනුෂ්‍යයා ඇවිත් ත්‍රීවීල් එක අරන් ගියාලු.   


අපේ ළමයි කවුරුවත් මුහුණු ආවරණය කරන්නේ නැහැ. මෙයාගේ මුහුණ ආවරණය කරන්න කියලා සමහර අවස්ථාවලදි මෙයාගේ මහත්තයා කියන නිසා ඉස්සර සමහර අවස්ථාවලදි කළා. එදා වෑන් එක ඇතුළට දමලා දුවගේ ඇස් දෙක බැඳලා ගොඩාක් දුර ගිහින් එක ගෙයක් ළඟ නැවැත්තුවාලු. එක කාමරයක් ඇතුළට අරන් ඇස් බැඳීම ඉවත් කරලා දැම්මාලු ඒ කාමරයේ කොච්චර කල් හිටියා ද කියලා දන්නේ නැහැ කියනවා. ඒ කාමරයට යාබදව බාත් රූම් තිබුණා කියලා කියනවා. කාමරයත් වායු සමනය කරලා තිබුණා කියලා කියන්නේ.   


දුව ඉන්න කාමරයට මේ මනුෂ්‍යයා (ෆාතිමාගේ ස්වාමියාගේ) එනකොට ෆොන් එකක්වත් අතේ නැතිවලු එන්නේ. මේ මනුෂ්‍යයාගෙන් මගේ දුව ඉල්ලා තියෙනවා ගෙදරට කතා කරන්න දෙන්න කියලා. ඊට පස්සේ මේ මනුෂ්‍යයා කීවාලු ඔයා වැඩිය දැඟලුවොත් මාව පාවලා දෙන්න හැදුවොත් මම නැතිව මගේ කට්ටිය කවුරු හරි දමලා ඔයාගේ බෙල්ල කපනවා කියලා.   


මේ මනුෂ්‍යයා ඉස්සර සල්ලි නැතිව වාගේ තමයි ජීවත් වුණේ. හරි චාම් දිවිපෙවෙතක් තමයි ගත කළේ. දැන් අරන් ගිහින් හිර කරලා ඉන්නකොට ඇඳුම් පැලඳුම් සහ දරුවාට සෙල්ලම් බඩු ගෙනත් දෙනවාලු. සල්ලි ඕනෑ තරම් අතේ තියෙන බවත් පේන්න තිබුණා කියලා දුව කියනවා. කන්න බොන්න දුන්නාලු. එයා කියනවා එතන ඉන්නකොට ගොඩාක් ගුවන් යානා ඇහුණා කියලා. නමුත් එයා හරියටම හිටපු තැන කොහේද කියලා දන්නේ නැහැ.   


එයා කොහේ හරි එක්ක යනවා නම් එයාට සිංහල හැඳුනුම්පතක් දීලා කියලා තියෙනවා ඔයා පොලිසියෙන් ඇල්ලුවොත් කතා කරන්න එපා මම තමයි කතා කරන්නේ කියලා. මුහුණ වහන්න එපා කියලත් තියෙනවා. මේ ගෙදර ඉඳලා තව ගෙදරකට මාරු වුණාලු. ඒ ගෙදර ටිකක් ඉඩ තිබුණා කියලා කියනවා. නමුත් දවල් රාත්‍රිය ද කියලා ඒ ගෙදරදි හොයා ගන්න බැරි තරමට නිතරම ලයිට් දාලා තිබුණු ගෙදරක් කියලා තමයි දුව කියන්නේ.   


ඒ ගෙදර ඉන්නකොට එයාට තේරුණාලු ගෙදර ගොඩාක් අය එළියේ ඉන්නවා කියලා. සමහර වෙලාවට එළියට යන පුතා තාත්තා එක්ක මෙයා ළඟට ආපුවාම කියනවාලු බාප්පා ගැන. බාප්පා (සාහිඩ් අබ්දුල්ලා) කියලා කියන්නේ එයාගේ මල්ලි. එයත් මේ සිද්ධියේ ප්‍රධාන පුද්ගලයෙක් එයාගේ ඡායාරූපත් පසුගියදා මාධ්‍යයෙන් ප්‍රචාරය කළා. දුව සමහර දවස්වල එයා ඉන්න තැන දොර යට ඇති බිමයි දොරයි අතර කොටසෙන් මොනවාද මේ අය කතා කරන්නේ කියලා අහන්න උත්සාහ කරලා තියෙනවා.  


මට හරි දුකයි දුව කියපු දේවල් මතක් වෙන කොට. මාගේ දුව මේ ගෙදරින් තවත් තැනකට මාරු වුනාලු. ඒ ගෙදර ඉන්නකොට කලබලයක් වුණාලු. මෙයාලා හරියට කලබල වෙලා වාගේ. මම හිතන්නේ බෝම්බ පුපුරපු දවසේ වෙන්න ඇති. මෙයාට ලැස්ති වෙන්න කියලා වෙන ගෙදරකට ගිහින් දැම්මාලු. ඒ ගෙදර ඉන්න බැරි තරම් රස්නෙයි කියලා එයා කියනවා. මේ විදිහට කාලය ගත කරලා අපේ ගෙදරට ආපු දවසේ කොහේද යන්නේ එන්නේ කියලා දන්නේ නැතිලු. 

 
වෙනදා වගේම ඇස් බැඳලා වෑන් එකට ගත්තාලු. කොහේදෝ පාළු තැනක නැවැත්තුවාලු. පයින් ඇවිත් ත්‍රීවිල් එකක නැගලා කරඬුපන හන්දියේ බැහැලා තියෙනවා. එතන විසිතුරු මසුන් විකුණන තැනක් තියෙනවා. එතනින් ළමයාට මාළු අරන් දීලා කෑගල්ල නුවර බස් එකක නැගලා නුවරට ටිකට් එකකුයි මාවනැල්ලට ටිකට් එකකුයි ගත්තාලු. එතකොට තමයි මෙයාට දැනිලා තියෙන්නේ මම දැන් ගෙදර යනවා කියලා. මාවනැල්ලට ඇවිත් මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලය ඉස්සරහා තියෙන බස් නැවතුම ළඟින් බැහැලා තියෙනවා. එදා මුළු ටවුම වහලා සිකුරාදා දවසක්. තැනින් තැන කඩ ඇරලා තිබුණාලු. සිංහල කෙනෙකුගේ ත්‍රීවීල් එකකට නැගලා මරාවට යන්න ඕනෑ කීවාට පස්සේ ඇවිත් මෙතන බස්සලා තියෙනවා.   


නමුත් මගේ දුව බස් රථයෙන් බස්සලා ඒ මනුෂ්‍යයා නුවර පැත්තට ගිහින්. මේ මනුෂ්‍යයා මාගේ දරුවාට පොඩ්ඩක්වත් ආදරය නැහැ. මෙයාව මරනවා කියලා කියපු මේ මනුෂ්‍යයා ආදරයට මේ ගෙදරට මගේ දරුවා ගෙනත් දැම්මා නොවෙයි. මරාගෙන මැරෙන කටයුතුවලට  මගේ දරුවා එකඟ නොවුණු නිසා මේ මනුෂ්‍යයා රටේ තිබෙන ආරක්ෂක තත්ත්වයත් උඩ දුව දාලා පැනලා යන්න ඇති.   


දුව කොළඹ සී.අයි.ඩී. එකට අරන් යනකොට දුව කියන පාරෙන් ගියා. දුව දාලා ගියා කියන තැන සොයාගෙන ගියා. කරඬුපනින් ඇතුළට දාලා ගිහින් හිරිවඩුන්නෙන් පොල්ගහවෙලට වැටෙන පාරේ පාළු තැනකින් තමයි මේ අය දාලා වෑන් එක ගිහින් තියෙන්නේ. දුව කීවා එක පැත්තක කැලෑව අනික් පැත්තේ කොළ පාට දැල් තිබුණා එතන තමයි බැස්සේ කියලා කීවා.   


මාගේ දුව මට කීවා අම්මා අපි හිතපු විදිහේ මිනිස්සු නොවෙයි ඒ අය මහ භයානක මිනිස්සු. ළමයා පරිස්සමින් බලා ගන්න කියලා. එයා මට අඬ අඬා කීවා. අපි මේ මනුෂ්‍යයාගේ ගෙදර ඉඳලා හිටලා යනවා. ඒ මනුෂ්‍යයා කොහේ හරි යනවා නම් දුව අපේ ගෙදර ගෙනත් දමලා යනවා ළමයත් එක්ක. මේ වගේ සංවිධානයක ඉන්නවා කියලාවත් මගේ දුව දන්නේ නැහැ. සියලු දේවල් කරලා තියෙන්නේ හොර රහසේ.   


එ්ක තමයි මගේ දුව ගෙදර ඇවිත් කීවේ මම හිරේ ගියත් කමක් නැහැ මට එයාව පාවලා දෙන්න ඕනෑ කියලා අඬ අඬා කීවේ. රට බේරා ගන්න ඕනෑ කියලා තමයි මගේ දුව පොලිසියෙන් අරන් යනකම් අපි සමග කීවේ යැයි පැවසුවාය.   

 

සැකකාර කාන්තාව සිටි මාවනැල්ල මුරුතවෙල නිවස

 


කෙසේ වෙතත් පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවූ උදෑසන ෆාතිමා සහීඩා රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට සුදු ඇඳුමකින් සැරසී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ පූජ්‍ය රජවත්තේ වප්ප අනුනාහිමියන් මාධ්‍ය වෙත හෙළිදරව්වක් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ පරික්ෂණ සිදු කරන හෙයින් එම තොරතුරු ඉදිරියේ දී කරුණු රටට අනාවරණය වනු ඇති අතර අප මෙම පුවත ලියන ලද මැයි 1 වැනිදා වන විට එම කරුණු අනාවරණය වී නොතිබුණි.   


ෆාතිමා සහීඩාගේ ස්වාමියා වන මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්. ඔහු සහ ඔවුන්ගේ අනුගාමිකයන් පිරිසක් මාවනැල්ල ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කරමින් සිටියදී පසුගිය 26 වැනිදා මාවනැල්ල සීමාවේ දිදුලවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශවාසී තරුණයන් දෙදෙනෙක් විසින් අල්ලාගෙන ඇති අතර එහිදී සිදු වූ පොර බැදීමකින් පසුව එයින් එක් පුද්ගලයෙක් පැන ගොස් ඇත. ඔහු මෙම මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා නම් වන අතර ෆාතිමා සහීඩාගේ ස්වාමියායි. එම බුදු පිළිම කැඩීම සිදු වූ දා එක් මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔහු හරහා සියලු විස්තර ආරක්ෂක අංශ සොයාගෙන මේ වන විට සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.   


නමුත් ප්‍රධාන සැකකරුවන් වූ ෆාතිමාගේ ස්වාමියා වූ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා සහ ඔහුගේ සොහොයුරා පොලිසියට මාස 4 කටත් වඩා වැඩි කාලයක් කට්ටි පනිමින් සිට පසුගිය දින ගම්පොළ සපත්තු කඩයක දී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගනු ලබන්නේ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ද මොවුන් වැරදිකරුවන් වන හෙයිනි. බුදු පිළිම කැඩූ දින ද පුවත් පත්වල මේ සිදුවීම රටට අනාවරණ කරමින් ඔවුන් අයි.එස්. ත්‍රස්වාදීන් බව ප්‍රකාශ කළ අතර අද වන විට එය තහවුරු වෙමින් පවතී. මේ සියලු ප්‍රශ්න ඉතා ඉක්මනින් අවසන් කර නැවත මේ රටේ සාමය ඇති කළ යුතු අතර වසර 30ක කුරිරු යුද්ධයක් අවසන් කළ අපේ මාතෘභූමියට මෙය කළ හැකි බව තහවුරු කරමින් මෙම ලිපිය අවසන් කරන්නේ නැවත ත්‍රස්තවාදයක් නොව සාමයක් රට තුළ ඉක්මනින් ඇති වේවායැයි පතමිනි.   

 

 


ජායාරූප හා සටහන 
මාවනැල්ල හෙම්මාතගම
සමන් විජය බණ්ඩාර