ජනතාව වැළපෙද්දී පිස්සු නටන ලෝක නායකයෝ


බොල්සරානෝ

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වසංගතයෙන් ලොවට එල්ල වන බලපෑම තවමත් අවසන් නැත. චීනයෙන් ඇරැඹි වයිරසයේ නව කේන්ද්‍රස්ථානයට පත් වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමෙරිකාවය. ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලය, ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19‘ ආසාදිතයන් සහ මරණ වාර්තා වන රටය. වයිරසය ඉවක්බවක් නොමැතිව ව්‍යප්ත වෙද්දී, එය මර්දනය කර ගැනීමට අසමත් වී සිටින ලෝක නායකයෝ කිහිප දෙනෙකි. ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ‍ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ එම ලැයිස්තුවේ ඉදිරියෙන් වෙති. ජනපති ට්‍රම්ප් හෝ ජනපති බොල්සරානෝ හෝ වයිරසය ගැන තැකීමක් කරන්නේ නැත. ඒ, ලොක්ඩවුන් කරමින් ආර්ථිකය අඩපණ වීමට ඉඩදීමට ඔවුන්ගේ කැමැත්තක් නොමැති නිසාය.   


ට්‍රම්ප් සහ බොල්සරානෝ දෙදෙනා ගජමිතුරෝය. බලයට පත් වූ අවස්ථාවේ පටන් ‍බොල්සරානෝ කියා සිටින්නේ තමන් යන්නේ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ අඩිපාරේ බවය. එය සැබෑවකි. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කිසිදු තැකීමකට ලක් නොකරන, ‘පිස්සු නටන‘ ජනපතිවරුන් දෙදෙනකු ලෙස ට්‍රම්ප් සහ බොල්සරානෝ අද ජනප්‍රිය වී සිටිති. එලැඹෙන නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි. ‘කොවිඩ් 19‘ වයිරස වසංගතයට ජනපති ට්‍රම්ප් මුහුණ දෙන ආකාරය ඔහුගේ ජය පරාජය තීරණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 


‘කොවිඩ් 19’ ගැන කිසිදු තැකීමක් නොකරන බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට කැස්සක් ඇති බව පසුගිය දා වාර්තා විය. එසේ කැස්සක් තිබියදී පවා ඔහු ජනරැලිවලට සහභාගී වෙයි. ජනතාව අතරට යයි. පොඩි දරුවන් තුරුළු කර ගනිමින් සිපගනී. කොවිඩ් 19’ වයිරසය අවතක්සේරු කළ නායකයකු ලෙස බොල්සරානෝ දිනපතා බ්‍රසීල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල දෝෂ දර්ශනයට ලක් වෙයි. රට ලොක්ඩවුන් කරමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරන්නැයි විපක්ෂ කණ්ඩායම් විරෝධතා පවත්වයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනපති බොල්සරානෝට හිතවත් දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජනරැලි පවත්වයි. බොල්සරානෝ කැස්ස තියාගෙන සහභාගී වන්නේ මෙම ජනරැලිවලටය. මේ වනවිට බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු සහ සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්වී ඇත. ඒ, ඔවුන් ජනතාව ආරක්ෂා කර ගැනීමට උපදෙස් දෙද්දී ජනපති බොල්සරානෝ ඊට විරෝධය දැක්වීමත් සමඟ හටගත් මතගැටුම් නිසාය. වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයටය. සාඕ පාවුලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, රෝහල් සියල්ල අතුරුසිදුරු නොමැතිව පිරී ගොස් ඇතැයි පැවැසෙයි. 

 

උපදේශක ඩොමිනික් කමින්ස්

 

‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය ලබා දෙන උපදෙස් තැකීමකට ගන්නේ නැතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් දොස් අසයි. විවේචනයට ලක් වෙයි. ට්‍රම්ප් ට වැඩියෙන්ම දොස් අහන්න සිදුවී ඇත්තේ ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය නියෝජනය කරමින් ධවලමන්දිරයට අනුයුක්ත  ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රිචඩ් ජැක්සන් ගෙනි. රිචඩ් ජැක්සන් එම තනතුර හොබවන්නේ 2001 වසරේ සිටය. ඇමෙරිකාවේ සරම්ප සහ සූකර උණ වසංගත පැතිරෙද්දී, ඒවා පාලනය කිරීමටත් ව්‍යාප්තිය වැලැක්වීමටත් මැදිහත් වී කටයුතු කළ අයකු ලෙස රිචඩ් ජැක්සන් ප්‍රකටය. ලොව වැඩිම කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වෙද්දී, ඇමෙරිකාවේ ලොක්ඩවුන් කළ ජනපද 50 යළි විවෘත කර අඩපණ වුණු ආර්ථිකය යළි ගොඩනැගීමට ජනපති ට්‍රම්ප් සූදානම් වෙයි. ජනපති ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය එසේ නොකරන්නැයි පුනපුනා පවසද්දීය. ලොව වැඩිම කොවිඩ් 19’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් හමුවීම ඇමෙරිකාවට ගෞරවයක් බව ජනපති ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, වැඩිම ආසාදිතයන් හමුවුණේ ඇමෙරිකාව ලොව අන් කවර රටකටත් වඩා වැඩි වේගයකින් කොවිඩ් 19’ පරීක්ෂණ සිදු කරන බව පැහැදිලි කරමිණි. 


ඇමෙරිකන් ‘රණවිරු සැමරුම් දිනය‘ (මෙමෝරියල් ඩේ) දා, නිරෝධායන තහංචි ලිහිල් කළ අවස්ථාවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වර්ජීනියාවේ සිය ගොල්ෆ් ක්‍රීඩාංගණයට ගොස් ගොල්ෆ් ක්‍රීඩා කළේය. ඒ වනවිට ඇමෙරිකාවේ මරණ 10,000 තෙක් වැඩි වී තිබුණි. මරණ ගොඩගැහෙද්දී, ජනපති ට්‍රම්ප්ගේ මෙසේ ගොල්ෆ් ක්‍රීඩා කිරීම ඇමෙරිකානු මාධ්‍යවල දැඩි විවේචනයට හේතුවක් විය. ට්‍රම්ප් මෙසේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගියේ මාර්තු මාසයෙන් පසුවය. ‘රණවිරු සැමරුම් දිනය‘ දා ට්‍රම්ප්, සෞඛ්‍ය අංශ දුන් උපදෙස් තැකීමකට නොගෙන රටට පනවා තිබුණු තහංචි ලිහිල් කළේය. ඒ අනුව, ඇමෙරිකානුවෝ බොහෝ දෙනකු සමාජ දුරස්ථභාවය ගැන කිසිදු තැකීමක් නොකර උද්‍යානවල, මුහුදු වෙරළවල විනෝද වෙමින් කාලය ගත කරන අයුරු දැක ගන්න ලැබුණි. ජනපති ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගියේ ඊට නොදෙවැනි අයුරිනි. ගොල්ෆ් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පිළිතුරු දීමට ද ජනපතිවරයා අමතක නොකළේය. ‘මාධ්‍ය මට මඩගහනවා. හරියට මහා අපරාධයක් කළා වගේ. මා ගැන වැරැදි පුවත් පළ වෙනවා. ඒවා බොරු.‘ යැයි ට්විටර් පණිවුඩයේ දැක්විණි. 2014 වස‍රේ දී ඇමෙරිකාවේ ඉබෝලා වයිරස වසංගත තත්ත්වයක් පැවැතිණි. එම අවස්ථාවේදී ජනපති ධුරය හෙබවූයේ ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාය. වසංගත තත්ත්වය පැවැති අවස්ථාවේදී ඔබාමා ද ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගියේය. එම සිදුවීම ද ඇමෙරිකන් මාධ්‍යවේදීන්ගේ වැඩි විවේචනයට හේතුවක් විය. 


‘කොවිඩ් 19‘ හෙවත් කොරෝනා වයිරසය අඩපණ කිරීමට මැලේරියා නාශක ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුවට හැකි බවත්, එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පෙන්වා දී තිබේ. තමන් දිනපතා එක් පෙත්තක් බොනවා යැයි ජනපති ට්‍රම්ප් පවසා ඇත. ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්’ යනු වසර 40 ක් තිස්සේ මැලේරියා නාශක ඔසුවක් ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන ඔසුවකි. කෙසේ නමුත් මෙය ‘කොවිඩ් 19‘ සඳහා ඔසුවක් නොවෙයි. ඇතැම් රටවල් මෙය ‘කොවිඩ් 19‘ ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන්නේ වෙන විකල්පයක් නොමැති බැවිනි. ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්’ අතුරු ආබාධ ඇති කරන බව පැවැසෙයි. ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ තමන් පමණක් නොව, ‘කොවිඩ් 19‘ වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ඇමෙරිකන් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු බොහෝ දෙනකු ‘හයිඩ්රෝක්සික්ලෝරෝක්වීන්‘ භාවිතයට ගනිමින් ‘කොවිඩ් 19‘ ආසාදනය වීම වළක්වා ගනිමින් සිටින බවය. 


වෛද්‍යවරයෙකු වෙමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කරන

‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්‘ මැලේරියා නාශක ඖෂධය, භාවිතයට ගැනීම ලෝක ‍සෞඛ්‍ය සංවිධානය මගින් පසුගිය දා තාවකාලිකව තහනම් කළේය. එවැනි තත්ත්වයක් යටතේ පසුගිය 27 වැනිදා එල්සැල්වදෝරයේ ජනාධිපති නයීබ් බුකෙ‍ලේ කියා සිටියේ ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්‘ ඔසුවට ‘කොවිඩ් 19‘ පරාජය කිරීමේ ගුණය ඇති බවය. එල්සැල්වදෝරය යනු ලතින් ඇමෙරිකා රටකි. ‘නැහැ. මා උත්සාහ ගන්නේ නැහැ හයිඩ්රොක්සික්ලෝරෝක්වීන් ප්‍රචලිත කරන්න. ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්’ වසර 40 ක් තිස්සේ භාවිතයට ගන්නා ඔසුවක්. එය කොවිඩ් 19 වයිරසයට ප්‍රතිකර්මයක් නොවන බව ඇත්ත. ඒත් වයිරසයට එරෙහිව එහි ගුණයක් තිබෙනවා ඒක ඇත්ත. මා ‘හයිඩ්රොක්සික්ලෝරෝක්වීන්‘ පෙත්තක් බොන්නේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ ට්‍රම්ප් සහ බොල්සරානෝ කරනවා වගේ.’ යැයි ජනාධිපති නයීබ් බුකෙ‍ලේ මාධ්‍ය හමුවේ පැවැසීය. 

 

 

‘කොවිඩ් 19‘ වයිරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින්, රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, වියානා අගනුවර අවන්හලකට ගිය ඔස්ට්‍රියා ජනාධිපති ඇලැක්සැන්ඩර් වොන්දර්බෙලන් ට දොස් අහන්න සිදුවිය. ඒ අනුව ඔහු ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. ඔස්ට්‍රියාව යනු මධ්‍යම යුරෝපයේ පිහිටි රාජ්‍යයකි. වියානා යනු ඔස්ට්‍රියාවේ අගනුවරය. ඔස්ට්‍රියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19‘ හෙවත් කොරෝනා ආසාදිතයන් ගණන 17,000 ඉක්මවා ඇත. එයින් 15,00 කට වැඩි දෙනකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටින බව පැවැසෙයි. මරණ සංඛ්‍යව 640 කි. වයිරස ව්‍යාප්තිය වැලැක්වීමේ සහ පාලනය කිරීමේ අරමුණින්, නිරෝධායන තහංචි ක්‍රියාත්මක වන අතර සෑම දිනකම රාත්‍රී 11 ට ඇඳිරි නීතිය පැනැවෙයි. පසුගිය දා ජනපති වොන්දර්බෙලන්, බිරි‍ඳ සහ යහළුවන් කිහිප දෙනකු ද සමග නගරයේ ජනප්‍රිය ඉතාලි අවන්හලට ගොස් ඇත්තේ රාත්‍රී ආහාරය සඳහාය. ඇඳිරි නීති වේලාව පසුවනතුරු ජනපතිවරයා සහ බිරිඳ අවන්හලේ සිට ඇත. අවන්හලේ හිමිකරු ජනපති තවමත් ඇතුළේ සිටින බැවින් අවන්හල වසා දැමීම ප්‍රමාද කර තිබේ. ඒ රාත්‍රී 12 පසු වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. 


ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක අවන්හල විවෘතව තැබීම සහ ජනපතිවරයා පිරිසක් සමඟ එහි සිටිනු දැක ඇත්තේ පොලිසියයි. ජනපතිවරයා ඇඳිරි නීතිය කඩකරමින් අවන්හලේ සිටින පුවත මාධ්‍ය හරහා  ප්‍රසිද්ධියට පත් විය. නීතිය කාටත් පොදු යැයි සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා කසුකුසු ගාන්න පටන් ගත්තේය. පසුව දා ජනපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. ඒ, මුහුණ ද ආවරණය කර ගනිමිනි. එම සිදුවීම සම්බන්ධයෙන් තමන් අවංකව කනගාටු වන බවත් ඒ ගැන සමාව ඉල්ලන බවත් ජනපතිවරයා කියා සිටියේය. රාජකාරිය අකුරට කළ පොලිස් නිලධාරීන්ට ජනපතිවරයාගේ ප්‍රශංසාව ද හිමිවිය.‘මිතුරන් සමඟ සිටි බැවින් වෙලාව යනවා මට දැනුනේ නැහැ. මා අතින් සිදුවුණේ ලොකු වරදක්’ යැයි ජනපතිවරයා පැහැදිලි කළේය. ‘රාත්‍රී 11 වෙද්දී බොහෝ දෙනා අවන්හලෙන් ගියා. අප ඒ නියමිත වෙලාවට අවන්හල වැසුවත්, ජනපති සහ පිරිස සිටින නිසා ඔවුන් යන කල් බලන් හිටියා. ඔවුන්ට යන්නැයි කියන්න විදියක් තිබුණේ නැහැ. ඒ අතරේ තමයි 12.20 ට විතර පොලිසියෙන් ආවේ.’ යැයි අවන්හලේ හිමිකරු මේ අතරේ ‘ක්‍රෝන්’ නමැති එරට පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත. ඉතාලියෙන් පසු, ‍‘කොවිඩ් 19‘ වයිරස වසංගතය හේතුවෙන් දැඩි නීති පනවා ඇති යුරෝපා රට ඔස්ට්‍රියාවය. මේ වනවිට එම තහංචි ලිහිල් කර ඇති නමුත් දිනපතා රාත්‍රියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. 


‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි සහ නව නීති හේතුවෙන් මරණාසන්නව සිටි තම මව බැලීමට හෝ ඇගේ අවමංගල්‍යයට හෝ සහභාගී වීමට නොහැකි වුණු බව නෙදර්ලන්ත අගමැති රූට් පසුගිය දා පැවැසුවේ හැඟීම්බරවය. අගමැති රූට්ගේ මව 96 හැවිරිදි මිකේ රූට් ය. ඇය ඇගේ ජීවිතයේ අවසන් කාලයේ ගත කළේ හේග් නුවර වැඩිහිටි නිවාසයක වෛද්‍ය සහාය ලබමිනි. ‘කොවිඩ් 19‘ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිහිටි නිවාසවලට යෑම තහනම් විය. අගමැතිගේ මව මරණාසන්න වූයේත්, අවසන් සුසුම් හෙළුවේත් එම තහංචි පනවා ඇති අවස්ථාවකය. ‘මට මගේ අම්මා බලන්න බැරිවුණා. ඇය අවසන් සුසුම් හෙලද්දී ළඟ ඉන්න බැරිවුණා. අගමැති වුණත් මට බැහැ මං වෙනුවෙන් විශේෂයක් කරන්න. මා සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. සෞඛ්‍ය අංශ පැනැවූ නීතිවලට යටත් විය යුතුයි. අම්මාගේ අවමංගල අවස්ථාවටවත් මට යන්න බැරිවුණා‘ යැයි නෙදර්ලන්ත අගමැති පැහැදිලි කළේය. නෙදර්ලන්ත අගමැති මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බ නිසාය. ජොන්සන් අකරතැබ්බට මුහුණ පෑවේ ඔහුගේ ප්‍රධාන උපදේශක ඩොමිනික් කමින්ස් මුල්කොට ගනිමිනි. 


වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මහා බ්‍රිතාන්‍ය ලොක් ඩවුන් කර තැබුණු අවස්ථාවේදී, නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, ඩොමිනික් කමින්ස් සිය බලතල පෙන්වා, බිරිඳ සහ සිවු හැවිරිදි පුතු ද සමඟ කිලෝ මීටර් 400 ක් දුර ගෙවා, සිය මව සහ පියා බැලීමට‍ ගොස් ඇත. එම අවස්ථාවේ, කමින්ස් ට පමණක් නොව ඔහුගේ බිරිඳට ද ‘කොවිඩ් 19‘ ආසාදනය වී තිබුණි. ඒ බව අනාවරණය වූයේ පසුවය. කමින්ස් කළ එම ක්‍රියාව කිසිසේත් අනුමත කළ හැකි එකක් නොවන බව පැහැදිලිය. අගමැති ජොන්සන් කළ යුත්තේ ඔහු තනතුරින් නෙරපීම යැයි බොහෝ දෙනාගේ මතය විය. කෙසේ නමුත් සිදුවූයේ ඊට වෙනස් දෙයකි. තමන් මව සහ පියා බැලීමට ගියේ, ඔවුන් ගැන සොයා බැලීමට වෙන අයකු නොවූ බැවින් යැයි කමින්ස් පසුව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් පැහැදිලි කළේය. කමින්ස් සිය ක්‍රියාව සාධාරණීකරණයට ලක් කිරීමට උත්සාහ ගත්තේය. තමන් වරදක් නොකළ බව තරයේ පැවැසුවේය. තම ප්‍රධාන උපදේශක බේරා ගැනීමට අගමැති ජොන්සන් ඉදිරිපත් විය. ජොන්සන් පසුව මාධ්‍යට කියා සිටියේ, කමින්ස් වගකීමෙන් කටයුතු කළ බවත් ඔහු වරදක් නොකළ බවත්ය. මෙය බ්‍රිතාන්‍ය වැසියන්ගේ දැඩි පිළිකුලට හේතුවක් විය. 

 


ලු‍සිත ජයමාන්න 
රොයිටර් ඇසුරිනි