ඡන්ද ගැටුමකින් මියගිය තරුණයෙක් යළි උපදී


​පෙර භවයේ ප්‍රබල සාක්කි

 

මැතිවරණයක් අවසානයේ බොහෝවිට දිනුම් පැරදුම් දෙපාර්ෂව අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබේ. ඡන්ද ව්‍යාපාර අවසන්වීමෙන් පසු ඇතැම් විට මිනීමැරුම් පවා සිදුවන අවස්ථා ඇත. ඡන්දයක් අවසානයේ ඇතිවූ ගැටුමකින් මරණයට පත්වූ බැව් හෙළි කළ දරුවෙකුගේ ප්‍ුනර්භව සිදුවීමක් මීට වසර ගණනකට උඩදී අනාවරණය වීය.   
ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ඇතිවූ උද්ඝෝෂණ රැල්ලකට සහභාගි වී සිටි තරුණ සොහොයුරන් දෙදෙනෙකුට සිදුවූයේ බලාපොරොත්තු නොවූවකි. මුස්ලිම් ජාතික එම සොහොයුරන් දෙදෙනා සහභාගිවී සිටියේ ගම්සභාපති ඡන්දයක් අවසානයේ පැවති පෙළපාළියකටය. ඡන්දය ජයගත් පාක්‍ෂිකයෝ උද්දාමයට පත්වී ප්‍රීතිවෙමින් සිටියහ. එහිදී පරාජිත පිරිසද ඒ අතර සිටිමින් උද්ඝෝෂණවල නිරත වී සිටියහ.   


තරුණ සොහොයුරන් දෙදෙනා ද ඒ අරත වූහ. තම වැඩිමහල් සොහොයුරාට කිසියම් අනතුරක් සිදුවූ බැව් බාල සොහොයුරාට දක්නට ලැබිණි. වැඩිමහල් සොහොයුරා තුවාල ලබා බිම වැතිර සිටියේය. එය දුටු සැණින් බාල සොහොයුරා ඔහු වෙත දිව ගියේය. ක්ෂණයෙන් එල්ල වූ වෙඩි පහරක් බාල සොහොයුරාට වැදුණි. පිරිස අතර තිබූ ජීප් රියකින් ඔහු රෝහල්ගත කැරිණි.   


හිසටත් සිරුරටත් වැදී තිබු වෙඩි පහරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි ඔහු පසුදින මෙලොවින් සමුගත්තේය. මේ අයුරින් මරණයට පත්වූයේ මුස්ලිම් ජාතික තරුණයෙකි. ඔහුට නම් දී තිබුණේ ‘‘අලි’’ යනුවෙනි. ඒ වන විට ඔහු විසිහතරවන වියේ පසුවිය. ඔහුගේ මරණය සිදුවූයේ 1963 ජනවාරි 15 වැනිදාය.   


ඡන්ද ව්‍යාපාරයකදී සිදුවූ මරණයක් ලෙස අලිගේ මිනීමැරුම අනාවරණය වීය. තරුණ පුත්‍රයාගේ වියෝවීම මාපියන් ඇතුළු නැදෑ හිතුවතුන්ට දැරිය නොහැකි ශෝකජනක සිදුවීමක් බවට පත්වී තිබිණි. ඔහුගේ මරණින් පසු ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයෙන් සැතපුම් 17ක් දුරින් පිහිටි නිවසක පදිංචි වී සිටි අටදෙනෙකු ගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස පිරිමි දරුවෙකු උපත ලැබීය. එම දරුවා උපත ලැබුවේ 1963 ජනවාරි 20 වැනිදාය.  


මෙනෙට් යනුවෙන් නම් ලද එම දරුවා උපතින්ම දක්නට ලැබුණු අති විශේෂ සිදුවීමක් වීය. දරුවාට මසක් ගත වන විට ඔහුගේ හිස පිටුපස තුවාලයක් සිදුවී ඇති අයුරු දක්නට ලැබිණි. ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ මාපියන්ට දක්නට ලැබුණේ හිස පිටුපස තුවාලයක් ලෙස දක්නට ඇති ස්ථානයෙන් රුධිරය කාන්දුවීමක් සිදුවන බවය. මාපියෝ ඔහු වෛද්‍යවරුන් වෙත රැගෙන ගියහ. වෛද්‍ය මතය වූයේ හිසට ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවය.  


වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායමක් එම දරුවාගේ හිසට සැත්කමක් සිදුකළහ. අනතුරුව ඔහුගේ එම රෝගී තත්ත්වය සුවපත්වීය. එතැන් සිට නිරෝගීව වැඩුණු එම දරුවා බහ තෝරණ වියට පත්වන විට වයස අවුරුදු දෙකක් පමණ වීය. ඔහුට අසන්නට නොලැබුණු ප්‍රදේශයක් ගැනත් පුද්ගල නමකුත් එම දරුවා ප්‍රකාශ කරන්නට විය.  


ඔහු හෙළිකරන පුද්ගල නම තම පියාගේ බවත් ඔහුගේ නම අලි බවත් එම දරුවා ප්‍රකාශ කළේය. තම දරුවා පෙරභවයක් පිළිබඳව අනාවරණය කරන බවක් මාපියෝ නොදත්හ. ඔහු තව තවත් තොරතුරු හෙළිකරන්නට විය. දිනක් මව ඇමතූ දරුවා.  


මට අපේ ගෙදර යන්න ඕනෑ. ඒත් යන්න බයයි. මාව මරයි. යනුවෙන් පැවසීය. තම පුත්‍රයා කරනු ලබන ප්‍රකාශය පිළිබඳව මාපියෝ මවිතයට පත්ව සිටියහ. පෙරභවයේ නම සහ මරණය සිදුවූ අයුරුද මෙම දරුවා මතකයෙන් හෙළිකරන්නට විය.   


ඔහු අනාවරණය කරන තොරතුරු ගමපුරා පැතිර ගියේය. ඒ අනුව ඡන්ද ව්‍යාපාරයකදී මරණයට පත්වූ සොහොයුරන් දෙදෙනාගේ ඥාතීන්ටද මෙම පුවත සැලවිය. ඒ අනුව පෙරභව බිරිය ඇතුළු ඥාතීන් කීප දෙනෙක් එම දරුවා බැලීමට පැමිණියහ. එහිදී පෙරභව පවුලේ ඥාතීන් කීප දෙනෙක්ව නිවැරදිව හඳුනාගැනීමට එදා එම දරුවාට අවස්ථාව ලැබිණි.  


මෙම දරුවාගේ පුනර්භවය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු මනෝ විද්‍යා පුනර්භව පර්​ෙ‌ය්ෂකයෝ ඔහු හෙළිකළ තොරතුරු දැඩි විමර්ශනයකට ලක්කළහ. එහිදී අතිශය ප්‍රබල සාක්කි බවට පත්වූ කරුණු රැසක් තිබිණි. එම දරුවා මතකයෙන් හෙළි කළ පෙර භවයේ නම නිවැරැදිව අනාවරණය වීම ප්‍රධානතම කරුණ වීය. ඒ හැර සොහොයුරාද එම ඡන්ද උද්ඝෝෂණයේදී මරණයට පත්වූ බැව් ඔහු හෙළිකළේය.  


හිසට එල්ල වූ ප්‍රහාරය සිදුවූ ස්ථානයක් ඔහු නිවැරැදිව ප්‍රකාශ කළේය. තම හිසට ඉල්ල වූ ප්‍රහාරය සිදුවූ හිස පිටුපස තුවාලය ඔහු විසින් අනාවරණය කිරීමද ඉතා නිවැරැදි විය.  
මෙම පුනර්භව සාධකයේ හෙළිවූ තවත් ප්‍රබල සාක්කියක් බවට පත්වූයේ ඔහුගේ පෙරභවයේ බිරිය පිළිබඳව අනාවරණය කළ තොරතුරකි. එනම් ඇය දරුවෙකු ලැබීමට සිටි බැව් එම දරුවා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී පෙරභවයේ බිරිය ඒ වන විට ගැබිනියක්ව සිට ඇති බවත් පෙරභවයේ ඇගේ සැමියා මියගොස් දින දෙකකට පසු ඇය දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවත් සනාථවීය.  


මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් වන්නේ (HE SAID HIS WIFE WAS PREGNANT WHEN HE DIED) යනුවෙනි. එය සනාථවූ අන්දම පෙරභවයේ බිරිඳ පිළිබඳව සඳහන් කර ඇත්තේ.  


(SHE GAVE BIRTH TO A GIRL TWO DAYS AFTER DEATH ALIS) යනුවෙනි.  


මෙම දරුවාගේ පුනර්භව සාධකයේ දක්නට ලැබුණු තවත් ඉතා වැදගත් සාක්කියක් බවට පත්වූයේ ඔහුගේ පෙරභවයේ හිසට තුවාලය සිදුවූ ස්ථානයේ රුධිරය පිටවීමක් දක්නට ලැබීමය. මේ පිළිබඳව වෛද්‍ය අංශය මගින්ද කරන ලද විමර්ශනයකද මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇත.  


THE REPORT OF THE POSTMORTEM EXAMINATION ON THE BODY STATED THAT HE HAD BEEN STRUCK ON THE SKULL IN THE MIDLINE) යනුවෙනි.  


පෙරභවය හෙළිකළ දරුවාගේ හිසේ රුධිරය ගැලීම සිදුවූ අයුරුද එහි සඳහන් වී ඇත්තේ. (A BIRTHMARK THE BACK OF HIS HEAD IN THE AREA AFFECTED THERE WAS BLEEDING) යනුවෙනි. 


මෙම දරුවාගේ පුනර්භව සාධකය වැදගත් ප්‍රබල සාක්කි රැසක් සමඟ සනාථ වී ඇත. එහි ඇති තවත් ඉතා දුර්ලභ සිදුවීමක් තිබේ. එනම් පෙරභවයේ මරණයට පත්වූ පුද්ගලයාගේ මරණයත් පෙරභවයේ තොරතුරු හෙළි කළ දරුවාගේ උපතත් අතර දක්නට ඇති විශේෂත්වය විය. එනම් එම දරුවා උපත ලබා ඇත්තේ පෙරභවයේ මරණය සිදුවී හරියටම දින පහකට පසුව වීමය.  


මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණය සිදුකරනු ලැබුවේ හැටේ දශකයේදී තුර්කියේ ඡන්ද ව්‍යාපාරයකදී සිදුවූ ගැටුමකී මියගිය බැව් හෙළි කළ දරුවෙකු පිළිබඳවය. ගැටුමට ලක් වී මරණය සිදුවූ අන්දම එම දරුවා විසින් කළ ප්‍රකාශය මගින් හෙළිවූයේ පෙරභවයේ සොහොයුරාද අනතුරට පත්වූ අවස්ථාවේ ඔහුද තුවාල ලැබූ බවය. එම සිදුවීම පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත්ව ඇත්තේ.  


"HE SAID HE SAW HIS BROTER HAD BEEN SHOT HE RAN TO HELP HIM AND WAS HIMSELF FATALLY WOUNDED. HE WAS PUT TNTO A JEEP AND CARRIED INTO HOSPITAL WHERE HE DIED THE FOLLOWING DAY.'' යනුවෙනි.  


පෙරභවයේ අනතුර සිදුවූ ස්ථානයේ උපතින් රුධිරය ගැලීමක් දක්නට ලැබුණු දුර්ලභ පුනර්භව සාධකයක් ලෙසද මෙම දරුවාගේ පුනර්භව කතා පුවත පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී තිබේ. ඡන්ද ව්‍යාපාර උද්ඝෝෂණයකදී මියගිය බැව් හෙළිවූ ප්‍රථම පුනර්භව සාධකයද මෙය වේ. (BLEEDING OF BIRTHMARKS AND BIRTHDEFECTS AT BIRTH) යනුවෙන් හැඳින්වෙන පර්​ෙ‌ය්ෂණ යටතේද මෙම දරුවාගේ කතා පුවත ඇතුළත් කර ඇත.

 


තිස්ස ජයවර්ධන