චූටි මාමා


​කෙටි කතාව

 

අපේ තාත්තා ඇඩ්ඩින් මාමාට පොල්ලකින් ගහලා අවුරුදු දෙකකට හිරේ ගියාට පස්සේ මගේ ඉස්කෝලේ යාම නවත්තන්න සිද්ධ වුණා. අපේ අම්මාට කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැති හින්දා මේ වෙලාවේ අපට උදව් කළේ චූටි මාමා විතරයි. එයාටත් හරි හමන් රස්සාවක් තිබුණේ නෑ. එයා කළේ ටවුමෙ පේමන්ට් එකේ එළවළු වෙළෙඳාම් කරන එක.   
එක දවසක් චූටි මාමා ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක දුකෙන් වගේ කතා කළා.   


අක්කේ මේ එළවළු වෙළෙඳාමෙන් කිසි වගතුවක් නෑ. මං හෙට ඉඳලා කොළඹ කඩේක වැඩට යන්නයි හිතාගෙන ඉන්නේ. එහෙදී මට ලැබෙන පඩියෙන් මං උඹලටත් කීය කීය හරි මාස් පතා එවන්න බලන්නා. ඒ අතරේ උඹ කොහොම හරි මේ කොල්ලා ආයෙත් ඉස්කෝලේ ඇරපන්.   
ඒ වචන ඇසූ අම්මා දුකෙන් වගේ මොහොතක් චූටි මාමා දෙස බලාගෙනම සිටියා.   


මල්ලි ගියාම මට තමයි පාඩු. මගේ අත කැඩුණා වගේ තියෙයි. ඇය රෙද්දේ නෙරි පොටෙන් කඳුළු පිස දා ගනිමින් කිව්වා.   
අයියාගේ ඇති වැරැද්දක් නෑ. එදා ඇඩ්ඩියා කරපු පාහර වැඩේට මම ගෙදර හිටියා නම් අයියා නෙවෙයි මායි ඌට ඉස්සර වෙලාම පොල්ලෙන් ගහන්නේ. හැබැයි මං ගැහුවා නම් ගහනවා. දෙකින් එකක් වෙන්න. උගෙ වෙලාවට එදා මං ගෙදර නොහිටියේ. උඹ හිත හදාගෙන හිටපන් අක්කේ. තව එක් අවුරුද්දෙනේ. ඒකත් ඉක්මණින් ගෙවිලා යයි. චූටි මාමා එහෙම කියලා පිට වෙලා ගියාට පස්සේ මාස ගාණකට දැක්කේ නෑ. ඒ අතරෙ තමයි හන්දියේ කඩේ මුදලාලිත් එක්ක කවුද නෝනා කෙනකුයි, මහත්තයෙකුයි අපේ ගෙදර ආවේ. ඒ අය ඇවිත් හිටියේ මාව එක්කරගෙන යන්න.   


අනේ නෝනා දරුවගේ ඉගෙන ගැනිල්ලා අතර මඟ කඩාකප්පල් උණා. මොකක් හරි අකුරක් සාස්තරයක් උගන්නන්න ආයෙ ඉස්කෝලෙ අරින්න කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒත් තාම ඒ වැඩේ හරි ගියේ නෑ. අම්මා ඒ වෙලාවේ කිව්වා. ඒක ඉතින් අපට කරන්න පුළුවනි. අපට ඕනෑ කරන්නේ අපේ පුතාගේ තනියට එයාගෙ වයසෙම කෙනෙක් මහත්තයා කිව්වා.  


ඉස්කෝලෙ යන්න පුළුවන්ය. කියලා කිව්වා හින්දා මමත් නෝනලා එකක් යන්න කැමති වුණා. මට ඕනෑ කම තිබුණේ කොහොම හරි ආයෙත් ඉස්කෝලේ යන්න. නෝනලා එක්ක ගිහින් ටික කාලයක් ගත වුණත් මට ඉස්කෝලෙකට නම් යන්න හම්බ වුණේ නෑ. ඒ ගොල්ල මාව කිසිම ඉස්කොලෙකට දැම්මේ නෑ. ඒත් හැමදාම උදේට පුංචි බේබි නම් ඉස්කෝලෙ යනවා. එයා නම් ඉස්කෝලෙ යන්නේ කිසිම කැමැත්තකින් නොවෙයි. යන්න ලෑස්ති වෙලා හැමදාම උදේට නෝනත් එක්ක රංඩු මට අද ඉස්කෝලේ යන්න බෑ කියලා බේබි කියනවා. එහෙම කියන කොට නෝනා පිංසෙණ්ඩු වෙනවා. අනේ පුතේ ඉස්කෝලේ යන්න බෑ නේ. අද ඉස්කෝලේ ගියොත් මම පුතාට ​ලොකු චොකලට් එකක් අරන් දෙනවා.   
මට දැන්ම ​චොකලට් එකක් ඕනෑ. නැත්නම් මං යන්නේ නෑ. දැන් චොකලට් නෑනේ පුතා. මම අද ගෙනත් තියන්නා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමනට පුතාට ඒක දෙනවා.   
කොහොම හරි අන්තිමට රණ්ඩුවෙන් දිනන්නේ පුංචි බේබා. එයා බෙරිහන් දිදි අඬන කොට ​නෝනා අල්මාරිය ඇරලා ඒකෙන් චොකලට් එකක් අරන් එයාට දෙනවා. එතකොට තමයි බේබි ඉස්කෝලේ යන්නේ. හැමදාම සිද්ධ වෙන්නේ ඒ දේම තමයි. අදත් සිද්ධ උණෙත් ඒකමයි.   


බේබි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ​පොත් ඔක්කොම මේසේ පුරාම විසුරෝලාදාලා. පාට පැන්සල්, ඩ්‍රෝවින් පොත්, පාට පෙට්ටි හැම තැනමම. මම ඒවා අහුලලා මේසේ උඩින් පිළිවෙළකට තිබ්බා. ඒ අතරේ ම එක පොතක් අතට අරගෙන පෙරළලා බැලුවා. ඒක කවි පොතක්. ඒකේ ලස්සන පිංතූර ගොඩක් තියෙනවා. පිංතූර යටින් ඇති පුංචි පුංචි අකුරු පේලි හරියට හිනා වෙනවා වගේ. ඒත් මට ඒවා හරියට කියවන්න බෑ. ඒ උණාට පිංතූරෙ දිහා බලපුවාම මට ඒකට යටින් තියන කවිය මොකක් ද කියලා හිතා ගන්න පුළුවනි. පුංචි බේබි මේ පොත බලාගෙන නිතරම කවි කියන හින්දා මටත් දැන් ඒ කවි කට පාඩම් වෙලා.   


මේ තියෙන්නේ අහස පුරා තාරකා ගොඩක්. ඒ ළඟින්ම හඳ පායලා තියෙනවා හරි, ඊට යටින් තියන කවිය මට මතක් වුණා.   


පුංචි පුංචි තාරකා   
දිලෙයි අහස් ගැබේ   
රංචු රංචු කාකයෝ   
යතී පියා හඹා   
පේලි පේලි පොඩි ළමෝ   
ඇදෙත් නිවෙස් කරා   
ඩිංග ඩිංග පුන් සඳත්   
එබෙයි වළා කුළෙන්   


මම පොතේ තියන ඔක්කොම පිංතූර ටික පෙරළලා බැලුවා. ඒ පිංතූර ළඟින් තියන කවි ඔක්කොම වාගේ මට කට පාඩම්. ඒත් පුංචි බේබිට නම් කොච්චර කියලා දුන්නත් කවි පාඩම් හිටින්නේ නෑ. පාඩම් දෙනකොට එයා නිතරම කවි වරද්දනවා. එතකොට ​නෝනා ඒ වැරදි හරි ගස්සලා ආයෙත් කියලා දෙනවා. කොච්චර කියා දුන්නත් පුංචි බේබිට නම් ඒවා මතක හිටින්නේ නෑ. ඒත් මට නම් වරද්දන්නේ නැතිව හැම කවියක්ම කට පාඩමෙන් කියන්න පුළුවනි. පුංචි බේබි කවි කියන කොට මමත් සද්දෙ පිට නොවෙන විදිහට හිං සැරේ ඒ කවි කියනවා. ඒ හින්දා පුංචි බේබිගේ පොතේ තියන හැම කවියක්ම දැන් මට පාඩම්. හාවාගේ පිංතූර ළඟ තියෙන්නේ. ලස්සන පොඩි හා පැටියා කියන කවිය. මල් වත්ත ළඟ තියෙන්නේ. මල් පිපිලා මේ උදේ හරිම ලස්සනයි. කියන කවිය දේදුන්නට යටින් තියෙන දේදුන්නට පාට හතයි කියන කවිය.   


ජිනදාම මොකද උඹ ඔය කරන්නේ. උඹ බේබිගේ පොත්වල කුනු ගානවා නේ ද? පලයන් ගිහින් කුස්සි අම්මා මොනවා ද කරන්නේ කියලා බබාලා ඒ වැඩවලට උදව් වෙයන්.   
කොහේද ඉඳලා ආපු නෝනා එක පාරටම මාව දැකලා කිව්වා. මම ඉක්මනට කුස්සිය පැත්තට ගියා.   


මගේ නම අසිත උණත් නෝනලා මට කතා කරන්නේ ජිනදාස කියලා. මේ ගෙදර කලින් වැඩට හිටියේ ජිනදාස කියා කෙනෙක්ලු. ඒ හින්දා මටත් ඒ නම ම කියලා කතා කරන එක නෝනලාට ලේසිලු.   


සුදු කමිසෙයි, නිල් කලිසමයි ඇඳලා සපත්තු දෙක දාලා බෑග් එකක් කරේ එල්ලාගෙන බේබි ඉස්කෝලේ යන්නේ මහත්තයාගේ කාර් එකේ. බේබිගේඉස්කෝලේ තියෙන්නේ ටවුම මැද්දේ. නෝනත් එක්ක එළවළු ගෙන්න මාකට් එකට යන කොට අපට යන්න වෙන්නේ ඒ ඉස්කෝලේ පහු කරගෙන. ඒ වෙලාවට මම ඉස්කෝලේ ළමයි සෙල්ලම් කරන දිහා ආසාවෙන් බල බලා යනවා. බේබිත් ඒ අතරේ ඉන්නවාද කියලා මම හැමදාම එබිලා බලනවා. ඒත් ඔක්කොම ළමයි එක වාගේ හින්දා මට ඒ අය වෙන වෙනම අඳුන ගන්න අමාරයි.   
බේබි ඉස්කෝලේ ඇරිලා එනකල් මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අතු ගාන්නත්, මල් ගස්වලට වතුර දාන්න. ගේ මදින්න වාගේ වැඩ. ඒවා කරන අතරේ ටිකක් වෙලාවත් මම නිකම් හිටියොත් නෝනා මට බණිනවා. හැබැයි හවස බේබි ගෙදර ආවහම නම් මට හරි සතුටුයි. එයා අම්මා එක්ක රණ්ඩු වුණාට එච්චර නපුරු නෑ. එයත් එක්ක බෝල ගහන්න එන්න කියලා බේබි මට අඬගහනවා. මම නෝනට හොරෙන් ටික වේලාවක් එයත් එක්ක බෝල ගහනවා. ඒ වෙලාවට නම් නෝනා දැක්කෙත් මට මොකවත් කියනනේ නෑ.   
එක දවසක් උදේ බේබිල ගියාට පස්සේ මම මල් පාත්තිවලට වතුර දම දමා මිදුලේ ඉන්න කොට මම දැක්කා අපේ චූටි මමා එතැනට ඇවිත් ඉන්නවා.   
අසිත වරෙන් ගෙදර යන්න. චූටි මාමා මගේ දිහා බලලා කිව්වා. ඒ අහලා මම වට පිට බැලුවා.   


වරෙන් යන්න ඉක්මනට.   


අනේ චූටි මාමේ මට බෑ නෝනා මට බණියි. උඹ බය නැතුව වරෙන් අම්මා මට කිව්වා උඹව එක්කරාන එන්න කියලා 
ඔය ඇත්තම ද?   
ඔව්.   
මම හිමින් සීරුවෙ ගේට්ටුව ඇරගෙන එළියට ගියා. චූටි මාමා මගේ අතින් අල්ලගෙන පාර දිගේ මාව එක්කරගෙන ගියා.   
චූටි මාමා කවද්ද ආවේ මම ඇහුවා.   
ඊයෙ.   


අතර මඟ දී චූටි මාම මට අයිස් ක්‍රීමුත් අරන් දුන්නා. ඊට පස්සේ අපි බස් එකේ නැගිලා ආපහු ගෙදර ගියා. අපේ අම්මා මාව දැක්කා විතරයි කෑ ගහන්න පටන් ගත්තා. සී වරෙන් දෙයියනේ මොකක්ද මල්ලියේ උඹ මේ කළේ. උඹ ඒ මිනිස්සුන්ට කියල ද මේ ළමයා එක්කරං ආවේ ?   
ඒ මිනිස්සුන්ඩ මොනව ද කියන්නේ. උඹ මට කියල ද මේ කොල්ලා උන්ඩ දුන්නේ. උඹට මං එදා කියලා ගියෙ මොකක්ද ? කොහොම හරි කොල්ලා ආයේ ඉස්කෝලේ අරින්න කියලා නේද? ඒත් උඹ මොකද කළේ ඒකා අනුන්ගේ බැල මෙහෙවරකං කරන්න ඇරියා. උඹ රෙද්දකුත් ඇඳගෙන ද අක්කේ එහෙම දෙයක් කළේ. අයියා දන්නවා නම් ඒ මිනිහා ගෙදර ඇතුළෙම බෙල්ලෙ වැල දාගන්නවා. මේ අහපන් අක්කේ මීට පස්සේ මං මේ කොල්ලා කාටවත්ම දෙන්න දෙන්නේ නෑ. මං ඌ හෙටම ආයෙත් ඉස්කෝලෙකට එක්කං යනවා.  
මාම එහෙම කියන කොටම පොලිස් ජීප් එකක් පාරේ නවත්තලා එකේ ඉඳලා පොලිස් මහත්තුරු දෙන්නෙක් බැහැලා අපේ ගේ දිහාට ආවා.   
කවුද මේ ළමයා පැහැරගෙන ආවේ. පොලිස් රාලහාමි මාව දැකලා සැරෙන් ඇහුවා. අම්මා චූටි මාමා දිහා බැලුවා. මම ඒ දෙන්නා ම දිහා බැලුවා. එතකොට චූටි මාමා කතා කළා.   
පැහැර ගත්තේ නැ. රාලහාමි මම අඬගාපුවාම එයා මාත් එක්ක ආවා.   


දන්නවද කරලා තියෙන වැඩේ බරපතළකම. මේක උසාවියෙන් මෙහා බේරෙන්න හම්බ වෙන්නේ නෑ නගිනවා ජීප් එකට.   
චූටි මාමා කිසි කතාවක් නැතිව ජීප් එකට නැග්ගා. එතකොට මම හයියෙන් කෑ ගහලා ඇඬුවා.   
හ්ම්. ඔය දෙන්නත් නගිනවා. අපට මේ ගැන කට උත්තරයක් ගන්න තියෙනවා.   
අපි ඔක්කොම ජීප් එකේ නැගිලා පොලිසියට ගියා. පොලිසියේදී අපෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඒ වෙලාවේ අම්මා කිව්වේ ගෙදර මහත්තයාලට දන්නලා මාව එක්කරගෙන එන්න කියලා. එයා චූටි මාමාට කිව්වා කියලයි ඒ හින්දා ඒ අය චූටි මාමාට මොකවත් කීවේ නෑ. අන්තිමේ රාලහාමි මගෙනුත් ප්‍රශ්න ඇහුවා.   


මේ කවුද ඔය ළමයාගේ ?   
චූටි මාමා.   
ඔය ළමයා කැමැත්තෙන් ද එයත් එක්ක ආවේ?   
ඔව්.   


දැන් ඔය ළමයාට ආයෙත් ආපහු මේ මහත්තයලාගෙ ගෙදර යන්න වෙනවා. රාලහාමි එහෙම කියන කොට ආයෙත් මට හයියෙන් ඇඬුණා.   
ඒ දැකලා රාළහාමි මහත්තයා එක්ක ඉංග්‍රීසියෙන් මොනවදෝ කතා කළා. පොලිස් රාලහාමි ගොඩක් උස මහත වුණාට එයා එච්චර සැර කෙනෙක් නොවෙයි. එයා මා දිහා බැලුවෙ ආදරෙන් වගේ. පස්සේ එයා ආයෙත් මහත්තයාට ඉංග්‍රීසියෙන් මොනව ද කිව්වා.   


හැබැයි කිසිම වන්දියක් දෙන්න මම ලැස්ති නෑ. එතකොට මහත්තයා කිව්වා. අපට වන්දි එපා රාලහාමි අපට ඕනෑ ළමයා විතරයි. ඒ අහලා චූටි මාමා කිව්වා. ඊට පස්සේ අම්මයි චූටි මාමයි පොලිසියේ පොතේ අත්සන් කරලා ආපහු මාත් එක්ක ගෙදර ආවා.   


ඊළඟ සඳුදා චූටි මාමයි අපේ අම්මයි මාව ගෙදර ළඟ තියෙන ඉස්කෝලෙට ආපහු ඇතුළු කළා.   


දැන් හැමදාම උදේට මාව ඉස්​කොලෙට එක්කරගෙන යන්නේ චූටි මාමා. එයා කොළඹ රස්සාවෙන් අස් වෙලා ආයෙත් එළවළු වෙළෙඳාම් කරනවා. එයා මාව ඉස්කෝලෙට දාලා එතැනින්ම ටවුමට යනවා. ටවුමේ එළවළු වෙළෙඳාම් කරලා ඉවර වෙලා මාත් එක්කම ආපහු ගෙදර එනවා.   


චූටි මාමා ආයෙත් ගෙදර ආපු එක ගැන මට හරිම සතුටුයි.   


මටත් දැන් පුංචි බේබිගේ පොත් වගේම පොත් තියෙනවා. ඒ ​පොත්වල තියෙන කවි ඔක්කොම මට දැන් කට පාඩම් නිසා මට ඒවා හොඳට කියවන්න පුළුවනි. මම ලස්සනට ඇඳලා කවි කියන කොට ටීචර් මට හොඳ ළමයා කියලා කියනවා. 

 

 

නන්දසේන හේරත්   
හාරගම ගුරුදෙණිය.