චුටි පුතාගේ කෑම ටික කොට්ටෙ යටින් තැබූ අම්මා


මහලු මඩමේ තනිවුණු  ඈ  අපේ  අම්මාය  

 

 

හදා ගත්ත පැල දාලා යද්දි වේදනාව නැත්තෙ කාට ද ? ජීවිතයේ බොහෝ දේ ළං වූ විට අත්හැරීම වේදනාවක් වෙයි. මරණාසන්නය වන තුරුම කාටත් බැඳීම් අත් හැරීම දුෂ්කරය. හදාවඩාගත් දරුවන් පමණක් නොව, ගේ දොර ඉඩම් පවා ඔළුවේ තියාගෙන ඒවා නැතිවේ යැයි දුකට පත් වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. තවත් විටෙක සමහරු කියන පරිදි ඔවුන් ජීවත් වෙන්නේ දරුවෝ නිසාය. දරුවෝ නැතිනම් මෙලහකට මට මොනවා වෙලාද දන්නේ නෑ. ඇතැමෙක් එසේ කියනු ඔබටත් ඇසී ඇති.   


තමන්ගේ ජීවිතය කොයිතරම් කටුක වුව ද, නීරස වුව ද, ජීවිතයේ කොතැන හෝ බැඳීමක්, බලාපොරොත්තුවක් කියා යමක් තිබේ. ඒ බලාපොරොත්තු සිතින් ඈත් කිරීම අතිශය වේදනාත්මක වන්නකි. බොහෝ තියුණු වූ දුකකි. වැඩිහිටි නිවාසවල ඇත්තේ තමන් රැකගත් දෑ ආයාසයෙන් ඈත් කර ගැනීමෙන් ලැබූ දුකක් සමග උපන් ශෝකාන්තයකි. ‘මේ වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලා මැරුණාට පස්සෙ, ඉන්නකල් කිසිම දෙයක් නොකළ දරුවෝ එකපාරටම මතුවෙනවා. ඇවිත් කියනවා, අම්මාගේ මරණ සහතිකය දෙන්න කියලා. මොකද මේ බැංකුවල තියෙන සල්ලි ගන්න. ඔප්පු ලියා ගන්න. ඒ අම්මා උදේ ඉඳන් හවස් වෙනකල් මේ දරුවෝ අද ඒවිය, හෙට ඒවිය කියලා බලා ඉන්නවා. හුඟක් දරුවෝ එන්නෙ අම්මා මළාට පස්සෙ. ඒක තමයි ඇත්ත..’   


මා පසුගිය දා ගොඩවැදුණු කොළඹ මෙත්සරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ මතුරට ධම්මාලංකාර හිමියන් කීවේ එවැනි කතාවකි.   


“අපේ වැඩිහිටි නිවාසයේ අම්මලා 35 ක් විතර ඉන්නවා මෙතැන හිටියා ලෙඩවුණු අම්මා කෙනෙක්. එයා ගැන බලන්න ලෙඩ නිසා කියලවත් දරුවෝ ආවෙ නෑ. අපි මේ අම්මාට කළ යුතු සියලු සාත්තු කටයුතු කළා. අපි එයාට කිව්වේ ‘බට අම්මා’ කියලා. මේ අම්මාගේ රත්තරං වළලු කීපයක්, ඉඩම් කීපයක් තිබිල තියෙනවා. වටිනා රත්තරං බඩු ගොඩක් අඩු ගාණට බැංකුවේ තියලා එයාගේ සහෝදරයෙක් ඇවිත් ඉඩමක් එහෙම ලියාගෙනත් ගියා. කොහොම හරි අම්මාට අසනීපය වැඩි වෙලා, රෝහලේ නතර කරලා සතියකට විතර පසු ඇය මිය ගියා. අපි බයට අම්මගේ දේහය වැඩිහිටි නිවාසයට ගෙනාවා, අවසන් කටයුතු කරන්න. ඒ අතරේ ගෙදර අයටත් දැනුම් දුන්නා. දරුවෝ ආවා.   


“හාමුදුරුවනේ, අවසන් කටයුතු අදම කරමු නේද ?” කියලා ඒ අය යෝජනා කළා. මිනියවත් පැය කීපයක්වත් තියා ගන්න තරම් මේ දරුවන්ට මහ ලොකු වුවමනාවක් තිබුණෙ නෑ. අවසන් කටයුතු සුළුවට කරල ඒ අය යන්නට ගියා. බට අම්මාගේ දරුවො අම්මා මෙහි දාලා ගියාට පස්සෙ ආවේ මරණයට විතරයි. මරණය වෙලා මාසයකට විතර පස්සෙ මේ අය ආවා.   


“හාමුදුරුවනේ... අපි බට අම්මාගේ දරුවො...”   
“ ඔව් ඉතින්... මොකද බට අම්මා වෙනුවෙන් දානයක් වත් දෙන්නද මේ පැත්තෙ ආවෙ..” මම නිකමට වගේ ඇසුවා.   
ඒ දරුවො ටිකක් නිහඬ වුණා. මම ආයෙත් ඇහුවා “කියන්නකො ඉතින් ආපු කාරණය” කියලා.   
එක දරුවෙක් කියනවා.   
“හාමුදුරුවනේ.. අම්මාගේ මරණ සහතිකය අරන් යන්න ආවේ” කියලා.   
ඉතින් මං ඒ අයට පැහැදිලි කළා.   
“අම්මා මැරුණ.. අම්මා ඉන්න කාලෙ ඔයාලා ආවෙත් නෑනෙ. මරණය සහතික විතරක් මොකට ද කියලා...”   
එක දරුවෙක්වත් කතා කළේ නෑ..   
“බට අම්මා ගැන බලන්න අවෙ නැති දරුවන්ට, මරණ සහතිකේ ඕනි. මහත්තයෝ මේ දරුවෝ හරි කපටියි... මම මරණ සහතිකය දුන්නෙ නෑ...’   
“අම්මා එපා කියලා සලකන්නෙ නැතුව මෙතැනට ගෙනාපු උඹලට මරණ සහතික දෙන්න මට බෑ.”   
අම්මා එපා... මරණ සහතිකයක් ඕනි.   


ඊට පස්සෙ ඒ දරුවො මම මරණ සහතිකය දුන්නෙ නෑ කියලා පොලීසි ගියා.   
මාව පොලිසියෙන් ගෙන්නුවා. මම කිවුවා ඉන්නකල් අම්මව බලන්න ආපු නැති දරුවන්ට මොකටද මරණ සහතික කියලා.”   
එවැනි දරුවො තමයි බට අම්මට ඉඳලා තියෙන්නෙ. තමන්ගේ අම්මාට සලකන්න බැරිව අපි ළඟට එවලා, අපි ඇයට ලෙඩ දුකේදි බලලා රැක ගත්ත එකට තමයි, අවසානේ ඒ දරුවො හාමුදුරුවන්ට පොලීසිය ගෙන්වලා සිවුර ගලවලා ගහනවා කිවුවේ. මේ එහෙව් මිනිස්සු ඉන්න රටක්...”   
මතුරට ධම්මාලංකාර හිමියෝ මට පැවසූහ.   
මෙත්සරණ වැඩිහිටි නිවාසයේ තනි වූ සීලවතී අම්මාට වයස අවුරුදු 75 ක් පමණ ඇත. ඇය වැඩිහිටි නිවාසයේ තුන්වැනි ඇඳේ වැතිර සිටින්නීය. ඇගේ ඇඳ ළඟ කැලණි මහා සෑයේ රූපයක් හොඳින් පෙනෙන්නට තබා ඇත්තීය.   
සීලවතී අම්මා මේ වැඩිහිටි නිවාසයට ආවේ කැලණිය පැත්තට අයිති ගමකිනි. කැලණිය බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින් බිමක් වුවත් සීලවතී අම්මාට වුණු අකාරුණික කතාවේ සුලමුල අයිති කැලණියටය.   
මා ඇයට ළං වීමි.   


“මම ඉස්සර කැලණි විහාර වඳින්න නිතරම යනවා. ළඟකදි යන්න බැරි වුණා. හැම පෝයටම සිල් ගන්නෙ කැලණි විහාරයේ. ගෙවල්වල ඉඳන් බොහොම පොඩි දුරයිනේ. ඇයගේ හිතේ ඒ ගැන විශාල කනස්සල්ලක් ඇති සෙයකි.   
සීලවතී අම්මා ඒ මතකය නිසාමදෝ කැලණි සෑයේ රූපයක් ඇගේ ඇස ළඟින් තබා ගෙන සිටින්නීය. ඒ රූපය දකින විටත් සීලවතී අම්මා දෑත් බැඳ වන්දනා කරන්නීය.   
සීලවතී අම්මා මෙහෙට ආවේ ? මම විමසීමි.   


“ඇය මදක් කල්පනාවට වැටුණාය. සීලවතී අම්මාගේ මතකය ටික ටික ඈත් වෙමින් යන සෙයක් ගැන හාමුදුරුවෝ ද මට පැවසූහ. එයට පාදක කතාවක් ද උන්වහන්සේ දැක් වූහ.   
“මේ වැඩිහිටි නිවාසයේ අම්මා කෙනෙක් කඩදාසියක බත් වෑංජන දාලා හොරෙන් හංගලා තියෙනවා මම දැක්කා. මේ කරන්නේ කවුද කියලා සොයා ගන්න මට වුවමනා වුණා. මම දවසක් නිවාසෙට ගිහින් ඇහුවා, “මේ කොට්ට, මෙට්ට යට බත් වෑජංන කොළවල දාලා හංගන කෙනා කවුද කියලා...” බල්ලන්ට පූසන්ට දෙන්න කෑම හංගන්න එපා .. එහෙම කිවුවම කවුරුවත් සද්ද නෑ. මට ඕනෑ වුණා මේක කාගේ වැඩක් ද කියලා දැකලම හොයා ගන්න.   
කෑම දෙන වේලාවේ ඒක කවුද කරන්නේ කියලා මම බලා සිටියා. එහෙම ඉද්දි සීලවතී අම්මා කන්න කලින් පිඟාන අරන් ගිහින් බත් වෑංජන කොලේකට දාලා කොට්ටෙ යට හංගලා එනවා මම දැක්කා. මම ඇහුවා ඇයි ඒක කළේ කියලා.   


සීලවතී අම්මා කියනවා..“මම මේ පුතාගේ කොටස වෙන් කළේ එයා ආවොත් කියලා....”   
මම කිවුවා “මෙහෙ එන පුතෙක් නෑ. ආයෙ එහෙම කරන්න එපා කියලා.” ඒත් දැන් සීලවතී අමමාට ඒක කිවුවට බෑ. එයා ඒක පුරුද්දක් විදියට කරනවා. මතකයත් ටිකක් අඩුයි. කිව්වට වැඩක් නෑ. ධම්මාලංකාර හිමියෝ පැවසූහ.   


සීලවතී අම්මා තමන්ට වුණු දේ ගැන කියන්නේ මෙවැනි කතාවකි.   


“අපේ මහත්තයා, දැනට අවුරුදු 15 කට විතර කලින් නැති වුණා. ඒ වෙද්දි මගේ පුතාලා ලොකුයි. දැන් නම් ඒ තුන්දෙනාටම හොඳයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් වැඩ කරන්නේ නගරසභාවක. ඇය නගර සභාවේ නමද කියයි. තව පුතෙක් රජයේ රැකියාවක නිරත වෙලා ඉන්නවා. අනික් පුතා නම් වාහනයක් හයර් කරනවා.   
මහත්තයා නැති වෙද්දි දරුවන්ට දේපළ ලියලා තිබුණා. අපි දෙන්නා කලින් කතා වෙලා හිටියා, දේපළ ලියලා ඒ කරදර වලින් නිදහස් වෙමු කියලා.   
ඊට පස්සෙ පුතාලා තුන් දෙනා විවාහ වුණා. ඒ විවාහ වුණු දරුවො හරි නපුරුයි මහත්තයෝ. ඔයාල කිසිම හැඟීමක් නැති දරුවො. අපේ පුතාල උදේ වැඩට ගියාම ලේලිලා මට නොයෙක් කරදර කරනවා. සමහර විට ලේලිලා මට ගහනවා. බනින එක සාමාන්‍ය දෙයක් වුණා. කන්න දෙන්නෙ නෑ. වතුර එකක් උණු කර ගන්න බෑ. රෙදි ටික හෝදන්න ගියාම සබන් නාස්ති කරනවා කියනවා. ගේ මිදුල් අතුගෑවත් කිසි වැඩක් කරන්නෙ නෑ කියලා බනිනවා. මට ඉවසන්න බැරි තරම් කරදර වුණා. මම හිතුවා, මම පොලීසි යනවා කියලා. ඒත් පස්සෙ හිතුණා, එහෙම පොලීසි ගියොත්, මගේ පුතාලවත් පොලීසියට ගෙන්වාවි, එයාලට බනීවි, ඊට පස්සෙ පුතාලයි, නෝනලයි අතර රණ්ඩු ඇති වේවි කියලා. එහෙම වෙලා පවුල්වල භේද භින්න වීමක් වුණොත් ඒක කොහොම දරා ගන්නද ?   


 ඊට පස්සේ තමයි මම මේ වැඩිහිටි නිවාසයට ආවේ. දැන් මට වේලාවකට පොඩ්ඩක් කල්පනා ගතිය මදි. කොහොම වුණත් මගේ දරුවො සතුටින් ඉන්න බව මට හිතෙනවා. ලේලිලා හිතන්නෙ අපි දරුවන්ට කිසි දේපළක් දුන්නෙ නෑ කියලා. වේලාවකට හිතෙනවා අපි දේපළ ලියන්න හදිසි වුණා වැඩි ද කියලත්.   
සීලවතී අම්මා කියන්නීය.   


“අපේ පොඩි පුතා මේ කොළඹ වාහන හයර් කරනවා. එයා සමහර දවසට මාව බලන්න එනවා. පලතුරු එහෙම අරන්. එයා ආවම, ‘පුතේ උඹ කාල ද ආවේ...’ කියලා මම අහනවා. ගොඩක් වෙලාවට එයා කියන්නෙ කාලා ආවෙ නෑ කියලා. ගිහින් කනවා කියලා. 

 
ඒකයි මම මේ මගේ බත් පිඟානෙන් භාගයක් පුතාට අරන් තියන්නෙ’ ඇය කොට්ටය යට සැඟ වූ කොළයකින් ඔතන ලද බත් ටිකක් පෙන්වන්නීය.   
බත්වලින් කොටසක් වෙන් කිරීම සීලවතී අම්මාට හුරු වූවකි. බාල පුතා ආපු දවසට   
“පුතේ උඹ බඩගින්නේ නේද ? මේ බත් ටික අරන් ගිහින් කාපන්” සීලවතී අම්මා කියන්නීය.   
ඇයත් මේ අහස පොළොව යට ආදරණීය අම්මා කෙනෙකි. වැඩිහිටි නිවාසයෙහි සිටියත් දරු කැක්කුම එදා වගේම සීලවතී අම්මාට ඇත.   
මා නැවත මතුරට ධම්මාලංකාර හිමියන් හමු වීමි.   


“මේ වගේ කතා බොහොමයි මහත්තයෝ. දරුවො විවාහ වුණාම ලේලිල ගෙදරට එනවා. සමහර ලේලියන්ට තමන්ගේ අම්මා විතරයි අම්මා. මනුස්සයාගේ අම්මා අම්ම කෙනෙක් නෙවී. හරියට පාරේ වැඩුණු අසරණ ගෑනියක් විදියට තමයි මහත්තයාගේ අම්මාව දකින්නෙ. එවැනි කතා එපමණට තියෙනවා.   


දරුවො එන්නෙ නෑ. සමහර විට අම්මා මැරුණත් අවසන් කටයුත්තකටවත් අපේ වැඩිහිටි නිවාසයේ එයාව මියගිය අම්මලා වෙනුවෙන් කොළඹ උදේනි මල්ශාලාවට මිනිය භාර දීලා පෙට්ටිය දාලා අන්දල ඔක්කොම වැඩ කරන්නෙ වැඩිහිටි නිවාසයෙන්. මේ වෙද්දි එහෙම මිය ගිය අම්මලා වෙනුවෙන් වැඩිහිටි නිවාසය ගණනේ අවසන් කටයුතු කරලා, මල් ශාලාවට විතරක් රුපියල් එක්ලක්ෂ විසි දෙදාහක් ණයයි. ඒත් ටික ටික ගෙවලා ඉවර කරලා.   


අම්මා එක්ක ආවා. භාර දුන්නා, ගියා, දරුවෝ නෑයෝ ආයේ එන්නෙ නෑ. ආවත් කලාතුරකින්. මේ තමයි හැටි.   


ස්තූතිය - ග්‍රෑන්ඩ්පාස් මෙත්සරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂක, මතුරට ධම්මාලංකාර හිමි, පරිපාලන අධ්‍යක්ෂිකා, වඩුගොඩපිටිය මහත්මියට සහ පාලිකා ශ්‍යාමලී ප්‍රදීපා මහත්මියට   

 

සටහන-අසංක ආටිගල