චීනයේ සුළු ජාතීන් වෙසෙන ෂින්ජියාන් ස්වායත්තය


රටකින් රටකට   

 

 

 

චීනයේ මුස්ලිම්වරුන් වෙසෙතැයි විටෙක බොහෝදෙනා නොදන්නවා විය හැකිය. චීනයේ මෙම මුස්ලිම්වරුන් වෙසෙන්නේ බහු ජාතීන් විශාල සංඛ්‍යාවක් ජීවත්වන ෂින්ජියාන් ස්වායත්තයේය. මෙහි උයිගුර් ජාතිය සියයට 46 ක් පමණ වන අතර හන් ජාතිය සියයට 41 කට ආසන්නය. ඊට අමතරව සුළු සුළු වශයෙන් තවත් ජාතීන් කීපයක් මෙහි ජීවත්වේ. මෙම ෂින්ජියාන් ස්වායත්තය ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. එමෙන්ම භූගෝලීය පිහිටීම නිසා ඉතා පොහොසත් සංස්කෘතියකින් පෝෂණය වී තිබේ.   


වෙසෙසින්ම මෙහි ඇති කලාව සංස්කෘතිය සහ ජන ජීවිතය ලෝකයේ වෙනත් රටක වෙනත් තැනෙක දී දැකගත නොහැකිය. කලාව සහ නිර්මාණශීලීත්වය අතින් මෙලෙසින් පෝෂණය වී ඇත්තේ දිගු ඉතිහාසයකට උරුමකම් ඇති නිසාම විය හැකිය.   


කෙසේ වෙතත් මීට වසර දෙක තුනකට පමණ පෙරදී මෙම ෂින්ජියාන් ස්වායත්තයේ සුන්දරත්වය යටපත් වී තිබුණේ මුස්ලිම් අන්තවාදී ගැටුම් පැවැති නිසාය. 90 දශකයේ සිට බෙදුම්වාදීන් හා ආගමික අන්තවාදීන් විසින් මෙන්ම ත්‍රස්තවාදීන් විසින් මෙම කලාපයේ දහස් සංඛ්‍යාත ගණනින් ප්‍රහාරයන් සිදුකර තිබේ. ඒවා අතීතයේදී මෙහි සිදුවූ අමිහිරි සිදුවීම් වේ.   


එසේ වුවද ගෙවී ගිය දෙවසරක කාලයේදී කිසිදු කලහකාරී සිදුවීමක් වී නොමැත. ෂින්ජියාන් ස්වායත්තයේ ජීවිත හා දේපොළ ආරක්ෂාවට චීන රජය ගෙන ඇති පියවර ප්‍රසංසනීය වේ. දිගුකාලීන සාමය උදෙසා චීන රජය දැරූ මේ උත්සාහය මෙන්ම ප්‍රයත්නයේ ඵලය වෙතින් කලාපයේ අනෙකුත් රටවලට ගත හැකි ආදර්ශය ඉතා ඉහළය. අද ෂින්ජියාන් වෙත යන සංචාරකයකු හට ෂින්ජියාන් ස්වායත්තය යනු සොඳුරුතම මිහිරිතම සංචාරක වින්ඳනය ලබාදෙන සුන්දර පාරාදීසයකි.   


මෙහි ඇති කලාව, මෙහි පිළියෙල කෙරෙන ආහාරපාන, සංස්කෘතික අංග ජන ජීවිතයේ හැඩතල ෂින්ජියාන් ස්වායත්තයටම පමණක් විශේෂ වූ දේ යැයි සඳහන් කළ හැකිය. මේවායෙහි පහස ලබන විට, මෙහි ත්‍රස්තවාදී ක්‍රියා සිදුවූවාද යන්න පවා සිතාගත නොහැකි තරම්ය. චීන මාධ්‍ය සමූහය සහ චීන රේඩියෝ ඉන්ටර්නැෂනල් CRI (චීනය සහ ශ්‍රී ලංකාව) පසුගිය දා සංවිධානය කළ හත් වැනි සේද මාවතේ විදේශීය මාධ්‍යවේදීන් සහභාගී වූ සංචාරයේ සොඳුරුතම ගමනාන්තය මෙම ෂින්ජියාන් ස්වායත්තය ලෙස අතිශයෝක්තියකින් තොරව සඳහන් කළ හැකිය.   


ෂින්ජියාන් පෞරාණික කෞතුකාගාරය   


ෂින්ජියාන්හි කෞතුකාගාරය යනු බීජිං කෞතුකාගාරයට වඩා වෙනස් මුහුණුවරක් ගත්තකි. වසර දහස් ගණනකට එහා ඉතිහාසයේ ජීවමාන වූ සාක්ෂි මෙහිදී දැකගත හැකිය. ඉතිහාසයේ රසය සොයා යන බොහෝදෙනා හට මෙතැන කුතුහලය නිරන්තරයෙන් ඇති කරවන ස්ථානයකි. අතීතයේදී මෙහි ජීවත්වූ අැත්තන් භාවිතා කළ උපකරණ ඇඳුම් පැළඳුම් පාවහන් මෙන්ම කලා නිර්මාණ පවා දැකගත හැකිය.   


ෂින්ජියාන් යනු කඳු හෙල් ගංගා නිම්න මෙන්ම කාන්තාර ප්‍රදේශයකින්ද යුතු සරුසාර භූමියකි. ශීත කාලයේදී මෙහි පවතින්නේ සෘණ මට්ටමේ පහත බැස ගිය උෂ්ණත්වයකි. ඈත අතීතයේදී කඳුකර පෙදෙස්වල විසූ මියගිය මිනිස් දේහයන් කීපයක් ෂින්ජියාන්හි කැණීම් සිදුකළ පුරා විද්‍යාඥයින් හට සොයා ගැනීමට හැකිවිණි.   


එම මමි කීපයක්ම මෙහි ප්‍රදර්ශනයට තබා ඇත්තේ එදා ඔවුන් ඇඳ සිටි පැළඳ සිටි ඇඳුම් සහ ආභරණ ද සහිතවය. ඒ අතර කාන්තාවකගේ, කුඩා දරුවකුගේ රජතුමා සහ රැජිණ යැයි විශ්වාස කෙරෙන යුවළකගේ මෙන්ම සෙන්පතියකුගේ ඇතුළු තවත් මමි රැසක් දැකගත හැකිය.   


විවිධ රාජ්‍ය සමවලට අයත් පෞරාණික වටිනාකමින් යුතු බො​හෝ දේ ජීවමාන සාක්ෂි ලෙස දැක ගැනීමට සළස්වා ඇත. මෙහි හන් රාජධානි සමයේ වූ විශේෂිත පරිවර්තනය සහ ඊට හේතු සාධක වූ සියලු තොරතුරු සමග සේද මාවතේ ආර්ථික හා සමාජීයීය වශයෙන් සිදුවූ සංවර්ධනයට හේතු සාධක ද දැකගත හැකිය.   


මෙම කලාපයේ ඉපැරණි බෞද්ධ සංස්කෘතියට අදාළව නිර්මාණය වූ චිත්‍ර බුදුන්ගේ ප්‍රතිමා බිත්තිවල අඳින ලද බුදුන්ගේ රූප දැකගත හැකිය. එම චිත්‍රවල පැහැය හරියට දඹුලු ලෙනෙහි ඇති සිතුවම්වලට සමානය. විටෙක වෙහෙරගල විහාරයෙහි බිතු සිතුවම්වලටද ඒවා සමකළ හැකිය. ඒ අතරින් වෙනස්ම රූපය ලෙස මෙහි ඇති ලීයෙන් නිර්මාණය කරන ලද බුදු රුව සඳහන් කළ හැකිය.   


ඊට අමතරව ලෝභ සහ ශෛලමය බුදු රූප නිර්මාණයන්ද දැකගත හැකිය. පුරාතන සේද මාවතේ බැඳීම සහ සංස්කෘතියේ හැඩතල ජීවමානව දැකගත හැකි මෙම කෞතුකාගාරය සියවස් ගණනකට එහා වූ අතීතයකට අප රැගෙන යන ස්ථානයකි.   

 

 


උරුමුච් නගරයේ 66 පාසලේ හැඩය 

 
ෂින්ජියාන් ස්වායත්තයේ ප්‍රධාන නගර කීපයක්ම වේ. ඒ අතරින් උරුමුවි යනු ප්‍රමුඛස්ථානය ගත් නගරයයි. මිඩ්ල් ස්කූල් 66 නමින් හැඳින්වෙන ස්ථානයකට අපි ගියෙමු. උයිගුරු ඇතුළු විවිධ ජාතීන්වලට අයත් ළමෝ මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබති.   


ඔවුන් ඈත දුර පළාත්වල සිට මෙතැනට පැමිණ අධ්‍යාපනය ලබන දරුවෝ වෙති. අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වන ඔවුනට මෙවැනි පාසලකට පැමිණ ඉතා හොඳින් අධ්‍යාපනය ලබා සමාජ ගතකරවීමේ වැඩපිළිවෙළ අනුව චීන රජය මේවාට විශේෂිත සහන සළසා ඇත. මේ දරුවන් අප පිළිගත්තේ ඉතා උණුසුම් අයුරිනි.   


ඔවුනගේ නිල ඇඳුම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දරුවනගේ නිල ඇඳුමකට සමානය. වෛද්‍ය පහසුකම් පවා සපයා ඇති අතර නිරන්තරයෙන් ළමුන් සෞඛ්‍ය පරීක්ෂණයන් හට යොමු කෙරේ.   


‘‘අපට මෙතැනදී අපි මොන ආගමේද? මොන ජාතියේද? යන්න වෙනස් හැඟීමක් දැනෙන්නෙ නැහැ. අපට හැඟෙන්නෙ අපි ඔක්කෝම එක පවුලක එක අම්මගෙ තාත්තගෙ දරුවෝ වගේ හැඟීමක්. අපි දන්නෙ එක දෙයයි. මෙතැනින් ඉගෙනගෙන රටට හොඳ සේවයක් කරනවා කියන හැඟීමයි. ඒ වෙනුවෙන් අපට සියලු පහසුකම් සපයා තිබෙනවා. අපි අපේ චීනයට හරිම ආදරෙයි. ඒ වගේම මෙහි අපව බලන්නට පැමිණි ඔයාලට ඒ ඔක්කෝටමත් වඩා අපි ආදරෙයි.’’   


මනුෂ්‍යත්වයේ සදාතනික හරය මේ ළමෝ මෙතැන සිට ජීවිතයට සමීප කරගෙන ඇත. ඔවුනට ආහාරපාන, වෛද්‍ය පහසුකම්, ආදී සියල්ල නොමිලේ සැපයේ. ඈත දුර පළාත්වල සිටින මව්පියන්ට කතා කිරීම සඳහා දුරකතන ගණනාවකින් සමන්විත ස්ථානයක් වෙනම ඇත. අපි මෙහි චීන භාෂාව උගෙන ගන්නා ළමුනගේ පංති කාමරයකට ගියෙමු.   
මම චීනයට ආදරෙයි. දැනුම යනු බලයයි. මුදල් යනු වේලාවයි, චීන බසින් ඔවුන් ලියූ වැකි කීපයකි ඒ.   


පහසුකම් රැසක් ඇති ෂින්ජියාන් ඉස්ලාමීය විද්‍යාලයය   


මෙම විශේෂිත පාසලට අමතරව ඊළඟට අප කණ්ඩායම හට ෂින්ජියාන්හි ඉස්ලාමීය විද්‍යාලයකට යාමේ අවස්ථාව ලැබිණ. මෙය උරුමුචි නගරයේ පිහිටා තිබේ. එම විද්‍යාලයේ ප්‍රධානි සහ චීන ඉස්ලාම් ආගමික සංගමයේ උප සභාපතිවරයා මෙම පාසල ගැන අප හට කරුණු විස්තර කළේය.  


මෙතැන සිටින්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණ සිටින අයයි. ඔවුනට චීන රජයේ මූල්‍යාධාර සහිතව ඉහළ මට්ටමේ පහසුකම් ලබා දී තිබෙනවා.   


සැබැවින්ම ඔහු කී ඒ කතාව අපට ඇස් පනාපිට දැකගත හැකිවූවකි. ආහාරපාන ඇතුළු සියල්ල නොමිලයේ සැපයෙන අතර නේවාසික පහසුකම් ඉතා අනර්ඝය. මෙහි අධ්‍යාපනය ලබන පිරිස අතරින් 90% කට පමණ වාර්ෂිකව යුවාන් 4000 ක පමණ ශිෂ්‍යත්ව අරමුදලක්ද ලබාදී තිබේ.  


ජනතාවගේ ආගම ඇදහීමේ නිදහස සහ අයිතිය ආරක්ෂා කිරීම චීන රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයිද ඔහු පැවසීය. ආගම අදහන සහ නොඅදහන ජන කොට්ඨාස අතර තිබිය යුතු අ​ෙන්‍යන්‍ය ගෞරවය චීන රජය සෑම විටම අවධාරණය කරන්නකි. චීනයේදී ආගම් සහ දේශපාලනය අතර සබඳතාවක් නොමැතිවීම විශේෂිත දෙයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති අභිබවමින් කටයුතු කිරීම සහ රාජ්‍ය පරිපාලනයට මැදිහත්වීම සඳහා කිසිදු ආගමකට ඉඩක් නොමැති වග ද ඔහු විස්තර කළේය.   


ත්‍රස්තවාදීන් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියා සහිත අවස්ථා ප්‍රදර්ශනය කරන ඡායාරූප   


ෂින්ජියාන්හි සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ ඇති කෞතුකාගාරය අපේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවට සමානය. 1990 දශකයේ සිට ෂින්ජියාන් ස්වායත්තයේදී ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයන්, සිදුකළ විනාශය දේපොළ සහ ජීවිත විනාශය මෙන්ම ඔවුන් විසින් ඒ සඳහා යොදාගත් අවි ආයුධ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. ප්‍රහාරයන් සිදුකළ අවස්ථාවල දී ගන්නා ලද වීඩියෝ දර්ශන ද ප්‍රදර්ශනය කෙරේ.   


මේ සියල්ල වෙතින් වර්තමානයට කියා දෙන්නේ ත්‍රස්තවාදයෙහි ඇති බිහිසුණු බවයි. යළි එවැන්නක් ඇති නොවීම සඳහා වත්මන් ජනතාවට මෙය නරඹා උගෙන ගත හැකි දේ බොහෝය. චීන රජය මෙහි සාමය ස්ථාපිත කළ පසු ෂින්ජියාන් ස්වායත්තයේ 2017 වන විට ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ 7.6 ක් ලෙසිනි. නිවැසියන්ගේ ඒක පුද්ගල ආදායම ද ඉහළ ගොස් තිබේ. මෙහි පැමිණි සංචාරකයන් ගණන මිලියන ගණනින් ලියාපදිංචි කර තිබේ.   


යුරෝපය දක්වා දිවෙන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මග   


මෙය පැරණි සේද මාවතේ පදනම ඇතිව ඉදිකෙරුණු මාර්ගයකි. ශීත සෘතුවේදී දුම්රිය මග ඝණ අයිස් තට්ටු වලින් වෙලී තිබුණද එය දුම්රිය ප්‍රවාහන කටයුතුවලට බාධාවක් නොවේ.   


චීන යු​ෙරා්පා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය බටහිර ලෝකය හා නැගෙනහිර යා කරවන නූතන පාලමක් වැන්නකි. ෂින්ජියාන් ස්වායත්තයෙහි පිහිටි භාණ්ඩ ප්‍රවාහන කෙරෙන ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානය වන්නේද මෙයයි.   

 

 


ග්වන්චෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම:   


චීනයේ අනෙකුත් අංශ සඳහා වන තාක්ෂණය මෙන්ම මෝටර් රථ සංවර්ධනය ද වේගවත් වෙමින් පවතී. ෂින්ජියාන් ස්වායත්තයේ උරුමුචි නගරයේ ග්වන්චෝ මෝටර් රථ සමාගම යනු අධි තාක්ෂණික පද්ධතියකින් යුතු මෝටර් රථ නිෂ්පාදන සමාගමකි.   


මෙහිදී මෝටර් රථ නිෂ්පාදනය කරන අයුරු මුල සිට හැදෑරිය හැකිය. චීනයේ මෝටර් රථ තාක්ෂණය කොතරම් දියුණුවකට ගොස් තිබේ ද යන්න දැන ගැනීමට මෙම සමාගම කදිම නිදසුනකි.   


විවිධ වූ මෝටර් රථ වාහන මෙහිදී නිපදවන අතර ඒවායෙහි පහස ලැබීමට ශ්‍රී ලාංකීය අපට නොහැකි වන්නේ ඒවා වමෙන් පැදවීම සඳහා නිපදවන රථ නිසාවෙනි. මේ වන විට මෙම සමාගම චීනයේ පමණක් නොව විශේෂයෙන්ම යුරෝපීය වෙළෙඳපොළ සීඝ්‍රයෙන් ජය ගනිමින් සිටින සමාගමකි.   


ෂින්ජියාන් ස්වායත්තයේ ජන ජීවිතය:   


ෂින්ජියාන්හි ජන ජීවිතය යනු පොහොසත් සංස්කෘතියකින් යුතු මෙන්ම ආගන්තුක සත්කාර ඉහළින් ආස්වාදය කළ හැකි තෝතැන්නකි. සංචාරකයන් නවාතැන් ගන්නා හෝටලයේ සිට කොතැන ගියත් ලැබෙන්නේ ඉතා උණුසුම් පිළිගැනීමකි. කලාපය අත්පත් කරගත් සංවර්ධනයේ තරම සහ ජන ජීවිතයේ ස්ථාවරත්වය වෙනුවෙන් චීන රජය ප්‍රමුඛ මධ්‍යම ආණ්ඩුව ජනතාවට ලබාදී ඇති වරප්‍රසාද ඉතා අගය කළ යුතුමය.  


ෂින්ජියාන් ස්වායත්නයේ කිර්ගීස් ජාතිකයන් මීට වසර කීපයකට පෙර දී වාසය කළේ කඳුකර ප්‍රදේශයේය. එය ඉතා දුෂ්කර ජීවිත රටාවකි. තිබූ අඩු ලුහුඬුකම් එමටය. නමුත් දැන් ඔවුන් නූතන පරිසරයකට යොමු කර තිබේ. දැන් ඔවුන් ගෙවන්නේ ප්‍රීතිමත් ජීවිතයකි.  


චීන රජයේ සහන ප්‍රතිපත්තිය යටතේ නවීන නිවාස සංකීර්ණයක් නිර්මාණය වී ඇති අතර දැන් ඔවුන් ජීවත් වන්නේ ඒ නූතන සුපිරි පරිසරයේය. එය වෙනමම නගරයක් මෙනි. ඔවුන් ඉතා ප්‍රීතිමත්ව ජීවත් වන්නේ ඉඳුම් හිටුම් සෞඛ්‍ය මෙන්ම සියලු පහසුකම් සපුරා ඇති නිසාවෙනි.  


එමෙන්ම ඔවුනට ඔවුනගේම කර්මාන්තයන් කරගෙන යාම සඳහා අවකාශය ලබා දී තිබේ. එහිදී නිෂ්පාදනය කෙරෙන සියල්ල වෙළෙඳපොළට යොමු කරවීම සඳහා චීන රජය එම ජනතාවගේ නිෂ්පාදන මිල දී ගනී. මෙම කීර්ගීස් ජනයා ගෙවන ප්‍රීතිමත් ජීවිතය වෙනුවෙන් ඔවුනට ලබාදී ඇති සෞඛ්‍ය පහසුකම් ගැන ද කිව යුතුමය.  


මෙම නිවාස සංකීර්ණයෙහි දවස පුරා සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා අය කිරීමක් නොකෙ​රේ. අප මෙම නිවාස සංකීර්ණයෙහි නිවැසියන් හමුවීමු. ඔවුන් අප පිළිගත්තේ ඉතා ලෙන්ගතුවය.  


ඔවුනගේ සම්ප්‍රදායික ආහාර පාන පිළිගැන්වූ අතර, අප පිළිගත්තේ සාම්ප්‍රදායික නැටුම් ගැයුම් සහ සංස්කෘතික අංග සමගය. ඔවුන් ඒ සියල්ල කළේ බොරු මවාපෑමකට නොවේ. මෙහි ඇති ප්‍රජා ශාලාවක් වෙත අපි ගියෙමු. වයෝවෘද්ධ පිරිස එක්වී පොත්පත් කියවන හැටි මෙන්ම තමුනට රිසි පරිදි ගෘහස්ථ ක්‍රීඩාවල යෙදී සිටින අයුරු දැක ගැනීමට හැකිවිණි.  
වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ආ වයෝවෘද්ධ මිනිසකු සමග අපි සංවාදයේ යෙදුණෙමු.  


දැන් කොහොමද හිතෙන්නෙ මේ ගෙවන ජීවිතය ගැන අපි ඔහුගෙන් විමසීමු.  


ජීවිතයේ දැන් මොනවද අපට නැත්තෙ? රජය අපට සෑම දෙයක්ම ලබා දී තිබෙනවා. මීට වඩා තව මොනවද? සතුටින් අපට හුස්ම හෙළන්න පුළුවනි. ඒ සතුට අපට ගෙනැල්ලා දුන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ අපේ ජනාධිපති ෂී ජින් පින්.  


ඔහු එලෙසින් අදහස් දැක්වූයේ සතුටු කඳුළු හෙළමිනි. රටක ජීවත්වන මිනිසෙකු හට ඒ සතුට හැර තව වෙන මොනව ද?  


ෂින්ජියාන් ජන ජීවිතයේ තවත් හැඩතල සහ එහි අැති නිර්මාණාත්මක කලාවේ අපූර්වත්වය ගැන මීළඟ ලිපියෙන් අප විස්තර කරන්නෙමු.  


මෙම සංචාරය සඳහා අනුග්‍රහය දැක්වූ චීන මාධ්‍ය සමූහය, චීන රේඩියෝ ඉන්ටර්නැෂනල් (චීනය සහ ශ්‍රී ලංකාව) මෙරට චීන තානාපති කාර්යාලයේ ලියුතොන් මහතාට, CRI කලාපීය ප්‍රධානී Xia Yongmin චීන සිංහල හඬ CRI ප්‍රධානී Shiyue සංගීතය ඇතුළු සියලුදෙනා හට අපගේ ස්තුතිය.  

 

 


සටහන ඡායාරූප  
සඳුන් ගමගේ