චීනයේ ෂින්ජියාන් ස්වායත්තයේ රස වෑහෙන ආහාරපාන


 

 

පසුගිය ලිපියේ චීනයේ ෂින්ජියාන් ස්වායත්තයෙහි ජන ජීවිතයෙහි රිද්මය විස්තර කළෙමු. මෙවර මේ සටහන් වන්නේ එහි අපුරූ කලාව සහ ආහාරපාන පිළිබඳවය. 


  
ෂින්ජියාන්හි ජනතාවගෙන් වැඩි දෙනෙක් නැටුම්, ගැයුම්, වැයුම් සඳහා දක්ෂතා දක්වන්​ෙනා් වෙති. ෂින්ජියාන් ස්වායත්තෙහි ඉපැරණි ඉතිහාසය තරමටම ඔවුන්ගේ කලාව පොහොසත් වූ අංශයකි. බහුජාතීන් වෙසෙන මෙහි කලාව ඒ ඒ ජාතීන්ගේ රිද්මයට අනුව වෙනස් වේ.   


ෂින්ජියාන් මහ රඟහල  xinjiang grand theatre  


උරුමුචි නගරයේ පිහිටි ෂින්ජියාන් මහ රඟගල ඉතා අලංකාර ලෙස නිම වූවකි. ගෝලාකාර හැඩයකින් යුතුව නිම වූ එය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ තවත් අනගි නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. රඟගල ඇතුළත විටින් විට නේකවිධ වර්ණයෙන් ආලෝකවත් කෙරේ. එහි ඇඳි සිතුවම් මතට ආලෝක ධාර එළි පතිතවීමේ දී මැවෙන්නේ අපූරු චිත්‍රයකි. 
අතීත සේද මාවතේ ඉතිහාසය අළලා නැටුම් ගැයුම් සහ නාට්‍යමය ස්වරූපයේ ප්‍රසංගයක් මෙහිදී අප හට නැරඹීමට හැකි විය. මෙම ප්‍රසංගය සුවිශේෂී අංග කීපයකින් සමන්විතය. එක් අවස්ථාවක වේදිකාව මතින් ජල තිරයක් මතුවේ. ඊට ඩිජිටල් තාක්ෂණය භාවිත කර වර්ණ ආලෝකධාරා මගින් විවිධ දර්ශන ගලා යාමට අවස්ථාව සලසා තිබේ.   
ප්‍රසංගය රඟ දැක්වෙන කාල පරාසයේ දී වේදිකාව මතින් පොකුණු මතු වේ. ඒ මත සුරංගනාවියන් මෙන් වූ සුන්දර නර්තනාවියන් රඟන අයුරු නෙත වශී කරවයි. තවත් විටෙක අසිරිමත් උයනක සිරි මැවේ කාන්තාරයේ ගමන විදහා දැක්වෙන දසුන අප සැබෑ කාන්තාරයක් වෙත ගෙන යන්නාක් මෙනි. විටෙක මාළිග පරිශ්‍රයකට අප කැඳවාගෙන යයි. එක්වරම අඳුරු වූ ශාලාව මුදුනින් සුරංගනාවියන් පවා අප වෙත එයි. ඇවිත් ටොෆි චොක්ලට් අපට ලබාදී පාව යයි. ප්‍රාසාංගික ප්‍රසංගයේ එක් අවස්ථාවක යුද්ධයක් හට ගනී. මේ යුද්ධය සඳහා අසරුවන් ගමන් කරන්නේ සැබෑ අශ්වයන්ගේ පිට නැගීය.   


අප මේ දකින්නේ සිහිනයක්ද? නැති නම් මැජික් සංදර්ශනයක්ද යන්න සිතා ගත නොහැකිය. ෂින්ජියාන් මහ රඟහල නෙතට ලබා දෙන්නේ රඟහලක දර්ශනයක් නැරඹීමකට එහා ගිය සජීවී අත්දැකීමකි.   


සහතිකෙන්ම ෂින්ජියාන් මහ රඟහල යනු සංචාරකයකු හට ඔහුගේ සංචාරක දිවියේ අමතක නොවන අත්දැකීමක් ලබාදෙන ස්ථානයකි. යුආන් 380, 480 සහ 680 යන මුදලකට මෙහි ප්‍රවේශපත් අලෙවි කෙරේ. ශ්‍රී ලංකා මුදලින් යුආන් 680ක් යනු රුපියල් 17,918ක පමණ මුදලකි. එහෙත් සංචාරකයකු හට ඒ ගෙවූ මුදලට වඩා ලැබෙන වින්දනය අගනේය.  

 

 


ෂින්ජියාන් ආට් තියටර්  xinjiang art theatre  


 ෂින්ජියාන් ආට් තියටර් මහ රඟහලට වඩා වෙනස් වූවකි. මෙහි වෙසෙන විවිධ ජාතීන්වලට අයත් සංගීත, නර්තන, චිත්‍රශිල්පී ඇතුළු කලාවේ බොහෝ අංශයන්හි දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කරන ස්ථානයකි. අපට මෙහි ප්‍රාසාංගික වාද්‍ය වෘන්දයේ ශිල්පී පිරිස හමුවිය. ඔවුන් අප වෙනුවෙන් විශේෂිත වාදනයක් ඉදිරිපත් කළේ ඔවුනටම ආවේණික වූ සංගීත භාණ්ඩ වයමිනි.

   
මෙහි රඟහල වෙත අපි ප්‍රවේශ වීමු. එහිදී අප වෙනුවෙන්ම ඔවුන් ඉදිරිපත් කළ නර්තන අංග හරියට වෙනස් වෙනස් චිත්‍රයක හැඩතල ප්‍රකාශ කරන්නාක් මෙන් වූ ප්‍රාසාංගයක් විය. බහු ජාතීන් වෙසෙන මේ ස්වායත්තයේ ශිල්පීන් එකම මවකගෙ පියෙකුගෙ දරුවන් සේ එක්වී ඉදිරිපත් කළ රංගන හා ප්‍රාසාංගික දැක්මෙන් කියා පෑවේ ෂින්ජියාන්හි කලාවේ ඇති විචිත්‍රත්වයේ සහ ආධ්‍යාත්මයේ තරමය.   


ඇවිදින වෙ​ෙළඳ වීදිය   


මෙම ඇවිදින වෙ​ෙළඳ වීදිය යනු හරියට චිත්‍රපට රූගත කිරීම් සඳහා නිර්මාණය කරන ලද කලාගාරයක් මෙන්වූ සුන්දර තැනෙකි. වීදි දිගේ එහාට මෙහාට ස්ථානගත කළ හැකි සාප්පු තනා ඇත්තේ දැවයෙනි. ඒවා ඉතා අලංකාර නිමැවුම්ය. රසකැවිලි වර්ග විවිධ ධාන්‍ය වර්ග විසිතුරු භාණ්ඩ මෙන්ම නොයෙක් සළු පිළි ඇතුළු විවිධ භාණ්ඩ වලින් මෙම වෙ​ෙළඳසල් සමන්විත වේ. ඒවා පිහිටි කලාපය අවට කලාත්මක නිර්මාණ දැකගත හැකිය.  


පාන් සාදන තැනක් වෙත අපි ගියෙමු. පාන් ඒ මොහොතේදීම පිස කෑමට සළස්වයි. ඒවා මෙතැනට පමණක් ආවේණික වූ පාන් වර්ග වේ. චීනයේ වියැළි මිදි වර්ග සහ වියළි පලතුරු වර්ග මෙන්ම කෑම සඳහා පිළියෙල කරන ලද ධාන්‍ය වර්ගවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.   


මෙම ධාන්‍ය අලෙවි සල් පිළියෙල කර ඇත්තේද කලාත්මක රටාවකට අනුවය. මෙම වෙ​ෙළඳ වීදියෙහි ඇති අවන්හල් සංකීර්ණය යනු නිතර ජනයාගෙන් පිරි පවතින තැනෙකි.   
විවිධ රසයට ආහාර පිළියෙල කෙරෙන අවන්හල් රැසක් මෙහි තිබේ. ඒවායෙහි ඇත්තේ සාම්ප්‍රදායික චීන ආහාරවලට වඩා වෙනසක් රැගත් ආහාර පානය. ෂින්ජියාන් ස්වායත්තයෙහි ඇති මෙම ආහාර පාන රසය ​ලෝකයේ වෙනැත් තැනක දී වින්දනය කළ නොහැකි යැයි සඳහන් කළ හැකියි.   


කලාගාරයක් බඳු වූ කෂ්ගර් නගරයේ හැඩය  


කෂ්ගර් යනු වසර දෙදහසට එහා ගිය ඉතිහාසයක් ඇති ඉපැරණි නගරයකි. මෙම නගරය නිර්මාණය වී ඇත්තේ කලාගාරයකට සමව යැයි කිව හැකිය. පෞරාණික නගරයට පිවිසෙන ස්ථානය තනා ඇත්තේ ඉපැරණි බළ කොටුවක හැඩයෙනි.   


මෙහි පැමිණෙන අමුත්තන් පිළිගැනීම සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායයෙන් යුතු නැටුම් ගැයුම් සහ වැයුම් සමගය. ඉනික්බිතිව පෞරාණික නගරයේ වීදි දිගේ සංචාරය කිරීම සඳහා විශේෂිත සංචාරක රථ යොදා ගැනේ. මෙම කෂ්ගර්හි වැඩි වශයෙන් වෙසෙන්නේ උයිගුරු ජාතිකයන්ය. හන් ජාතියේ පෙනුමට වඩා ඔවුන්ගේ පෙනුම තරමක් වෙනස්ය.   


“වසර සිය දහස් ගණනකට එහා වූ අතීතයකට දැන් අපි ප්‍රවේශ වී සිටිමු. මේ පෞරාණික නගරයට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු.”   


සුන්දර තරුණියන් පෞරාණික නගරයේ දී අප පිළිගත්තේ එලෙසිණි. සියවස් ගණනකට එහා අතීතයේ දී ඔවුන් ඇඳි පැලැඳි භාවිත කළ දේ වත්මනෙහි දැක ගත හැකි අතර එදා ආහාරපාන ලෙස ගත් සියලු දේ මෙහි සිට අපට ආස්වාදය කළ හැකිය. වසර ගණනාවකට පෙරදී මේ පෞරාණික නගරය පැවැතියේ අද මෙන් දියුණු මටටමක නොවේ.   
එදා මහා වැසි ඇද හැලෙද්දී දෙගොඩ තළා ගැලු ගං වතුරට නිවෙස් කැඩී බිඳී ගියේය. ජනතාව ඒ සියල්ලට මුහුණ දුන්නේ චීන රජයෙන් ලැබුණු නිරන්තර ආධාර උපකාර නිසාය. එනිසා දිනෙන් දින මේ නගරය ලස්සන කරන්නට මෙහි වෙසෙන ජනතාවට හැකි විණි.   


එදා ඒ අතීතය ගැන ද කෂ්ගර්හි දී දැක බලා ගැනීමට කෞතුකාගාරයක් තනා ඇත.  


කෝරළේ මඟුල:   


වයඹදිග චීනයේ ෂින්ජියාන්හි උයිගුර් ස්වායක්තයේ කාෂන් නගරයේ ෂු - ෆු කෝරළයේ වෙසෙන්නේ සුළු ජාතිකයන්ය. එහි සංගීත භාණ්ඩ නිපදවන ගම්මානය සංචාරකයන් අතර වඩා ප්‍රකට තැනෙකි. සංගීත භාණ්ඩ නිපදවන හැටි මෙන්ම ඒවා ප්‍රදර්ශනය කරන ස්ථානය මෙන්ම එම සුළු ජනයා ඉදිරිපත් කළ නැටුම් ගැයුම් සංදර්ශනය ද අප වෙනුවෙන් ආවේණික ආහාරපාන වලින් ද සප්පායම් වීමට ලැබිණි.   


ඒ අතරවාරයේ දී ඔවුන්ගේ ක්‍රමයට මංගල්‍ය උත්සවයක් පැවැත්වෙන අයුරුද දැක ගැනීමට හැකි විණි.   


මනාලයාගේ සහ මනාලියගේ පාර්ශ්වයන් දෙක පැති දෙකකට වී ගී ගයමින් නටමින් තරගයකට මෙන් විවිධ අංග ඉදිරිපත් කරයි. කෝරළේ ලොක්කා ඇතුළු පිරිස ඒ මඟුල මෙහෙයවයි.   


ඔවුන්ගේ මේ සිරිත් විරිත් සංස්කෘතිය ඇඳුම් පැලඳුම් සංගීතය මෙන්ම සංගීත භාණ්ඩ සහ ආහාර පාන ද විශේෂිත වන්නේ මේ කෝරළයටම පමණකි. එම කෝරළයේ ඉපැරණි නිවෙස් හරියට විශාල කූඩාරම් මෙනි. ඒවා වර්ණවත්ව සකසා ඇත.   


ග්‍රාමීය ජනතාවගේ නිර්මාණ කුසලතාව:   


ග්‍රාමීය ජනතාවට තමුන්ගේ නිර්මාණාත්මක කටයුතු වෙතින් තමුන්ගේම නිර්මාණයක් කරගෙන ජීවනෝපාය ගෙන යාමට ෂින්ජියාන් ස්වායත්තයේ ග්‍රාමීය ජනතාව වෙත චීන රජය ලබාදී ඇති ශක්තිය අගය කළ යුතුම දෙයකි. ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන කාන්තාවන් සඳහා ලබාදී ඇති සහන අගය කළ යුතුමය. ඔවුන් නිෂ්පාදනය කරනු ලබන විලාසිතා මිලදී ගෙන අලෙවියට යොමු කරවන්නේ රජය විසිනි.

   
එනිසා සුළු ජනයා නියැළෙන කුමක් හෝ නිර්මාණයක් වෙනුවෙන් දිරියෙන් ජනතාවට නැගී සිටීමේ අවකාශය ලැබී තිබේ. මෙම ග්‍රාමීය පළාත්වල සංවර්ධනය කළ යුතුව ඇති එකම දේ වන්නේ වැසිකිළි සහ සනීපාරක්ෂක පද්ධතිය පමණකි.   


අනෙකුත් සියලු පහසුකම් දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන් දරිද්‍රතාවයෙන් තොරව ගෙවන ජීවිතයක හැඩතලය.   


පාන් සාදන හැටි:   


මෙම පළාතේ පාන් පුලුස්සන්නේ ඉපැරණි ක්‍රමයටය. එනම් ඔවුනටම ආවේණික වූ ක්‍රමවේදයකට අනුවය. ඒවා අප ශ්‍රී ලංකාවේදී සාදන පාන් මෙන් නොවේ. ඒවා විශාල රොටි මෙන් වූ ඒවාය. කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශ්වය ද මෙම නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධය. මෙම පළාතේ සාදන පාන් රසය ලෝකයේ වෙනත් තැනක දී අත්විඳි නොහැකි දෙයකි.   
ශීත කාලයේදී පාන් පුලුස්සා ගන්නේ විවිධ රසයන්ට අනුවය. මෙම පාන් උඳුන ඇත්තේ පොළොව යට සාදන ලද විශාල වළක් වැනි තැනකය. එය හරියට පරාටා රොටී සාදා ගන්නාක් මෙනි. මෙම පළාතේ සාදන පාන්වලට ඇත්තේද හොඳ ඉල්ලුමකි.   


ෂින්ජියාන් සීනි:   


ෂින්ජියාන් ස්වායත්තයේ දී දැක ගත හැකි වූ සීනි මින් පෙර අප ලෝකයේ කිසිම තැනකදී දැක නොතිබුණු වර්ගයේ යැයි සඳහන් කළ හැකිය. ඒවා විශාල කුට්ටි ලෙස කහ පැහැ වර්ණයෙන් නිපදවා තිබේ. චා හෙවත් තේ සමග මෙම විශාල සීනි කැට ශීත කාලයට ගෙන දෙන්නේ කියාපු රසයකි.   

'
ෂින්ජියාන් ස්වායක්තය යනු චීනයේ වඩාත් නිර්මාණනාත්මක සංස්කෘතියක් සහ කලාවක් ඇති තෝනැන්නකි. සුළු ජනයා වෙනුවෙන් ළදරු අධ්‍යාපනයේ සිට ඔවුනට ලබාදී ඇති ප්‍රතිපාදන නිසා ජීවිතයේ නැගී සිටීමට හැකිව තිබේ. මෙම පළාතේ ළදරු අධ්‍යාපනය ලබාදෙන ස්ථානයකට අපි ගියෙමු. පෙර පාසල් අධ්‍යාපනයේදී ඒ දරුවනට ලබාදෙන නිර්මාණාත්මක කුසලතාවන් අගය කළ යුතු දෙයකි.   


​කලාව මෙන්ම දෑතින් කෙරෙන නිර්මාණයන් වෙනුවෙන් ඔවුනට වැඩි අවධානයක් ලබාදී තිබේ. හොඳම දේ ළමුනට යැයි කියනමක් තිබේ. සුළු ජාතීන් යැයි නොසලකා භේදයකින් තොරව ළදරු අධ්‍යාපනයට චීන රජය ප්‍රතිපාදන ලබා දී තිබේ.   


කෘෂිකර්මාන්තයට ද එලෙසින්ම ප්‍රතිපාදන ලබාදී තිබේ. මේ නිසා ග්‍රාමීය ජනතාව තවත් හුදෙකලා වූ ජනතාවක් නොවේ. විටෙක නගරයේ ජනතාවට වඩා ඔවුන් කාර්ය බහුලව සිටින්නේ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන. තමුන් කැමැති කර්මාන්තයට නියැළීමට අවකාශය සලසා ඇති නිසාය.   


ස්තුතිය 

 
මෙම සංචාරයට අනුග්‍රහය දැක්වූ චීන මාධ්‍ය සමූහය, චීන රේඩියෝ ඉන්ටර්නැෂල් (CRI) මෙරට චීන තානාපති කාර්යාලයේ ලියුතොන් liudon මහතාට CRI කලාපීය ප්‍රධානී xia yongmin චීන සිංහල හඬ ප්‍රධානි (CRI) SHIYUE ඇතුළු සියලු දෙනා හට අපගේ ස්තුතිය.  


සටහන ඡායාරූප 
සඳුන් ගමගේ