චීනයේ ප්‍රවාහන ප්‍රශ්නයට බයිසිකල් විසඳුම


රටකින් රටකට

පාපැදිය නැතිනම් බයිසිකලය සැලකෙන්නේ පරිසරයට මෙන්ම පුද්ගල ශරීර සෞඛ්‍යයටත් ඉතාමත් හිතකර උපකරණයක් හැටියටය. ඉන්ධන හෝ විදුලි බලය දහනය කිරීමකින් තොරව ධාවනය කළ හැකි නිසා බයිසිකලය පරිසර හිතකාමී වන අතර බයිසිකලය පැදීමෙන් පුද්ගලයාට හොඳ ව්‍යායාමයක් ලැබෙන නිසා එය ශරීරයට ද වැඩදායකය. මේ නිසා බයිසිකලය ලොව සෑම රටකම පාහේ ඉතා ජනප්‍රිය වී ඇති අතර වර්තමානයේදී ඇතැම් රටවල් එය මාර්ග තදබදය අවම කිරීමේ ප්‍රවාහන මාධ්‍යයක් හැටියටත් මෝටර් රථවලින් පිටකරන දුම් නිසා සිදුවන නගර වායු දූෂණය අවම කිරීමේ උපකරණයක් හැටියටත් භාවිත කරන ප්‍රවණතාවක් හඳුනාගත හැකිය. ඇමෙරිකාව, බ්‍රිත්‍යානය, ප්‍රංශය, නෙදර්ලන්තය ඇතුළු දියුණු බටහිර රටවල් රැසක මෙන්ම ආසියාවේ දී චීනය, ජපානය, සිංගප්පූරුව ආදී රටවල්වල ද පාපැදිය මෙලෙස ප්‍රයෝජනවත් අයුරින් භාවිත කරයි. එම රටවල පාපැදි හුවමාරු වැඩසටහන් (Bicycle sharing program) ක්‍රියාත්මක වන අතර ජනාකීර්ණ නගරවල පාපැදිය භාවිත කිරීම සඳහා පුද්ගලයන් දිරිමත් කිරීම එමගින් සිදුවෙයි.


චීනයේ බයිසිකලය   


පාපැදිය යනු චීනයේ ඉතාමත් ප්‍රසිද්ධ උපකරණයකි. ස්මාට් ජංගම දුරකථනයට පසු චීන වැසියාගේ දෛනික ජීවිතයට වැඩි වශයෙන් බලපෑම් කරන උපකරණය නම් බයිසිකලයයි. ඊළඟට සබ් වේ නමින් හඳුන්වන උමං දුම්රිය සේවයයි. ඔබ චීනයේ කුමන ප්‍රාන්තයක කවර නගරයක සංචාරය කළ ද මාර්ග දෙපස සිය ගණනින් ගාල්කර ඇති විවිධ වර්ණයෙන් යුතු බයිසිකල් දැකිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මාර්ග තදබදය අවම කිරීම සඳහාත් නගර වායු දූෂණය අවම කිරීම සඳහාත් බයිසිකලය ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන රටවල් අතර චීනය පෙරමුණේම පසුවෙයි. චීනයේ පාපැදි හුවමාරු වැඩසටහන් ඒ ඒ ප්‍රාන්ත ආණ්ඩු මගින් මෙහෙයවන අතර එය නගර වායු දූෂණය අවම කිරීමේ සාර්ථක ක්‍රමෝපායක් නිසා චීන මධ්‍යම ආණ්ඩුව ඒ වෙනුවෙන් විශේෂ දිරිගැන්වීම් ලබාදෙයි. තවද චීනයේ මහා මාර්ගවල පාපැදි ධාවනය වෙනුවෙන් වෙන්කළ වෙනම මංතීරු ද දැකිය හැකිය.   


චීනයේ ක්‍රියාත්මක පාපැදි හුවමාරු වැඩසටහන් සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාලය සමග සම්බන්ධ අතර පුද්ගලයකුට තමන් සිටිනා ස්ථානයේ සිට බයිසිකල් ඇති ආසන්නතම ස්ථානය සොයා ගැනීමටත් ගෙවීම් සිදුකර බයිසිකලයක් ලබා ගැනීමටත් ස්මාට් ජංගම දුරකථන සඳහා හඳුන්වාදී ඇති පාපැදි සමාගම්වල ඇප් උපකාර වෙයි. ඇත්ත වශයෙන්ම බයිසිකල් සම්බන්ධ කාරණයේදී පමණක් නොව චීන වැසියාගේ දෛනික ජීවිතයේ සෑම කටයුත්තකදීම ස්මාට් ජංගම දුරකථනය හා අන්තර්ජාලය අවියෝජනීය ලෙස බැඳී පවත්නා ස්වභාවයක් හඳුනාගත හැකිය.  


අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරීම, භාණ්ඩ ඇනවුම් කිරීම, ස්ථාන සෙවීම චීනයේ ඉතාමත් ජනප්‍රිය ය. චීනයේ මිලියන ගණනින් බයිසිකල් තිබුණ ද පුද්ගලයකු ස්මාට් ජංගම දුරකථනයක් හා අන්තර්ජාල ගෙවීම් භාවිත නොකරන්නේ නම් ඔහුට හෝ ඇයට බයිසිකල් පාවිච්චි කළ නොහැකිය. චීනයේ පාපැදි හුවමාරු වැඩසටහන්වලදී සිදුවන්නේ එම වැඩසටහන් මෙහෙයවන ප්‍රධාන පෙළේ සමාගම් මගින් ස්මාට් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී තිබෙන විශේෂ ඇප් හරහා පුද්ගලයා හා බයිසිකලය අතර ගනුදෙනුව ගොඩනැගීමයි. එවැනි සමාගම් අතර Mobike හා Ofo යන ඒවා පෙරමුණේ පසුවන අතර Mobike සමාගමේ බයිසිකල් තැඹිලි පැහැයෙන් යුතු අතර Ofo සමාගමේ පාපැදි කහ වර්ණයෙන් යුතුය. නගරවල ඇවිදින විට මේ දෙවර්ණයේ පාපැදි මාර්ග දෙපස තැන් තැන්වල ගාල්කර තිබෙනු දැකිය හැකි අතර ඊට අමතරව Bluegogo නමින් හඳුන්වන චීනයේ තෙවැනි විශාලතම පාපැදි සමාගමේ නිල් පැහැති බයිසිකල් ද දකින්නට පුළුවන. මේ ආකාරයට තවත් සමාගම් විශාල ප්‍රමාණයක් චීනයේ පාපැදි මෙහෙයුම් කටයුතු සිදුකරයි.  


කිසියම් පුද්ගලයකුට මග දෙපස ගාල් කර ඇති බයිසිකලයක් කුලියට ලබා ගැනීමට අවශ්‍ය නම් පළමුව ඔහු කළ යුත්තේ තමන්ට අවශ්‍ය පාපැදිය අයත් සමාගමේ ඇප් එක බාගත (Download) කර ගැනීමය. අනතුරුව එහි ලියාපදිංචි විය යුතු අතර සමාගම නියම කරන මුදලක් පළමු තැන්පතුව වශයෙන් තැන්පත් කිරීම ද කළ යුතුය. එලෙස අයකරන මුදල සමාගමෙන් සමාගමට වෙනස් වුවද බොහෝවිට එය යුආන් 99ක් හෝ 95කි. එම මුදල් තැන්පත් කිරීම ද අන්තර්ජාල ගෙවීම් ක්‍රමය මගින් සිදු කළ යුතු අතර ඒ සඳහා චීනයේ ඉතාමත් ප්‍රසිද්ධ “අලි පේ” (Ali pay) ක්‍රමය හෝ “වීචැට් පේ” (Wechat pay) ක්‍රමය යොදාගැනීම සිදුවෙයි. ඒ ආකාරයට මුදල් ගෙවා ලියාපදිංචි වූ පසු චීනයේ කොතැනක වුව ඇති එම සමාගමට අයත් බයිසිකල් කුලියට ලබාගත හැකිය.  


මුදල් ගෙවා ලියාපදිංචි වූ සමාගමට අයත් සෑම බයිසිකලයකම ආසනයට පහළින් ඇති පසුපස රෝදයේ ආවරණය මත එම සමාගමේ QR සංකේතය දැකිය හැකි අතර බයිසිකලයක් ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ තමන් අත ඇති ස්මාට් ජංගම දුරකථනයේ ඇති අදාළ පාපැදිය අයත් සමාගමේ ඇප් එක විවෘත කර මුදල සටහන් කර (යුආන් 1ක්) අලි පේ හෝ වීචැට් පේ මගින් ගෙවීමය. එසේ ගෙවීමේ දී දුරකථනයේ ඇති QR සංකේතයෙන් පාපැදියේ ඇති QR සංකේතය පරිලෝකය (Scan) කළ යුතු අතර එසේ කිරීමෙන් පසු දුරකථනයෙහි දිස්වන අංක හතරකින් යුත් සංකේත අංකය පාපැදියෙහි සංකේත අංකය සටහන් කිරීම සඳහා ඇති කොටසෙහි සඳහන් කළ පසු ඉබේම අගුලුව (Lock) විවෘත වෙයි.  


මෙලෙස ලබාගත් පාපැදිය පැද තමන්ගේ ගමනාන්තයට ළඟා වූ පසු තමන් කැමැති ස්ථානයක අතහැර යන්නට පාපැදිකරුට හැකි නමුත් එය අගුලු ලා යන්නට ඔහු හෝ ඇය අමතක නොකළ යුතුය. වෙනත් පුද්ගලයකු එම පාපැදිය කුලියට ගැනීමේ දී පෙර සඳහන් කළ ක්‍රමවේදය ඔහු ද අනුගමනය කළ යුතු අතර පරිහරණය කිරීමෙන් පසු පාපැදිය අගුලු දැමීම එම තැනැත්තා ද කළ යුතුය. මීට වසර ගණනාවකට ඉහතදී බයිසිකල් ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන හඳුන්වාදී තිබුණ ද වර්තමානයේදී සිව්වන පරම්පරාවේ Dockless බයිසිකල් ප්‍රචලිත වූ පසු පුද්ගලයන්ට තමන්ට කැමැති ස්ථානවල (මහජනයාට අවහිරයක් නොවන පරිදි) බයිසිකල් අතහැර යන්නට පුළුවන.   


ඉහතදී දැක්වූ පරිදි බයිසිකල් කුලියට ලබාදීමේදී සමාගම් අයකරන ගාස්තු වෙනස් වුවත් විශාල වෙනස්කම් එහි දක්නට නොමැති අතර Mobike සමාගම සතු පාපැදියක් යුආන් එකක් ගෙවා ලබාගත් පසු එය පැය භාගයක කාලයක් පාවිච්චි කළ හැකි අතර Ofo සමාගමේ බයිසිකලයක් යුආන් එකක් ගෙවා ලබාගත් පසු එය පැයක කාලයක් පරිහරණය කළ හැකිය.   

 


පාපැදි සමාගම්   


පෙර සඳහන් කළ Mobike හා Ofo යන චීනයේ ප්‍රධානතම පාපැදි මෙහෙයුම් සමාගම් සැලකෙන්නේ චීනයට මුලින්ම හතරවැනි පරම්පරාවේ Dockless පාපැදි හඳුන්වා දුන් සමාගම් හැටියටත් ලොව විවිධ රටවල පාපැදි මෙහෙයුම් කටයුතු සිදුකරන දැවැන්ත සමාගම් හැටියටත් ය.   


Mobike Technology Co. Ltd. සමාගම Mobike නමැති බයිසිකල් සන්නාම නාමයෙහි හිමිකරු වෙන අතර එය ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීය. මූලස්ථානය බෙයිජින්වල පිහිටා ඇති අතර එහි ප්‍රධානියා  Hu Wei Wei ය. පාපැදි කුලියට ලබාදෙන ලොව විශාලතම සමාගම හැටියට මෙය සැලකෙන අතර ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය ඇතුළු රටවල් ගණනාවකට අයත් නගර 200කට වැඩි ප්‍රමාණයක මේ සමාගම පාපැදි මෙහෙයුම් කටයුතු සිදුකරයි. චීනයේ බෙයිජින්, ෂැංහයි ඇතුළු ප්‍රධාන නගර විස්සකට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදුකරයි.   


Ofo චීනයේ ඇති දෙවැනි විශාලතම පාපැදි මෙහෙයුම් සමාගමයි. Dai Wei ඇතුළු පස්දෙනකු 2014 වසරේදී පීකින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී පාපැදි සංචාරක කර්මාන්තය නමින් පැවැති ව්‍යාපෘතියක් වෙනුවෙන් සකස් කළ Ofo පාපැදිය ඉතා ඉක්මනින් චීනයේ ප්‍රචලිත වී පසුව එය සමාගමක් බවට පත්වූ අතර අද වෙනවිට එය Mobike සමාගම හා තරගකාරීව චීනයේ හෝ ලෝකයේ රටවල් රැසක පාපැදි මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටියි. මෙහි මූලස්ථානය ද බෙයිජින්වල පිහිටා ඇත.   


මෙම සමාගම් ද්විත්වය මගින් පළමුව බෙයිජින් හා ෂැංහයිවල ප්‍රචලිත කළ හතරවැනි පරම්පරාවේ Dockless බයිසිකලය මේ වෙනවිට චීනයේ ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර සෑම ප්‍රාන්තයකම පාහේ ඒවා දැකගත හැකිය. මෙපරිදි බයිසිකල් භාවිතය ජනතාව අතර ප්‍රචලිත වීමෙන් පසු පෞද්ගලික මෝටර් රථ භාවිතය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව ඒ ඒ ප්‍රාන්තවල ප්‍රවාහන කොමිසම් සඳහන් කරයි. මෑතකදී Shenzhen පළාතේ ප්‍රවාහන කොමිසම නිවේදනය කර සිටියේ හතරවැනි පරම්පරාවේ Dockless පාපැදිය හඳුන්වා දුන් පසු එම පළාතේ මෝටර් රථ භාවිතය සියයට 10කින් පමණ අඩු වී ඇති බවය. එපමණක් නොව මේ බයිසිකල් ක්‍රමය මේ වනවිට නගර වායු දූෂණය අවම කිරීම සඳහා සෑහෙන සේවයක් සලසමින් සිටියි. ලොව වායු දූෂණය වැඩිම නගරය හැටියට සැලකෙන බෙයිජින් ඒ අතර ප්‍රධානය.   


ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දිනපතා දැඩි මාර්ග තදබදයක් දැකිය හැකි අතර ඒ හේතුවෙන් පුද්ගලයාට තම දෛනික ජීවිතයෙන් වැඩි කාලයක් මහමග රස්තියාදු වීමට සිදුවෙයි. මාර්ග තදබදය පවතින ස්ථාන හඳුනාගෙන මෙවැනි පාපැදි හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යැයි සිතිය හැකිය.   

 

උපුල් වික්‍රමසිංහ   
චීනයේ සිට....   
[email protected]