චීනයෙන් තවත් ලෙඩක්


 

පෙණහලු ආසාදන තත්ත්වයක් ඇති කරන, මින් පෙර හමුනොවුණු ආකාරයේ වයිරසයක් පිළිබඳ අසන්නට ලැබේ. මේ වයිරසයේ ආරම්භයත් එය පැතිර යෑමත් සිදුවන්නේ චීනයේ වූහාන් නගරයේය. සියයකට ආසන්න පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් චීන පුවත් වාර්තා කළේය. 


හඳුනා නොගත් මෙම නව වයිරසය අයත් වන්නේ, කොරොනා වයිරස අතරට යැයි වෛද්‍ය පර් යේෂකයන් තහවුරු කර ඇත. කොරොනා වයිරස වර්ග රැසකි. ඒවායින් මිනිසාට ආසාදනය වන්නේ වයිරස 6 ක් පමණි. මෙම නව වයිරසය හමුවීමත් සමඟ එම සංඛ්‍යාව 7 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වූහාන් වයිරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. 


‘සාර්ස්’ වයිරසය ලොව කැලඹුවේ 2002 දීය. එය ද ආරම්භ වූයේ චීනයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිහිපත් කරයි. ‘සාර්ස්’ කොරොනා වයිරසයකි. 2012 දී ‘මර්ස්’ වයිරසය මැදපෙරදිග කැලඹුවේය. මෙය ද කොරොනා වයිරසයකි. සිදු කරන පරීක්ෂණය අනුව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව වයිරසය, ‘සාර්ස්’ තරම් දරුණු සහ මාරක වයිරසයක් නොවනු ඇති බවය. උණ සහ සෙම්ප්‍රතිෂ්‍යාව මෙම නව වයිරසයේ ද රෝග ලක්ෂණ වෙයි. 


වයිරස වර්ග බොහොමයක් මිනිසාට ආසාදනය වන්නේ සතුන්ගෙනි. වූහාන් කේන්ද්‍රකොට ගනිමින් වයිරසය පැතිරෙන්නේ මුහුදු ආහාර හරහා යැයි සැකයක් පවතී. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා චීන පුවත් සේවා වාර්තා කරයි. වයිරසයේ ප්‍රභවය (ආරම්භය) කුමක්දැයි තහවුරු කර ගැනීමෙන් ඊට පිළියම් යෙදීම කළ හැකි බව චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. 


ලුසිත ජයමාන්න 
චීන පුවත් සේවා ඇසුරිනි