චීනයෙන් ගෙනා ලස්සන කෝච්චිය


ලංකාවේ බලවේග කට්ටල දුම්රිය

 

 

 

 

අපේ දුම්රිය ඉතිහාස කතාව පරිශීලනය කරන විටදී ලංකාවට ප්‍රථම ඩීසල් දුම්රිය එන්ජිමක් ගෙනැවිත් ඇත්තේ 1934 වර්ෂයේදීය. ඒ මගී ප්‍රවාහනය වෙනුවෙන් නොව රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ “ෂන්ටින්” කටයුතු සඳහාය.


එතැන් සිට අද දක්වා පියවරෙන් පියවර ලංකාවේ දුම්රිය බළඇණිය ශක්තිමත් විය. 1938 දී ප්‍රථම බලවේග කට්ටලයෙන් පටන් ගෙන බලවේග කට්ටල භාවිතයට එක්වීමෙන් මෙම සේවාව තව තවත් ශක්තිමත් විය. ඉන් දශක ගණනාවක් පසුකරමින් අද වනවිට අතිනවීන සුඛෝපභෝගී එන්ජින් හා බලවේග කට්ටල ගණනාවක් මගී දුම්රිය සේවාවට එක්ව ඇත්තේ රේල් කාර් හා විශේෂ දුම්රියන්වලට අමතරවය.


වාෂ්ප එන්ජින් යුගය සිහිකරමින් “වයිස් ස්පේෂල්” නොඑසේනම් Victory Special වාෂ්ප එන්ජිම සහිත දුම්රියක්ද ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අතර විදේශිකයන්ට අපේ රටේ අසිරිය පෙන්වන සංචාරක දුම්රියක් වශයෙන් වර්තමානයේද මෙම වාෂ්ප දුම්රිය ගමනේ යෙදේ.
ලංකා දුම්රිය සේවාවට මේ වනවිට එක්ව සිටින අලුත්ම හා නවීනතම බලවේග කට්ටලය වන්නේ S-14 බලවේග කට්ටලයයි. චිනයේ CRRC Sifang සමාගමේ නිෂ්පාදනයක් වන S-14 ඉකුත් 2019 වර්ෂයේ අග භාගයේදී මෙරටට ආගමනය සිදුකරන ලදී. මෙම බලවේග කට්ටල මෙරටට ගෙන්වීමේ මූලික අරමුණ වූයේ උඩරට මාර්ගයට වඩාත් හොඳ වඩාත් පහසුකම්වලින් යුතු දුම්රිය සේවාවක් ලබාදීමයි.


S-14 ආගමනයට පෙර උඩරටට ගිය එකම සුඛෝපභෝගී බලවේග කට්ටලය වූයේ S-12 දුම්රියයි. එයද චීනයේ නිෂ්පාදනයක් විය. ඉන් පසුව මෙරටට ගෙන ආ ඉන්දියන් එන්ජින් හා බලවේග කට්ටල කඳු තරණයට වරම් නොලැබූයේ එන්ජින්වල දිග වැඩිකම හේතුවෙනි.


S-14 බලවේග කට්ටල නවීන පහසුකම් රැසකින් යුතු වන අතර එන්ජින් 18 ආනයනය කිරීමට රුපියල් මිලියන 1839.5ක් ශ්‍රී ලංකා රජයට වැය වී තිබේ. S-14 බලවේග කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඊට ගැලපෙන මැදිරිද සහිතවය. මුළුමනින්ම වායු සමනය කරන ලද මැදිරි හා භෝජනාගාර මැදිරි ද මේ අතර වේ.
S-14 බලවේග කට්ටල ලා අළුපාටට හුරු සුදු වර්ණයෙන් හා ඒ මත තිරස් අතට විහිද යන රතු හා නිල් පැහැ ඉරි දෙකකින් හැඩ ගන්වා ඇත. අශ්වබල 1950 ඉතා වැඩි ශක්තියකින් යුතු මේවායෙන් එන්ජිමක බර ටොන් 74ක් වන අතර එක් බලවේග කට්ටලයක් මෙවැනි එන්ජින් දෙකකින් සමන්විත වේ.
මෙම වර්ගයේ ප්‍රථම බලවේග කට්ටලය 2019 වසරේ අගෝස්තු මස 20 වන දින කොළඹ වරායෙන් ලංකාවට පැමිණ ඇති අතර සැප්තැම්බර් 02 වැනිදා අත්හදාබැලීමේ චාරිකාව කොළඹ සිට බදුල්ල දක්වා ගමනේ යෙදී තිබේ. මෙම සාර්ථක නිරීක්‍ෂණ චාරිකාවෙන් පසුව ආරම්භ කරන ලද “දෙනුවර මැණිකේ” කොළඹ - බදුල්ල නගරාන්තර සුඛෝපභෝගී සේවාව මේ වනවිට මගී ජනතාව අතර ඉතා ජනප්‍රිය වී තිබේ.


S-14 බලවේග කට්ටලයට පැයට කි.මීටර 120ක වේගයෙන් අපේ රේල් පිලී මත ගමනේ යෙදීමේ හැකියාව පවතින අතර ප්‍රථමයෙන් මෙරටට පැමිණි එන්ජින් 14 971 සිට 984 දක්වා අංකනය කර ඇත. මේ අතරතුරදී අරුවක්කාරු කසළ අංගණය විවෘත කිරීමෙන් පසුව කොළඹ කුණු අරුවක්කාරු වෙත ගෙනයාමට සුදුසු හා පහසුම ක්‍රමය දුම්රියෙන් ඒවා ප්‍රවාහනය කිරීම බවට බලධාරීන්ගේ මතයට අනුව ආනයනය කරන ලද තවත් S-14 එන්ජින් 4ක් මේ වෙනුවෙන් යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තීරණයෙන් පසුව තවත් S-14 බලවේග කට්ටල එන්ජින් 4ක් නොඑසේනම් සම්පූර්ණ බලවේග කට්ටල 2ක් ඒ වෙනුවෙන් වෙන් කර තිබේ. S-14A වශයෙන් නම් කර 989 සිට 992 දක්වා මෙම කසල ප්‍රවාහන කට්ටල අංකනය කර ඇත.


එසේම මේවායේ වර්ණයද මගී දුම්රියන්ගෙන් වෙන්ව හඳුනාගැනීමට මදක් වෙනස්කර ඇති අතර සුදු, නිල් හා රතු වර්ණවලට අමතරව ලා කොළ (කෙහෙල් දල්ලේ පාට) පැහැයද කසළ එන්ජින්වලට එක්කර තිබේ. කසළ පුරවන කන්ටේනර් මැදිරිද ගෙන්වීමට මේ වනවිට චීනයට ඇනවුම් ලබාදී තිබේ.
අපේ දුම්රිය සේවාවට එක්ව සිටින ඉතා වේගවත්ව ගමන් කළ හැකි, මගීන්ටද සුවපහසු නවීනතම දුම්රිය වන්නේද S-14 බලවේග කට්ටලයයි. S-13 S-12 හා ඉන්දියාවේ නිෂ්පාදිත S-11 ද ඊට පිටුපසින් සිටී. මේ කුමන අන්දමේ පහසුකම් සහිත සැප දුම්රියක් සේවාවට එක් කළත් මේවායේ යන එන අපේ මගී ජනතාවගේ හැසිරීම් ගැන නම් අවම මට්ටමක පවතින බැව් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පරිහරණය වන ඡායාරූපවලින් පැහැදිලි වේ.


සමහරුන් දුම්රියේ ගමන් කරන්නේ එහි අයිතිකරුවන් මෙන් ඔවුන්ට වුවමනා ලෙසටය. පස්ස පැත්ත ආසනයට බර කරමින් ඉඳගන්නේ එම ආසනය ඇත්තේ තවත් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ඉඳගැනීමට ඉඩ ඇති බවක් නොදන්නාක් මෙනි. ආසනයේ 3/4ක් පමණ තම භුක්තියට ගෙනය.
අජූත දෙපා ඉදිරි ආසනය මතට ගෙන දපා සිටින්නේ වීරයන් මෙනි. මෙවැනි ගොං තකතීරුවන් වීරයන් නොව අමු මෝඩයන්ය. ඇතැමෙකු බුලත් විට හපා ඇඟිල්ලේ ඉතිරිවන හුණු ඉදිරි ආසනයේ හෝ දුම්රිය බඳේ උලති. කට පඩික්කමක් කරගෙන දුම්රිය බඳේ පදාසයක් කැත කරමින් කෙළ විදිති.
අඹුදරුවන් සමග ගමනේ යන විට ෆොපි කොළයේ පටන් බත් ඔතන කොළය දක්වා ආසනය අවට විසුරුවා හරිති. ගමන අවසානයේදී එතැන කසල ගොඩකි. කුඩා දරුවන් දන්නා දෙයක් නැති නමුත් පොදු ප්‍රවාහන සේවාවක අන් අයට කරදරයක් නොවන ලෙසට ගමන් කිරීමට කුඩා කාලයේදීම දරුවන්ට පුරුදු කළ යුතු නමුත් දරුවන් ඉදිරියේ වැරදි කරන්නේ දෙමාපියන්ය.


දුම්රිය ගැන කියන්නට ගොස් වෙනත් මාතෘකාවක් පිළිබඳව පැහැදිලි කළේ මේවා අපට උරුම අප සතු සම්පත් හෙයින් පොදු දේපළ විනාශ කිරීමට නොව ආරක්‍ෂා කිරීමට අපේ ආකල්ප වෙනස් විය යුතුය. එසේම අන් කෙනෙකු විසින් කරනු ලබන වරද පෙන්වා දීමට ශක්තියක් තිබිය යුතුය.
වත්මන් තරුණ පරපුර නම් පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් කිරීමේදී පරිසරය අපවිත්‍ර කිරීමට 90%ක්ම හිතට ගෙන අති අයුරක් පෙනී යන අතර කරන තරමක් වැරදි කරන්නේ වැඩිහිටි පිරිමි හා කාන්තාවන්ය. රටකජු හපනවිට පොතු ලෙලි ආසනය යටය. හිස් කරන ලද ප්ලාස්ටික් වතුර බෝතල රාක්ක මතය.
මේ අපේ අයියලාගේ වැඩය.


කෙසේ වෙතත් දුම්රිය එන්ජින් පිළිබඳව හා බලවේග කට්ටල ගැන සති ගණනාවක් තිස්සේ ඉරිදා ලංකාදීප පාඨක ඔබ වෙනුවෙන් ගෙන ආ ලිපි පෙළ මෙතෙකින් අවසන් කෙරෙන අතර ඊළඟට මෙරටට ආනයනය කෙරෙන නවතම බලවේග කට්ටල හා එන්ජින් දුම්රිය සේවයට එක්වූ පසුව ඒව ගැනද තොරතුරු උණු උණුවෙන්ම ඔබ වෙත රැගෙන ඒමට අදහස් කරමු.


එතෙක් අපේ දුම්රිය සේවාවේ සැඟව ගොස් ඇති අනුවේදනීය හා කුතුහලය දනවන තොරතුරු සහිත ලිපි පෙළකින් පාඨක ඔබ දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙමු.


තිලක් පුෂ්පකුමාර.
ඡායාරූපය අන්තර් ජාලයෙනි.
තොරතුරු සපයා ගැනීමේදී සහාය දැක්වූ ලහිරු කන්නන්ගර මහතාට ස්තුතිය.