චීන සේද මාවතේ ගන්සු පළාත


රටකින් රටකට

 

ඉපැරණි සේද මාවතේ ඉතාමත් වැදගත් භුමිකාවක් නිරූපණය කළ චීනයේ ගන්සු පළාත, චීන ජනාධිපති ෂීජින් පින්ග් මහතා 2013 වසරේදී ඉදිරිපත් කළ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනෙහි ද සක්‍රීය පාර්ශ්වකරුවෙක් වෙයි. ඓතිහාසික සේද මාවතේදී වෙළෙඳාම හා ශිෂ්ටාචාරය සංවර්ධනය කිරීමෙහිලා මේ ප්‍රාන්තය වැදගත් කාර්ය කොටසක් ඉටුකර ඇති බවට ඓතිහාසික මූලාශ්‍ර මගින් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඉකුත් 27 වැනි දින ආරම්භ වූ 3 වන සේද මාවතේ (දුන්හන්ග්) අන්තර්ජාතික සංස්කෘතික ප්‍රදර්ශනයෙහි සමාරම්භක උළෙල ආවරණය කිරීමට චීන ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරමින් අපහට අවස්ථාව උදාවිය. 

 
චීන සිතියමෙහි බටහිර දිසාවට ​ෙවන්නට පිහිටා තිබෙන ගන්සු පළාත සැලකෙන්නේ චීනයෙහි ඇති ජන විවිධත්වය මොනවට විදහාලන ප්‍රාන්තයක් හැටියටය. චීනයෙහි ඇති සමස්ත ජන කණ්ඩායම් සංඛ්‍යාව 56 ක් ​ෙවන අතර එයින් 55 කට අයත් ජනයා මෙහි ජීවත්වෙති. වර්ග කිලෝමීටර් 425800 ක භූමි ප්‍රමාණයක් සහිත මේ ප්‍රාන්තයෙහි මුළු ජනගහනය මිලියන 26 කි. අගනගරය ලැන්ජොවු නම් වෙයි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ​ෙවන ගන්සු පෙර සඳහන් කළ පරිදි ඉපැරණි සේද මාවත සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී මෙන්ම චීනයේ සුප්‍රකට යෙලොව් නදිය හා බැඳුණු ශිෂ්ටාචාරයේ පිළිබිඹුවක් වශයෙන්ද එම ඓතිහාසික වැදගත්කම දරාගෙන සිටියි. චීනයේ ඓතිහාසික උරුම වලින් පොහොසත් ප්‍රාන්ත අතර ගන්සු 5 වැනි තැන රැඳෙයි. ගන්සුහි මේ ඓතිහාසික සංස්කෘතික උරුම එහි සංචාරක කර්මාන්තයෙහි කොඳු නාරටිය බඳු වෙයි.  


ස්වාභාවික සම්පතින් පොහොසත් පළාතක් වන මෙහි ජල හා ජෛව විද්‍යාත්මක වටිනාකමින් යුත් සම්පත් බහුලය. ගල්අඟුරු, පෙට්රෝලියම්, ස්වාභාවික වායු ඇතුළු ඛනිජ වර්ග 12 ක් පමණ ඇත. පාරිසරික විවිධත්වයද මෙහි දැකිය හැකි තවත් විශේෂ ලක්ණෂයක් වන අතර වන ගහනය වර්ග කිලෝමීටර් 39700 ක් වෙයි. විශාල සානු බහුල ප්‍රාන්තයකි. පැන්ඩා, ගෝල්ඩන්මන්කි, අශ්වයා, ඔටුවා, බූරුවා, යැක් ගවයා ආදී සතුන් මෙහිදී දැකිය හැකි අතර යැක් ගවයන් දහස් ගණනින් මාර්ග දෙපස ඇති තැනිතලා භූමි මත සිටිනු දැකිය හැකිය.   


ගන්සුහි ආර්ථිකය ගැන අවධානය යොමු කිරීමේදී 2017 වසරේ දත්තවලට අනුව මෙහි දළ දේශීය නිෂ්පාදිතය යුආන් බිලියන 767.7 කි. කෘෂිකර්මාන්තය ආර්ථිකයෙහි ප්‍රධාන ධාරාවකි. වර්තමානය වන විට මෙහි විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල විශාල පුනරුදයක් සිදුව තිබෙන අතර ආර්ථික ක්‍රියාවලිය සඳහා එම අංශ වලින් ලැබෙන දායකත්වය සියයට 52.2 කි. දියුණු දුම්රිය හා මහාමාර්ග පද්ධතියක් ද මෙම ප්‍රාන්තය සතුය.   


Lanzhou, Jiayuguan, Dunhuang යනාදී වශයෙන් අන්තර්ජාතික ගුවන්තොටුපළවල් තුනක් මෙම ප්‍රාන්තයෙහි දැකිය හැකිය. ගන්සු පළාත් කොමියුනිස්ට් පක්ෂ කොමිටිය හා පළාත් ආණ්ඩුව පාරිසරික කර්මාන්ත හා හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබේ.   


සේද මාවත (දුන්හන්ග්) අන්තර්ජාතික සංස්කෘතික ප්‍රදර්ශනය   


චීනයේ එක් තීරයක්- එක් මාවතක් වැඩසටහන හා සම්බන්ධ රටවල් අතර සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් මෙම ප්‍රදර්ශනය 2016 වසරේ ආරම්භ කළ අතර එය චීන මධ්‍යම ආණ්ඩුවේ හා රාජ්‍ය කවුන්සලයේ අනුමැතිය සහිතව සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය, ජාතික ගුවන් විදුලි හා රූපවාහිනී පාලක මණ්ඩලය, අන්තර්ජාතික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා වන චීන කවුන්සලය හා ගන්සු පළාත් ආණ්ඩුව යන පාර්ශ්ව මගින් සංවිධානය කරයි. මෙවර එය ගන්සු පළාතේ දුන්හන්ග් නගරයේදි මුළු දුන්නේ තෙවැනි වරටය. සේද මාවත හා සම්බන්ධ රටවල් අතර සංස්කෘතික හා මානව හුවමාරු ප්‍රවර්ධනය කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම හා පොදු සංවර්ධනය යන ක්ෂේත්‍රවලට අදාළ මූලෝපායික වේදිකාවක් නිර්මාණය කිරීමෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම ඉපැරණි සේද මාවත හා සම්බන්ධ රටවල සංස්කෘතික අනන්‍යතා හා චීන සංස්කෘතිය අතර සම්බන්ධය ගොඩනැගීම මෙමගින් සිදුවෙයි.  


මින්ග්ෂා කන්ද හා අඩසඳ වැව   


දුන්හන්ග් නගරයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි. දුන්හන්ග් නගරයේ සිට කිලෝමීටර් 5 ක දුරින් දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙම මින්ග්ෂා කඳුවැටිය, කන්දක් ලෙස නම් කළද ඇත්ත වශයෙන්ම එය කාන්තාරයකි. මැදපෙරදිග කලාපයේ දක්නට ලැබෙන කාන්තාර සිහිවන අයුරින් ඉදිකර ඇති මේ මින්ග්ෂා කන්ද වර්ග කිලෝමීටර් 31200 ක භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. එසේම මෙම ස්ථානය හැන්හාටැන්ග් අධිරාජ්‍ය සමයන්හිදී ඉපැරණි සිල්ක් මාවතෙහි පිහිටි වැදගත් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් හැටියට ද නම් දරා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1715 ක උසකින් මෙය පිහිටා ඇත. මෙම මින්ග්ෂා කන්දෙහි සංචාරය කරන විට ඉතා උසින් පිහිටි වැලිකඳු විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර මෙහි එන සංචාරකයන්ට යුආන් සියයක් ගෙවා ඔටුවකු පිට නැගී වැලි කාන්තාරය මත වටයක් ගැසීමට ද හැකිය. තවද මෙම කන්ද මධ්‍යයෙහි බෞද්ධ පන්සලක් හා අඩ සඳක හැඩය ගත් වැවක් ද පිහිටා ඇති අතර ඒවා මෙම වැලි කාන්තාරයට එක්කරන්නේ අපූරු සුන්දරත්වයකි. අද වන විට මෙම මින්ග්ෂා කන්ද හා අඩසඳවැව 5A මට්ටමේ ජාතික සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් හැටියට නම් කර තිබේ.   


මොගාඕ ගුහා   


මේ දුන්හන්ග් හි ඇති තවත් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි. එසේම එය චීනයේ පැවැති බුදුදහම හා සම්බන්ධ පුරාවෘත්ත රැසක දෘශ්‍යමාන ප්‍රකාශනයක් ද වෙයි. මෙම ස්ථානය “බුදු ගුහා දහසක් සහිත ස්ථානය” ලෙසටද හඳුන්වා තිබේ. ඒ තරමටම මෙහි බුදු දහම හා සම්බන්ධ බිතුසිතුවම්, මූර්ති, විශාල බුද්ධ ප්‍රතිමා ආදී කලා නිර්මාණ ඇතුළත් ගල්ගුහා තිබී ඇති අතර ඒවායෙහි ඉදිකිරීම් ක්‍රි:ව: 366 දක්වා වූ දිගු ඉතිහාසයකට දිවයන බවට කරුණු අනාවරණය කරගෙන තිබේ. ගල් ගුහා 735 කින් සමන්විත මේ ස්ථානය ආවරණය කරන භූමි ප්‍රමාණය වර්ග මීටර් 45000 ක් වන අතර අනර්ඝ මූර්ති නිර්මාණ 2415 ක් පමණ දැකගත හැකිය. මේ ගල් ගුහාහි සංචාරය කරන විට අපට නොයෙක් මාදිලියේ බුද්ධ ප්‍රතිමා හා බුදුදහමෙහි එන ආනන්ද, මහා කාශ්‍යප ආදී තෙරණුවන්ගේ ප්‍රතිමා ද දැකගන්නට ලැබුණු අතර ඉන්දියාවේ සිට අතීතයේදී ගෙනෙන ලද බුද්ධ ප්‍රතිමා හා ඉපැරණි චීන බුද්ධ ප්‍රතිමා අතර විශාල වෙනස්කම් ද මෙහිදී හඳුනාගත හැකිය. වසර 1961 දී චීන රාජ්‍ය කවුන්සලය මගින් මේ ස්ථානය පළමු කාණ්ඩයේ ජාතික සංස්කෘතික කෞතුක වස්තුවක් හැටියට සලකා සංරක්ෂණය කිරීම ආරම්භ කර ඇති අතර 1987 වසරේදී මෙම ස්ථානය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබේ.   

 

 


සටහන හා ඡායාරූප:   
උපුල් වික්‍රමසිංහ  
චීනයේ ගන්සු පළාතේ සිට....