චිත්‍රපට කතා තරගයකින් ජයගත් ප්‍රථම චිත්‍රපටය දෛව විපාකය


සලරුවක කතාව

 

 

කොළඹ​ කොටුවේ ඔරලෝසු කණුවෙහි සීනුව දෙ‌‌‌‌ාළොස් වරක් නාද වෙමින් මැදියම් රැයෙහි නිසංසලත්වය බිඳ හැරියේය. තාර කළුවර අතරින් මාවත් දිගේ දැල්වෙන විදුලි පහන් බැබළි බැබළී පෙනුණි. සඳ නැතත් වැහි කළුවලින් තොර අහස අඳුරු පැහැති රෙද්දක සිහින් සුදු මල්කමක් කළාක් මෙන් අනන්තාප්‍රමාණ තාරකා එළියෙන් පිරී පැවැත්තේය. කොටුව, පිටකොටුව හා මරද‌ාන යන පෙදෙස්වල අතරින් පතර රාත්‍රී ආපනශාලාවක දෙ‌ාර විවෘතව තිබෙනු දක්නා ලද නමුදු කුරුඳුවත්ත, කොල්ලුපිටිය ආදී සුඛෝපභෝගීන්ගේ වාසභවනයන්ගෙන් සැදුම්ලත් පෙදෙසේ ඉඳහිට වේගයෙන් ඇදී ගිය මෝටෝ රියකින් විහිදුණු එළියක් හෝ මාවතක පහන් කණුවක දැල්වෙමින් ඇති පහනක් හෝ හැරුණු විට අන් කිසි එළියක් නොදක්නා තරමින් මැදියම් රෑ සැප නින්දේ පසුවිය.   


වික්ටෝරියා මහා වනෝද්‍යානයෙන් ඔබ්බෙහි කොල්ලුපිටියට අයත් අතුරු මාවතක පිහිටි රන්දුණු කුලපතියන්ගේ වාසභවනය ද මේ මහ රෑ තද නින්දේ පසුවනු දක්නට ලැබිණ. ගෙහිමි රන්දුණු මහතා සිය ව්‍යාපාරික කටයුතු පිළිබඳව හපුතලේට ගොස් මේ ගතවෙන්නේ දෙවැනි රැයය. ඔහුගේ තුරුණු දියණියන් ද වූ චින්තා රන්දුණු මෙනවිය ද අවශ්‍ය ඥ‌ාති පිරිසක සමඟ මේ රෑ චිත්‍රපට දර්ශනයක් බැලීම සඳහා කොටුවේ රීගල් හල කරා ගොස් සිටියාය. ගෙදර සිටියේ රන්දුණු මැතිනිය හා සේවක සේවිකාදීන් පමණකි. ඕ තොමෝ මැඳුරේ උඩුමාලෙහි වූ සයනාගාරයක සිය සේවිකාව ද සමඟ සැප නින්දේ පසු වූවාය.   


හදිසියේම සිය ඇඟ මත තැබුණ ස්පර්ශයෙන් රන්දුණු මැතිනිය පිබිදුණාය. ඇස හැර බැලුවාය. ආවරණය කළ විදුලිමය මේස ලාම්පුවක අඳුරු එළියෙන් ඇයට දක්නට ලැබුණේ කවරෙක් ද? සුරතින් පිස්තෝලයක් තමා වෙත එල්ලකර ගත් වනම මාරාවේශයෙන් පෙනී සිටින බියකරු හොල්මනකි.  


‘කට අරින්ට එපා’ යයි හොල්මන ඇයට පහත් හඬින් කියමින් ඇය කරා ළං විය.  


ඇය සැලෙන ගතින් යුතුව මොහොතක් ගල් ගැසුණාය.  


‘ෂ්.... කට වහගනින්. ඝෝෂා කළොත් මේ පිස්තෝලෙන් වෙඩි තබා මරා දානවා. මම තමයි හොල්මන. දෑතින්ම කටවහ ගනින්. මම තමයි හොල්මන. රුපියල් සියයක් දීපන්.’ යි ​හොල්මනගෙන් අණක් ලැබිණ.  
‘රුපියල් සීයක්..?’ විස්මයෙන් ඇය සෙමින් ඇසුවාය.  


රන්දුණු මැතිනිය අණට කීකරු වූවාය. රුපියල් සියයක් අඩංගු නෝට්ටු මිටිය ඇගේ අතින් ගත් හොල්මන යළිත් වරක් ඈ දෙස බැලීය. යළිත් ඇයට තර්ජනයක යෙදුණු හොල්මන දෙවැනි මොහොතේ එතැනින් අතුරුදන් විය.  


1956 වසරේ ප්‍රකාශයට පත් සිසිර කුමාර මානික්කආරච්චි විසින් ලියන ලද ‘දෛව විපාකය’ චිත්‍රපටය ඇරඹෙන්නේ එලෙසය.  


ලංකාවේ පුවත්පතක් මීට වසර 67කට එපිට එනම් 1955 පෙබරවාරි මාසයේ සංවිධානය කළ චිත්‍රපට කතා තරගයකින් මුල් තැනට තේරුණ ‘දෛව විපාකය’ චිත්‍රපට කතාව ඇසුරෙන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ ඒ නමින් හැඳින්වුණ චිත්‍රපටය 1956 මැයි 27 වැනිද‌ා තිරගත වී ඇත.  


 ‘හොඳම සිංහල චිත්‍රපට කතාවට රු. 2000ක තෑග්ගක් පිරිනැමීමේ තරගය’ක් ගැන ‘ජනතා’ පත්‍රය මගින් 1955 පෙබරවාරි මාසයේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. මේ මුදල් ත්‍යාගය සමඟ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ජයග්‍රාහී කෘතිය චිත්‍රපටගත කරන බවට ද ප්‍රතිඥාවක් දුන්නේය. ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද මේ චිත්‍රපට කතා තරගයට කෘතීන් 333ක් ඉදිරිපත් කර තිබුණි. පරීක්ෂණයෙන් පසු පොත් 36ක් ද දෙවැනි විනිශ්චය මණ්ඩලයකින් ඒ කෘති 36 අතුරින් හතරක් ද තෝරාගෙන ඇත.  


 ඒවා නම් මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රකට කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරිගේ ‘ශක්ති’, ජේ.ඒ.සී. ජයසූරියගේ ‘වහල්ලු’, ඇම්.කේ.ජේ. සෝමසිරිගේ ‘පිටිසර’ හා සිසිර කුමාර මානික්කආරච්චිගේ ‘දෛව විපාකය’ මේ සඳහා තෝරාගෙන ඇත.  


 ජයග්‍රාහක කෘතිය තෝරන මණ්ඩලයට රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා, ලංකා ගුවන් විදුලි සේවයේ වැඩසටහන් බාර අධ්‍යක්ෂ ඇස්.බී. සේනානායක හා සුප්‍රකට නාට්‍ය නිෂ්පාදක ඩික් ඩයස් යන මහත්වරු මේ මණ්ඩලයට ඇතුළත් වූහ. විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය මෙසේය.  


 “දෛව විපාකය දේශීය මුහුණුවරක් ගෙන තිබේ. එහි බස හොඳින් ගළපා ඇත. හාස්‍යය, ශෝකය, ත්‍රාසජනක සිද්ධි මේ කතාවට ඇතුළත් වෙයි. කතාව මැනවින් ගොතා ඇත්තේය. එහි ගළපා ඇති අනුපිළිවෙළ නිසා කතාව ගැටීමක් නැතිව මැනවින් කියවෙයි. මුළු කතාවම හොඳින් පුරුද්දා ඇත්තේය. විහිළු විශිෂ්ටය. ගාම්‍ය කවට වදන් ඇතුළත් නොවේ. දේශීය පදමාලාවකින් සහ හාස්‍ය ඇතිකරවන වදනින් යුක්ත වෙයි. රු. 2000 ත්‍යාගය පිරිනැමීමට මේ චිත්‍රපට කතාව සුදුසු බව අපේ අදහසයි.”  


විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය ‘ජනතා’ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහතා 23.07.1956 දින නිකුත් වූ ප්‍රකාශයකින් දක්වා තිබේ.  


 ‘දෛව විපාකය’ කථාන්තරයම වස්තු කොට 1949 ඔක්තෝබර් 08 වැනි දින ලංකා ගුවන් විදුලි සේවයෙන් ඉදිරිපත් කරන ලද ‘හොල්මන’ නම් නාට්‍යය ගුවන් විදුලි රඟමඬලින් ප්‍රචාරය වී ඇත.  


අප ඉහතින් දැක්වූ මහ රෑ නිවෙස්වලට ගොඩ වදින හොල්මන කවුද?  


චිත්‍රපටය ආරම්භ වී විනාඩි 15ක් ගත වනවිට මේ සොරා කිත්සිරි නම් තරුණයා බව ප්‍රේක්ෂකයාට අවබෝධ වෙයි. ඔහු එවර සොරකමේ යන්නේ ධනවත් නිවසක් වූ පිලෝරිස් බටුගෙදර වලව්වටය. බටුගෙදර රාලහාමි එද‌ා හිතවතුන් සමඟ රක්වානේ පතලක් බැලීමට ගොස්ය. එද‌ා එහි සිටියේ රෝහිණී නම් බටුගෙදර රාළහාමිගේ එකම දියණිය පමණි. එඩිතර තරුණියක වූ රෝහිණී උපාය මාර්ගයකින් මේ සොරා නතුකර ගනී.  
‘හොල්මන, කාත් කවුරුත් නැති ගෙවල්වලට රිංගා ගෑනුන් බියගන්වා මංකොල්ලකන සාහසිකයා, උඹේ හදවතේ ලෙයින් ​ෙම් කාමරයේ බිම සෝදන්න ද? නැත්නම් පොලිසියේ රත්තරන් වළලුවලින් දෑත් සරසන්න ද? අපරාධකාරයා කතා කරපන්.’  


පිස්​ෙතා්ලයක් අතැතිව රෝහිණී කරන තර්ජනයෙන් හොල්මන මෙල්ල වෙයි. ​හොල්මන වෙස් ගලවයි. ඔහු කඩවසම් තරුණයෙකි. ඔහු පාපොච්චාරණයක යෙදෙයි.  


‘මේ නින්දිත හොරකමට ඇවිත් මා ඔබට අසුවුණු මොහොත දක්වා මගේ දුක්මුසු කතාව ඔබට ඇසුවොත් දාමරිකයකු ඉදිරියේ ගලක් මෙන් නොසෙල්වෙන ඔබේ ඔය වීර හදවත අනුකම්පාවෙන් වෙඬරු පිඩක් වාගේ උණු වෙනවාට කිසිම සැකයක් නැත. ගුණවත් නෝනා, මා ඔබෙන් ඉල්ලා සිටින එකම දේ නම් මේ හොරකමෙහි මා යෙදුණේ මන්ද? යන බව දැනගෙන ඉන්පසු මට සුදුසු ඕනෑම දඬුවමකට මා යටත් කරන්න කියායි.’  
කිත්සිරි අතීත කතාව කීමට පටන් ගනී.  


ටයිටස් අමරතුංග කුඩා පුත් කිත්සිරිටත් බිරිඳ සිල්වියාටත් දැක්වූයේ අසීමිත ආදරයකි. ඔහු සූදුවට ඇලුම් කළේය. එද‌ා ඔහු ඔට්ටුවට ගියේ සිය ගෙයත්, වත්තත් උගසට තබාය. ටයිටස් අන්තිම මොහොතේ ජය ගත්තේය. ඔහු මැණික් පතල් හිමියෙක් විය. ඔහු කොතරම් වාසනාවන්තයෙක් ද යත් තම පතලෙන් වෛරෝඩියක් හා නිල්කැට මතු වුණේය. ටයිටස් කැලෑ පාරකින් ගමන් කරන අතරතුර රථය ක්‍රියාවිරහිත වෙයි. එවිටම සාහසිකයන් දෙදෙනෙක් ටයිටස්ට වෙඩි තබා මැණික් පැහැර ගනී.  


එතැන් සිට ටයිටස්ගේ බිරිය සිල්වියා හා කුඩා පුතු කිත්සිරි අසරණ වෙයි. ගෙය හා වත්ත ඔවුනට අහිමි විය. සිල්වියා ගෙවල් ගාණේ ගොස් බැල මෙහෙවර කරමින් දස දුක් විඳ කුඩා පුතු පෝෂණය කළාය. කිත්සිරිගේ පාසල් ජීවිතය අමිහිරි විය. මවගේ අකල් වියෝවෙන් කිත්සිරි මෙලොව තනි වෙයි. නව යොවුන් වියේ සිටි කිත්සිරි විහාරමහාදේවි උද්‍යානයේ ගීතයක් ගයමින් සිටියේය. එය අසා සිටි නළඟනක් වූ ශිරෝමාලා නිසා කිත්සිරිගේ ඉරණම වෙනස් වෙයි.  


 ‘හැබෑම මිහිරි ගීතයක්.’ ශිරෝමාලා කීවාය.  

 

 


 ‘බොහෝම ස්තූතියි’  


‘මම නළඟනක්. ඔබේ මිහිරි කටහඬ මගේ කලාකාමී සිතේ තදින් කා වැදුණා. ඉතින් ඔබ කැමැති නම් මා රක්ෂාව කරන නාට්‍ය සංගමයේ ඔබටත් රක්ෂාවක් ලබා දෙන්නට පුළුවන්.’  


‘​බොහොම ස්තූතියි.’  


පසුද‌ා මාලාගේ ඉල්ලීම පරිදි කිත්සිරි නාට්‍ය කණ්ඩායමේ කළමනාකරු හමු විය. මාලාගේ රැඟුමත්, කිත්සිරිගේ ගායනයත් නිසා මේ දෙදෙනාට ප්‍රසිද්ධිය ගලා එන්නට විය. වරෙක මාලා ගැයූ දීර්ඝ ගීයක ඇය චරිත කිහිපයක්ම රඟපෑවාය. තම ඥාතියකුගේ නිවසක ජීවත්වන මාලාගේ උපන් දිනයට ඇය සොයා පැමිණ කිත්සිරි මාලයක් තෑගි දෙයි.  


‘බොහෝම ස්තූතියි සිරි, ඔබ අද මා වෙනුවෙන් බොහොම වියදම් කරලා තියෙනවා.’   


‘මාලා, මගේ අඳුරු ජීවිතයට ආලෝකය දුන් දෙව්දුව ඔබ මට අමතක වෙන්නේ නෑ. ඔබට පින්සිද්ධ වෙන්න මම දැන් හොඳ පඩියක් ලබනවානේ.’  


‘පිස්සුද සිරි, ඔබේ පිරිසිදු හදවතේ ආදරයත් එක්ක ඔබ අල්පෙන්තියක් තෑගි කළත් හොඳටම ඇති. ඔබ වැනි ගුණවත් තරුණයකුගේ ජීවිතය යම්තම්වත් සැපවත් කරන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.’  
 ‘ඔව් මාලා, කියන්න ඔබේ උපන් දවසේම පොරොන්දු වෙන්න මගේ මුළු ජීවිතයත් වාසනාවත් බාරගන්න ඔබ සතුටුද?’


‘ඔව් සිරි ඉතා සතුටින් ඒ වගකීම මම බාර ගන්නවා.’ මාලා කීවාය.  


මාලා තේ පිළියෙළ කිරීමට ගිය අතර කිත්සිරි සිගරට් පැකැට්ටුවක් ගෙන එ්මට ටවුමට ගියේය. මේ අතර එහි පැමිණියේ නාට්‍ය සංගමයේ කළමනාකරුය. ඔහු පැමිණියේ උපන් දින තෑග්ගක් දෙන ගමන්ම තම ආදරය මාලාට ප්‍රකාශ කිරීමටය.  


කළමනාකරු මාලාට අතවර කිරීමට සූද‌ානම් වෙත්ම කිත්සිරි පැමිණෙයි. ඔවුන් අතර ඇතිවෙන ගැටුමේදී කිත්සිරි පිත්තල මල් බඳුනකින් ගසන පහර වදින්නේ මාලාගේ හිසටය. ලේ වගුරවමින් ඇය බිම ඇද වැටෙයි. හිසට වැදුණු පහරින් මාලාගේ මානසික තත්ත්වය වෙනස් වෙයි. දැන් ඇය උමතු රෝගී තත්ත්වයට පත්ව ඇත. වෛද්‍යවරු කියන්නේ ඇය ඉන්දියාවේ විශේෂඥවරයකුට පෙන්විය යුතු බවය. ඒ සඳහා මුදල් සෙවීමට කිත්සිරි හොල්මනක් ලෙස රඟපාමින් මුදල් කොල්ලකෑමට පටන් ගනී. කිත්සිරිගේ කතාව ඇසූ රෝහිණී කිත්සිරි කාමරයක දමා දොරගුළු දමා මෙහි සත්‍යය දැන ගැනීමට මාලා සොයා යන්නීය. මරණාසන්නව සිටි මාලා තම මියගිය පසු කිත්සිරි බලා ගන්නා ලෙස කියා මිය යයි.  


රෝහිණී වගකීම් රැසක් හිසේ තබා ගෙදර එන විට ඇගේ පියා වූ සිලෝරිස් මුදලාලි පැමිණ සිටියේය. දඩයමේ ගිය තම පියාගේ කකුලේ සර්පයකුගේ ඇටකටු ඇනීමෙන් විස වැඩි වී මරණාසන්නව සිටියේය. පියාගේ පාපොච්චාරණය අනුව කිත්සිරිගේ පියා ටයිටස් මරා වටිනා වෛරෝඩිය සොරා ගත්තේ තමා බව කියයි. වියරු වැටුණු රෝහිණී කිත්සිරි සොයා ගොස් දෙපා මුල වැටී සමාව අයදියි.  


‘ඔබ වැනි ගුණගරුක තරුණයකුගේ සියලු බැල මෙහෙවර කරන්න මම සතුටුයි. මේ ගෙදර, වස්තුව අයිති ඔබට. මට තාත්තා වෙනුවෙන් සමාවෙන්න.’


 රෝහිණී කියන විට කිත්සිරි ඇයගේ අත ආදරයෙන් අල්ලා ගත්තේය.  


බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න දෛව විපාකය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය වූ පිලෝරිස් බටුගෙදර රාළහාමිගේ චරිතය රඟපැවේය. ඔහුගේ බිරිඳ වූ ග්‍රේස් ජයමාන්න මෙහි කිත්සිරිගේ මව (සිල්වියා) ලෙස රඟපාමින් ගීතයක් ද ගැයුවාය. එය දරු නැලවිලි ගීතයකි. 

 
 ‘දොයි දොයි දොයි පුත 

 කෝමල මා පුත  

 රං කිරි බීලා දොයි දොයියා’  


කිත්සිරි ලෙස රඟපෑවේ සේනාධීර කුරුප්පුය. ෂර්ලි බ්ලයිත් රෝහිණී ලෙස ද මේබල් බ්ලයිත් ශිරෝමාලා ලෙස ද ඩඩ්ලි වානගුරු නාට්‍ය කළමනාකරු ලෙස ද කුඩා කිත්සිරි ලෙස ‘සුජාතා’ චිත්‍රපටයේ චුට්ටා ලෙස රඟපෑ මර්වින් අල්විස් ද ඔස්ටින් අබේසේකර බටුගෙදරගේ සහචරයා වූ සිරිතේක්කු ලෙස ද රඟපෑ අතර මෙහි රූබී ද මැල්, ධර්ම ශ්‍රී රණතුංග, එඩ්ලින් බාලසූරිය, රාජා ජයවර්ධන, පීටර් පීරිස්, ඒ. ධර්මසේන ද රඟපෑහ. මදුරාසියේ ෆිල්ම් සෙන්ටර් චිත්‍රගාරයේ රූපගත කොට ගීත ද එහිදීම පටිගත වූ දෛව විපාකය ලංකාවේ ද රූපගත කොට ඇත. සර් ජෝන් කොතලාවලගේ කඳවල වත්තේ එක් ගීතයක් (සුදෝ සුදු රන් කඳ මගේ) හා වික්ටෝරියා පාක් හි (සාගර හිමිය සොයා) ගීතය ද රූගත කර ඇත. මේ ගීත දෙකම කිරිබත්ගොඩ නව ජීවනයේ කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා විසින් රූගත කළ බව ජනතා පත්‍රයේ වාර්තා වී තිබුණි. ඇතැම් දර්ශන බී.ඒ.ඩබ්ලිව්.ගේ හොරම්බාවේ වත්තේ ද කැමරාගත කර ඇත. මේ චිත්‍රපටය සඳහා රු. ලක්ෂ 2 1/2ක් වියදම් වී ඇතැයි ද පැවැසේ.  


 එතෙක් (1947 සිට 1956 දක්වා) තිරගත වූ චිත්‍රපටයකට ඇතුළත් වූ දිගම ගීතය මේබල් බ්ලයිත් ගයන්නේත්, රඟපාන්නේත් මේ චිත්‍රපටයේය. මේබල් මේ ගීතය වේදිකාවේ සිට ගයන අතර දර්ශනයේ එන පොලිස් රාළහාමිගේ හා සරාගොයියාගේ චරිත ද රඟපා ඇත.  


‘සරා ගොයිය හරි මිනිහා  

තුවක්කුවක් කරේ තියා  

දවසක් දඩයමේ ගියා  

සරා ගොයියා හරි මිනිහා’  


මේ ගීතය රාජ් කපූර්ගේ ‘ශ්‍රී 420’ චිත්‍රපටයේ මන්නාඩේ ගැයූ ‘රමයා වතාවයා’ ඇසුරෙන් ‘සාගර හිමිය සොයා’ (ගායනය මොහිදීන් බෙග් හා මේබල් බ්ලයිත්) ගීතයත්, ‘ජනක් ජනක් පායල් බාජි’ චිත්‍රපටයේ ගීත​ෙය් තනුවට ‘නීල අහසේ මිහිරියාව’ ගීතය ෂර්ලි බ්ලයිත් ගැයූ බවත්, හේමන්ත් කුමාර් ගැයූ හින්දි ගීතයක තනුව ඇසුරෙන් මොහිදීන් බෙග් ‘සුදෝ සුදු රන් කඳේ මගේ පෙම්’ ගීතය ගයා ඇති බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ පවසති.  


ප්‍රධාන නිළිය වූ ෂර්ලි බ්ලයිත් එම චරිතයට අදාළ ගීත ඇය විසින්ම ගායනා කරවීමට සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ. චන්ද්‍රසේනට පැවැරිණ. ගීත රචනා කළේ ඒ.ජේ. ද සොයිසාය. ඒ සඳහා චන්ද්‍රසේනයන්ට විශාල කැපවීමකින් යුතුව පුහුණු කිරීමට සිදු වූ බවත් ආධුනික ගායිකාවක් වූ බැවින් ඇයට එය ගැයීමට දුෂ්කර වූ බවත් ‘චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ උද‌ාර මෙහෙවර’ කෘතියේ සඳහන් වෙයි.  


 මොහිදි‌ීන් බෙග් හා ෂර්ලි බ්ලයිත් සමඟ ගැයූ මේ ගීතය එ‌දා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත.  


 ‘සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ විවාහයේ මල් නෙළා පලඳිමුකෝ...’

  
 දෛව විපාකය චිත්‍රපටයට ජේ.ඊ. සේදරමන් නාට්‍යාචාර්යවරයාගේ ‘කුවේණි’ හා ‘විජයාගමනය’ මුද්‍රා නාට්‍යය ද ඇතුළත්ව තිබුණි. එය මේ අවධියට (1956) උචිත වන පරිදි ඇතුළු කොට ඇති බැව් විචාරකයන් පවසා තිබුණි.  


 ‘සිළුමිණ’ පුවත්පතට (1956 මැයි 27) විචාරයක් ලියූ ඇස්. සුබසිංහ කියා තිබුණේ ‘දෛව විපාකය’ සමාජ විෂමතාව පෙන්වන චිත්‍රපටයක් බවය. එහි මෙසේ සඳහන් වෙයි.  


 “මේ චිත්‍රපටයේ සිනමා තිරයට පිවිසි ස්ටෙලා ග්‍රේස් ජයමාන්න තමාට අයත් වූ දුෂ්කර චරිතය නියම හැඟීමකින් යුතුව ඉතා දක්ෂ ලෙස රඟපාන්නීය. එහෙයින් දෛව විපාකය මෙතෙක් තිරයෙන් ඈත්ව සිටි දක්ෂ තරුවක් හඳුන්වා දෙයි. සේනාධීර කුරුප්පුගේ රඟපෑම ප්‍රසංසනීයය. අසරණයකුට සමාජයේ විඳින්නට සිදුවන අපමණ දුක් ගැහැට හා දුප්පතාගේ දුක උණු නොවන දැඩි හදවතකින් යුතු කෲර නම්බුකාරයන් පිළිබඳ තතු විදහා දැක්වෙන ලෙස ලියා ඇති කතාවේ ඇතැම් සිද්ධීන් සමාජයේ විෂමතාව අතිශයෝක්තියෙන් දැක්වීමක් වන්නේය.” විචාරකයා සඳහන් කර තිබුණි.  

 

 


 ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ ද දෛව විපාකය චිත්‍රපටය ගැන අගනා තොරතුරු සඳහන්ව තිබුණි.  


 ජයවිලාල් විලේගොඩ (1956 මැයි 23 දිනමිණ) ලියූ විචාරයෙන්​ කොටසකි මේ.  


“ආයා-අප්පු කෝලම නැතිව, පොතේ භාෂාවේ දෙබස් නැතිව, රුක්මණී අඬවන්නේ නැතිව, එඩීට මනප්පු පාට් එක නැතිව, මත්පැන් පාටි නැතිව බී.ඒ.ඩබ්ලිව්. සිංහල චිත්‍රපට ඉදිරිපත් කරන්නේ කවද‌ා දැයි පසුගිය වර්ෂයේ අලුත් අවුරුදු ද‌ා ‘මතභේදය’ බලා එහි විවේචනය අවසන් කරමින් මා ඇසූ ප්‍රශ්නයකට බී.ඒ.ඩබ්ලිව්. දුන් පිළිතුරු මේ වෙසක් ද‌ා දෛව විපාකය නරඹද්දී මම දිටිමි.”


2500 බුද්ධ ජයන්තිය පවත්වන ලද වෙසක් කාලයේ දෛව විපාකය තිරගත වීම නිසා චිත්‍රපටයේ නාමාවලියට ‘ජාතික කලා රසේ’ නම් සමූහ ගීතය බී.ඒ.ඩබ්ලිව්. විසින් ඇතුළත් කර තිබීම වි​ෙශ්ෂයකි. මේ ඒ ගීතයයි.  


 ජාතික කලා රසේ  
 නංවමු සිංහලයේ  
 සම්බුදු ජයන්තියේ  
 ලංකා කලාකාමීන්ගේ මහා  
 වීර ජනතා පතින් පෑව කථිකා රජා  
 බී.ඒ.ඩබ්ලිව්. සමාගමේ කලා ප්‍රේමීන්ගේ  
 අාධාරේ ද නිසි සේ යොද‌ා  
 සිනමාවට නැගුවේ දෛව විපාකය මේ  
 සම්බුදු ජයන්තියේ දෙදහස් පන්සියයේ  
 ජාතික කලා රසේ නංවමු සිංහලයේ  

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්