ඝාතන ඉලක්කයක් වැරදී මොසාඩ් හෑල්ලුවෙයි


ඉතිහාසය වෙනස් කළ රහසිගත මොසාඩ් මෙහෙයුම්

මරණයෙන් ගැලවුණු කාලිඩ් මෂාල්

අම්මාන් සිද්ධියෙන් පසු නෙතන්යාහු පළමු වරට ජෝර්දාන රජු දෙවනි අබ්දුල්ලා රජු මුණගැසුණු අවස්ථාව

 

ජෝර්දානයේදී වැරදුණු කුරුමානම-2

පසුගිය සතියෙන් ..... 


මෂාල්ගේ සමෙහි ස්පර්ශ වූ විෂ ක්‍රියාත්මක වීම ඇරඹී තිබිණ. සිහි විසංඥ වී සිටි ඔහු වහා රෝහල්ගත කරන ලදී. ප්‍රතිවිෂ වහා ලබා නොදුනහොත් ඔහු මිය යන බව ඊශ්‍රායල ජාතිකයෝ වටහා ගත්හ. 


නෙතන්යාහු හට ඒ අසුබ ආරංචිය දැනගැනීමට ලැබුණේ මොසාඩ් මූලස්ථානයේ පැවැත්වෙන යුදෙව් අලුත් අවුරුදු සාදයට සහභාගී වීමට යමින් සිටියදී ය. යාටොම් තකහනියේ ඔහුට සිදුවූ විස්තර කෙටියෙන් කියූ අතර ඒ ඇසූ අගමැතිවරයා තැති ගත්තේය. 


රැම්සාඩ් වහා ජෝර්දානයට ගොස් හුසේන් රජතුමා මුණ ගැසී, කිසිවක් නොසඟවා ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතුය යන්න ඔහුගේ මතය විය. ඉන්පසු මොසාඩ් මූලස්ථානයෙන් දුරකතන ඇමතුමක් ගෙන, රජතුමා අමතා, වැදගත් කරුණක් සම්බන්ධයෙන් ඔහු හා සාකච්ඡා කිරීමට තම නියෝජිතයෙක් එවන බව පැවසීය. නියෝජිතයා පැමිණෙන්නේ කුමක් පිළිබඳව කතා කරන්නටද යන්න ගැන කිසිදු අදහසක් නැතිව වුවත්, හුසේන් රජතුමා පැකිලීමකින් තොරව ඊට කැමති විය. 


අත්අඩංගුවට ගත් නියෝජිතයන් නැවත ගෙන්වා ගැනීම සඳහා රජතුමා පනවන ඕනෑම රෙගුලාසියකට එකඟ වන්නැයි ද, ජෝර්දානුවන් හට ප්‍රතිවිෂ ලබාදී නිසැක මරණයෙන් මෂාල් බේරා ගන්නා ලෙස ද අගමැතිවරයා රැම්සාඩ් හට උපදෙස් දුන්නේය. ඒ අවස්ථාවේ අගමැතිවරයා ඉතා අපහසුතාවට පත්ව, සියල්ල අතහැර දමන මානසික මට්ටමක සිටි බව ඔහුගේ වටා සිටි පුද්ගලයෝ පසුකලක කියා සිටියහ. 

 

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය

 


කැළඹීමෙන් යුතුව යාටොම්ගේ වාර්තාව අසා සිටි හුසේන් රජතුමා මෂාල්ගේ තත්ත්වය පිරික්සා බැලීමට මිනිසුන් යවන ලදී. ඔහුගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පවතින බව රජුට වාර්තා විය. රජු වහා ඔහු රාජකීය රෝහලට ගෙන්වා ගැනීමට නියෝග කළ අතර රැම්සාඩ් ලබාදුන් ප්‍රතිවිෂ ද පිළිගත්තේය. ඉන්පසු ඊශ්‍රායලය හා ජෝර්දානය මෂාල් බේරා ගැනීම සඳහා කාලය සමඟ අවදානම් තරඟයක යෙදෙන්නට වූහ. 


මීෂ්කා බෙන් - ඩේවිඩ් නැවත හෝටලයට ගියේය. මුද්‍රා තබන ලද ප්‍රතිවිෂ බෝතලය තිබුණේ ඔහුගේ සාක්කුවෙහි ය. පසුව පැවති සාකච්ඡාවකදී රෝනන් බර්ග්මාන් සමඟ ඔහු මෙසේ කියා සිටියේය. 


“අපේ නියෝජිතයන් සිවු දෙනාට විස ශරීරගත නොවුණු බව දැන දැනත්, ඒ ප්‍රතිවිස බෝතලය මම සාක්කුවේ දාගෙන හිටියා. අවදානම් තත්ත්වයක හිටියේ අපේ ඉලක්කය විතරයි.” 


තවදුරටත් මෙය තබාගැනීමෙන් පලක් නැතැයි සිතූ ඔහු එය විනාශ කරන්නට තීරණය කළත්, ඒ සඳහා ඉක්මන් නොවුණේ ප්‍රතිවිස සමඟ ඔහු හසුවුවහොත් යන බිය නිසා ය. ඒ තීරණය ගම්දෝ නොගම්දෝ යන අතීරණයෙන් සිටි අවස්ථාවේය ඔහුට ඊශ්‍රායලයේ ඒකක ප්‍රධානියාගෙන් ඇමතුමක් ලැබෙන්නේ. 


“ප්‍රතිවිස බෝතලය මා සතුව තිබෙනවාදැයි ඔහු ඇසුවා. එය තිබෙන බව පැවසූ විට, එය රැගෙන වහා හෝටල් ලොබියට යන ලෙසට දැනුම් දුන්නා. ඔහු කියූ ආකාරයට මා එය ගෙන ගොස් දිය යුතුව තිබුණේ මා එනතුරු ලොබියේ රැඳී සිටි ජෝර්දාන හමුදා කපිතාන්වරයෙකුටයි. ඔහු එය වහා මෂාල් වෙත රැගෙන යා යුතුව තිබුණා.....” 
නමුත් මේ අතරවාරයේ පැනනැගුණේ ඔවුන් කිසිවෙකුත් අපේක්ෂා නොකළ අර්බුදයකි. මෂාල්ගේ පණ බේරාගැනීමට එන්නත විදින්නට භාරව සිටි වෛද්‍යවරිය, රැම්සාඩ් ඔහු හමුවට පැමිණ සෘජුව නියෝග කරන්නේ නම් පමණක් ප්‍රතිවිස එන්නත විදීමට කැමති විය. 

 

 


ඩැනී යාටොම් ඒ වෙන විට රජ මැදුරේ සිට තානාපති කාර්යාලය බලා ගමන් කරමින් සිටි අතර මේ පුවත කන වැකුණු පසු, ඔවුන්ගේ කණ්ඩායමේ සිටි වෛද්‍යවරිය අමතා, මීෂ්කා සමඟ යන්නැයි ඇයට පැවසීය. ඔවුහු රෝහලට ගිය පසු සිදුවූයේ තවත් අර්බුදයකි. ඊශ්‍රායල වෛද්‍යවරියක් එන්නත විදිනවාට ජෝර්දානුවෝ තරයේ අකැමැත්ත ප්‍රකාශ කළහ. අසාර්ථක වූ දෙය අන්තිම මොහොතේ හෝ ඉටු කරගන්නට ඇය උත්සාහ කරනු ඇතැයි ඔවුහු සැක කළහ. 


තත්ත්වය තවත් නරක අතට හැරුණේ මෂාල් බේරාගැනීමට සිටි වෛද්‍යවරයා විස සහ ප්‍රතිවිසවල රසායනික සංයුතිය පැහැදිලිව පෙන්වා දෙන තුරු එන්නත විදීමට අකැමැති වීම නිසා ය. යම් හෙයකින් ඊශ්‍රායල ජාතිකයන් තමා රවටමින් උපක්‍රමයක් කළහොත් මෂාල්ගේ මරණයේ වගකීම ගන්නට වෙන නිසාය ඔහු එයට අකැමැති වූයේ. ජෝර්දානුවන් එන්නතේ සංයුතිය ඉල්ලා මුරණ්ඩු ලෙස සිය මතයේම රැඳී සිටි අතර ඊශ්‍රායලයන් එය නොදෙන්නෙමු යන ස්ථාවරයේ සිටියහ. 
ඔවුන් මෙසේ කඹ අදිමින් සිටින අතර මෂාල්ගේ තත්ත්වය තවත් නරක් විය. තවදුරටත් හුස්ම ගැනීම අපහසු වූ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට අතුළත් කර කෘත්‍රීම ශ්වසනය ලබා දුනි. යම් හෙයකින් මෂාල් මිය ගියහොත් එය දෙරට අතර තිබෙන දැනටමත් බිඳී ගොස් තිබෙන හොඳ හිත නැත්තටම නැති වෙන මගක් බව මෙහෙයුමට සම්බන්ධ වූවෝ වටහා ගෙන සිටියහ. ඊශ්‍රායලය කළ ක්‍රියාවෙන් කෝපගැන්වී සිටි හුසේන් රජතුමා, ඊශ්‍රායල තානාපති කාර්යාලයට කඩා වැදී එහි රැකවරණ සොයා ගොස් සිටි නියෝජිතයන් අල්ලා ගැනීමට සිය හමුදාවට නියෝග කරන බව කියා තර්ජනය කිරීමට පවා පෙළැඹුණේය. 


ඊශ්‍රායලය හා ජෝර්දානය අතර දේශපාලන සහ යුදමය සබඳතා සියල්ලට තිත තබන බවත් ඔහු කියා සිටියේය. 
පැයෙන් පැය කාලය ගෙවී යනවාත් සමඟ සියල්ලන්ගේ ආතතිය ද ඉහළ යන්නට විය. මෂාල් මිය ගිය හොත්, ජෝර්දාන පොලිස් අත්අඩංගුවේ සිටින නියෝජිතයන් දෙදෙනාට මරණ දඬුවම පමුණුවන බව හුසේන් රජතුමා නිවේදනය කළේය. ඒ අතර, ඇමරිකාවේ බිල් ක්ලින්ටන් හට ද දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. 
ඒ අනුව ජෝර්දානයට විස හා ප්‍රතිවිසවල රසායනික සංයෝගය ලබා දෙන්නැයි කියමින් ඇමරිකාව ඊශ්‍රායලයට බලපෑම් එල්ල කරන්නට විය. අගමැති නෙතන්යාහු උපදේශකවරුන්ගේ හා කැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීමෙන් රැස්වීමට පනිමින් ඉතා අවිවේකී සමයක් පසු කරමින් සිටියේය. අවසන් තීන්දුව වූයේ ජොර්දානයට යටත් වී රසායනික සංයෝගය ලබා දීමයි. 


ජෝර්දාන වෛද්‍යවරයා මෂාල් හට ප්‍රතිවිස එන්නත් කළේය. තත්පර ගණනකින් එහි ප්‍රතිඵල ලැබිණි. මෂාල් දෑස් විවර කළේය. ඔහු බේරා ගැනීම ගැන පුවත ඊශ්‍රායලයට වාර්තා වෙන විට සියල්ලෝ සැනසුම් සුසුම් හෙළුවේ ජෝර්දානයේ සිටි ඔවුන්ගේ සහෝදරයෙක් බේරා ගත්තාක් මෙනි. 
මීෂ්කා බෙන් ඩේවිඩ් සහ වෛද්‍යවරිය යන දෙපළට ජෝර්දානයෙන් පිට වෙන්නට හැකි වුවද, අනෙක් හය දෙනා එහිම රැඳී සිටියහ. දැඩි සත්කාර ඒකකයේ සිටි මෂාල් ක්‍රමයෙන් සුවය ලබමින් සිටියේය. අගමැති නෙතන්යාහු, විදෙස් කටයුතු ඇමති ඒරියල් ෂෙරෝන් සහ ආරක්ෂක ඇමති යිට්සාක් මොර්දේචායි යන පිරිස ඇතුළු රජයේ ඉහළම නිලධාරියෝ ඇතුළත් දූත පිරිසක් ජෝර්දානයට පිටත් කර හැරියද, හුසේන් රජතුමා ඔවුන් පිළිගැනීමට නොපැමිණ, ඔහුගේ සොහොයුරා පමණක් එවීය. 
හිටපු නියෝජ්‍ය රැම්සාඩ්වරයෙක් වූද, හුසේන් රජතුමාගේ පුද්ගලික මිතුරෙක් වූ ද, යුරෝපා සංගමයේ ඊශ්‍රායල තානාපති වශයෙන් සේවය කරමින් සිටි ඉෆ්රේම් හලෙවි ද කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඔහු වහා අම්මාන් නගරයට ගොස්, රජුට ගනුදෙනුවක් ඉදිරිපත් කළේය. ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සිටින නිලධාරීන් සිවු දෙනා වෙනුවට හමාස් සංවිධානයේ නායකයා සහ පුරෝගාමියා වූ ෂෙයික් අහ්මඩ් යසින් නිදහස් කිරීමට ඔහු යෝජනා කළේය. රජතුමා එයට එකඟ වූ අතර නිලධාරින් සිවු දෙනා ද ඔහු සමඟ නැවත ඊශ්‍රායලයට පැමිණියහ. 


අවසාන ගනුදෙනුව භාරව තිබුණේ රජුගේ සමීපම මිතුරෙක් වූ ඒරියල් ෂැරෝන් හට ය. ජෝර්දාන පොලිස් අත්අඩංගුවේ පසුවූ නිලධාරීන් දෙදෙනා නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ඒ සඳහා හිලව්වට ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි ජෝර්දාන සිරකරුවන් 20 දෙනෙක් නිදහස් කරන්නැයි ඔවුහු කියා සිටියහ. ෂැරොන් එයට එකඟ වූ නමුදු අවසාන මොහොතේ හිත වෙනස් කරගත් ජෝර්දානුවෝ තව තවත් දේ ඉල්ලන්නට මෙය අවස්ථාවක් කරගත් විට, තමා සිටින්නේ ජෝර්දානයේ රජු ඉදිරියේ බව අමතක කළ ෂැරොන් කෝප ගැන්වී තර්ජනය කළේය. 


“දිගටම මෙහෙම කරන්න හිතනව නම්, අපේ මිනිස්සු මෙහෙ හිටියාවේ. අපි උඹලට වතුර දෙන එක නවත්තනවා. මෂාල්ව තවත් පාරක් මරණවා....” 
ෂැරෝන්ගේ පුපුරායාම නිසා ජෝර්දානුවන් සීමාව ඉක්මවා යාම වැළකිණි. ගනුදෙනුව එතැනින් අවසන් විය. ඊශ්‍රායල හෙලිකොප්ටර් දෙකක් ජෝර්දානයේ ගොඩබැස්වූ අතර එයින් එකකට අත්අඩංගුවේ පසුවූ දෙදෙනා නංවා ගත් අතර එකක සිටියේ ඊශ්‍රායලයේ සිට රැගෙන ගිය හමාස් නායකයා ය. 


ජෝර්දානයේ අසාර්ථක මොසාඩ් මෙහෙයුම හමුවේ ඊශ්‍රායල ජාතිකයන් සහ ලෝක මාධ්‍ය මොසාඩ් සංවිධානය හෙළා දකිමින් උපහාසයට ලක් කළහ. මේ ගනුදෙනුව මෙහෙයවූ ආකාරය ගැන අගමැති නෙතන්යාහු හට චෝදනා එල්ල වූ අතර, ජෝර්දානයේ සිදුවූ අවමානයට හේතුව සොයන්නට වෙනම කමිටුවක් ද පත් කරන ලදී. 
එම මණ්ඩලය අගමැතිවරයා නිදොස් කොට නිදහස් කළ නමුත් ක්‍රියාත්මක වීමේ වැරදි ඇතැයි කියමින් රැම්සාඩ්වරයා විවේචනය කළේය. අසාර්ථක විය හැකි බව මුල සිටම දැන සිටි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට අවසර දීම ගැනත් ඔහුට චෝදනා එල්ල විය. එහෙත් යාටොම් හට ඉල්ලා අස්වෙන්නට යැයි ඔවුහු නොකීවෝය. 
අම්මාන් නගරයේදී ලැබූ අසාර්ථකත්වය සමඟ දෙරට අතර තිබුණු සබඳතා තවත් පහළට ඇදවැටිණි. හමාස් සංවිධානයේ නොවැදගත් පුද්ගලයෙක්ව සිටි කාලිඩ් මෂාල් මේ සිද්ධියත් සමඟ එහි ප්‍රධානියෙක් බවට පත් විය. ෂීක් යසින්ගේ මරණයෙන් පසු, හමාස් සංවිධානයේ නායකයා වූයේ ද ඔහුයි. 


මොසාඩ් සංවිධානයට ඊශ්‍රායලයේ හා ලෝකයේ තිබුණු පිළිගැනීමට කැළැල් ඇති විය. මුළු මෙහෙයුම පුරාම අසාර්ථක වූ රැම්සාඩ් ඉහළ මොසාඩ් නිලධාරින්ගේ විවේචනයට ලක් විය. අලිසා මාගෙන් හෙවත් යාටොම්ගේ නියෝජ්‍ය නිලධාරියා ප්‍රසිද්ධියේම කියා සිටියේ යාටොම් හට රැම්සාඩ් වීමට සුදුසුකම් නොමැති බවයි. 


කොපමණ විවේචන එල්ල වුණත් යාටොම් අස්නොවීය. ඒ වෙනුවට සිදුවූ අතපසු වීම පිළිගෙන අස්වුණේ සිසරියා හි ප්‍රධානියා ය. මේ සිද්ධියෙන් මාස පහක් ගතවීමෙන් පසු සිදුවූ තවත් සිද්ධියක් නිසාය ඉවත් වීමට කාලය එලැඹ තිබෙන බව අසාර්ථක රැම්සාඩ්වරයා වටහා ගත්තේය. පසුව ඔහු ඒ සිද්ධියත් ජෝර්දාන සිද්ධියත් යන දෙකම තමාගේ වරද බව පිළිගෙන අස්වී ගියේය. 


ඔහුට පසුව රැම්සාඩ්වරයා වශයෙන් පත් වූයේ හුසේන් රජතුමා සමඟ සාකච්ඡා කර, නියෝජිතයන් මුදවා ගැනීමට මුල් වූ, හිටපු නියෝජ්‍ය රැම්සාඩ් නායකයෙක් වූ ඉෆ්රේම් හලෙවි ය. 


මූලාශ්‍රය: මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත, මොසාඩ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය 


පරිවර්තන සටහන
නිසංසලා දිසානායක