ග​ණේගම සරණංකර නාහිමියන් හැදූ කරත්තයේ පුස්තකාලය


 

දිගු අං ඇති සුදු ගොනෙකු බැඳි වහලයක් සහිත කරත්තයක පොත් පුරවාගෙන ආසියාවේ ප්‍රථම ජංගම පුස්තකාලය 1970 දශකයේ බද්දේගම වීදි සරනු මට මතකය. බොරළුකඩ, ගොම්මන්නාවට හැම දෙසතියකට වරක් අඟහරුවාදා එන පොත් කරත්තය බලන්නට පාපැදියක තබාගෙන තාත්තා මා කැටුව ගිය හැටි අදත් මැවී පෙනෙයි.   


සුදු ගොනු ගේ බැඳි සීනු හඬ මිහිරි ගීතයක් සේ මට ඇසෙන්නට ඇත්තේ කරත්තය පුරා පැවැති මා ප්‍රිය කරන පොත් කන්දරාවට බැඳි පෙම නිසාම විය හැක.   


1965 දී ආසියාවේ ප්‍රථම ජංගම පුස්තකාලය ඇරඹුණේ බද්දේගම දීය. එය ලොව ජංගම පුස්තකාලයක් ඇරඹි පළමු වතාව බවට ද මතයක් වෙයි. මෙරට සාහිත්‍ය කලාවට මහා මෙහෙයක් කළ පැවිදි පඬිරුවනක් වූ ගණේගම සරණංකර නාහිමියන් ගේ සංකල්පනාවක් පරිදි මේ පුස්තකාලය ඇරඹිණි.   


එය බිහිවූයේ උන් වහන්සේ විහාරාධිපතිත්වය දැරූ බද්දේගම, සන්දරවල දුටුගැමුණු රජමහා විහාරය හා උඩවත්ත පිරිවෙන මුල් කර ගනිමිනි.   


ගොන් කරත්තයකින් ගම් දනව් පුරා පොතපත බෙදමින් ගිය මේ ජංගම පුස්තකාලය, කොතරම් ජනප්‍රිය වී ද යත් සතරපේරුවේ ගම්වල කුඩා අය, තරුණ පිරිස් මෙන්ම වැඩිහිටියෝ ද පොත් කරත්තය එනතුරු මග බලා සිටින්නට පුරුදු වූහ. මේ නිසා ජංගම පුස්තකාලයේ සේවාව පුළුල් කරන්නට සිදුවූ අතර එය ගොන් කරත්තයකින් අත් ට්‍රැක්ටරයකට මාරු කරන්නට සිදුවිය.   


පුස්තකාලය පිළිබඳ යටගියාවේ මතක ගැන දැනට දුටුගැමුණු විහාරාධිපති වැලිවිටියේ සුමන නාහිමියන් ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ එම පුස්තකාලය ලොවටම ආදර්ශයක් බවත් එවැන්නක් ලොව කිසිතැනක නැති බවත් සඳහන් කරමින් ආසියාතික පදනමේ එවකට සිටි නිලධාරියෙක් උඩවත්ත පිරිවෙනෙහි පුස්තකාලයේ සමරු පොතෙහි සටහනක් තබා ඇති බවය.   


1965 දී ඇරඹුණු මේ පුස්තකාලය භාරව එවකට ගියේ සරණංකර නාහිමියන් ඇසුරේ පොත පත කියවා දැනුම ප්‍රගුණ කළ තරුණයෙකි. ඒ දැන් 90 හැවිරිදි වියේ පසුවන රිචඩ් අල්විස් එදිරිසිංහ කොඩිතුවක්කු මහතා යි. ඔහු කවුරුත් හඳුන්වන්නේ පොඩි මහත්තයා ලෙසිනි. කරත්තය දැක්කුවේ වැලිවිටියේ පියදාස මාමාය. අද ඔහු ජීවතුන් අතර නැත.   
නිරෝගී විවේක සුවයෙන් ගණේගම නිවසේ පසුවන පොඩි මහත්තයා තම අතීතය ඉතා හොඳින් සිහිපත් කරයි. සක්සුදක් සේ මතකයේ ඇති අතීතය ඔහු මෙසේ අප ඉදිරියේ දිගහැරියේය.   


“මට අවුරුදු අටේ දී මම පන්සලට යන්න එන්න පටන්ගත්තේ. නායක හාමුදුරුවන්ගෙන් පොතපත ඉගෙනගන්න පටන් ගත්තේ.” ඔහු වසර අසූවකට එහා අතීතයට යයි.   
උඩවත්තේ පිරිවෙනට පුස්තකාලයක් අවශ්‍ය යැයි අදහසක් සරණංකර නාහිමියන්ට ඇතිවිය. උන්වහන්සේ ඉන්දියාවෙන් ගෙන ආ පොතපත ද බොහෝ තිබිණි. මේ නිසාම පුස්තකාලයක් උඩවත්ත පිරිවෙනේ ඇරඹිණි. වැඩි කල් නොගොස් එය එම ප්‍රදේශයේ පමණක් නොව ගාලු පළාතේ පැවැති උසස්ම හා විශිෂ්ටතම පුස්තකාලයක් බවට පත් වී ජනප්‍රිය විය. විශ්වවිද්‍යාල සිසුන් නිවාඩු ආ විට පුස්තකාලයට පැමිණ පොතපත පරිහරණයට ප්‍රිය වූයේ එහි පැවැති විශාල හා අංග සම්පූර්ණ කියැවීම් ශාලාව නිසාය.   
“ඔන්න ඒ කාලේ නායක හාමුදුරුවන්ට හිතුණා මේකෙන් මේ පිරිවෙනේ ඉගෙනගන්න අයට විතරයි නේ පොත්පත් කියවන්න වෙන්නේ. ගමේ අනික් අයට පොත්පත් කියවන්න විදියක් හදන්න ඕනෙ කියලා. නායක හාමුදුරුවෝ මේ ගැන දවස් ගණනක් කතා කළා. ළමා පරපුරේ දැනුම දියුණු කරන්න විදියක් ගැනයි හිතුවේ. මේ පන්සලට විශාල වපසරියක් දායක කාරකාදීන් හිටියා.   


උන්වහන්සේ යෝජනා කළා ගොනෙකු ගෙන් අදින කරත්තයක පොත් දමාගෙන හතර පේරුවේ දායක කාරකාදීන් වාසය කරන ප්‍රදේශවලට යන්න. ඒ ගැන සාකච්ඡා කර අපි පොත් ගන්න සමයවර්ධන පොත් සාප්පුවට ගියා. එතනින් පොත් ගත්තා.

   
අපේ අරමුණ දැනගත් එහි අයිතිකරුවන් කිව්වා “හාමුදුරුවනේ ආසියාතික පදනම (Asia Foundation) කියල එකක් ලංකාවේ පිහිටුවල තියෙනවා. එතනට ගිහින් කතා කළොත් ඔබ වහන්සේට ඔය වැඩේට හොඳ සහයක් ලැබෙයි” කියලා.   


ඇල්බට් එදිරිසිංහ මහත්තයයි, මමයි නායක හාමුදුරුවන් එක්ක ආසියාතික පදනමට ගියා. එතන හිටියා නොයිස් කියල මහත්තයෙක්. ඉතින් එතුමා කිව්වා මේ ගැන යෝජනාවක් ලියල දෙන්න කියල. ඉතින් අපි යෝජනාවක් ලියලා දුන්නා.   


ඔන්න ආසියාතික පදනමෙන් වහාම එන්න කියල ලියුමක් ආවා. නායක හාමුදුරුවන් ගෙන් උපදෙස් අරන් ලියුමකුත් ලියාගෙන එන්න කියල තිබුණා. ඉතින් අපි ලියුමක් ලියල ඉල්ලුවේ ටයර් දාල බ්රේක් එහෙම තියෙන කරත්තයක්. ඉතින් හේලිස් සමාගම ඒක නොමිලේම හදල දෙන්න පොරොන්දු වුණා. ඒ වෙනකොට අපි අර ගොන් කරත්තෙන් පොත් ගෙනියනවා.   


ආසියාතික පදනමට ඕන වුණා ඒක බලන්න. එහි නිලධාරීන් ගාල්ලෙ හේලිස් සමාගමට මාත් එක්කම ගියා ඒක බලන්න. ඒක දැකල තව එකක් හදන්න කීවා. ඒවා ගොනාගෙන් අදින්න හැදුවට අත් ට්‍රැක්ටරයෙනුත් අදිතහැකි.   


එහෙම තමයි පුස්තකාලේ වැඩි දියුණු කළේ. මුලින් පොත් 4760 ක් තිබුණා. උඩවත්තෙ පිරිවෙනේ දි විවෘත කළේ. සතියකට එක දවසක් හතර පේරුවේ ගම්වලට යනවා. හැතැම්ම 16 ක දුරක් එක දිසාවකට යන්න තියෙන්නේ. උදේ පිටත් වුණාම එන්නෙ හවස පහට හයට. පාරවල් කුඩායි. පහසුකම් නැහැ. ඒත් අපි කැපවීමෙන් ගියා. මට මේ වැඩේට රුපියල් 75 ක් දුන්නා. ඒක ඒ කාලෙ සැලකිය යුතු මුදලක්. නමුත් වැටුපට මේ වැඩේ කළා නොවෙයි.   


අපේ කරත්තේ එද්දි කඳුමුදුන්වල ඉන්න ජනතාව පාරවල්වලට එනවා. අපි පොත් දීමේ කාඩ් එකක් නිකුත් කළා. ඒක ගෙදරක වැඩිහිටියෙකු නමිනුයි නිකුත් කළේ. එක සතියක දෙන පොත ආපසු ඊළඟ සතියේ භාර දෙන්න ඕනෑ. එතකොට ආයෙ පොතක් දෙනවා. අපේ ජංගම පුස්තකාලෙ හරි ජනප්‍රියයි. විශේෂයෙන් විශ්‍රාම අරන් ඉන්න අය එහෙම මග බලා ඉන්නවා.   
ඉඳුරුපත්විලට ගිය කරත්තේ ලේල්වල කස්සප හාමුදුරුවන්ගේ ඉල්ලීමක් මත ලේල්වලට දික්කලා. අනෙක් පැත්තෙන් හල්පාතොට පාලම ළඟට ගියා. දොඩංගොඩ පාලම ළඟට ගියා. පෝද්දල හන්දියට ගියා. වැඩිහිටියන්ගෙන් බණපොත්වලට පුදුම ඉල්ලුමක් තිබුණා. ඒ කාලෙ අපේ නායක හාමුදුරුවෝ ලියපු බුදුහාමුදුරුවෝ පොත හුඟාක් ළමයි කියෙව්වේ මේ පුස්තකාලෙන් අරන්.   


ඒ වගේමයි අපි පොත් දෙන්නේ ඒ ඒ අයට ගැළපෙන්නයි. ඉල්ලු පලියට පොත් දෙන්න බැහැ. පුංචි දරුවන්ට ගැළපෙන ඒවයින් ඉල්ලන එක දෙනවා. ඒ වගේ.   


ඔහොම අවුරුදු හයක් නොකඩවා මේ පුස්තකාලය කරගෙන ගියා. 1972 වෙනතුරුත් පුස්තකාලෙ හොඳට කළා. ඉඳහිට පොත් කරත්තේ පස්සෙන් පයින්ම ලොකු හාමුදුරුවොත් යනවා. දරුවන්ට කියනවා පොත් පරිස්සම් කරන්න. කියවල ඊළඟ වතාවේ භාරදීල වෙන පොතක් ගන්න කියල.   


ලොකු හාමුදුරුවෝ අසනීප වෙන්න ගත්තා. ඔන්න පුස්තකාලෙ ටිකක් පමා වුණා. අලුතින් පොත් දුන්නේ නැහැ. හැබැයි මම ගිහින් පොත් එකතු කළා. හාමුදුරුවනුත් වෛද්‍යවරුන්ට පෙන්වනවා. නමුත් කිසිම අසනීපයක් නැහැ කියනවා. ඒ කාලෙ ඉස්පිරිතාලයක් තිබුණේ මහමෝදර විතරයි. එතනට එක්ක ගියාම කියනවා අසනීපයක් නැහැ කියලා. මෙහෙම නායක හාමුදුරුවෝ අසනීප වුණත් එක්ක පුස්තකාලය ටිකෙන් ටික අක්‍රිය වුණා.” පොඩි මහත්තයා එසේ කීව ද මටනම් සිතෙන්නේ 1977 න් පසු විවෘත ආර්ථිකය ඔස්සේ බොහෝ පොත පත සුලබ වීමත් රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය ඇතිවීමත් හේතුවෙන් පුස්තකාලයේ අවශ්‍යතාව මදක් අඩුවන්නට ඇති බවය.   
එහෙත් උන්වහන්සේ ගේ ඒ උත්සාහය නිසා පොත පතට හුරුවුණු එවකට කුඩා දරුවෝ අද වැඩිහිටියෝය. ඔවුන් අදත් ජංගම පුස්තකාලය සිහි කරන්නේ භක්තියෙනි, ආදරයෙනි. දුටුගැමුණු විහාරස්ථ හතර පේරුවේ ජනතාව පොතපතට හුරුවුණේ මේ පුස්තකාලයෙන් බව කීම අතිශයෝක්තියක් නොවේ.   
දැන් කෝ ඒ පුස්තකාලෙ පොත් ගෙන ගිය කරත්තේ?   


‘‘නායක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ මේක කරගෙන යන්න අමාරුයි. මම ආසියානු පදනමට කියල යැව්වා. ඒ අතරෙ දවසක් ඒ.ටී. ආරියරත්න මහත්තයා පන්සලට ආවා. එතුමා කිව්වා ඕක කරගෙන යන්න අමාරුයි නේ. තඹුත්තේගමට ගෙන යන්න දෙන්න කියලා.   


ඒක ආසියානු පදනමට කිව්වාම අවසර ලැබුණා. පොත් 460ක් එක්ක එක කරත්තයක් දුන්නා. ඒකට නායක හාමුදුරුවන්ගෙන් ද අවසර ලැබුණා. පස්සෙ කාලෙක අනෙක් කරත්තයත් වෙන අය ඉල්ලන්න ගත්තා. නමුත් දුන්නේ නැහැ. පොත් ටිකත් එක්ක උඩවත්තේ පිරිවෙනේ තියල තිබ්බා.”   


1989 දෙසැම්බර් 29 වැනිදා ගණේගම සරණංකර නාහිමියන් අපවත් වන විට මේ පුස්තකාලයෙන් දැනුම වඩාගත් පිරිස ගණනය කළ නොහැකි තරම්ය. ඒ බවට සාක්ෂි සපයන උගත්තු වියත්හු රැසක් රට පුරා සිටිති.

 


සටහන විනීතා එම්. ගමගේ