ගොත ගසන ප්‍රේතයා


 

කළුවන් කළු වූ මේ යක්ෂ ප්‍රේත භූතයා රියන් ගණනාවක් උස මහත බියජනක සිරුරක් ඇති ස්වරූපයක් ඇත්තෙකි. රත් පැහැයෙන් දිළිසෙන පොළොව දෙසට එල්ලෙන දිව යාරයකට ආසන්න දිගින් යුතුව ඇත. දිව අග කෙළවර දෙකට බෙදී ඇත්තේ, නාගකයකුගේ පෙණයට සමානවයි. දිග කන් දෙක වලසකුගේ දෙකන්වලට සමානව ඇති අතර මුහුණ බියකරුය. මුහුණේ සිට ඇද හැළෙන රැවුල මුහුණ පුරා ඇති පෙනුම බියකරු බව තව තවත් තීව්‍ර කරන්නට සමත්ව ඇත. 

පැන් කෙණ්ඩියක් එක් අතකය. තවත් අතක ඇත්තේ අඩ අඳුරක් සහිත ලන්තෑරුමකි. මේ අභූත යක්ෂ භූත ප්‍රේතයාගේ ගමන් විලාසය බියකරුය. මේ අභූතයා ගමන් කරන ශබ්ඳය හැරමිටි හඬින් සිත ගත තුළ බියකරු බව තව තවත් වැඩි කරන්නට විය. 


අතීතයේ සිටම නොයෙකුත් අද්භූත බලපෑම්, නොයෙකුත් හාස්කම්, විවිධ හැකියාවන් තිබෙන බවට විශ්වාස හා පුරාජේරු පවසන්නන් බොහෝය. නමුත් එහි සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන් තිබේද යන්න සනාථ කළ හැකි කිසිවක් නොමැත. ඔවුන් පෙන්වන ඇතැම් අත්භූත හැකියාවන් ලෙස සලකන දේවල් පවා විද්‍යාත්මකව බලන විට එහි අත්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේද විද්‍යාත්මක න්‍යායක් පමණි. 
විමන්ත පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නව පාසලකට ඇතුළත් වූ අතර, ඔහු නතර වූයේ ඔහුගේ පියාගේ නැඟණියගේ නිවසේය. හබරණ ප්‍රදේශයේ යහමින් මුදල් ඇති පවුලක එකම පිරිමි දරුවා වූ විමන්තට මවගේත් පියාගේත් සෙනෙහස නොඅඩුව ලැබුණි. නමුත් විමන්ත තම නැඟණියගේ නිවසේ නතර කරන්නට ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ එම ප්‍රදේශයේ පාසලකට අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය නිසාය. විමන්තගේ නැන්ද‌ාත් මාමාත් විමන්තට සෙනෙහස දැක්වූයේ ඔවුන්ගේ දරුවකු සේ සිතාය. එම නිසා විමන්තට තම දෙමාපියන් නැති අඩුවක් නොදැනුණේය. 


ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු හැදෑරූ විමන්ත එක්වරම කතා කරද්දී ගොතගසන්නට පටන් ගත්තේය. වචනයක් කතා කරගන්නට ඔහුට ටික වේලාවක් ගත විය. නැතහොත් වචන පැටලුණි. මෙය විමන්තගේ නව පාසලේ ගුරුවරුන්ට මෙන්ම නැන්ද‌ාටත් මාමාටත් ප්‍රශ්නයක් විය. 


“මොකද විමන්ත හිටිහැටියේම මොකක් හරි අහද්දී ගොත ගගහා උත්තර දෙන්නේ. ඔය ළමයා මීට කලින් නම් ඔහොම නැහැ. මොකක්ද ඔය ළමයට වෙලා තියෙන්නේ” 


විමන්තගෙන් ගුරුවරු විමසන්නට වූහ. එයටත් “ද...ද...දන් නෑ මිස්” යැයි විමන්ත උත්තර දුන්නේද ගොත ගසමිනි. 


“අයියේ දරුවට මොනා වෙලාද දන්නෑ වචනයක් කතා කරද්දිත් ගොත ගහනවා කවද‌ාවත් නැතිව. අපි හිතුවෙ විහිළුවට කියලා. ඒත් දරුවට මොකක් නමුත් වෙලා තියෙන පාටයි” විමන්තගේ නැන්ද‌ා ඔහුගේ පියාට දන්වා සිටියාය. “ඒ මොකද ඒ පුතාට මක්වෙලාද. ඉන්න මම අක්කා එක්ක එන්නම් මොකද කියලා බලමු අපි ඇවිත්” තම නැඟණියට විමන්තගේ පියා පවසා සිටියේය. 


විමන්තගේ ගොතය නවතින පාටක් ඇත්තේම නැත. එය හැමෝටම පැහැදිලිවම දැනුණු දෙයක් විය. “මේ දරුවට මොකක් වුණාද” සැමටම ප්‍රශ්නයකි. 


විමන්තට මෙය මහත් ප්‍රශ්නයක් විය. ඔහු කළේ සමාජයෙන් ද ඔහුගේ යහළුවන්ගෙන්ද ඈත්වීමය. ගොත ගගහ කතා කිරීම එක් අතෙකින් ඔහුට වදයකි. තවත් අතෙකින් ලැජ්ජාවකි. මේ හේතුව නිසා ඔහු පාසල් යෑමටද අදිමදි කරන්නට වුණි. අධ්‍යාපන කටයුතුවලදී දස්කම් පෙන්වූ ඔහු විනය අතින්ද පාසලේ ගුරුවරුන්ගේ හිත් දිනාගත් සිසුවකු විය. 


විමන්තගේ දෙමාපියන් තම පුතුට කුමක් සිදුවීද යන්න දැනගැනීමේ නොඉවසිල්ලෙන් පාන්දරම නිවසින් පිටත් වූයේ විමන්තගේ නැන්ද‌ාගේ නිවසට ඒමටය. 


“දරුවට මොකක් වුණාද මේ?” ඔවුන්ගේ සිත් තුළ වූයේ එයයි. 


විමන්ත එදින පාසල් නොගොස් නිවසට වී සිටි අතර, තම දෙමාපියන් දැකීමෙන් ඔහුට දැඩි දුකක් ඇතිවන්නට විය. 


“අනේ අම්...ම්...මේ ඇ...ඇයි මට කතා කරගන්න බැ...බැ... බැරි?” විමන්ත අඬමින් තම මවගේ අතේ වෙළෙමින් විමසුවේය. එය කිසිවකුටවත් දරා ගන්නට බැරි අවස්ථාවක් විය. 


“අපි බලමු පුතේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අපි හෙට උදෙන්ම දොස්තර මහත්තයකුට පෙන්නමු” විමන්තගේ පියා ඔහුව සැනසුවේය. 

 

සෙත් ශාන්තිය කරන දවස උද‌ා විය. කඩවර දෙවියන්ට සෙත් ශාන්තිය කිරීම සඳහා සියලු බඩු බාහිරාදිය සූද‌ානම් විය. එදින රාත්‍රියේ පේනය බැලූ මෑණියෝ ඇතුළු යකැදුරෝ සෙත් ශාන්තිය ආරම්භ කළහ.  මහා හයියෙන් බෙර හඬ තළමින් බියකරු ස්වරයෙන් නොතේරෙන භාෂාවකින් කතා කරමින් යකැදුරෝ නටති. බෙර ගසති. පන්දම් විලක්කුවලින් එම රාත්‍රියේ අන්ධකාරය පහවෙමින් ඇති වෙමින් තව තවත් බියකරු බව වැඩි කරයි. රිටක අග ගොක්කොළ ගසා එයින් විමන්තගේ හිසට ගසමින් මොනවාදෝ කියමින් යකැදුරෝ විමන්තව ආවේශ කරවූහ. නමුත් පේන බලන මෑණියන්ට හෝ යකැදුරන්ට හෝ විමන්තව කතා කරවීමට අපහසු විණ.  විමන්තගේ ස්වරූපයෙන් පෙරේත ආත්මය විමන්තට ආවේශ වී ඇති සෙයක් දක්නට ලැබුණි. නමුත් ඔහුට කතා කරගැනීමට නොහැකි බැවින් යකැදුරන් පැවසුවේ විමන්තගේ ලෙඩේ වැඩි වී ඇති බවය. හිමිදිරි පාන්දර වන තුරු දහඅට පාළි නැටුවත් විමන්තව කතා කරවීමට අපහසු වූ අතර ඔවුන් සෙත් ශාන්තිය කිරීමට පොරොන්දු වූ මුදල රැගෙන පිටත් වූයේ විමන්තගේ ලෙඩේ දින හතකින් සුව වන බව පවසමින්ය. 

 


“මොකක්ද මල්ලී හොඳට හිටිය මගේ දරුවට ඇත්තටම වුණේ” විමන්තගේ පියා විමන්තට සිදුවූ ඇති දේ ඔහු තම නැඟණියගේ සැමියා වන ලලන්තගෙන් විමසුවේ දරාගැනීමට නොහැකි නිසාය. “දන්නෑ අයියේ අපි හෙට දරුවව පෙන්නමුකො ඩොක්ට කෙනෙක්ට මොකද කියලා බලන්න” 


පසුද‌ා උදෑසනම විමන්ත කැටුව ඔහුගේ දෙමාපියන් වෛද්‍යවරයකු වෙත ගොස් දරුවා පෙන්නුවේය. විමන්තට ඇත්තේ කායික ගැටලුවක් නොවන බවත් මානසික ගැටලුවක් බවත් මෙය මානසික වෛද්‍යවරයකුට පෙන්විය යුතු තත්ත්වයක් බවත් එම වෛද්‍යවරයා ඔවුනට පැවසුවේය. “හැකි ඉක්මනට දරුවා මනෝවෛද්‍යවරයකු වෙත යොමු කරන එක හොඳයි” අද‌ාළ වෛද්‍යවරයාගේ පිළිතුරින් විමන්තගේ දෙමාපියෝ කුතුහලයට පත්වූහ. තම දරුවාට කිසිදු මානසික ගැටලුවක් නොමැති බව සිතූ ඔවුන් වෛද්‍යවරයාගේ මතය පැහැර හැර විමන්තගේ කේන්දරය බැලීමට සිතූහ. 


විමන්තගේ කේන්දරය රැගෙන එන්නට තම නිවසට පිටත් වූ විමන්තගේ පියා එදින මහ රෑ නැගණියගේ නිවසට පැමිණියේ එයද රැගෙනය. පසුද‌ාම විමන්තගේ දෙමාපියන් ඔහුගේ කේන්දරය රැගෙන ජ්‍යොතීර්වේදියකු වෙත ගොස් දරුවාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න ඇසූහ. කේන්දරය හොඳින් පරීක්ෂා කර බැලූ ජ්‍යොතීර්වේදියා පවසා සිටියේ දරුවා මේ ගෙවන්නේ ඒරාෂ්ඨක අපල කාලයක් බවත් තවත් වසර තුනක් ඉදිරියට එම අපල කාලය පවතින බවත් ඒ සඳහා වත්පිළිවෙත් කරන ලෙසත්ය. 


තව තවත් මනසින් දුර්වල වූ විමන්ත පාසල් නොයන්නට තීරණය කළේය. එයට හේතුව වශයෙන් ඔහු වැඩිහිටියනට කීවේ යහළුවන්ට මුහුණ දෙන්නට නොහැකි බවත් ඔහු මේ නිසා ලැජ්ජාවට පත් වන බවත් යහළුවන්ගේ හාස්‍යයට ලක් වී ඇති බවත්ය. තවදුරටත් තම පුතුගේ තත්ත්වය ඉවසාගත නොහැකි වූ වැඩිහිටියෝ සාස්තර බලන මෑණි කෙනෙකු වෙත ගොස් සියල්ල ඇයට සැලකර සිටියෝය. 


පේනය බැලූ මෑණියෝ කියා සිටියේ විමන්තට පෙරේත බැල්මක් වැටී තිබෙන බවත් ඔවුනගේ පවුලේ ගොතය තිබූ පුද්ගලයකු මියගොස් පෙරේත ආත්මයක් ලබා ඇති බවත් එම පෙරේත ආත්මයේ බැල්ම මෙම දරුවාට වැටී තිබෙන බවත් ඒ හේතුවෙන් ඔහුට මෙම ගොතය ඇති වී තිබෙන බවත්ය. 


ඒ සඳහා කඩවර දෙවියන්ට සෙත් ශාන්තියක් කර ගොතය නැතිකර ගැනීමට හැකි බවත් ඇය පවසා සිටියාය. පේනය කිවූ මෑණියන්ගේ කතාව විමන්තගේ වැඩිහිටියන්ට පුදුමය දනවන්නක් වූහ. මන්ද තම පවුලේ ගොත ගැසූ කිසිවකු නොසිටි බව ඔවුනගේ මතය විය. එසේනම් පේනය බැලූ මෑණියෝ කීවේ බොරුවක්ද? නමුත් විමන්තගේ දෙමාපියන් පේනය බැලූ මෑණියන් කියූ පරිදි සෙත් ශාන්තියක් කිරීමට ඉටා ගත්හ. 


සෙත් ශාන්තිය කරන දවස උද‌ා විය. කඩවර දෙවියන්ට සෙත් ශාන්තිය කිරීම සඳහා සියලු බඩු බාහිරාදිය සූද‌ානම් විය. එදින රාත්‍රියේ පේනය බැලූ මෑණියෝ ඇතුළු යකැදුරෝ සෙත් ශාන්තිය ආරම්භ කළහ. 


මහා හයියෙන් බෙර හඬ තළමින් බියකරු ස්වරයෙන් නොතේරෙන භාෂාවකින් කතා කරමින් යකැදුරෝ නටති. බෙර ගසති. පන්දම් විලක්කුවලින් එම රාත්‍රියේ අන්ධකාරය පහවෙමින් ඇති වෙමින් තව තවත් බියකරු බව වැඩි කරයි. රිටක අග ගොක්කොළ ගසා එයින් විමන්තගේ හිසට ගසමින් මොනවාදෝ කියමින් යකැදුරෝ විමන්තව ආවේශ කරවූහ. නමුත් පේන බලන මෑණියන්ට හෝ යකැදුරන්ට හෝ විමන්තව කතා කරවීමට අපහසු විණ. 


විමන්තගේ ස්වරූපයෙන් පෙරේත ආත්මය විමන්තට ආවේශ වී ඇති සෙයක් දක්නට ලැබුණි. නමුත් ඔහුට කතා කරගැනීමට නොහැකි බැවින් යකැදුරන් පැවසුවේ විමන්තගේ ලෙඩේ වැඩි වී ඇති බවය. හිමිදිරි පාන්දර වන තුරු දහඅට පාළි නැටුවත් විමන්තව කතා කරවීමට අපහසු වූ අතර ඔවුන් සෙත් ශාන්තිය කිරීමට පොරොන්දු වූ මුදල රැගෙන පිටත් වූයේ විමන්තගේ ලෙඩේ දින හතකින් සුව වන බව පවසමින්ය. 


ඉඳහිට පාසලට ගිය විමන්ත ගැන ඔහුගේ ගුරුවරු විමසිලිමත්වන්නට වූහ. මෙය බලාසිටින්නට හොඳ දෙයක් නොවන බව ඔවුහු කතා කළහ. එසේ නම් විමන්තව මානසික වෛද්‍යවරයකු වෙත වහාම යොමු කරවිය යුතු බව ඔවුන් විමන්තගේ වැඩිහිටියන්ට දන්වා සිටියහ. පාසලේ ගුරුභවතකුගේ මාර්ගයෙන් විමන්තව මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. ඒ අනුව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට විමන්තව යොමු කරමින් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විමන්තගේ ගොතයට තිත තැබීය. විමන්තගේ ගොතය සුව විය. 


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය. 


ගොතය කියන්නේ අමනුෂ්‍ය බලපෑමක් හෝ එවැනි තත්ත්වයක් යටතේ ඇතිවන දෙයක් නොවේ. ගොතය ආකාර දෙකක් යටතේ විග්‍රහ වෙනවා. ජීව විද්‍යාත්මකව යමකුගේ තොල්වල, දිවේ වෙනස් වීමක් මත හෝ ඇතැම් ඖෂධ විෂවීමක් නිසා ගොතය වැනි තත්ත්වයක් තාවකාලිකව ඇතිවෙන්නට පුළුවන්. මෙය ඇතිවෙන්නේ බොහෝ කලාතුරකිනුයි. 


නමුත් බොහෝ දෙනෙකුට ඇතිවන්නේ මනෝ කායික ගොතයයි. මෙය මානසික හේතුමත ඇතිවන කායික තත්ත්වයක්. එය මනෝ කායික ගොතය ලෙස හඳුන්වනවා. මෙම ගොතයේ ලක්ෂණ බොහෝ තිබෙනවා. 
පිරිසක් ඉදිරියේ කතා කරන විට ගොතය වැඩි වේ. නමුත් සින්දු කියන විට ගොතය එන්නේ නැහැ. හුරුපුරුදු අය ඉදිරියේ ගොතය අඩුයි. කෙනෙක් එක්වර ප්‍රශ්නයක් අසන විට ගොතය වැඩි වේ. තමන්ට වඩා උසස් පුද්ගලයින් තමන් විවේචනය කරාවි යන සිතුවිල්ල නිසා එවැනි පුද්ගලයින් ඉදිරියේ ගොතය වැඩි වේ. බසයකදී ටිකට් එකක් ඉල්ලන විට, දුරකතනයෙන් පිළිතුරු දෙන විට ගොතය වැඩි වේ. නමුත් පොතක් පතක් බලද්දී ගොතය අඩු වේ. 


මෙවැනි බොහෝ කරුණු මනෝකායික ගොතයෙන් පෙළෙන්නන් තුළ දැකිය හැකියි. හොඳින් කතා කළ හැකි වචන පවා පැටලේ. ගොතය සමඟ සබකෝලයද එකට බැඳී පවතී. මේ ගොතය සඳහා ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ දැකිය හැකියි. නමුත් අපේ සමාජයේ බහුතරයක් ගොතයට නතුවී ගොතයට ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රමාද කරනු ලබයි. 


විමන්තගේ ගැටලුව දිහා බලද්දී ඔහුට අලුත් පරිසරයක්, අලුත් පාසලක්, අලුත් පුද්ගලයින්, අලුත් බස් වහරක් නිසා ඔහුට ගොත තත්ත්වයක් ඇතිවන්නට හේතු වී තිබෙනවා. පාසල් අධ්‍යාපනය සඳහා අකමැත්ත ඇතිවූයේද මේ තත්ත්වය හේතුකොටගෙනයි. ඇතැම් අවස්ථාවලදී ක්ෂණිකව ඇති වූ තත්ත්වයක් නිසාද ගොතය ඇති වූ අවස්ථා තිබෙනවා. 


සමහර අවස්ථාවලදී ගොත ගසන්නන් ඇසුරු කරද්දී ගොත ගසන්නට හුරු වන අවස්ථාද තිබෙනවා. නමුත් ගොතය බෝවන්නේ නැත. මෙවැනි රෝග තත්ත්වයන් වෛද්‍ය විද්‍යාව මගින් සුවකර ගැනීමට හැකියාව තිබියදී අපේ සමාජයේ බහුතරයක් යක්ෂ, භූත, කුම්භාණ්ඩයන් පසුපස ගොස් තමන් සරිකරගත් දේ විනාශ කරගන්නා අවස්ථා බොහෝමයක් දකින්නට අසන්නට ලැබෙනවා. එය ඇත්තටම කණගාටුවට කරුණක්. 


මෙය යකැදුරන්ට හෝ බලි තොවිල්කරුවන්ට හෝ පහර ගැසීමක් නොවන අතර, අතීතයේ මනෝ විද්‍යාව නොතිබූ කාලයේදී එම තොවිල් ශාන්තිකර්ම මානසික සහනයක් ලබාගැනීමට හේතු වන්නට ඇති. ඒ අනුව ඇතැම් මානසික රෝගද සුව වූ බව දැකිය හැකියි. නමුත් ඉහත කියූ පේනකාරියන් සහ යකැදුරන් නිසා අප සමාජයේ බොහෝ මිනිසුන් අසරණභාවයට පත්වන බව නොකියා බැහැ. 


ගොත ගැසූ විමන්ත මේ වන විට හොඳින් කතා බහ කරන අතර, අ.පො.ස. උසස් පෙළ ද අවසන් කර සරසවි වරම් ලබාගෙන තම ජීවිතය වාසනාවන්ත කරගැනීමට තරම් වාසනාවන්ත වී ඇත. විමන්ත සොයා ඉන්පසු ප්‍රේත ගොතයකු හෝ කිසිදු අමනුස්සයකු පැමිණියේ නැත. 


“විද්‍යාව දියුණු ලෝකයේ නොපෙනෙන බලවේගයන් සොයාගොස් විනාශ වන්නට එපා” යන්න අවසාන වශයෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පැවසුවේය. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර සත්‍ය සිදුවීමකි.) 

 

 

 

 


සටහන: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත