ගෙවල් කඩන්නෝ සහ මගුල් කඩන්නෝ


ගෙවල් කැඩීම දැන් හොඳ ආදායම් මාර්ගයක් වී ඇතැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. සාමාන්‍ය මහජනයා ගෙයක් සාදා ගන්නේ බොහෝ අමාරුවෙනි. බොහෝ විට බැංකුවකින් ණය මුදලක් ලබාගෙන නිවෙස් සාදා ගන්නා අය බොහෝය. ජීවිත කාලය පුරා එම ණය මුදල වාරික වශයෙන් ගෙවීමට ඔහුට සිදුවේ.  


තම අතේ ඇති මුදලෙන් ගෙයක් සාදන්නේ එහෙමත් කලාතුරකින් කෙනෙකි. ඒ බොහෝ මුදල් තිබෙන ධනවත් අය වෙති. බොහෝ දුෂ්කරතා මැද ගෙයක් සෑදූ පසු වාස්තු දෝෂ නිසා එහි කොටස් කඩන්නට සිදුවුණොත් එය මොන තරම් අපරාධයක්ද? ඒ නිසා ගෙයක් සාදන විට දෙතුන් වර නොකඩා, වාස්තු දෝෂ නැති ගෙයක් සෑදීමට කවුරුත් ඉටා ගත යුතුය.  


ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර තනන නිවස කඩා එවැනිම මුදලක් වියදම් කර නැවත ගොඩනැගීමට යාම දුෂ්කරතාවයෙනුත් දුෂ්කරතාවට පත්වන දෙයකි. නිරපරාදේ විශාල මුදලක් වැය කරන්නේ ඇයි? බොහෝ විට ඔබ ඉදිකරන්නේ වාස්තු දෝෂ නැති නිවසක්මය. එහෙත් නිවස ඉදිකර ටික කලක් ගිය පසු ඔබේ යහළුවකු හෝ නෑදෑයකු මෙම උළුවස්ස මෙතැනට නොගැළපෙතැයි කීවොත් එදින සිට ඔබේ හිතේ තදින් බලපවත්වන්නේ මෙම උළුවස්ස අයින් කිරීම පිළිබඳවය.  


සමහර විට යාළුවා වාස්තු විද්‍යාවේ කිසිම දෙයක් නොදන්නා අයකු විය හැකිය. ටික දවසකින් ඔබ ජ්‍යොතිෂවේදියකු සොයා ගොස් තම ගේ පරික්ෂා කරන ලෙස ඉල්ලා සිටිනු ඇත. ඒ අතර මෙම උළුවස්ස ගැනත් කියනු ඇත. එවිට ජ්‍යොතිෂවේදියා බො​හෝ විට කියනුයේ මෙම උළුවස්ස මෙතැනට නොගැළපෙන බවය. තවත් ජ්‍යොතිෂවේදියකු කැඳවා මෙම උළුවස්ස ගැන සඳහන් නොකර නිවස පරික්ෂා කරන්නට කීවොත් බොහෝවිට ඔහු පවසන්නේ වෙනත් දෝෂයන් ගැනය.  

යකු විය හැකිය. එහෙත් තම නොදැනුවත්කම ප්‍රදර්ශනය නොකරන ඔහු කියනුයේ වෙනත් වෙනත් දෝෂයන් ගැනය. ජ්‍යොතිෂවේදියා කියන දේ දේව වාක්‍යයක් ලෙස සලකා උළුවහු, දොර ජනෙල් ඉවත් කරන ඔබ මහා කරදරයක වැටෙනු ඇත. වාස්තු විද්‍යාවේ කෙළ පැමිණි අයකු සේ පෙන්වා කරන කපටිකම්වලට අසු නොවන්න.  


බිරිඳ ලෙඩ වී ඇත්තේ ආදායම පහත වැටී ඇත්තේ පවුලේ අසමගිය ඇතිවී ඇත්තේ මේ උළුවස්ස නිසා යැයි ඔවුහු දැකපු දෙයක් ලෙස කියති.  


ඔබටත් මේ කතාව සියයට සියයක් හරි යයි සිතෙනු ඇත. ඔහු කියන දේ පිළිගෙන ඔබ ගෙය කඩනු ඇත.  


අසනීපයක දී ඔබේ වකුගඩුවක් අයින් කළ යුතු යයි වෛද්‍යවරයකු කීවොත් ඔබ කෙළින්ම එයට එකඟ වී වකුගඩුව අයින් කරවා ගන්නවාද? තවත් වෛද්‍යවරයකුට පෙන්වා සැක හැර දැන ගැනීම හොඳ යයි ඔබට සිතෙන්නේ නැද්ද? නිවස කැඩීමට කලිනුත් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළොත් හොඳ නේද?  


තම නිවස ඉදිරිපස තිබෙන වැසිකිළි වළ කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා තිබුණ ද කෙනකුට මෙය මහත් ප්‍රශ්නයක් වී ඇතැයි සිතමු. මෙවැනි අවස්ථාවක දී එම කොටසෙහි තණකොළ පිඩලි අල්ලා මල් පෝච්චි කීපයක් එහි තබා අලංකාර කළොත් ප්‍රශ්නය විසඳෙන්නේ නැද්ද? එවිට එහි වැසිකිළිවළක් නොපෙනේ. යම්කිසි තැනකට ජනේලයක් නොගැළපේ නම් එය වසා එතැන රාමු කරන ලද පින්තූරයක් එල්ලා තැබීම නොසෑහේද? ජනේලය ගලවා ඉවත් කළ යුතුම නැත. මේ උදාහරණ දෙකක් පමණි.  


නිවසෙහි කොටසක් ඉවත් කිරීමට පළමුවෙන් අදහස දෙන්නේ බොහෝ විට වාස්තු විද්‍යාව ගැන කිසිත් නොදන්නා අසල්වැසියකු හෝ යහළුවකු විය හැකිය. ඔබත් එයට එකඟවීමෙන් එම අදහස ක්‍රියාත්මක කෙරේ. සල්ලි ටිකක් අතට ලැබෙන විට නිවසේ සමහර කොටස් කඩා වෙනස් කිරීම අද එක්තරා පිස්සුවක් බවට පත්වී ඇත. ගෙවල් කඩවන්නේ සමහර ජ්‍යෝතිෂවේදීන්මය.  


අද බොහෝ ජ්‍යෝතිෂවේදීන් විවාහ ගැළපීම් කරනුයේ පොරොන්දම් බැලීමෙන් පමණය. එහෙත් පළමුවෙන් කළ යුත්තේ විවාහය ගැන කියවෙන ලිංගික කරුණු ගැන කියවෙන හත්වන කොටුව ගැළපෙනවාදැයි බැලීමය. ඊට පසු වෙනත් නොගැළපීම් ඇද්දයි බැලිය යුතුය. එයිනුත් පසුව පොරොන්දම් බැලිය යුතුය.  


​පොරොන්දම්වලින් ආවරණය වන්නේ සියයට විසි පහකටත් අඩු ප්‍රමාණයකි. ඕනෑම දෙදෙනෙකු ගේ පොරොන්දම් බැලුවොත් පො​ෙරාන්දම් විස්සෙන් දහයකට වඩා ගැළපෙනු ඇත. ජ්‍යොතිෂවේදීන් සියයට අසූවක් හැත්තෑවක් ආදී වශයෙන් ගැළපේ යයි කියන්නේ පොරොන්දම් පමණක් බැලීමෙනි. පොරොන්දම් සියයට සියයක් ගැළපුනත් හත් වන කොටුව නොගැළපේ නම් ඇති වැඩක් නැත. ගැළපීම සියයට ගණනින් ප්‍රකාශ කරන අය ගැන විශ්වාසය නොතබන්න. එයින් පමණක් සෑහීමට පත් නොවන්න.  


හත්වන කොටුව නොකිව්වොත් ඔබ එය නොපිළිගන්න.  


ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ එක්තරා ජ්‍යොතිෂවේදියකු ළඟට එක්තරා පියකු තම දියණියගේත් තවත් තරුණයකුගේත් හඳහන් දෙක රැගෙන ගොස් ගැළපෙනවාදැයි අසා ඇත. ඔහු හඳහන් දෙක පරික්ෂා කර බලා හොඳින් ගැළපෙන බව කීවේය. එහෙත් මෙම දියණියගේ සිකුරු නීචය. පිරිමි හඳහනේ සිකුරු බලවත්ය. දියණිය ගේ සිකුරු නීච බව ඔහු දකින්නට නැත. පසුව මේ හඳහන් මා ළඟට ද ගෙනාවේය. දියණිය ගේ සිකුරු නීච බව මා දුටු නිසා මේ හඳහන් දෙක නොගැළපෙන බව මම කීවෙමි.  


නැවතත් පළමු ජ්‍යෝතිෂවේදියා ළඟට ගෙන ගිය විට ඇස් අන්ධ කෙනකුට ඇස් අන්ධ කෙනකුම ගැළපිය යුතු ද? කකුලක් නැති කෙනකුට කකුලක් නැති අයකුම ගැළපිය යුතුද? ආදී වශයෙන් තර්ක කර ඇත. ලිංගික ශක්තිය අඩු අයකුත් ලිංගික ශක්තිය වැඩි අයකුත් විවාහ කරවීම නරක බව ඔහුට නොපෙනුණි. මැණික් ගල් පැළඳීමෙන් එම අපල නැති කළ හැකි බව පවසා මෙම පියාත් සමග තර්ක කර ජය ගත්තේය. ඔහු තර්ක කර දිනුවාට මෙම පියාට වැඩක් නැත.  


පොරොන්දම් පමණක් බලා විවාහ වී විවාහය අසාර්ථක වූ විට ඔවුන් කියන්නේ හඳහන් බලා විවාහ වුණත් විවාහය අසාර්ථක වී ඇති බවය. ජ්‍යෝතිෂය වැරදි බව ඔවුහු කියති.  


ජ්‍යෝතිෂය ගැන මිනිසුන් තුළ විශ්වාස නැති වන්නේ මෙවැනි අවස්ථාවලදීය. පොරොන්දම් පමණක් ගැළපී හත්වන කොටුව නොගැළපී විවාහ වී අසතුටින් කල් ගෙවන අය ගේ හෝ දික්කසාද වූ අය ගේ මැසිවිලි අනන්තය. මගුල් කඩන්නෝ ජ්‍යෝතිර්වේදීහුමය.  


මෙහි සඳහන් කර ඇත්තේ ජ්‍යෝතිෂය හරියට නොදැන බොරුවෙන් බඩ වඩා ගන්නා අය ගැනය. හරියට කරන අය ගැන​ නොවේ. පොදුවේ සියලු ජ්‍යෝතිර්වේදීන්ට එල්ල කරන චෝදනාවක් නොවේ.  

 

 


ජ්‍යෝතිර්වේදී  
ඒ.ඩී. කරුණාතිලක  
32, ගලවැටිමෝදර පාර,  
නල්ලුරුව, පානදුර.